පිළිකා රෝහලේ රාජකාරි කරද්දී
විකිරණවලින් හානි වූ වෛද්‍ය නිලධාරියාට
ලක්‍ෂ 50 ක්‌ වන්දි ගන්න නඩු තීන්දුවෙන් අවසර


සරත් ධර්මසේන

මහරගම ජාතික පිළිකා රෝහලේ රාජකාරියේ යෙදී සිටියදී ශරීර සෞඛ්‍යයට අහිතකර අයනීකරණ විකිරණ (Ionizing Radiation) වලට හසුවීම නිසා වරින්වර කලාන්තය සෑදීම, දෛනික කටයුතුවලට සුපුරුදු පරිදි නිරත වීමට නොහැකිවීම, වැඩිදුර අධ්‍යාපනය කඩාකප්පල් වීම ආදී අයහපත් සෞඛ්‍ය තත්ත්වයන්ට ගොදුරු වූ රජයේ වෛද්‍ය නිලධාරියකුට රුපියල් ලක්‍ෂ 50 ක අලාභ වන්දියක්‌ රජයෙන් අයකර ගැනීමට කොළඹ දිසා අධිකරණය ඊයේ (30 වැනිදා) ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුවකින් අවසර දුන්නේය.

මේ නඩුවේ පැමිණිලිකරු කොළඹ 08, බොරැල්ල, මැගසින්පාර, අංක 14/2 පදිංචි පී. වසන්ත කුමාර ගමගේ නමැත්තෙකි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය එච්. ඒ. පී. කහඳලියනගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්. කේ. ඒ. එල්. රෙජිනෝල්ඩ් කුරේ, හිටපු සෞඛ්‍ය ඇමැති පී. දයාරත්න, මහරගම ජාතික පිළිකා ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්. ඒ. යසන්ත ආරියරත්න හා නීතිපතිට එරෙහිව රුපියල් එක්‌කෝටි විසිපන් ලක්‍ෂයක අලාභ වන්දියක්‌ ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිලිකරු විසින් නඩුව ගොනුකර තිබිණි.

පැමිණිලිකරුවන් කියා සිටියේ මහරගම පිළිකා රෝහලේ ක්‍රියාත්මක වෙමින් තිබූ රැල්ස්‌ටන් යන්ත්‍රයෙන් විකිරණශීලී ද්‍රව්‍ය බැහැරවී තිබූ කාමරය තුළ සිටියදී ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර අයනීකරණ විකිරණවලට නිරාවරණය වූ බවයි.

එම යන්ත්‍රය නිසියාකාරව නඩත්තු නොකිරීමේ හේතුවෙන් හා තවත් විවිධ හේතූන් නිසා විකිරණශීලී ද්‍රව්‍ය යන්ත්‍රයෙන් බැහැරවීම වැළැක්‌වීමට බලධාරීන් නිසි අවශ්‍ය පියවර නොගැනීම නොසැලකිලිමත්කම හා රාජකාරි යුතුකමක්‌ පැහැර හැරීමක්‌ වන බවයි. එනිසා තමා ශාරීරික වශයෙන් එවැනි බෙලහීන තත්ත්වයකට පත්වීමට ද එවැනි වගකිවයුතු බැවින් සාධාරණ වන්දියක්‌ සාධාරණ අලාභ වන්දියක්‌ අයකර ගැනීමට තමාට නෛතික අයිතියක්‌ ඇතැයි ද පැමිණිලිකරු කියා සිටියේය.

දැනට වසර 07 කට පමණ උඩදී පවරා තිබූ මෙම නඩුව විභාග කර පැමිණිල්ලේ වාසියට තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවේ කොළඹ හිටපු අතිරේක දිසා විනිසුරු එම්. එස්‌. කේ. බී. විඡේරත්න මහතා විසිනි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා හා අධිනීතිඥ හිරාන් ද අල්විස්‌, සුගත් කල්දේරා, චානක ජයමහ යන මහත්වරු පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටියහ.

ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සෝභිත රාජකරුණා මහතා විත්තියට පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.