කිසිදිනක නොමියෙන සත්‍යයේ හඬ කපුගේ

ගුණදාස කපුගේගේ 65 වන ජන්ම දිනය
අගෝස්‌තු මස 07 වැනිදාට යෙදේ
- මේ ලිපිය ඒ වෙනුවෙනි

ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ ඇල්ලලමුල්ල කපුගේ ප්‍රැන්සිස්‌ සහ දෝන සිරිබද්දන ඇලිස්‌නෝනා යුවළට 1945 අගෝස්‌තු මස 07 වැනිදා උපන් පිරිමි දරුවාට "ඇල්ලල මුල්ල කපුගේ ගුණදාස" යන නම තබන විට ඒ දෙමව්පියන් මේ කුඩා බිළි¹ කවදා හෝ දවසක රටේම ආදරය දිනා ගන්නා මිනිසකු වේ යෑයි සිතන්නට නැත.

ක්‍රමයෙන් වැඩෙන ගුණාදාස දරුවාව කවුරුත් පාහේ හැඳින් වූයේ කලුමහත්තයා" යන ආදරණීය නාමයෙනි. ඒරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්වය සමත්ව කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ කලුමහත්තයාට දෛවයේ අපූරු තීරණයකට අනුව සංගීතය හදාරන්aනට අවස්‌ථාව ලැබිණි. ඔහුගේ මුල්ම සංගීත ගුරුවරුන් වූයේ ඩබ්. චූලරත්න සහ එන්. ඩී. ප්‍රේමසිරි මහත්වරුන්ය. කලු මහත්තයාගේ මාමණ්‌ඩිය වූ එස්‌. එඩ්මන් මහතා වෘත්තියෙන් විදුහල්පතිවරයකි. සංගීතය පිළිබඳ මනා ප්‍රායෝගික දැනුමක්‌ තිබූ ඔහු ගමේ වේදිකා නාට්‍ය ටීටර් සඳහා සර්පිනා වාදනය කරමින් සංගීතය පිළිබඳ අත්දැකීම් රැසක්‌ හිමිකරගත් අයෙකි. එඩ්මන් මාමාගේ මග පෙන්වීම අනුව යමින් කලු මහත්තයා සංගීතය තම දිවියට වඩාත් සමීප කර ගත්තේය. එඩ්මන් මාමා නිතර සහභාගි වූ ගමේ ටීටර් සඳහා කලුමහත්තයාවද එක්‌කරගනිමින් ඔහු ලවා ගීත ගායනා කිරීමටද උනන්දු වූයේ කලුමහත්තයා තුළ ගායනයට කිසියම් දක්‍ෂතාවක්‌ උපතින්ම තිබෙන බව හඳුනාගත් නිසාවෙනි.

කලුමහත්තයා අපි මෙතැන් සිට කපුගේ කියා අමතමු

කරන්දෙණිය මහ විදුහලෙන් පසුව ගාල්ල නාගොඩ විදුහලේත්, ඉන්පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙත් අධ්‍යාපනය හදාල කපුගේ 1959 වසරේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ පාසල් අතර පැවැති ගායනා තරගයේ ප්‍රථම ස්‌ථානය හිමිකර ගත්තේය. තම පාසල් දිවියේ තවත් එක්‌ කඩඉමක්‌ පසුකරමින් 1963 වසරේදී ඔහු රජයේ ලලිත කලායතනයට (හේවුඩ්) ඇතුළුවිය. 1965 වසරේදAS කලුමහත්තයා ඉන්දියාව බලා පිටත් වන්නේ ලක්‌නව්හි භාත්කණ්‌ඩි සංගීතය විද්‍යාලයේ වැඩිදුර සංගීත අධ්‍යාපනය ලබාගැනීමටයි. ඔස්‌තාද් ලෙලේ, පණ්‌ඩිත් හරි ශංකර් මිස්‌රා, ඔස්‌තාද් මක්‌ෂුඩ් අලි, පණ්‌ඩිත් රතන ජංකර් සහ සිතා ශිරන් සිං වැනි ප්‍රවීන සංගීත වේදීන්ගේ ගුරු හරුකම් යටතේ කළ ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමා වූයේ 1969 වසරේදී සංගීත විශාරද උපාධිය හිමිකර ගිනිමිනි.

