පුරාණ ලංකාවේ වනවාසී ආරාම

ක්‍රිස්‌තු පූර්ව තෙවැනි සියවසේ දී මෙරට සංඝ ශාසනය ස්‌ථාපිත වී බෞද්ධ ආරාම ඉදි වෙන සමාරම්භක අවස්‌ථාවේ නම් වශයෙන් වෙන් වෙන් ව නොතිබුණ ද පැහැදිලි ව ම ආරඤ්ඤික හා ග්‍රාමවාසී නමින් භික්‌ෂු කණ්‌ඩායම් දෙකක්‌ දක්‌නට ලැබේ. නිදසුනක්‌ වශයෙන් එකල අගනුවර වූ අනුරාධපුර ඇතුළු නුවරට ඉතා සමීපව එකල තිස්‌සාරාමය නමින් හැඳින්වූ මහාවිහාරයත්, එසේම ථූපාරාමයත්, පසෙකින් සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්‌ෂුණීන් සඳහා වූ හත්ථාල්හක මෙහෙණවරත් දක්‌නට ලැබුණ අතර මෙකී නාගරික ප්‍රදේශයෙන් බැහැරව අම්බස්‌ථලයෙහි පර්වත හා ලෙන් ඇසුරු කරමින් අටසැට ලෙන් විහාරය ද වෙස්‌සගිරිය හා ඉසුරුමුණිය ආදී විහාර ද ජනාවාස ප්‍රදේශයෙන් ඈත්ව ආරඤ්ඤික භික්‌ෂූන්ගේ වාසස්‌ථාන බවට පත් විය. මහජනතාව අතර ධර්ම ප්‍රචාරක කටයුතු වලදී ග්‍රාමවාසී විහාර වැදගත් වූ අතර භික්‌ෂූන්ගේ බණභාවනා සඳහා ආරඤ්ඤික භික්‌ෂු ආවාස අවශ්‍ය විය. පසු කාලය වන විට මෙම ආරණ්‍යවාසී භික්‌ෂූන් වහන්සේලා විශුද්ධි මාර්ගයේ සඳහන් වන යම් යම් ධුතාංග රකින පිරිස්‌ වශයෙන් ප්‍රසිද්ධියට පත් විය. මේ අතරින් පාංශුකුලික යන්න බෙහෙවින් ජනප්‍රසාදය දිනාගත් ධුතාංගයක්‌ විය. පසු කාලය වන විට මෙකී ධුතාංග රැකීමේ යම් ලිහිල් බවක්‌ දක්‌නට ඇතත් සමාරම්භක අවස්‌ථාවේ එකී ධුතාංග රැකීමේ දැඩි පිළිවෙතක්‌ පැවතී ඇත. ඒ බව සනාථ වන්නේ අභයගිරි වාසීන්ගේ ග්‍රන්ථයක්‌ වන විමුත්ති මග්ගයේ පාංශුකූලිකයන් විසින් පූජාවක්‌ ලෙස චීවරයක්‌ පිළිගැනීම හෝ ආරඤ්ඤිකයින් ගමකට නුදුරින් වාසය කිරීම විනය නීති කඩකිරීමක්‌ වශයෙන් සඳහන් ව තිබීමෙනි. එහෙත් ක්‍රිස්‌තු වර්ෂ පස්‌වැනි සියවස වන විට මේ තත්ත්වය වෙනස්‌ ව ගොස්‌ ඇති සැටි පෙන්වන අටුවාචාරී බුද්ධඝෝෂ හිමි සොහොන් බිමෙහි දමා තිබූ කඩමාල්ලක්‌ ඇහිඳ පාවිච්චියට ගන්නා දැඩි පිළිවෙත් රකින පිරිස භික්‌ෂූන් විසින් ඇහිඳ ගත යුතු යෑයි සඳහන් කර තැබූ කඩමාල්ලක්‌ ඇහිඳ පාවිච්චියට ගන්නා මධ්‍යස්‌ථ පිළිවෙත් රකින පිරිස, හා තමාගේ පා මුල තබන කඩමාල්ලක්‌ පිළිගන්නා මෘදු පිළිවෙත් රකින පිරිස යනුවෙන් පාංශුකූලිකයින් වර්ග තුනකට බෙදා දක්‌වා ඇත. මේ ආකාරයෙන් ආරඤ්ඤිකයන් ද භාවනා කරන අවස්‌ථාවේදී පමණක්‌ ඒ සඳහා වනයට පිවිසෙන පිරිසක්‌ ද සිටි බව සඳහන් කර තිබේ.

