නැගෙනහිර බෞද්ධ උරුමය කියාපාන
රජගල තැන්නේ හෘද සාක්‌ෂිය


මෙහි මුල් කොටස ජූලි මස 25 වනදා
ඉරිදා දිවයින සංග්‍රහයේ පළවිය. මේ එහි අවසන් කොටසයි.


ගල් කුඩය


ගල් පාත්‍රය

"මෙම ප්‍රදේශය අයත් වන්නේ එදා රුහුණු රටටයි. වළවේ ගඟ සහ කළු ගඟ සීමාවන කොටස දොළොස්‌ දහස්‌ රට ලෙසත් මහවැලි හා වළවේ අතර කොටස අටදහස්‌ රට හැටියටත් එදා හැඳින්වූවා. මේ කලා ශිල්පවලත් ලොකු වෙනසක්‌ තිබෙනවා. දීඝවාපිය හා මඟුල්මහ විහාරය හැරෙනකොට වැඳ පුදා ගන්න ස්‌ථානයක්‌ නැහැ. මේ පින්බිම සංරක්‍ෂණය කරලා ජනතාවට උරුමයක්‌ බවට පත්විය යුතු බවයි මගේ හැඟීම" ආචාර්ය බෙසල් මහතා එසේ ප්‍රකාශ කළේ හැඟුම් බරවය. මෙම බුද්ධ භූමියේ පියනඟන අප අනතුරුව පිවිසියේ අතිශයින් රමණීය බිම් කඩක්‌ වෙතය. හතරවටින් සෙවණ වූ අක්‌කරයකටත් වඩා වැඩි මෙහි මැද ගරා වැටී වල් වැදී ගිය විශාල ස්‌ථූපයක ගඩොල් විසිරී ඇත. පස්‌ ගොඩැල්ල පමණක්‌ ඉතිරිව තිබේ. අවට සංඝාවාස ගල්ලෙන් පිහිටා ඇත. මේවා අතරින් ඈතට විහිද ගිය ගල්මුවා මාවතය. ගල්ලෙන තුළ ආදී වාසීන් විසූ බවට දෙස්‌ දෙනුයේ ඒවා තුළ නොයෙකුත් චිත්‍ර සටහන් දක්‌නට ලැබීමෙනි. ලෙන් පියෑස්‌සේ තිබෙන සෙල්ලිපිය පළමු මහින්ද රජු විසින් කරවූවක්‌ බව සඳහන් කරයි. එම ස්‌ථානයට මඳක්‌ ඔබ්බෙන් ඉතා ක්‍රමවත් ලෙස නිම වූවාක්‌ සේ පෙනෙන ජල මාර්ගයකි. ඉහළ ගල් කුළු අතරෙන් මතුවන සිසිල් දිය දහරකින් එන ජලය ගල් පීල්ලක්‌ මතින් පහළට ගෙනැවිත් විශාල ගල් පාත්‍රා දෙකකට පිරෙන්නට සලස්‌වා ඇත. ඉන් එකක්‌ තවමත් හොඳින් පවතින නමුත් අනෙක නිධන් සොයන අපේ අමනයන්ගේ අතින් ගල් කැබලි බවට පත්ව ඇත.

