නීතිය සරදම් නාටකයක්‌ නොවේ!

සමාජයක පැවැත්ම තීරණය කෙරෙන අගනා මූලධර්මයක්‌ ලෙස නීතිය හා නීතියට ගෞරව කිරීම පිළිගනු ලැබේ. නීතිය පිළිබඳ එබඳු පිළිවෙතක්‌ තිබුණත් නීති විරෝධී දේ සිදුවන බවද අපි දනිමු. නීතියට පිටුපාන කවරකුට වුවද සමාජ තත්ත්වය හෝ තරාතිරම නොබලා දඬුවම් විඳීමටද සිදුවේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් බාහිරවත් නීතිය පිළිබඳ විවිධ අදහස්‌ හා විවේචන ඇසීමට ලැබුණි. පාර්ලිමේන්තුව තුලදී විනිශ්චයකරුවන් විවේචනයට ලක්‌වීම සම්බන්ධයෙන් නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකුද වන විදේශ ඇමති ජී. එල්. පීරිස්‌ මහතා දක්‌වා තිබුණි. යම් යම් මන්ත්‍රීවරුන් සිය වරප්‍රසාදවලට මුවා වී එහි සිට නීතිය හා යුක්‌තිය පසිඳලන විනිශ්චයකාරවරුන් විවේචනය කිරීම අනතුරුදායක බව මහාචාර්ය පීරිස්‌ මහතාගේ අවධාරණය විය.

ඔහු සඳහන් කළේ එමගින් අධිකරණය හෑල්ලු වන බවත් යුක්‌තිය පසිඳලීම පිළිබඳ ගෞරවයට හානි වන බවත්ය. එය සැබෑවකි. ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තුව තුළ බාහිර ආයතන හා පුද්ගලයන්ට අදාළව කරුණු ඉදිරිපත් වීම වරදක්‌ ලෙස දැක්‌විය නොහැක. එහෙත් එය කළ යුත්තේ දැඩි වගකීමකින් හා සද්භාවයකින් යුතුවය. එකක්‌ එහිදී විවේචනය වන කිසිවකුට පිළිතුරු දීමට අවස්‌ථාවක්‌ නැත.

විශේෂයෙන් අධිකරණය හා විනිශ්චයකාරවරුන් පිළිබඳව කෙරෙන සාහසික විවේචනයකදී රට විපතට හෙලීමට බලා සිටින බාහිර බලවේගවලට කදිම අවස්‌ථාවක්‌ ලැබෙන බවද ඇත්තය. දැන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන විනිසුරුවන්ගේ විලාසය මෙසේ යෑයි ඕනෑම කෙනෙකුට කීමටද එමගින් පසුබිමක්‌ සැකසෙන බව අපගේද අදහසය.

අනෙක්‌ කරුණ නම් පසුගියදා නීතිය අතට ගනිමින් සමෘද්ධි නිලධාරියෙකු ගස්‌ බැඳීමට කළ ක්‍රියාව පිළිබඳව ඇතිවූ විවේචන හා විරෝධයයි. මේ ගස්‌ බැඳීමට ලක්‌ වූ පුද්ගලයා සිය කැමැත්තෙන් එයට ඉදිරිපත් වූ බව ඒ ගස්‌ බැඳීමේ නාටකයේ ප්‍රධාන චරිතය වූ රජයේ නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතාම කියයි.

ගස්‌ බැඳීම යනු වෙස්‌ බැඳීමක්‌ නොවන බව අපි දනිමු. වෙස්‌ බැඳීමේදී නම් එයට සහභාගි වන ශිල්පියා දැඩි භක්‌තියකින් හා ගෞරවයකින් තම කලා ජීවිතයෙහි මංගල්ලයකට මුහුණ දෙයි. එහෙත් කැමැත්තෙන් ගස්‌ බැඳීම එබඳු කලාවක්‌ ලෙස අප දුටු ප්‍රථම අවස්‌ථාව මෙයයි.

ඉකුත් සතියක තවත් අයෙක්‌ එ. ජා. පයේ දේශපාලන අර්බුදයකට විරෝධය දක්‌වමින් එම පක්‍ෂ මූලස්‌ථානය ආසන්නයේදී ගිනි තබා ගත්තේය. මේ ගස්‌ බැඳීමත් දේශපාලනය වෙනුවෙන් සිදු වූවක්‌ද දේශපාලනය හා දේශපාලනඥයන් වෙනුවෙන් ඕනෑම මෝඩ වැඩක්‌ කරන වෘෂභ රාජයෝ මේ රටේ සිටිති. එහෙත් එහි අනතුරක්‌ද තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ හෝ ගස්‌ බැඳීම වෙස්‌ බැඳීමක්‌ ලෙස ඉදිරි කාලයේදී ජනප්‍රිය වුවත් එහි නීතිය අතට ගැනීමේ ස්‌වරූපයක්‌ තිබෙන බව ඉතා පැහැදිලිය. මේ රටේ නීතිය අතට ගැනීම පිළිබඳ අමිහිරි අත්දැකීම් ඕනෑ තරම් දැක්‌විය හැකිය.