ඇල්ලල මුල්ල කපුගේ ගුණදාස ලෙසින් භාරතයට ගිය කලුමහත්තයා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ "විශාරද ගුණදාස කපුගේ" නමිනි. 1969 වසරේදීම ගුවන් විදුලි සංස්‌ථාවේ ශබ්ද පරිපාලකවරයකු ලෙස ඔහුට රැකියාවක්‌ හිමිවන්නේ දෛවය ඔහුව ගුවන් විදුලිය වෙත සමීප කරවීමට තරම් කාරිණික වූ නිසාවෙනි. තාවකාලික පදනමට රැකියාවට පත් වූ ගුණදාස කපුගේ 1970 දී ස්‌ථිර විය.

1973 වසරේදී එකල සිංහල සේවා අධ්‍යක්‍ෂවරයෙකු වූ එච්. එම්. ගුණසේකර මහතාගේ විශේෂ අවසරය මත කපුගේට ගුවන් විදුලියේ ගීතයක්‌ ගැයීමට ඉඩකඩ ලැබිණි. එහෙත් ඒවන විට කපුගේ අනුමත සරල ගායකයකු නොවේ. එනිසාම එම විශේෂ අවසරය මත එම ගීතය ගායනා කිරීමට ඔහුට සිදුවිය. ප්‍රියානන්ද විඡේසුන්දර ලියූ ගී පද මාලාවට කපුගේ සරළව නිමැවූ තනුවට විශාරද සනත් නන්දසිරි නිර්මාණය කළ සංගීත රටාව සමග රසික හදවත් තදින් ඇද බැඳ ගත් එම ගීතය අදද අපට ආනන්දයක්‌ම ගෙන එනු ඇත.

"දෑස නිලුපුල් තෙමා - කඳුළු මුතු ලැල් සලා
දෙතොල සුසුමින් පුරා - ඉකිබිඳ - හඬනු මල් මාලියේ"

1975 දී කපුගේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදක තනතුර දක්‌වා උසස්‌ වීම් ලබා තිබිණි. කපුගේ තම සිතුවිලි මාක්‌ස්‌වාදී චින්තනය ඔස්‌සේ මෙහෙයවීමට නිරන්තරව උත්සාහ කළ එම වකවානුවේ ඔහු වඩාත් සැලකිල්ලක්‌ දැක්‌වූයේ දුප්පත්කමින් හා සූරාකෑමෙන් පීඩිත ජන කොටස්‌වල ජීවන තත්ත්වය ගැනය. මේ නිසාම ධනවාදී දේශපාලනයේ විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරන කලාකරුවන් අතරට කපුගේද එක්‌විය. 1977 දී බලයට පත් රජය කපුගේගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම වළක්‌වාලීමට වාරණ නියෝගයක්‌ පැනවීය. නමුත් කපුගේ සෙලවුණේ නැත. ඔහු සිනාසුනා පමණි.

1978 වසර කපුගේ තරුණයාට විශේෂ වසරකි. ඔහුගේ විවාහය සිදුවූයෙත්, ඔහුගේ රැකියාව අහිමි වූයේත් එම වසරේදීය. ප්‍රේමා නම් නව යොවුන් තරුණිය කපුගේට හිමිවී රැකියාව ඔහුට අහිමි වූයේ දෛවයේ අභියෝගාත්මක සරදමක්‌ ලෙසිනි.