එදා බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ සා පිපාසාව සංසිඳවූ ඒ සිහිල් ජල දහරෙන් දෝතක්‌ ගෙන පානය කළෙමි. නිවසේ ශීතකරණයෙන් ගත්තාක්‌ බඳු සිසිලසක්‌ සහ පිරිසිදු බවක්‌ එහි රැඳී තිබිණි. අම්පාර වැනි ශුෂ්ක ප්‍රදේශයක මෙතරම් සිසිල් ජලය... ඇත්තෙන්ම එය ආශ්චර්යයකි. ඉන් එහා ඉතා විශාල ගොඩනැඟිල්ලක නටබුන් ඒ සා විශාල ප්‍රදේශයක්‌ පුරා විසිරී පැතිරී ඇත. එය කුමක්‌දැයි නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැතත් සංඝාවාසයක්‌ හෝ රෝහලක්‌ බවට සැක කළ හැකි බව දිසානායක මහතා කීය. මෙම ගොඩනැඟිල්ල අසලම පැරැණි වැව පිහිටා ඇත. වර්තමානයේ එහි ජලය නොමැතිව වල් බිහිවී ඇතත් වැවේ වැඩි ජලය ගෙනගිය ගල් අතුරා තැනූ ජල මාර්ගය සුරැකිව තිබේ. ජල මාර්ග හරහා දැමූ ගල් පාලම් අපේ මුතුන් මිත්තන්ගේ විශ්මිත දස්‌කම් මොනවට පැහැදිලි කරයි. වැවට නුදුරින් විශාල ගලක්‌ යටට හාරා තැනූ ස්‌ථානයකි පර්වතයේ වහලය. කුඩයක්‌ මෙන් සිටින්නට සකස්‌ කරන ලද පුදුම සහගත නිර්මාණයකි. ඊට ඔබ්බෙන් ඇත්තේ පෙර සඳහන් කළ මිහිඳු හා අරිට්‌ඨ හිමිවරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට තැනූ ස්‌ථූපයේ නටබුන්ය. විශාල ගල් තලාවක ශිලා ලිපිය අසලින් ස්‌ථූප තනා ඇත. මේවා නිධන් හොරුන් විසින් අසික්‌කිත ලෙස විනාශ කොට අවසන්ය.

"මේ වටේටම තියෙන්නේ ස්‌වාභාවික ගල්ලෙන්. ඒ කාලයේ මේවායේ රහතන් වහන්සේලා හෝ භික්‍ෂූන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ වසන්නට ඇති. එහෙත් මේවා ගවේෂණයට තවමත් අපහසුව කැලයෙන් වැසිලයි තියෙන්නේ." වැවට ඉහළින් පෙළින් පෙළට ඇති විශාල පර්වත දෙසට අත දිගු කරන චින්තක කියයි. ඇත්තෙන්ම එදා පැරැණි රජ දවස මේ මහා පුණ්‍ය භූමිය කෙතරම් සන්සුන්ව මනස්‌කාන්තව තිබෙන්නට ඇතිද. බුදු සිසිල ඝංඨා නාදය මල් පහන් සුවඳ දුම් සුවඳ එතී එන මඳනල හා මුසු වන සාධු හඬ රාත්‍රියට අක්‌කර 1600 ක්‌ පුරා දැල්වෙන පන්දම් විලක්‌කු ගල්ලෙන් තුළ වැඩ වසන රහතුන් කසාවතින් ඔබ මොබ සැරිසරන භික්‍ෂූන් මේ පින් බිමේ ඇසෙන පිරිත් සඡ්ජායනා ඈත ඈත අනන්තයටම පැතිර එක නින්නාද වන්නට ඇත.

