සිංහල සංගීතය හැදෑරීම සහ රසාස්‌වාදනය සඳහා විශ්ලේෂණාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව

සිංහල සංගීතය හැදෑරීමේදී සහ රසාස්‌වාදනයේදී සංගීතයේ අභ්‍යන්තරික සංරචක පිළිබඳ අවධානය යොමු වන්නේ මඳ වශයෙනි. මේ නිසා සංගීතය නිතරම ගුප්ත කලාවක්‌ ලෙස සලකනු ලබන අතර, එය විශ්ලේෂණාත්මක ලෙස අංග උපාංග වෙන්කර හඳුනා ගැනීමට උත්සාහ කිරීමක්‌ දක්‌නට නැත.

සම්භාව්‍ය සංගීතයේදී මෙන්ම ජන සංගීතයේදීද එවැනි සංගීත සංරචක පිළිබඳ අවධානයක්‌ යොමු කරන්නේ නම් සංගීතය පිළිබඳ වඩාත් නැඹුරු සහ හෘදයාංගම අවබෝධයක්‌ ලබාගත හැකි අතර, සංගීත රසිකයාට පහසුවෙන් සංගීතයේ යම් යම් අංග හඳුනා ගැනීමට ඉඩ ලැබේ. එමෙන්ම ඒ ඒ සංගීත සම්ප්‍රදායන් තුළ පවතින සුවිශේෂතා සහ සමානතා ඉන් අවබෝධ කරගත හැක. එවැනි විශ්ලේෂණාත්මක ප්‍රවේශයක්‌ අනුගමනය කිරීමෙන් විවිධ සංගීත සම්ප්‍රදායන් තුළනාත්මක ලෙස හැදෑරීමට හැකි වන අතර සංගීතයේ සමාජවිද්‍යාත්මක වටිනාකම් හැදෑරීමට පහසු වේ.

එවැනි විශ්ලේෂණාත්මක හැදෑරීමක අවශ්‍යතාව වර්තමාන සිංහල සංගීත අධ්‍යාපනය තුළද තිබේ. සංගීත ශිෂ්‍යයාගේ විශ්ලේෂණාත්මක බුද්ධිය වර්ධනය කළ යුතු අතර වෙනත් ලලිතකලාවන්ගේ විශ්ලේෂණාත්මක ප්‍රවේශයයන්ද හැදෑරීමට ඉඩ හැරිය යුතුය. නිදසුනක්‌ වශයෙන් චිත්‍ර කලාවේ දී භාවිතවන විශ්ලේෂණාත්මක ප්‍රවේශයන් පිළිබඳ ශිෂ්‍යයා දැනුවත් කළ යුතුය.

සංගීතය සමන්විත වන එවැනි සංරචකයන් කිහිපයක්‌ පිළිබඳව අවධානය යොමු කිරීම මේ ලිපියේ පරමාර්ථයයි.

ප්‍රථමයෙන් භාෂාව සංගීතය තුළ සංරචකයක්‌ ලෙස ක්‍රියා කරන ආකාරය විමසනු ලබන අතර සංගීතය තම නිර්මාණාත්මක විකසිතවීම තුළ දී භාෂා සංරචකයේ සීමා අතික්‍රමණය කරන සැටි විමසා බලමු.

මිනිස්‌ සිත තුළ හටගන්නා දුක, සතුට පාළුව, භීතිය වැනි විවිධ මනෝභාවයන් ප්‍රකාශයට පත්කිරීම තුළින් ගායනය හා වාදනය බිහි වූ බව පැවසේ. සංගීතය, විශේෂයෙන් ගායනය එලෙස භාවමය කථනයක්‌ තුළින් බිහිවූ නමුත් ගායනය එහි ප්‍රභවයේ සිටම විවිධ සංගීත සංරචක ඔස්‌සේ කථනය ඉක්‌මවමින් සුවිශේෂ පෞරුෂයක්‌ ලබා ගන්නට සමත් විය. මේ නිසා සාමාන්‍ය කථනයට හා ගායනයට එකම භාෂාවක්‌ භාවිත කරන ලද නමුත් ඒ භාෂාව තුළ සුවිශේෂ ගායනීය භාෂාවක්‌ද වර්ධනය විය. එලෙස ගායනය තුළ භාෂාව සුවිශේෂ ආකාරයකට සකස්‌වීමේදී සංගීත භාණ්‌ඩවල වනීන්ට ලංවීම සඳහා භාෂාව විසින් ගන්නා ලද විශේෂ උත්සාහය සංගීතාත්මක භාෂාවේ වර්ධනයට පිටිවහල් විය.