කියුබාවේ හවානා නුවර ජාත්‍යන්තර තරුණ සමුළුවක්‌ පැවැත්විණ. ආරාධනා ලැබූ අය අතර කපුගේද විය. එයට සහභාගි වීම සඳහා නිවාඩු ඉල්ලා යොමු කළ ලිපිය බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. රැකියාව නිසා නිලධාරිවාදය ඉදිරියේ දණින් නොවැටී තමාගේ ගමන යැමට තරම් කපුගේගේ මනස අදීන විය. ඒ අනුව 1978 ජූලි 22 දා වන විට කපුගේ සිටියේ කියුබාවේ හවානා නුවරයි. කපුගේ තම දිවියේ තිස්‌තුන් විය සැමරුවේ හවානා නුවරදීය. නැවත කපුගේ ශ්‍රී ලංකාවට එන විට සේවය අතහැර ගියා සේ සැලකෙන ලිපිය ගුවන් තොටුපළටම ගෙනැවිත් බාරදීමට තරම් නිලධාරීහු කාර්යක්‍ෂමව සිටියහ. රැකියාව අහිමි වූවන් අතර කපුගේද එක්‌විය.

1979 වසරේදී කපුගේට යළි රැකියාව ලැබිණි. එහෙත් ඒ වසරේම ඔක්‌තෝබරයේදී එවක අගමැතිවරයාට අපහාස කළේය යන චෝදනාව මත පොලිස්‌ අත්අඩංගුවට පත්වීමට සිදුවිය. චෝදනා විමර්ශනයේදී කපුගේ නිදහස්‌ විය. අත්අඩංගුවෙන් නිදහස්‌ වුවද කපුගේට ගුවන් විදුලිය තහනම් ප්‍රදේශයක්‌ බවට පත්විය. පුරා වසරකුත් මාස දහයක රැකියා විරහිත ඒ කාලය චිත්‍රපට කිහිපයකම සංගීතය නිර්මාණය කිරීමට ඔහුට ඉඩ කඩ සැලසනි. ඒ අතරට ලූෂන් බුලත්සිංහලගේ "තාරාවෝ ඉගිලිති" වේදිකා නාට්‍යයට සංගීතය සපයමින් කපුගේ සුවිශේෂී කඩඉමක්‌ සනිටුහන් කළේය. "තාරාවෝ ඉගිලිති" වේදිකා ගත වූ එක්‌ දිනෙක එය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්‍ෂකයන් අතර එවකට ගුවන් විදුලි සංස්‌ථා සභාපති ඒමන් කාරිය කරවන මහතාද සිටියේය. නාට්‍යයේ නිර්මාණාත්මක සංගීතයෙන් අපමණ රසයක්‌ විඳි ඔහුට ගුණදාස කපුගේ නම් විශිෂ්ට සංගීත වේදියාගේ සේවය කිසියම් නිලධාරි පිරිසකගේ වුවමනා එපාකම් මත තම සංස්‌ථාවට අහිමි කොට ඇති බව සැළවිය. වහාම ක්‍රියාත්මක වන ලෙස ඊළඟ සතියේදී කපුගේ නැවත සේවයේ පිහිටුවන ලද්දේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසයි.

ප්‍රධාන කාර්යාලයේ සේවයට එක්‌ වුවත් කපුගේට දඬුවම් මාරුවක්‌ ලෙස රජරට සේවයට වාර්තා කිරීමට සිදුවන්නේ කපුගේගේ දෛවය තවත් අපූරු අත්දැකීම්

