නැගෙනහිර බෞද්ධ උරුමය කියාපාන
රජගලතැන්නේ හෘද සාක්‌ෂිය


බිම් වැටී ඇති බුදු පිළිමය


නිධන් සොරුන් විසින් විනාශකොට ඇති ඉපැරැණි සංඝාවාසයක නටබුන්

ටී. බී. හේරත්

දහවල ගිනියම්ව තිබිණි. එක සීරුවට පැතිර ගිය කුඹුරු යායට ඉහළින් හිරු රිදී තැටියක්‌ව දිළිසුණේය. ඉද්ද ගැසූ කට්‌ට කළු තාර පාරේ ඈතින් මිරිඟුව නලියනු පෙනිණි.

කොළඹ මහනුවර අම්පාර ප්‍රධාන මාර්ගයේ දඹුල්ල විල්ගමුව පසුකළ අප ගමන් ගත් අත්තනායක අයියා විසින් පදවනු ලබන වෑන් රථය මෙවේලේ මහියංගනය දෙසට පිම්මේ යමින් තිබිණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වාහනය තුළ ලංකාවේ මුද්‍රිත හා විද්යුත් ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සය දෙනකු හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ චින්තක විඡේතුංග හා මුදල් අංශයේ අධ්‍යක්‍ෂිකා රම්‍යා හේරත් මෙනවියද වූහ. මේ අප ගමන් කරමින් සිටියේ අපේ රටේ අප දන්නා ඉතිහාසය නොඑසේනම් අපේ උරුමය සිංහල බෞද්ධයාගේ විකාශයේ මෙතෙක්‌ හෙළි නොවූ පැතිකඩක්‌ සොයන ඓතිහාසික මූලාශ්‍රයක සැඟව ගිය තොරතුරු සොයාගෙනය. ගමනට පූර්ණ අනුග්‍රහය සපයනු ලැබුවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි. එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා ගමනේ මූලිකත්වය ගත්තේය.

ගමන් විඩාවෙන් හෙම්බත්ව සිටින අතරතුර රථය ඉදිරියට ඇදුනේ එක්‌තරා වකවානුවකදී රුදුරු ත්‍රස්‌තවාදයේ ගිනිදළු විහිදවා අහිංසක ගැමියන් බුරුතු පිටින් සංහාරය කළ ප්‍රදේශ මැදිනි. වර්තමානයේ මේවායේ වාතාවරණය සහමුලින්ම කණපිට පෙරළී තිබූ අතර ජනතාව ගොවිතැනක්‌ බතක්‌ කර ගනිමින් නිදහසේ හුස්‌මගෙන ජීවත් වෙන සෙයක්‌ දක්‌නට ලැබිණි.

පස්‌වරු 5.30 පමණ වන විට අප ගමන් කළ වාහන ප්‍රධාන පාරෙන් හැරී පටු තාර දැමූ මාර්ගයක කිලෝමීටරයක්‌ තරම් දුර ගොස්‌ කැලය අභියස නතර කෙරිණි.

"මෙතැන ඉඳන් පයින් තමයි මහත්තයෝ" රියෑදුරු අත්තනායක අයියා පසු පස හැරී කියන විට "කොච්චර දුරද අයියේ" කාංචන පෙරළා පිළිවිසිය.

"කිලෝමීටරයක්‌. හැබැයි ඒක සීරුවට කැලේ මැදින් කන්ද නගින්න ඕන" ඉන්දිකගේ පිළිතුරත් සමග අප කණ්‌ඩායමේ ලා බාලම කොළුගැටයා වූ බුහාර්ඩීන් ගේ මුහුණ ඇකිලී යනු මඳ අඳුරේ වුවද මට පෙනිණි. අප පැමිණ සිටියේ කඳු පාමුලකට වූ අතර මෙම ප්‍රදේශයේ කැලය එළි පෙහෙළි කොට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්‌තව කාර්යාලයක්‌ ඉදිකොට තිබිණි.