එමෙන්ම සාමාන්‍ය කථන භාෂාවේ සහ ගායනා භාෂාවේ ස්‌වර පරාසය එකිනෙකට වෙනස්‌ය. එකම අක්‌ෂරය හෝ අක්‌ෂර පොකුරු හෝ ගායනයේදී සුවිශේෂ ආකාරයකට උච්චාරණය වේ. මේ නිසා සංගීතාත්මක භාෂාවෙන් කතා කිරීම හෝ ලිවීම හෝ ගැටලු සහගතය. තවද උගුරෙන් උපදින ශබ්දයට අමතරව සමස්‌ත ශරීරයම කම්පනය කිරීමෙන් වනීන් මතුකර ගන්නා අවස්‌ථා ගායනයක තිබේ.

සංගීතයේ ඇතුළත් භාෂාත්මක සංරචක පරීක්‍ෂා කිරීමේදී කවිය සහ සංගීතය අතර පවත්නා සම්බන්ධයද විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. කවිය සහ ගායනය අතර සම්බන්ධය ඉතා ඈතට දිවෙන ඉතිහාසයකින් යුතුය. කවියේ භාෂාව වුවත් සංගීතයේදී විශේෂ වෙනස්‌වීම්වලට ලක්‌ වේ. කවිය සම්භාව්‍ය සාහිත්‍යයේ මෙන්ම ජන සාහිත්‍යයේ ද කැපී පෙනෙන අංගයකි. විශේෂයෙන් ජන සාහිත්‍යයේදී කවියේ සංගීතාත්මක හැඩරුව එහි භාෂාත්මක හැඩ රුවට වෙනස්‌ වේ. කවියේ භාෂාත්මක හැඩරුව එහි අක්‌ෂර සංවිධානය පද සංයෝජනය සහ විරිත තුළ දැකිය හැකිය. එනමුත් ජන කවියක්‌ ගායනා කිරීමේදී විරිත තුළ නොමැති සංගීතාත්මක සංරචන ඊට එකතු වේ. නාද සංයුතිය, ස්‌වර තලය, විරාම, යති, අලංකාර ස්‌වන විපුලතාව, තනුව, සහයනය ආදී විවිධ ගතික ජන කවි ගායනයේදී භාවිත වෙයි.

සංගීතයේදී කාලය සහ අවකාශය බෙහෙවින් වැදගත් වේ. කථනයේ කාල අවකාශය ගායනයේ කාල අවකාශයට වඩා වෙනස්‌ය. ගායනයේදී කාලය තුළ පැතිරෙන නාද සංයුති අර්ථ රසයට අතිරේකව විවිධ තාන වර්ණද ප්‍රකාශයට පත් කරයි. සමහරවිට විරිතේ නොමැති තාල මතුකරමින් හා විවිධ හැඩ තල යොදමින් මනෝභාවයන් තීව්‍රර කරයි.

කවියා විසින් ලඝූ ගුරු අක්‍ෂර, විරිත, එළිසමය යනාදී කාව්‍ය ලක්‍ෂණ තුළ පිහිටා ගොඩනගනු ලබන සාහිත්‍ය නිර්මාණයට ගැමියා විසින් නව කාල අවකාශයක්‌ තුළ විවිධ නාද සංයුති නාදතරංග විරාම ආදී සංගීත ගතිකයන් ඔස්‌සේ විශේෂ පෞරුෂයක්‌ ලබාදෙයි. ජන කවි ගායනයේදී භාවිත වන "ඕසේ සහ සීපද ගායනය ජන සංගීතයට ආවේණික අංගයකි එලෙස ද ජන ගායකයා තම ගායනය ඔස්‌සේ ගැඹුරු චින්තාවලියක්‌ එළිදක්‌වයි. ඔහුගේ සමාජය හා සංස්‌කෘතිය ඔහුගේ ගායනය තුළ පිළිබිඹු වේ. උදාහරණයක්‌ ලෙස,

බැද්ද වටට සුසු මොරමල් පිපීලා
සද්දකර බඹරු ඒ වග කියාලා
ඉටිත පැණිත් ලොව හැමටම බෙදාලා
යන්නම් බඹරු දුක්‌මැසිවිලි කියාලා