එහෙත් අනුරාධපුර යුගයේ අවසානය දක්‌වා ම ක්‍රියාත්මක වූ හා නගරයෙන් හා ගමින් දුරස්‌ථ ප්‍රදේශයක පිහිටියා වූ වනවාසී ආරාමවල නටබුන් රැසක්‌ ම මේ වන විට පුරාවිද්‍යාඥයින් විසින් අනාවරණය කොටගෙන ඇත. නිදසුන් වශයෙන් අනුරාධපුරයේ බටහිරාරාම, වෙහෙරබැඳිගල හෙවත් කිරළාගල, රිටිගල, මරදන්කඩවලට නුදුරු මානාකන්ද, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ අරන්කැලේ වැනි පැරණි වනවාසී විහාර දැක්‌විය හැකිය. පසුකාලය වන විට භික්‌ෂූන් අතර ප්‍රතිපත්තිය රැකීම වැදගත්ද නැත්නම් පර්යාප්තිය රැකීම වැදගත්දැයි අදහස්‌ ඉදිරිපත් ව පර්යාප්තිය රකින පිරිස බලවත් වී ඇත. ඒ අනුව ග්‍රන්ථධුරය හා විදර්ශනාධුර යනුවෙන් භික්‌ෂූන් කොටස්‌ දෙකකට බෙදුණි. ග්‍රන්ථධුරය රකින පිරිස්‌ ධර්ම ග්‍රන්ථ පිටපත් කරමින් ලියමින් දේශනා පවත්වමින් ඒවා ආරක්‍ෂා කිරීමේ කාර්යයෙහි නියෑළුණ අතර විදර්ශනාධුර රකින පිරිස ප්‍රතිපත්ති රකිමින් භාවනාදියෙහි යෙදුණහ. එසේ විදර්ශනාධුරය රැකි භික්‌ෂූන් අනුරාධපුර යුගයේ වැඩි වශයෙන් හැඳින්වූයේ පියංගල් විහාර වාසීන් ලෙසය. ශිලාලිපිවල මෙම විහාර පතනගල, හෝ පදනගල යනුවෙන් ද සඳහන් වන අතර පාලි බසින් පධානඝර නම් විය. ආරම්භයෙහි මෙම පියංගල් විහාරවාසී ආරඤ්ඤික භික්‌ෂූන් පිළිබඳ ව ජනතාව තුළ ඇතිව තිබූ ගෞරවය හා පිළිගැනීම නිසාදෝ පසුකාලය වන විට නගර හා ගම් ආශ්‍රිත ව පිහිටි මහාවිහාර සම්ප්‍රදායේ විහාර තුළ ද පියංගල් විහාරවල දක්‌නට ලැබෙන භාවනා කිරීමට යොදාගත් පධානඝර තිබීම දක්‌නට ලැබේ. මේ වන විටත් එවැනි පධානඝරයන්හි නටබුන් අනුරාධපුර මහා විහාරය මෙන් ම අභයගිරියෙන් ද ඉසුරුමුණියෙන් ද ඉතා මෑතක දී සොයාගෙන ඇත. ආරණ්‍යවාසි පියංගල් විහාරවල වැඩවිසූ භික්‌ෂූන්ගේ පිළිවෙත් පිළිබඳ ජනතාව තුළ වූ ආකර්ෂණීය භාවය නිසා ම එකී ආරාම වලට ලැබුණ මහත් වූ අනුග්‍රහයන් නිසා දෝ පසුකාලය වන විට ආරම්භයේ දී රැක්‌ක දැඩි ප්‍රතිපත්ති වෙනුවට ලිහිල් මෘදු ප්‍රතිපත්ති රැකීමට පෙළඹී ඇත. නිදසුන් වශයෙන් පස්‌වැනි අග්බෝ රජු මෙම විහාරවලට වටිනා වස්‌ත්‍ර පිළිගැන්වීමත් හත්වැනි