මිදුලේ තැනතැන ශිලා පුරාවස්‌තු තබා ඇත. "ටිකක්‌ ඉක්‌මන් කරමු රෑ වෙනකොට කන්ද නගින්න අමාරුයි" අධ්‍යක්‍ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා අප අසලට පැමිණ එම ස්‌ථානයේ බාරකරු ලෙසින් කටයුතු කළ උපුල් සෙනෙවිරත්න තරුණයාද අපට හඳුන්වා දෙමින් කීය. ඇමරිකාවේ ලොස්‌ ඇන්ජලිස්‌ විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා විෂය භාර බෙනිල් ප්‍රියංක විද්වතාද නිවාඩුවක්‌ ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විටෙක සෙනරත් දිසානායක මහතාගේ විශේෂ ආරාධනාව මත අප හා එක්‌ව සිටි අතර ලංකා ඉතිහාසය හා පුරා විද්‍යාව පිළිබඳ හසල දැනුමක්‌ බෙනිල් මහතා සතුවිය.

හැන්දෑ අඳුර මහ කැලයෙන් එළියට පැමිණ අප ඩැහැ ගැනීමට උත්සාහ කරද්දී කඳු තරණයට ගමන් ඇරඹීමු. උපුල් තරුණයා බක්‌කි ඇල්ල සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් කීප දෙනෙකු සමග ඉස්‌සර වූහ.

"තාමත් කොටි ඉන්නවද" බුහාර්ඩින් විමසුවේ ආරක්‍ෂක භටයන්ගේ උරහිස්‌ මත රැඳී තිබූ ටී පනස්‌හය ගිනි අවි දුටු විටය.

"කකුල් දෙකේ කොටි නැති වුණත් හතරේ අයයි, වළහයි නම් මේ කැලේ ඉන්නවා. අලියත් ගොම්මන එක්‌ක එළි බහිනවා" උපුල්ගේ පිළිතුර විය. එළිමහනේ පැවැති එළිය එක විටම පලා ගියා සේ වනය තුළ ඒ වන විටත් අඳුර විය. එකිනෙකා අත තිබූ විදුලි පන්දම් ගමනට ආලෝකය සැපයූ නමුත් අපේ කට්‌ටිය වරින්වර ගල්මුල් අතර පය පැකිලීම පසුව සාමාන්‍ය සිදුවීමක්‌ බවට පත්විය.

"නටබුන් තියෙන්නෙ කන්ද මුදුනේ ඉඳන් අනික්‌ බෑවුමේ. අපි අද නතර වෙන්නෙ කඳු මුදුනේ. අපේ අම්පාර කාර්යාලයේ නිලධාරීන් එතන බලාගෙන ඇති." සහකාර අධ්‍යක්‍ෂ එම්. ඒ. ඡේ. ආර්. මඩගම්මන මහතා හතිය අස්‌සෙන් පැවසීය.

ගමනේ ඉවරයක්‌ නැත. දණහිස්‌ පොල්කටු කනේ ගෑවෙන තරමට නැගීම සැරය. "තව ටිකයි ඊට පස්‌සේ තැන්න." ආරක්‍ෂක භටයෙක්‌ කියයි. තවත් ටික දුරක්‌ ගිය තැන තැඹිලි වලු දෙකක්‌ තබාගත් ගැටව් දෙදෙනකු ඒවා කපා අපේ නඩයේ අයට පිළිගන්වති. විඩාබර ගතට තැඹිලි අමා සිසිලකි.

මේව කරගහගෙන මෙතැනට ආවෙත් මෙයාලමයි. මේ මගේ ගමේ යාළුවෝ උපුල් කියයි. මේ තරුණයන් අපට සැලකීමට විඳින වෙහෙස පුදුමාකාරය.