ඉහත සඳහන් ජන කවිය තුළ නිතැතින් ගලායන රිද්මය මාත්‍රා තුනෙන් තුනේ රිද්මයයි. එය සංගීතයේ 6/8 තාලය ලෙස හැඳින්වේ. මේ තාලය තුළ ඒ ඒ කාර්යානු බද්ධව ගැලපෙන පරිදි සිදුවන ගායනය තුළින් ගැමියාගේ භාව ලෝකය සහ චින්තාවලිය ප්‍රකාශ වෙයි. ගායනය තුළින් ඔහු තම ළය වෙනස්‌ කරනු ලබයි. ඒ අනුව ඉහත සඳහන් ජන කවිය ගායනයේදී අනාඝාතාත්මකව ජනගායනයට සුවිශේෂිත "සීපද" ගායනා ශෛලිය ගණයට ගැනේ.

ඒ අනුව අපට සැබවින්ම ගැමියා හමුවන්නේ ඔහුගේ හෝ ඇයගේ ගායනය තුළදීය. ඒ අනුව ජන කවියක්‌ කියවා ලබන වින්දනය සහ සැබෑ ජන කවියකු එය ගායනා කරනු අසා ලබන වින්දනය අතර බරපතළ වෙනසක්‌ තිබේ. එලෙස ජන ගායනයට සුවිශේෂ පෞරුෂයක්‌ ලැබීමට ගැමියාගේ ශාරීරික ක්‍රියාද හේතු වේ. විවිධ ශ්‍රම කටයුතුවල යෙදුණු ශරීරය ගායනයට උපයෝගී කර ගන්නා විට ගායනයට සුවිශේෂ අංග ලක්‍ෂණ හා ගතිකයන් එකතු වේ. ගොයම් කැපීම, පාරු පැදීම, විවිධ ශාන්තිකර්මයන්හි ගායනයට එකතුවන නර්තනය, මාළු දැල් ඇදීම වැනි විවිධ ශ්‍රම මූලික ක්‍රියා නිසා සංගීතයට එකතුවන ගතික පිළිබඳ ක්‍රමවත් හැදෑරීමක අවශ්‍යතාව වර්තමාන ප්‍රසාංගික කලා දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනෙන්නට තිබෙන තවත් වැදගත් කරුණකි.

සම්භාව්‍ය සංගීතයේදීද එලෙස විවිධ සංගීතමය හැඩතල ගායනයට එකතු කරමින්, කවියට වෙනත් අර්ථකථන සැපයේ. බටහිර සංගීතයේදීද ලෝක ප්‍රසිද්ධ කාව්‍ය, විවිධ සංගීත රචකයන් සම්භාව්‍ය ගායනය සමග ගැඹුරු සංගීත වියමනක්‌ ලෙස, එකිනෙකට වෙනස්‌ ගතිකයන් පෙන්නුම් කරයි. ඇලෙක්‌සැන්ඩර් පුෂ්කින් නමැති සුප්‍රකට රුසියානු කවියාගේ කාව්‍ය ප්‍රබන්ධ සම්භාව්‍ය ගායනයන් සඳහා උපයෝගී කරගෙන ඇති අතර ගායනයේදී කාව්‍යයෙහි අඩංගු නොවන හැඩතල රැසක්‌ පෙන්වයි.

උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතයේදී ද ගීතයෙහි වචන ඉක්‌මවා ගායනය ඉතා උසස්‌ තලයක්‌ කරා ඔසවා තබයි. උත්තර භාරතීය ගායනයේදී රාගයට ආවේණික ගති ලක්‌ෂණ පෙන්නුම් කරමින් රිසි සේ ස්‌වර අතර හඬ පරාසය විහිදුවාලීමට ගායකයාට නිදහස තිබේ. ගීතයෙහි විවිධ පද කොටස්‌ තෝරා ගන්නා ගායකයාට විවිධ ගතිකයන් ඔස්‌සේ එය විස්‌තාරණය කරනු ලබයි.

එලෙස විශ්ලේෂණාත්මක ප්‍රවේශයක්‌ ඔස්‌සේ සංගීතය හැදෑරීමෙන් එහි ඇතුළාන්තය පිළිබඳ මනා අවබෝධයක්‌ ලබාගත හැකිය. සංගීතය කිසියම් මෝහනයක්‌ නිසා උපදින කලාවක්‌ ලෙස නොසලකා එහි සමන්විත වන සංරචක හැදෑරීම වර්තමාන සංගීත අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය වේ.

ඉන්දිකා උපමාලි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.