සංස්‌කරණය : නාරද නිශ්ශංක


අද චිත්‍ර කලාව නන්නත්තාර වෙලා

"මුදල් නැත්නම් චිත්‍ර ශිල්පියෙක්‌ වෙන්න අමාරුයි"
- කලාශූරී ජයසිරි සේමගේ

රටක යුද්ධයක්‌ පවතීනම්, බෝම්බ බිය, වෙඩි හඬ මුළු රටම වසාගෙන සිටී නම් ජනතාවට නිදහසේ හුස්‌ම ගැනීමට ඉඩකඩ තිබේද... පෙර කී පසුබිම යටතේ සමාජයේ ලොකු කුඩා සෑම තරා තිරමකම පුද්ගලයෙක්‌ සිටින්නේ දැඩි මානසික කම්පනයකිනි. මානසික පීඩනයකින් පෙළෙන මෙවන් සමාජයකින් එකිනෙකා කෙරෙහි දක්‌වන ආදරයක්‌ කරුණාවක්‌ බලාපොරොත්තු විය හැකිද... අපේ රටේ අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වී ඇත. අවුරුදු තිහක පටන් අප රටේ ජනතාව පීඩා විඳි මානසික පීඩාව තුරන් වී ඇත. බෝම්බ බිය නැත. වෙඩි හඬ නොඇසේ. සියල්ලෝ සිත් සේ නිදහස භුක්‌ති විඳිති. ඒ නිසාම දැන් එකිනෙකා කෙරෙහි සාමය පතුරුවන්නට, ආදරය කරුණාව පෙන්වන්නට අපේ සමාජයට අවස්‌ථාව උදා වී ඇත.

"ආදරය සහ සාමය" කෙතරම් වටිනා සෞම්‍ය වදන් පෙළක්‌ද. මුළු ලොවක පැවැත්ම රඳන්නේ "ආදරයත් සාමයත්" නිසා නොවේද...

අප මෙකී "ආදරය සහ සාමය" දෙනෙතින් දැක බලා ගන්න ඔබ කැමතිද... ඒ අගනා අවස්‌ථාව ඔබට අද (06 දා) සිට උදා වේ. "ආදරය සහ සාමය" කොළඹ ලයනල් වෙන්ඩ්ට්‌ කලාගාරයේ සිට මුළු සිරිලක පුරා පතුරුවන්නට අපේ ප්‍රවීණතම සිත්තරා කලාශූරී ජයසිරි සේමගේ අද පියවර ගනී.

ජයසිරි සේමගේ අද අපට සිටින ප්‍රවීණ චිත්‍ර ශිල්පියකි. "ආදරය සහ සාමය" තේමාකර ගනිමින් ඔහු විසින් පවත්වන ඒකපුද්ගල සිතුවම් දැක්‌ම අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත වේ. හෙට (07 දා) සහ අනිද්දා (08 දා) "ආදරය සහ සාමය" විඳින්න කැමති සියල්ලන් සඳහා ලයනල් වෙන්ඩ්ට්‌ කලාගාරය වෙත පැමිණෙන්නැයි කලාශූරී ජයසිරි සේමගේ විවෘතව ආරාධනා කර සිටී. "ආදරය සහ සාමය" මිල කරන්නට බැරිය. ඒ නිසාම ප්‍රදර්ශනයද නොමිලේ පැවැත්වේ.

සේමගේ කලාකරුවා අතින් නිර්මාණය වූ තොරණ දෙස්‌ විදෙස්‌ වශයෙන් ප්‍රචලිතය. ඔහුගේ සිතුවමින් නිර්මිත විහාර බිතු සිතුවම් ලුම්බිණියේ ශ්‍රී ලංකා විහාරයේ පමණක්‌ නොවේ සිංගප්පූරුවේ මංගල විහාරයේත් "මෑන් ෆැට්‌ ලාම්" නමැති චීන විහාරයේත් දැක ගන්නට ලැබේ.

ලොව රටවල් ගණනාවක ජයසිරි සේමගේ චිත්‍ර ප්‍රදර්ශන පවත්වා තිබේ. ඕනෑම රටකදී ඕනෑම තැනකදී ප්‍රදර්ශනය කෙරෙන චිත්‍ර දහස්‌ ගණනක්‌ අතුරින් සේමගේ ගේ සිතුවමක්‌ පහසුවෙන් දැක හඳුනා ගන්නට පිළිවන. ශ්‍රී ලාංකීය ලකුණ පමණක්‌ නොවේ සේමගේ ගේ අනන්‍යතාවද ඒ චිත්‍රවල දක්‌නට ඇත.

