ඉරිසියා හිතෙන සංවර්ධනය ඉදිරිපිට කුහකකම

උතුර නැගෙනහිර දෙපළාතේ වර්තමාන සංවර්ධන වැඩපිළිවෙල කොටි නායක කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. ගේ පැසසුමට ලක්‌ව ඇතැයි ඊයේ (29 දා) "දිවයින" සහ "දි අයිලන්ඩ්" පුවත්පත්වල පළ වී ඇත. කේ. පී. කිව්වත් නො කිව්වත් මේ රටේ ඉතිහාසයේ සුවිශාලතම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින්නේ උතුර සහ නැගෙනහිර දෙපළාතේ ය. මෙය රටේ සෙසු ප්‍රදේශවල ජනයාට ඉරිසියා හිතෙන ආකාරයේ සංවර්ධනයකි. සියලු සෞඛ්‍ය පහසුකම්, හොඳ පාරවල්, විදුලිය බලය, ප්‍රවාහන පහසුව, පාසල් ගොඩනැඟිලි යනාදිය මේ දෙපළාත වෙත යැමට ගමන් අරඹා තිබේ. පෘථග්ජනයාට ඉරිසියා හිතෙන නමුදු විය යුත්තේත් මෙයම ය. උතුරත්, කොළඹ තරමට ම සංවර්ධනය වෙමින් පැවතියේ නම් ඊළමක්‌ ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක්‌ කොටි සංවිධානයට ඉතිරි වන්නේ නැත. ඔසාමා බින්ලාදින් ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරට පහර දී ගොඩනැඟිලි දෙකක්‌ බිමට සමතලා කර පෙන්ටගන් ගොඩනැඟිල්ලෙත් පැත්තක්‌ කුඩුකර 3500 ක්‌ ජනයා සංහාරය කළ කල්හි කිසිදු නිව්යෝර්ක්‌ වැසියෙක්‌ තම ගේදොර අත්හැර කෙන්ටකි, ඔහායෝ, මිචිගන් වැනි ගම්බද ප්‍රාන්තයකට පලා ගියේ නැත. හේතුව ඔවුන් සියලු දෙනාම තම භූමිය වූ නිව්යෝර්ක්‌ නුවර සමඟ බද්ධ වී සිටීමය. ඒ නිසා ඔවුන්ට ඒ පළාත අත්හැර යා නොහැක. නිව්යෝර්ක්‌ වැසියන්ට අවශ්‍ය සියලු පහසුකම් නිව්යෝර්ක්‌ නගරයේ තිබිණි. කොටි ත්‍රස්‌තවාදීන් මෙයට වසර 25 කට පමණ පෙර එවකට මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් සහ දැන් ත්‍රි"මල දිස්‌ත්‍රික්‌කයට අයත් කෝකිලායි - නයාරු ධීවර ගම්මාන දෙකට පහර දී මිනිසුන් ගැහැනුන් හා ළමයින් කැති ගෑ විට එහි ඉතිරි වූ ජනයා පැන දිව්වාහ. පසුව අනාථයන් ලෙස ජීවත් වූ ඔවුහු ගත වූ වසර 25 ක කාලය තුළ එකම එක වතාවක්‌ වත් කෝකිලායි - නයාරු දූපත් වෙත ගියේ ද යන්න සැක සහිතය. එහෙත් කෝකිලායි - නයාරු අයත් සකලාංග සම්පූර්ණ ප්‍රදේශ දෙකක්‌ ලෙස පැවතුනේ නම්, යුද හමුදාවේ සහාය ද ලබා ගෙන ඊළඟ කොටි ප්‍රහාරයට සූදානම් වනවා හැරෙන්නට පළාත අත්හැර යැමට ජනයාට සිදුවන්නේ නැත. මෙය හඳුන්වනු ලබන්නේ සමාන සංවර්ධනය යනුවෙනි. මෙය භූමියට එහි ජනයා බද්ධ කර තැබීමට ඉවහල් වන සංකල්පයකි.

උතුර - නැගෙනහිර පුනරුත්ථාපනය කිරීමටත්, දෙමළ ජනයා නැවත එහි පදිංචි කිරීමටත් ආණ්‌ඩුව ගන්නා උත්සාහයට දෙමළ ඩයස්‌පෝරාව සහාය දිය යුතු බව ද ඒ සඳහා තමා විසින් සංස්‌ථාගත කෙරුණු අරමුදලකට මාසයකට ඇමරිකන් ඩොරලය බැගින් පරිත්‍යාග කරන ලෙස ද දෙමළ ඩයස්‌ පෝරාවෙන් ඉල්ලා සිටින බව කේ. පී. සඳහන් කර ඇත. මේ ප්‍රකාශය දෙමළ ජාතික සංධානයේ ද ඇස්‌ අරවන්නකි. මේ රටේ ත්‍රස්‌තවාදය බලවත්ව පැවැති කාලයේ දී දෙමළ ජාතික සංධානය හැසිරුනේ කොටින්ගේ පාර්ලිමේන්තු කණ්‌ඩායම ලෙස ය. එදා තිබූ කයිවාරුවලින් භාගයක්‌වත් අද ඔවුන් වෙත නැති අතර, ඔවුන් තවමත් මේ ගත කරන්නේ කොටි සංවිධානය බිඳ වැටීමෙන් හටගත් කම්පනය කළමනාකරණය කිරීමේ යුගයක ය. ඔවුන් තම සිහින ලෝකයෙන් නැඟී සිටිය යුතු අතර පියවි ලෝකයට අවතීර්ණ වී යථාර්ථයට මුහුණ දිය යුතු ය. දැන් ඔවුන්ට ස්‌වාධීනව කටයුතු කළ හැක. එල්.ටී.ටී.ඊ. තුවක්‌කු තවදුරටත් ඔවුන් වෙත ඉලක්‌ක වී නැත. යුද්ධය නිමාවට පත් වී ඇති බැවින් ආපසු තම මව්බිමට එන ලෙස පිටරටවල සිටින දෙමළ ජනයා වෙතින් ඔවුන් එක්‌ වරක්‌වත් ඉල්ලා සිටියේ ද? අප දන්නා පරිදි නැත.

ඕනෑම ත්‍රස්‌තවාදියකුට ප්‍රචණ්‌ඩත්වය අත්හැර සිවිල් ජීවිත ගත කිරීමට අවකාශ තිබේ. නේපාලයේ මාවෝවාදී නායකයා වූ ප්‍රචන්ඩා නමැති ත්‍රස්‌තවාදියා අවි බිම තබා ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට අවතීර්ණ වී පුෂ්පකමල් ඩාල් ලෙස මහජන ඡන්දයෙන් රටේ අගමැති විය. කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයා වූ ත්‍රස්‌තවාදී කරුණා අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට බැඳී දේශපාලනය කරයි. කොටි සංවිධානයේ ළමා සොල්දාදුවකුව සිටි පිල්ලෙයාන් අද නැගෙනහිර මහ ඇමැතිතුමා ය. එසේ නම් කේ. පී. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දෙමළ ඩයස්‌පෝරාවෙන් කරන ඉල්ලීම පිළිගැනීමේ චර්යාත්මක වුවමනාවක්‌ දෙමළ සංධානයට තිබිය යුතු ය. ඔවුන් එයට සවන් නොදෙන්නේ නම් ඒ තනිකරම කුහක කමට ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.