සා. පෙළවත් සමත් නැතිව
විදුලි බලාගාර 400 ක්‌ හැදූ ඉංජිනේරුවා



මනතුංග සෙනෙවිරත්න  - මනතුංගගේ ප්‍රථම විදුලි බලාගාරය


මනතුංග සිය බිරිඳ හා දරුවන් සමග

හේ නමින් මනතුංග සෙනෙවිරත්නය. ඉපදුනේ 1951 මාර්තු මස 15 දා අකුරැස්‌ස මලිදුව මීපාදොළ නමැති හද්දා පිටිසර අති දුෂ්කර ගම්මානයේය.

නගරයේ උසස්‌ තක්‌සලාවකට යවා මනතුංගට සිප්සතර ලබා දෙන්නට දෙමාපියන්ට ශක්‌තියක්‌ නොවුයෙන් හේ ගමේ පාසලට ඇතුළත් කැරිණි.

බොහෝ දරුවන් පොතට පතට සෙල්ලම් බඩුවලට ආශා කළද මනතුංග ආදරය කළේ කැරකෙන රෝද යකඩ හා වයර් කැබලි යනාදියටය. එම යුගයේ ඇඳුම් මසනු ලැබුවේ අතින් කරකවන අත් යන්ත්‍රවලිනි. එම ගමේ පමණක්‌ නොව අහල පහල ගම්වල අයගේද ඇඳුම් මසන ලද්දේ මනතුංගගේ මව විසිනි. මුළු පළාතටම තිබූ මහන යන්ත්‍රය තිබුණේ මනතුංගලාගේ ගෙරදය. තම මෑණියන් එම යන්ත්‍රයෙන් ඇඳුම් මසද්දී මනතුංග එහි කැරකෙන රෝදය දෙස නෙත් නොසලා පැය ගණන් බලා සිටියේය.

සිය පියා වී කොටවාගෙන ඒමට හන්දියේ වීමෝලට යද්දී මනතුංග නොවරදවාම සිය පියා සමග එහි ගියේය. වී මෝලේ කැරකෙන රෝද දෙස නෙත් නොසලා බලාගෙන සිටි ඔහු ආපසු ගෙදර රැගෙන ඒමට පියාට මාර යුද්ධයක්‌ කරන්නට සිදු විය.

වයස අවුරුදු හතේදී මනතුංග හබරල පිති කපා ඒවාට පොල් කොළ කැබලි කපා සවි කර ටර්බයින් යන්ත්‍ර සාදා වත්ත පහළ දිය පහරවල් වල ඒවා සවිකර - ජලාධාරයෙන් ඒවා කැරකෙන අයුරු බලාගෙන පෑ ගණන් බල සිටියේය. ඉන් නොමඳ වින්දනයක්‌ ලැබීය. පාසල් ගොස්‌ පිම්මේ ගෙදර දිව ආ හේ අම්මාගේ පෙරත්තය නිසාම බත් කටක්‌ දෙකක්‌ ගිල දමා කෙලින්ම දිව්වේ වත්ත පහළටය. තමන් සාදා වත්ත පුරා ජල පාරවල් වල සවි කළ හබරල පිති + පොල් කොළ ටර්බයින් කැරකෙන අයුරු බලාගෙන සිටියේය. ගෙදර ගියේ බිමට අඳුර වැටෙද්දීය.

අ. පො. ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට මනතුංගට නොහැකි විය. ඒ ඔහුගේ දෙමාපියන් හට වත්කමක්‌ නොවූ බැවිණි. ගමේ පාසලෙන් පස්‌ වැනි ශ්‍රේණිය සමත් වූ සිසුහු නගරයේ මහ විදුහලට යද්දී හෙතෙම ගෙදර නතර විය.

මූට ඕන අකුරක්‌ නෑ. මූට ඕන රෝද යකඩ කෑලි වයර් කෑලි "මනතුංගගේ පියා කීවේය.

ගමේ තරුණ කැළ 1966 වසරේ ගමේ වෙසක්‌ තොරණක්‌ ඉදි කළහ. තොරණේ සියලුම රූප හා බුදු රැස්‌ වළල්ල ක්‍රියා කළේ අසලින් ගලා බසින ජල දහරාවේ ආධාරයෙනි. ඒ සියලුම හපන්කම් මනතුංගයන්ගේය. එවකට ඔහුගේ වයස අවුරුදු 15 කි.

එම තොරණට විදුලිය සැපයීම සඳහා නගරයෙන් ගෙන ආ දැවැන්ත විදුලි ජනක යන්ත්‍රය හෙවත් ගම්මු හැඳින් වූ පරිදි ලයිට්‌ මෝල පුංචි මනතුංගගේ සිත් ඇඳ බැඳ ගත්තේය. එහි ක්‍රියා කාරිත්වය මනාව අධ්‍යයනය කළ හේ එහි ක්‍රියාකරුගෙන් විවිධ ප්‍රශ්න අසා උගත්තේය.