පහළින් ගමන පටන්ගෙන පැය 1 1/2 කදී අප ඒ කඳු මුදුනට පැමිණියෙමු. විශාල ප්‍රදේශයක්‌ පුරාවට පැතිර ගිය ගල් තලාවක තාවකාලික කූඩාරම් දෙකක්‌ ඉදිකොට තිබිණ. පසෙක ගිනි මැලයකින් මුළු කඳු මුදුනම එළිය කෙරෙයි. අප පිළිගැනීමට තවත් කීප දෙනෙකු එතැන විය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ කේ. කේ. ඩී. කේ. බෝවත්ත සහ සිවිල් ආරක්‍ෂක බළකායේ බක්‌කිඇල්ල කලාපයේ ප්‍රධානී නිමල් විල්වලආරච්චි එතැනදී හඳුනා ගත්තෙමු. "ඇඟපත සෝදගෙන විවේක ගනිමු" ඔවුහු කීය. ගමන් මළු කූඩාරම තුළ තබා ඇඳුම් ලිහිල් කරමින් හාත්පස පිරික්‌සුවෙමි. අනන්තය තෙක්‌ පැතිර ගිය මහ වනය අඳුර ගිලගෙන තිබිණි. බකමූණකුගේ ගුප්ත හඬ ඈතින් ඇසිනි. ක්‍ෂිතිජයේ දිස්‌වෙන එළිපෙළක්‌ දුටු මා ඒ විමසුවෙමි. "ඔය කාතන්කූඩි නගරය රෑට කලපුවට වැටිලා දිළිසෙන විදුලි එළි තමයි පේන්නේ" නිමල් කීය. ඇඟපත දොවාගැනීමට වතුර ටිකක්‌ තිබුණොත් හොඳය. අප සිටින තැන පසෙකින් ස්‌වාභාවික ගල් කෙටියක ජලය ටිකක්‌ තිබිණි. "ඔය වතුර හොඳ නෑ. අපි ටිකක්‌ පහළට බහිමු" කන්දේ අනික්‌ බෑවුම දෙසට අත දිගු කරමින් උපුල් කීය. බෑවුමේ ටික දුරක්‌ වන්නට ඇතැයි මට සිතිනි. බෑවුමේ කිලෝමීටරයක්‌වත් බසින්නට ඇත "මෙහෙම ගිහින් නාල වැඩකුත් නෑ" අප නඩයේ සරත් අයියා කියයි. හිටිහැටියේ එකෙක්‌ ගල් කණුවක පය පැකිලී ඇද වැටෙයි. "ඕව ඔක්‌කොම නටබුන් උදේට බලමු" මඩගම්මන මහතා කියයි. නෑමෙන් පසු රෑ කෑමය. අප වාඩිලාගෙන සිටි ස්‌ථානයට මඳක්‌ ඔබ්බෙන් රාත්‍රි ආහාරය පිළියෙල වේ. ගල් තලාව කෙළවර තැනූ තාවකාලික මඩුවක කුප්පිලාම්පු එළියෙන් කීප දෙනෙකු ගජරාමෙට වැඩෙහි යෙදී සිටිති. හිස්‌ කුරුම්බා කෝම්බ තුළට භූමිතෙල් දමා රෙදි පාන්කඩ ඔබා තැනූ විලක්‌කු ගල් තලාවේ තැනින් තැන දැල්වේ. මෙම දර්ශනයෙන් පුරාණ රජ දවස රණ බිමක්‌ සිරි ගන්වයි. නෙළුම් කොළ වලට බෙදෙන රෑ කෑම වේල දුටු මට පුදුම සිතිනි. රතු සිංහල රතු හාලේ බත අල කොළ ඇඹුල බඳින ලද වැව් මාළු පොල් සම්බෝල මේ ආදී රසයෙන් අනූන තරුපහේ කෑමක්‌ ගල් තලාව මත පිළියෙල වී ඇත. තෝස, බිත්තර ආප්ප, බත් නොකන අයටය. මහ කැලේ මැද ගල් තලාවක "බිත්තර ආප්ප" කාංචන මගේ කනට කොඳුරයි. මේ සියල්ලම උපුල්, නිමල්, බෝවත්ත ත්‍රිත්වය හා ඔවුන්ගේ මිතුරු කැළගේ නිමැවුම්ය. "අපි මේ වැඩේට ලෑස්‌ති වුණේ සතියකට කලින්" බෝවත්ත කියයි. ඈත ඈත තොප්පිගලින් හමා එන සිහිලැල් මාරුතය අප වැතිර හුන් ගල්තලාව මතින් ලතාවකට ඇදී යයි. ගතේ වෙහෙස කොහෙන් ගියාද නැත. ගල් තලාවේ වැතිරී රාත්‍රි අහසේ චමත්කාරය බලා සිටියෙමි. බඩ පැලෙන්නට ඇද බෑ කෑම වේලත්a පරිසරයේ නිහඬ චමත්කාර බවත් මා නින්දට ඇද දමන්නට ඇත. ජීවිතයේ මෙතෙක්‌ නෑසූ කුරුළු කෙවිලි කිචි බිචියෙන් පිබිදුනෙමි. උදා මීදුම පහළ නිම්නයේ ගම්මාන වෙලාගෙන ඇත. නවකිරිආරු වැව පමණක්‌ රිදී පැහැයෙන් පෙනේ. "ඔය පහළ තියෙන්නේ අරන්තලාව. මංගලගම ආදි ගම්මාන පසුගිය කාලයේදී කොටි ඔය ගම්මානවල අහිංසක මිනිස්‌සු මැරුවේ මේ කැලේ හැංගිල ඉඳගෙනයි" නිමල් මහතා කියයි. උදෑසන ආහාරයද රාත්‍රියේම වැනිය. ඉන් මා සිත් ගත්තේ කුරහන් පිට්‌ටු සහ වනයෙන් නෙළාගත් වදය පිටින්ම තිබූ නෑවුම් මී පැණි මුට්‌ටියටයි. මී පැණි සමග කුරහන් පිට්‌ටු තරම් රස අහරක්‌ මා මෙතෙක්‌ අත්විඳ නැත. රාත්‍රියේ නොදුටු වනගත ප්‍රදේශය දැන් පැහැදිලව දර්ශනය වේ. මා සිටිනුයේ අනුරාධපුර පූජා භූමියේද යන්න මොහොතකට සිතුනි. හොඳින් දෙනෙත් පිසදා නැවත බැලීමේ නෙතට හසුවන මානයේ ඇත්තේ බිම වැටුණු ගල් කණුය. කැඩී බිඳී ගිය හෝ නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුවූ ස්‌ථූපය. "අපි දැන් ඕවා ළඟටම යනවා." සෙනරත් මහතා කියයි.