රැසක්‌ ඔහුට ලබාදීමටයි. 1981 අගෝස්‌තු මාසයේ රජරට දවන ගිම්හානයේ රජරටට කපුගේ වසන්තයක්‌ ලෙස පැමිණියේ දෛවයේ ඒ තීරණයට අනුවයි. රාජ්‍ය සේවයේ රාජකාරි කළ සමය කපුගේ නැවත ජන්මය ලැබූ කාලවකවානුවක්‌ බව ඔහුගේ සමීපතමයින්ගේ අදහස විය. එයට හේතුවක්‌ වූයේ දඬුවම් මාරුවක්‌ ලැබ රජරටට පැමිණි ඔහු ඒ දඬුවම ආශිර්වාදයක්‌ ලෙස සලකා කටයුතු කිරීමයි. රාජ්‍ය සේවයේ ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර කලාකරුවා සමග එක්‌වී ප්‍රදේශයේ නවක ගීපද රචකයන් - ගායක ගායිකාවෝ - සංගීතවේදීන් ජාතික තලයට ඔසවා තැබීමේ අදිටනින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙක්‌ ලෙස ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර හා ගුණදාස කපුගේ රජරට ගුවන් විදුලි වංශ කතාවට එක්‌වේ. ස්‌වර්ණ ශ්‍රී බණඩාරයන්ගෙන් පසුව ප්‍රාදේශීය සේවා අධ්‍යක්‍ෂවරයා වූ විජයානන්ද ජයවීර මහතා කපුගේ තුළ ඇති නිර්මාණාත්මක හැකියාව සංගීතයට පමණක්‌ සීමා නොවන බව වටහා ගත් නිසා, සංගීතය ඇසුරුකර ගනිමින් කිසියම් වෙනස්‌ අන්දමක විචිත්‍රාංගමය වැඩසටහන් නිෂ්පාදනය කිරීමේ වගකීම කපුගේ වෙත පවරනු ලැබුවා. තමා විසින්ම ලියූ පිටපත තම හඬින්ම ඉදිරිපත් කරමින් විවිධ සංගීතාංග හා වෙනත් තොරතුරු කලා අංග ඇතුළත් අඩහෝරාව ඔහු නම් කළේ "මන්දාකිණිය" නමිනි. සංගීතය කලාව මෙන්ම දේශපාලනයද ඉතා සමබරව යොදාගනිමින් කපුගේ ඉදිරිපත් කළ මන්දාකිණිය බොහෝ ශ්‍රාවකයන් අතර වැළඳගත් වැඩසටහනක්‌ විය.

1989 - 90 රට තුළ කැළඹිලි සහිත තත්ත්වයක්‌ තිබූ කාලයේ තම ජීවිතයට එල්ල වූ නොයෙක්‌ මරණ තර්ජන හමුවේ සිනා මුසු මුහුණින් නොබියව කටයුතු කළ ඔහු නැවත දෛවයේ සරදමට ලක්‌වෙමින් 1990 වසරේ ජනවාරි 29 වැනිදා අනවාර්ය නිවාඩු යෑවේ.

ඉන් අනතරුව කම්පන ප්‍රසංගයත් සමග යළි ජනතාව අතරට ආ කපුගේ ඉතා සාර්ථක ලෙස ජන හදවත් කම්පනයට පත් කොට පැහැදිලි යථාර්ථය ගීතය නම් වූ කලා මාධ්‍යය ඔස්‌සේ ජනතාවට සන්නිවේදනය කළේය. කම්පන ප්‍රසංගයට මද කලක්‌ විරාමය තැබූ කපුගේ "ප්‍රකම්පන" නම් වූ තම දෙවන ප්‍රසංගය රසිකයන්ට පුදන්නට සූදානම් වූයේ එතෙක්‌ මෙතෙක්‌ තම සංගීත දිවියේදී මුහුණ දුන් සියලු හැල හැප්පීම්, ආත්ම ප්‍රකාශනයක්‌ ලෙස එළිදැක්‌වීමේ අභිලාෂය සමගයි. එහෙත් මෙවර දෛවය ඔහුට අවසන් වරට සරදම් කොට තම කාර්යය හමාර කළේය. 2003 වසරේ අප්‍රේල් 03 වැනිදා "ගුණදාස කපුගේ මිය ගියේය" යන පුවතින් ප්‍රකම්පනය වූ අපි තවමත් ඒ කම්පනයේ ගැස්‌ම සමග සිටිමු. කොහේදෝ ඈතක සිට ඔහු ගැයූ ගීතයක්‌ සෙමින් ඇසේ. "කපුගේ ඔබ මියගියේ නැත. කිසිදා ඔබ මිය යනන්නේද නැත.

රන්ජන් රූපසිංහ

තොරතුරු සපයා ගැනීම - විශාරද ගුණදාස කපුගේ ඔහුගේ නිර්මාණ සහ සමකාලීන සාහිත්‍ය කලා විමර්ශන.
සංස්‌කරණය - තිඹිරියාගම බණ්‌ඩාර, මහින්ද කුමාර දළුපොත, යසනාත් ධම්මික බණ්‌ඩාර.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.