එල්. ටී. ටී. ඊ ෆැසිස්‌ට්‌වාදීන්ට තිබුණේ ඔවුන්ගේම නීතියකි. නඩු විභාගයකින් හෝ ගස්‌ බැඳීමකින් නොව වෙඩි තබා මරා දැමීමෙන් ඔවුන් විසින් තබන ලද වාර්තා මොන තරම් තුච්ඡදැයි කව්රුත් දනිති. එබඳුම නීතිය අතට ගත් දේශප්‍රේමී ව්‍යාපාරයක්‌ද කලකට පෙර මෙහි ක්‍රියාත්මක විය.

ගම් දනව් භීතියට පත් කළ ඒ දේශප්‍රේමීහුද විවිධ අයුරින් ඝාතන සිදු කළහ. ඔවුන්ගේ මරණ දඬුවම්වලට යටත් වූ අයට අවසන් ගෞරවයක්‌ හෝ ලබාදීම තහනම් විය. මළවුන්ට ගෞරවය කිරීමේ ශිෂ්ට සම්ප්‍රදායවත් ඒ අමන රැළ නොතැකූහ.

මේ ව්‍යාපාර දෙකට අමතරව නීතිය අතට ගන්නා අය සමාජය තුළද සිටිති. මෙහිදීත් මුළින්ම සිටින්aනෝද මූග්ධ දේශපාලනඥයෝ වෙති. පොලිසිවලට පැන අපරාධකරුවන් බේරා ගැනීම වනාන්තර වල හැසිරෙන ගස්‌හොරුන් බේරා ගැනීම, අභයභූමිවල දඩයම් කරවීම වැනි නීතිවිරෝධී දේවල් මෙන්ම හොරුන්, තක්‌කඩියන් හා කුඩ්ඩන් වෙනුවෙන් නීතිය අතට ගැනීම ඔවුන්ට සාමාන්‍ය දේවල්ය.

ඇතැම් අවස්‌ථාවලදී ආවේගශීලීව නීතිය අතට ගන්නා අයද සිටිති. රිය අනතුරුවලදී වාහන ගිනි තැබීම එහි බිහිසුණුම ප්‍රතිඵලය බවට පත්ව තිබේ. නීතිය අතට ගත් සන්නද්ධ කල්ලිද සිටිති. ඇතැම් පොලිස්‌ නිලධාරිහුද නීතිය අතට ගෙන ඝාතන සිදු කළහයි චෝදනා නැගී තිබේ.

මේ අනුව නීතිය යනු දේශපාලන බලය හෝ අවි බලය මත රඳන්නක්‌ නොව උත්තරීතර මානව යුක්‌තිය සඳහා පවතින්නක්‌ බව අප තේරුම් ගත යුතුය. නීතිය බිඳ වැටුණු සමාජයක යුක්‌තිය ඉටු නොවේ. නීතියද ඇතැම් විටක යුක්‌තියට පටහැනි බවට චෝදනා නැඟේ. එහෙත් නීතිය හා විනිශ්චයකරුවනුත් අධිකරණයත් ශුද්ධ වස්‌තූන් සේ තිබෙන රටක ජීවත්වීම කාගේත් අපේක්‌ෂාවය.

භීතියෙන් මිදීමේ මාවත නීතියේ ආධිපත්‍යයයි. සන්නද්ධ කල්ලිවලට හෝ දේශපාලන බලවතුන් හා ඔවුන්ගේ හෙංචයියන්ටද නීතිය අතට ගත නොහැක. එසේ කිරීමටද ඉඩ දිය යුතු නැත.

අවසානයේ නීතියට දක්‌වන ගෞරවය සුරැකීමේ වගකීම රටක රාජ්‍ය නායකයාට පැවරේ. සිය නීතිගරුක බව ජනතාවට ප්‍රදර්ශනය කිරීම සඳහා සිය පුතුට පවා දඬුවම් ලබා දුන් යුක්‌තිගරුක රජකු ලෙස එළාර රජ ඉතිහාසයටද එක්‌ව සිටියි.

මේ නිසා නීතිය සරදම් නාටකයක්‌ ලෙස රඟ දැක්‌වීම රටක අභිමානය පලුදු කරවන්නක්‌ බවද අවසන් වශයෙන් කිව යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.