රජගල ඓතිහාසික පුරා විද්‍යා භූමිය අම්පාර මහනුවර ප්‍රධාන මාර්ගයේ රජගල තැන්න හන්දියෙන් හැර ගිය තැන හමුවන අපේ ඉතිහාසයේ එක්‌තරා සුවිශේෂී කාල වකවානුවක්‌ කියාපාන ප්‍රදේශයකි. මෙහි ප්‍රමාණය අක්‌කර 1600 කි. විශාලත්වයෙන් දෙවැනි වනුයේ අනුරාධපුර රාජධානියට පමණි. දැනට වසර 70 කට පමණ පෙර ස්‌ථානය හඳුනාගෙන ඇති නමුත් අවධානය යොමුව ඇත්තේ 2005 වසරේදී බව ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියයි. මෙම ඓතිහාසික භූමිය ආශ්‍රිතව ක්‍රි.පූ. 1 වන සහ 2 වන සියවස්‌වලට අයත් සෙල්ලිපි 54 ක්‌ හා පුරාවිද්‍යා ස්‌මාරක 580 ක්‌ මේ වන විට සොයාගෙන තිබෙන අතර මේවායින් 50% ගවේෂණය කොට ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති. මෙහි විශේෂත්වය වන්නේ ලංකාවට බුදු දහමේ සදහම් පණිවුඩය

රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේගේ සහ උන්වහන්සේ සමග පැමිණි ඉට්‌ටිය තෙරුන්ගේ භෂ්මාවශේෂ නිධන්කොට තැනූ ස්‌ථූපයක්‌ හඳුනා ගැනීමයි. අනුරාධපුරයේ මිහින්තලයට වැඩි මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ ඈත එපිට රජගල නිධන් කිරීම හඳුනා ගැනීම අපේ ඉතිහාසඥයනට නැවත සිතා බැලීමට කරුණක්‌ නොවන්නේද?