"මම කවදාහරි මේ ගමට ලයිට්‌ දෙන්න මෙතැන පුංචි විදුලි බලාගාරයක්‌ හදනවා. හේ එදා අදිටන් කළේය.

පාසල් නොයන කරන්නට කියන්නට වෙනත් වැඩක්‌ නැති මනතුංගහට විදුලි පිස්‌සුව වැළදී උග්‍රවී තිබිණි. පාපැදිවලට සවි කරන කුඩා ඩයිනමෝවකට බෙලෙක්‌ පියන්වලින් තනාගත් අවධිමත් ටර්බයිනයක්‌ සවිකර එය ජලාධාරයෙන් කරකවා කුඩා විදුලි පහන් අටක්‌ දැල්වීමට මනතුංග සමත් විය. එකල ඔහු දහසය හැවිරිදි විය.

ප්‍රදේශයේ ගරාජ පුරා ඇවිද ගිය මනතුංග එක්‌ ගරාජයට පසෙක දමා තිබූ ඩයිනමෝවක්‌ මිලදී ගෙදරගෙන කුඩා ටර්බයිනයක්‌ සාදා ඊට සවිකර විදුලිය නිපදවීය. එම විදුලියෙන් තම නිවසේ ටියුබ් ලයිට්‌ හතරක්‌ දැල්වෙද්දී කැසට්‌ යන්ත්‍රය වාදනය වෙද්දී මවගේත් පියාගේත් මනතුංගගේත් සතුට දොdaර ගලන්නට විය.

එළිය බැලීම තවත් වසර තිහ හතලිහකටවත් සැබෑ නොවන සිහිනයක්‌ව පැවැති එම යුගයේ ගමේ බොහෝ ගෙවල්වල වාහන බැටරි වලින් කලු සුදු රූපවාහිනී නැරඹූහ. එම බැටරි නැවත ආරෝපණය (චා-) කිරීම සඳහා සැතපුම් දහයක්‌ දොළහක්‌ ඈත අකුරැස්‌ස නගරයට ගෙන යා යුතුව තිබිණි. මනතුංගගේ කුඩා විදුලි බලාගාරයෙන් හේ තම නිවෙසට විදුලිය නිපදවුයේ රාත්‍රි කාලයේ පමණක්‌ නිසා හේ දිවා කාලයේ ගම්මුන්ගේ බැටරි ආරෝපණය කිරීමේ ව්‍යාපෘතියක්‌ ඇරැඹීය. ගම්මුන්ට එය මහා සහනයක්‌ විය. මම මේ බලාගාරය වැඩි දියුණු කරලා මුළු ගමටම ලයිට්‌ දෙනවා. මනතුංග එදා අදිටන් කළේය.

මනතුංග ගැමි තරුණයන් හවුල් කරගෙන දොළ හරස්‌ කර වේල්ලක්‌ බැඳීමට පටන් ගත්තේය. ගම්මුන්ගේ උසුළු විසුළු මැද මිතුරෝ ඔහු හැර ගියහ. ඉන් අධෛර්යවත් නොවූ මනතුංග එම කටයුත්ත තනියම කරගෙන ගියේය.

ඒ දිනවල ගමේ මඟුල් ගෙදරකට ආ අමුත්තෙක්‌ මනතුංගගේ වැඩ පිළිවෙළ ඡායාරූප ගත කරගෙන ගියේය. එම සේයාරූ ගොස්‌ තිබුණේ නිවැරැදි තැනටය.

ඊළඟ සතියේ මනතුංගගේ ගැලවුම්කරු ගමට ආවේය. ඒ අගනුවර අන්තර් තාක්‍ෂණික සංවර්ධන සමූහයේ (ෂ ඔ Dඨ) ව්‍යාපෘති කළමනාකරු වන ළහිරු පෙරේරා මහතාය. මනතුංගගේ සියලු කටයුතු නරඹා ඔහු හා කථා කළ හේ මනතුංගට තමා හමුවීමට එන ලෙස ඇරයුම් කළේය.

ඔහු පසුදිනම එහි ගොස්‌ ළහිරු පෙරේරා මහතා හමු විය. සර්.. මට තාක්‍ෂණික දැනුම ඕන නෑ. මට වෝල්ට්‌ තුන්සිය පනහක ඩයිනමෝවක්‌ හොයලා දෙන්න. මහතුංග කීවේය.

ගම්පහ පළාතේ තැනක එවැන්නක්‌ ඇති බව පෙරේරා මහතා ඔහුට දැන් වූයෙන් මනතුංග එහි ගියේ එය රැගෙන ඒමට මුදල් හා වාහනයක්‌ද රැගෙනය. මනතුංගගේ පැතුම සඵල විය. හේ රු. 6000/- ක්‌ ගෙවා එය රැගෙන ගෙදර ආවේ රටක්‌ රාජ්‍යයක්‌ දිනූ අයකු ලෙසිනි.