අග්බෝ විසින් ඔවුනට රාජකීයයන්ට ගැලපෙන ආහාර සැපයීමට කටයුතු සැලැස්‌වීමත්, එම ආරාමවලට දැසි දස්‌සන් කම්කරුවන් මෙන් ම ආදායම් මාර්ග සැපයීමත් වංසකථාවේ සඳහන් ව තිබීම දැක්‌වීම හැකිය. එපමණක්‌ නොව මෙම භික්‌ෂූන්ගේ සිල්වත් බව හා ප්‍රතිපත්ති ගරුක කම පිළිබඳ ව ජනතාව කෙතරම් උනන්දුවක්‌ දැක්‌වූයේද යත් එකී භික්‌ෂූන්ගේ ඥාතීන්ට පවා ගරුකරමින් තෑගි බෝග දී ඇත. උදාහරණ වශයෙන් සේන ඉලංග විසින් ඔවුනට රෙදි සහ සහල් බෙදාදීමක්‌ මහාවංසයේ සඳහන් වීම දැක්‌විය හැකිය.

එසේ ම මෙම භික්‌ෂූන්ට හතරවැනි උදය රජු විසින් මහත් වියදම් දරා මිල දී ගත් පිරිකර හා වෙනත් භාණ්‌ඩ බෙදා දීමත් හතරවන මහින්ද රජු විසින් ඔවුනට නිතිපතා පාත්‍ර පුරවා සුදුලූණු ගම්මිරිස්‌ තිප්පිලි ඉඟුරු හකුරු අරලු බුලු නෙල්ලි ගිතෙල් මී පැණි ආදි ද්‍රව්‍ය බෙහෙත් පිණිසත් පෙරවන ඇතිරිලි, බුමුතුරුණු, සිවුරු හා සැපපහසුව පිණිස වූ වෙනත් බොහෝ ද්‍රව්‍ය ද පූජා කිරීම මහාවංසයේ සඳහන් කර තිබේ.

විදර්ශනා ධූරය දැරූ මෙකී භික්‌ෂූන් වැඩවාසය කළ පියංගල් ආරාම පිළිගත් එක ම සම්ප්‍රදායකට අනුව නිර්මාණය කර ඇත. එම නිර්මාණ සැලැස්‌ම ඉන්දියාවේ හෝ වෙනත් රටක දක්‌නට නොලැබෙන්නකි. එහෙයින් එය මෙරටට ආවේණික ආරාමික ගොඩනැඟිලි විශේෂයක්‌ සේ සැළකිය හැකිය. එම නිර්මාණයන් කිරීමේ දී මෙම භික්‌ෂූන්ගේ අරමුණු හා පිළිවෙත් ඒ කෙරෙහි බලපා ඇත. උදාහරණයක්‌ වශයෙන් උන් වහන්සේලාගේ අරමුණ වුයේ ලෞකික සැප විඳීමෙන් බැහැර වී විමුක්‌තිය පැතීම නිසා මෙකී විහාර තුළ ග්‍රාමවාසී විහාරවල මෙන් සිත් පිනවන කැටයම් මෝස්‌තර සහිත මුරගල් හෝ සඳකඩපහණ හෝ එවැනි දේ දක්‌නට නොලැබේ. බටහිරාරාම පියංගල් වල කැසිකිළි ගල් පුවරු වල පමණක්‌ කැටයම් මෝස්‌තර යොදා ඇත්තේ මෙකී භික්‌ෂූන් විසින් ඒවා ප්‍රතික්‍ෂේප කරන බව දැක්‌වීමට උන්වහන්සෙලාගේ අදහස්‌ අනුව දායකයින් විසින් ඒවා ඉදි කරන්නට ඇති නිසාය. ලංකාව පුරා විසිරි ඇති පැරණි පියංගල් විහාර නටබුන් පිරික්‌සීමේ දී පැහැදිලි වන්නේ සැම කල්හිම සැම තැන ම ඒවා එකම සැලැස්‌මකට අනුව නිමවා තිබුණ බවය. මිදුල් මට්‌ටමින් මීටරයක්‌ පමණ උස්‌ පීඨයක එකකට එකක්‌ ඉදිරියෙන් සිටින සේ නිමවූ ගොඩනැඟිලි දෙකකින් මෙය සමන්විතය. එක්‌ ගොඩනැඟිල්ලකින් අනික්‌ ගොඩනැගිල්ලට යැම සඳහා ගොඩනැඟිලි දෙක සම්බන්ධ කෙරෙන තනි ගල් පුවරුවකින් යුක්‌ත පාලමක්‌ සවිකර ඇත. මෙයින් පසුපසින් ඇති ගොඩනැඟිල්ල භාවනානුයෝගී භික්‌ෂූන් වැඩ සිටි කුටිය වේ. ඒ බව තහවුරු වන්නේ එම ගොඩනැඟිල්ලේ වහළ දරා තිබූ ගල්කණු ඉතිරිව තිබීමත් ගරාවැටුණු වහළට අයත් උලු තැන්පත්ව තිබීමත් සමහර තැන්වල දී බිත්තිවල ගරාවැටුණු ගඩොලු සොයාගෙන තිබීමත් නිසාය. එසේ ම වෙහෙරබැඳිගල පධානඝරවල මෙම ගොඩනැඟිලි තුළ කුටි කීපයක්‌ තිබූ බවට සාධක වශයෙන් එක්‌ එක්‌ කුටිය වෙන් කෙරුණු බිත්තිවල අත්තිවාරම් හමු වී ඇත. එක්‌ එක්‌ කුටියක්‌ එක්‌ භික්‌ෂූවකට පමණක්‌ ජීවත් විය හැකි පරිදි කුඩා ප්‍රමාණයෙන් යුක්‌ත වී ඇත. එහෙත් ඊට ඉදිරියෙන් ඇති ගොඩනැඟිල්ලෙහි එකී ලක්‌ෂණ කිසිවක්‌ දක්‌නට නොලැබෙන හෙයින් එය පොදු කටයුතු සඳහා භාවිත විවෘත මණ්‌ඩපයක්‌ වශයෙන් පැවැති බව සැලකේ. මෙම පියංගල් විහාරවල භික්‌ෂූන්ගේ අවශ්‍යතා සපුරාලීමට පැමිණෙන කැපකරු දායකයන් හමුවන ස්‌ථානය වශයෙන්ද, විහාරයේ වැඩ වාසය කරන නවක භික්‌ෂූන් උපාධ්‍යායන් වහන්සේ හමුවීමට යොදා ගන්නා ස්‌ථානය වශයෙන්ද මෙය යොදාගන්නට ඇත. භාවනාවේ යෙදෙන නවක භික්‌ෂූන් වහන්සේලාට ඒ සඳහා උපාධ්‍යායන් වහන්සේගෙන් කමටහන් ලබාගත යුතුය. අනතුරුව වනයේ රුක්‌මුලක්‌ ආදි ස්‌ථානයක සිට භාවනා කරන අතර ගැටලු මතුවිය හැකිය. එකී ගැටලු විසඳා ගැනීම සඳහා නැවත උපාධ්‍යායන් වහන්සේ හමුවිය යුතුය. මෙම ගොඩනැඟිල්ල එසේ කුටිය තුළ වෙසෙන භික්‌ෂූන් හමුවීමට යොදාගත් ස්‌ථානයක්‌ බව සනාථ කෙරෙන තවත් සාධකයක්‌ ඇත. එනම් පාලමක්‌ වැනි ගල් පුවරුව දෙපසින් පහත මිදුලට බැසීම සඳහා දෙපසින් පියගැට පෙළ දෙකක්‌ ඉදිකර තිබීමය. කුටිය තුළ සිටි භික්‌ෂූන් වහන්සේ ඉන් පිටතට පැමිණ ගල් පුවරුව මත වාඩි වී සාකච්ඡා කළ පසු පැමිණි පිරිස ඉදිරි දොරින් ම පිටවී යන්නේ නම් අනිවාර්යයෙන් ම භික්‌ෂූවට පිටුපා යා යුතුය. එය අගෞරවයක්‌ සේ පුරාණයේ සළකා ඇති බව පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ ගන්ධකුටි සම්ප්‍රදායේ බුදු පිළිම ගෙවල්වල ද බුදුපිළිමයට වැඳ ප්‍රදක්‌ෂිණා කිරීමෙන් අනතුරු ව ඉදිරි දොරින් පිටවී යැමේ දී බුදුන් වහන්සේට පිටුපස හැරවීමට සිදුවන හෙයින් එකී අගෞරවයෙන් වැළකීම සඳහා අන්තරාලයේ දකුණු පැත්තේ බිත්තියේ කුඩා දොරටුවක්‌ ඉදිකර තිබීමය. අදහස්‌ වශයෙන් මේ දෙක ම සමානය. මෙම මණ්‌ඩපය විශූද්ධි මාර්ගයේ සඳහන් කසින වලින් එකක්‌ පුහුණු කිරීමට යොදාගන්නට ඇතැයි ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා පවසා ඇත. තේජෝ හෙවත් ගින්න අරමුණු කරගෙන කරුනු ලබන එම භාවනාවේ දී ගිනි මැලයක්‌ දල්වා ඒ ඉදිරිපිට වියතක පමණ සිදුරක්‌ කළ හම්කඩක්‌ හෝ ආවරණයක්‌ එල්ලා සිදුර තුළින් ගින්න දෙස නෙත් යොමා මෙම භාවනාව සිදු කෙරේ. මෙම මණ්‌ඩපය තුළ එය සිදු කෙරුණේ දැයි දැක්‌වීමට ස්‌ථිර සාක්‌ෂි නැත.

රිටිගල, මානාකන්ද, බටහිරාරාම වැනි ස්‌ථානවල පිහිටීම සළකා බැලීමේ දී භික්‌ෂූන්ට භාවනාව සඳහා සිත එකඟ කර ගැනීමට පහසු නිසංසල පරිසරයන් ඒ සඳහා තෝරාගෙන ඇති බව පෙනේ. උදාහරණයක්‌ වශයෙන් බටහිරාරාමය පිහිටා ඇත්තේ පුරාණ සොහොන් බිමට එපිටින් වීම දැක්‌විය හැකිය. මෙරට ඉතිහාසයේ රාජධානි වෙනස්‌ වුව ද වනවාසී ආරාම භික්‌ෂූ සම්ප්‍රදාය වෙනස්‌ වී නොමැති බවට සාක්‌ෂි හමුවේ. දඹදෙණි සමයේ ධර්මකීර්ති මහ තෙරුන් වැඩ විසූ පලාබත්ගල ආරණ්‍ය සෙනසුනකි. මහපැරකුම්බා රජුගේ සංඝ සංශෝධනයට ප්‍රධානත්වය දුන් දිඹුලාගල කාශ්‍යප හිමි වනවාසී නිකායට අයත් ය ශ්‍රී ජයවර්ධන පුර කෝට්‌ටේ සමයේ වත්තල වනවාසයක්‌ වූ බව සංදේශ සාහිත්‍යයේ දැක්‌වේ. මහනුවර අස්‌ගිරි විහාරයේ ආරම්භය ද වනවාසී පාර්ශ්වය හා සම්බන්ධය. වලස්‌ගල වනවාසී භික්‌ෂූ පරපුරෙන් පැමිණි භික්‌ෂූන් විසින් එය ආරම්භ කොට ඇත. වලස්‌ගල යන්න පාලි බසට පෙරළීමේ දී අච්ජගිරි යනුවෙන් සඳහන් කිරීමක්‌ පසුව ශබ්දාර්ථයට මුල් තැන දෙමින් හෙළ බසට පෙරළීමේ දී අස්‌ගිරි වූ බවත් පෙනේ.


අනූෂි තිසාරා කාරියවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.