"මිහින්තලයේ සෙල් ලිපියත් මෙම සෙල්ලිපිය සහ ස්‌ථූපය නිසා මහින්දාගමනය තහවුරු වෙනවා. මෙම ස්‌ථානයට අනුරාධපුරයේ සිට කිලෝ මීටර් 260 ක දුරක්‌ තිබෙනවා. ලන්පිතිස්‌ස නම් රජ කෙනෙකු විසින් මෙම පූජාභූමිය ඉදිකරන ලද බවත් ඔහුගේ බිරින්දෑවරු සතර දෙනෙකු විසින් කරන ලද ලෙන් පූජාවක්‌ පිළිබඳවත් සෙල්ලිපිවල සඳහන් වෙනවා. ලන්පිතිස්‌ස සද්ධාතිස්‌ස රජුගේ පුතෙක්‌. ඔහු පුත්‍රයාට මෙම ප්‍රදේශයේ පාලනය භාරදී අනුරාධපුරය පාලනයට ගිය බවත් අපේ වංශකතාවල සඳහන් වෙනවා. "පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා මෙහි ඉතිහාසයට ගොස්‌ කතා කරයි. සී. ඩබ්. නිකලස්‌ මහතාට අනුව බක්‌කිඇල්ල ප්‍රදේශයේ ඇති නටඹුන් ගිරි කුම්බිල විහාරය බවට හඳුනාගෙන ඇති නමුත් තවත් මතයකට අනුව කිරිකුම්බිල මෙම ස්‌ථානයයි. ගිරිකුම්බිල යනු නිදා සිටින කිඹුලෙකු සිහිගන්වන නමක්‌. මෙම නටබුන් ඇති කඳුවැටිය ඈතට දිස්‌වන්නේ එම හැඩයටයි. 8 වන සියවසේ 2 වන මහින්ද රජු සමයේ අරිත්තරා වෙහෙර යනුවෙන් හඳුන්වාදී ඇත්තේද මෙම ස්‌ථානයයි.

පෙර රජ දවස මහරහතුන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩ වාසය කළ බවට දෙස්‌ දෙන ඒ මහා පින් බිමේ ඇවිද ගියෙමු. නිශ්චිත වශයෙන් හඳුනා නොගත් ගොඩනැඟිලි රාශියක නෂ්ඨාවශේෂ විසිර පැතිර ඇති මේ පින්බිමේ සංඝාවාස, පොහොය ගෙය, ස්‌ථූප මේ වන විට ගවේෂණය කොට ඇත. ගල් සහ දැව ආශ්‍රිතව ඉදිකළ ගොඩනැඟිලි අනුරාධපුර යුගයට සමගාමීය.

"මෙහි තිබූ ස්‌ථූප ශෛලමය බව පැහැදිලියි. නමුත් හින්දු ආභාෂය අනුව අපගේ ස්‌ථූපවලට එකතු වූ යූපස්‌ථම්භ මේ අවට තිබෙනවා. මේවා ගල් කණු විශේෂයක්‌. මෙය දේවතා කොටුවේ සිරස්‌ ලෙස සිදුවා එයට උඩින් ගල් පියෑස්‌සක්‌ රඳවා තිබෙනවා. එක්‌ තැනක නැවතුණු දිසානායක මහතා පෙන්වයි. එතැන සංඝාවාසයට පිවිසෙන පඩි පෙළේ කොරවක්‌ ගල් එලසෙම දක්‌නට ඇත. පඩි පෙළ ගිලා බැස තිබේ. තවත් මඳ දුරක්‌ පියමං කළ තැන එවැනිම නටබුන් රාශියකි. ඇත්තටම මේ පින් බිම එකල කොතරම් ජනාවාසව තිබෙන්නට ඇතිදැයි මෙම නටබුන් දෙස්‌ දෙති. ඉන් ඔබ්බෙහි එකම ස්‌ථානයක ස්‌ථූප දෙකක නෂ්ඨාවශේෂය මෙවැනි ස්‌ථානයක්‌ අපේ රටේ හමුවන්නේ කලාතුරකිනි. මිහිඳු හිමිගේ හා ඉට්‌ටිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ බවට සඳහන් සෙල් ලිපිය හමුවන තැන තිබෙන්නේ කුඩා ස්‌ථූපයක්‌. පසු කලෙක එතැන තිබූ භෂ්මාවශේෂ මෙම ස්‌ථානයට රැගෙනවිත් වෙන වෙනම තැන්පත් කලා වන්නට පුළුවන්. දිසානායක මහතා තවත් අදහසක්‌ ඉදිරිපත් කරයි.

මතු සම්බන්ධයි
සටහන සහ ඡායාරූප තිලක්‌ පුෂ්පකුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.