එම ඩයිනමෝව තම ටර්බයිනයට සවිකළ මනතුංග ඉන් විදුලිය නිපදවා ගමේ නිවෙස්‌ දහයකට විදුලිය දුන්නේය.

කලකට පසුව ළහිරු පෙරේරා මහතා විදේශිකයෙක්‌ සමග බලාගාරය බැලීමට ආවේය. බලාගාරය වැඩි දියුණු කර මුළු ගමටම විදුලිය දීමට සැලසුමක්‌ සකස්‌ කැරිණි.

මේක වැඩි දියුණු කළාම ගමටම ලයිට්‌ දෙන්න පුළුවනි. ඒත් ඔයාගේ හේ තියෙන්නේ කෙලවරේම නිසා ඔයාට වෝල්ටේ- එක අන්තිමටම අඩුවෙයි. ළහිරු පෙරේරා මහතා කීවේය.

කමක්‌ නෑ සර්. අනික්‌ ගෙවල් ඔක්‌කෝටම ලයිට්‌ දෙන්න පුළුවන් නම් මට නැති වුනත් මට සතුටුයි. මනතුංග කීවේ සිනාසෙමිනි. වැඩි දියුණු කළ බලාගාරයෙන් ගමේ තිබූ ගෙවල් 27 ක්‌ ඒකාලෝක විය.

මනතුංගයන්ගේ විදුලි බලාගාරය ගැන දැනගත් බොහෝ දෙනා එය නරඹන්නට ආහ. ඈත පළාත්වල පාසල්වලින් පවා ඊට අවසර ඉල්ලා ලියුම් ආවේය.

එක්‌ සිසුවෙක්‌ එක පැළයක්‌ බැගින් රැගෙන එන්න "මනතුංග ඔවුනට දන්වා යෑවූහ.

බලාගාරය නැරඹීමට ආසියුන් රැගෙන ආ පැළ බලාගාරයට ජලය සැපයෙන කඳු මුදුනේ ඔවුන් අතින්ම රෝපණය කැරිණි. දැන් ඒ පළාත මහා වෘක්‍ෂයන්ගෙන් සුසැදී මහා වනයකි.

ඉස්‌සර කැලෑව කප කපා විකුණපු එක්‌කෙනා තමයි දැන් කැලය ප්‍රවේශම් කරන්නෙ එයාගෙ ගෙදරටත් මම විදුලිය දුන්නා. මනතුංග සිනාසෙමින් කීවේය.

දේශපාලඥයන්ගෙන් තමයි මේ කැලේ පරිස්‌සම් කර ගන්න බැරි "මනතුංග කීවේය.

"දිවයින" පුවත්පත හරහා දැනුවත් වූ එවකට දකුණු පළාත් සභාවේ විදුලිබල ඇමැතිව සිටි දිවංගත ඩැනී හිත්තැටිය මහතා එම බලාගාරය නැරඹීමට පැමිණියේය. වැඩ පිළිවෙළ ගැන ප්‍රසාදයට පත් ඒ මහතා මනතුංගගේ සහාය ඇතිව ගාල්ල මාතර දිස්‌ත්‍රික්‌ තුළ එවන් කුඩා බලාගාර 36 ක්‌ ඉදි කරවීය.

මනතුංගගේ කුඩා විදුලිබලාගාර ව්‍යාපෘතිය රට පුරා ප්‍රචලිත විය. මේ වන විට ඔහු ගාල්ල, මාතර, බදුල්ල, කෑගල්ල, නුවරඑළිය, කළුතර මහනුවර, රත්නපුර ආදී දිස්‌ත්‍රික්‌කවල එවන් කුඩා විදුලිබලාගාර 400 කට අධික සංඛ්‍යාවක්‌ ඉදි කර ඇත. "ලක්‍ෂපාන - කැනියොන් - පොල්පිටිය විමලසුරේන්ද්‍ර බලාගාරවල එළිය පේන වනගත ගමක්‌ තියෙනවා. සම්මච් ජාතියේ ඒ ගමට විදුලිය ලැබෙන්නෙ නෑ. මම ඒ ගමෙත් බලාගාරයක්‌ හැඳුවා. මනතුංග ජයග්‍රාහී ලීලාවෙන් කීවේය. දැන් බලාගාරවලට අවශ්‍ය ටර්බයින් නිපදවන්නේ මනතුංග විසින්මය. ඒ තම කම්හලේමය.

රටපුරා විදුලි බලාගාර 400 කට අධික සංඛ්‍යාවක්‌ ඉදි කළද ඔහු තවමත් චාම් සරල මිනිසෙකි. සිය අඹු දරුවන් සමග කුඩා නිවෙසක ප්‍රීතියෙන් වෙසෙයි.

මම අය කරන්නෙ බඩු වලට යන මුදලයි. මගේ දවස්‌ කුලියයි විතරයි. හේ සිනාසෙමින් කීවේය.

ඔබටත් ඔහුගේ සේවය අවැසි නම් අමතන්න 041-3417661 071-5515288.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.