සීගිරි අජන්තා චිත්‍රවල ආභාෂය ලබමින් ඉපැරැණි සිංහල චිත්‍ර කලාවේ ලියවැල්, මල් වර්ග මෙන්ම මූලාරම්භයද ආදේශ කර ගනිමින් ඔහු තමන්ටම ආවේණික ශෛලියකින් චිත්‍ර නිර්මාණය කරයි. ඉපැරැණි ශ්‍රී ලංකා විහාරයන්හි වර්ණ සංයෝගද අනුගමනය කරමින් කාලයට ගැලපෙන ලෙස නවීනත්වයද ඔහුගේ චිත්‍රවලින් පිළිබිඹු කෙරේ.

"ආදරය සහ සාමය" පමණක්‌ නොව අද චිත්‍ර කලාව පත්ව ඇති තත්ත්වය පිළිබඳවද කලාශූරී ජයසිරි සේමගේ දැක්‌වූ අදහස්‌ බිඳක්‌ මතු දක්‌වමු.

ඇයි ඔබ මෙවර වෙනස්‌ ආකාරයේ තේමාවක්‌ තෝරා ගත්තේ.

අද අපි සාමය බුක්‌ති විඳිනවා. බොහෝ දෙනෙක්‌ මගෙන් ඉල්ලා සිටියා හැමදාම ස්‌ත්‍රී රූපම අඳින්නේ නැතිව අලුත් තේමාවකට යන්න කියලා. මමත් බොහෝදුරට මේ ගැන කල්පනා කළා. මගේ හිතට කිසිදාක කැරලි කෝලාහල, අඬදබර, වෛරය වැනි දේ ආවේ නැහැ. මගේ චිත්‍රවලට මාතෘකා වුණේ අහිංසකත්වය, ආදරය, සෙනෙහස, කරුණාව.

ඔබ පසුගිය කාලයේ පිකාසෝගේ නග්න චිත්‍රවලට සළුපිළි පැළැන්දුවා.. ඒ ඇයි?

ඔව්... ඒක ආන්දෝලනයකට තුඩු දුන්නා. සාමාන්‍යයෙන් පිකාසෝ කියන්නේ කිසිදු ආභාෂයකට නැති ඔහු හැදුනු වැඩුණු සමාජයට අනුව දකින, අඳින චිත්‍ර ශිල්පියෙක්‌. පිකාසෝ චිත්‍ර ඇන්දේ ඔහුගේ සංස්‌කෘතියට අනුවයි. තැබෑරුම්, ගණිකා නිවාස, සමලිංගික දසුන්, කාන්තා සහ පිරිමි නග්න රූප ඔහුගේ චිත්‍රවලින් පිළිබිඹු කළා. ඒවා කාමුක පැත්තට බරයි. ඒත් මගේ ශෛලිය එය නොවේ. ඒත් මම අඳින සමහර චිත්‍රවල ශෘංගාරය තිබෙනවා. මම කළේ පිකාසෝගේ චිත්‍රවලට සළුපිළි පැළඳවීමයි.

හොඳයි අපේ රටේ චිත්‍ර කලාව අද තිබෙන්නේ කුමන ස්‌ථානයකද?

අද තියෙන්නේ නන්නත්තාර වූ චිත්‍ර කලාවක්‌. තරුණ පරපුර චිත්‍ර ශිල්පය හදාරන්නේ නවීනත්වය වැළඳ ගනිමින්. එවිට අනාගතයක්‌ නැහැ. එකවර ශෛලියකට නොයා චිත්‍ර කලාවේ මූලාරම්භය හැදැරිය යුතුයි. චිත්‍ර ඇඳලා පන්නරයක්‌ ලද පසු තමන්ට ආවේණික ශෛලිය තෝරාගත හැකියි.

අපි නවීනත්වය වැළඳගත යුත්තේ කාලය අනුව හානියක්‌ නොවන ආකාරයටයි.

අද ආධුනික චිත්‍ර ශිල්පීන්ට තිබෙන බාධාවන් මොනවාද?

චිත්‍ර ශිල්පය හදාරන්න වයස අවුරුදු පහේ හයේ දරුවෝත් අද උනන්දුවක්‌ දක්‌වනවා. එදා වගේ නොවේ දෙමව්පියන් පවා ළමා වයසේදීම තම දරුවන් ගුරුවරයා ළඟට එවීම වැදගත්. ළමා මනසට සංගීතය, චිත්‍ර, නැටුම් වැනි සෞන්දර්යාත්මක කලාවන් අවශ්‍යයි. අද කුඩා දරුවන්ට චිත්‍ර කලාව හදාරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා. ඒත් එතැනින් ඔබ්බට යන්නට දරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීම අසීරුයි. සුදුසු පින්සල්, වර්ණ, කඩදාසි, රෙදි ප්‍රමිතියෙන් තොරයි. සමහර ඒවා මාස ගණන් පරණවෙලා. අනෙක මේවා මිල අධිකයි. මුදල් නැති අයෙකුට චිත්‍ර කලාව කරන්න බැරි තත්ත්වයක්‌ තියෙන්නේ.

අජිත් අලහකෝන්
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.