රජගලතනැන්න 1952 ගල්ඔය යෝජනා ක්‍රමය 34 වන ජනපදය වුණා. 1956 වසරේදී මගේ පියා ටී. බී. හේරත්. ඔහු මේ කන්දේ ගල් පඩි පෙළක්‌ දැකල ගමේ අයත් එක්‌ක ඇවිත් බලනකොටයි මේ ඓතිහාසික ස්‌ථානය හමුවෙලා තියෙන්නේ. එදා සොයාගත් මේ පින් බිම ස්‌වෙච්ඡාවෙන්ම රැක බලාගෙන ඇත්තේ හේරත් මහතා ප්‍රමුඛ ගම්වාසීන් විසිනි. ඉන්පසුව හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ චාල්ස්‌ ගොඩකුඹුර මහතා විසින් මෙය පුරාවිද්‍යා දේපළක්‌ බවට පත්කොට තිබේ. හේරත් මහතාගේ පුත් වර්තමානයේ මේ පින්බිමේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පත්කොට තිබෙන රැකවල් කරු මහා පුදුමාකාර තරුණයෙකි. එම වයසේ ගැටවරයන් පහසු රැකියා සොයා යද්දී පියාගේ ඇවෑමෙන් ඔහු 2001 වසරේ සිට අපේ ඓතිහාසික උරුමය රැකීමට ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් විය. අදත් යෞවනයේ පසුවන මොහු ලැබෙන වැටුපට වඩා සේවය කරන බව ආචාර්ය දිසානායක මහතා සඳහන් කළේය. මේ වගේ පුරා විද්‍යා වටිනාකමකින් යුතු ස්‌ථාන ලංකාවේ ඇත්තේ එකක්‌ හෝ දෙකක්‌ පමණයි. තිස්‌සමහාරාම හා අනුරාධපුරය හැරුණ විට ඊළඟ විශාල පුදබිම මෙය වන්නට පුළුවන්. අපි ඉතා ඉක්‌මනින් මෙය සංරක්‍ෂණය කරනවා. ඉපැරැණි බවට කිසිදු හානියක්‌ නොවෙන විදියට. මට අවශ්‍ය වියදම් පමණක්‌ ලබා දෙන්න ගමේ තරුණයෝ එක්‌ව නොමිලේ වැඩ කරනවා. ඒ උපුල් සේනාරත්නයි. මෙම විසල් භූමි භාගය පුරාවට බැලූ බැලූ සෑම අත නටබුන් දක්‌නට ඇතුවා සේම ඒ සෑම ස්‌ථානයක්‌ම ගැඹුරු වළවල් හාරා ඓතිහාසික නෂ්ඨාවශේස විනාශ කොට ඇත. මේ නිධන් හොරුන්ගේ වැඩ. මෑතක සිට අපි සිවිල් ආරක්‍ෂක බළකාය මගින් මෙම ස්‌ථානයට ආරක්‍ෂාව ලබාදෙනවා. ප්‍රදේශයේ විහාරස්‌ථානවල නායක ස්‌වාමීන් වහන්සේලාගේ අනුශාසනාවෙන් සෑම පොහෝ දිනකම ශීල ව්‍යාපාර භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. නිමල් විල්වලාආරච්චි මහතා එසේ මේ පින්බිමේ ආරක්‍ෂාව තහවුරු කළා. බක්‌කිඇල්ල පොලිසියේ ස්‌ථානාධිපතිතුමාත් ප්‍රදේශය භාර ප්‍රාදේශීය ලේකම්වරුනුත් මේ පින්බිම සංරක්‍ෂණය කිරීමට විශාල දායකත්වයක්‌ ලබාදෙන බව ඔවුන් තහවුරු කළේය. දැන් යුද බිය නිමවී ඇත. උතුරුකරයේ මෙන්ම නැගෙනහිරද අපේ ප්‍රෙෘඪ ඉතිහාසය නැවත අවදි කෙරෙන බෞද්ධ නටබුන් වෙහෙර විහාර දස දහස්‌ සංඛ්‍යාවක්‌ ඇත. රජගල මේ අතරින් අග්‍රගණ්‍ය බව ඔබේ නෙත් වලින් දැන් දැක බලා ගැනීමට අවකාශ සැලසී ඇත. එදා පෙර රජ දවස අපේ වීර මුතුන් මිත්තන්ගේ විශ්වකර්ම නිර්මාණ අතරින් මෙහි ඇති අවුකන පිළිමයට අනුරූපව නෙළා ඇති බුදුපිළිමය පොළොවට පාත්වී වැතිර තිබෙන අයුරු බොදු හදවත් කම්පාවට පත් කරයි.

"එක්‌කෝ මෙහි වැඩ නිමකිරීමට නොහැකිවී තිබෙනවා. එසේ නොමැතිනම් කිසියම් හේතුවක්‌ නිසා නෙළීම අතහැර දමලා" ඒ ආචාර්ය දිසානායක මහතාගේ අදහසයි. ඉතින් අපේකම සියෑසින් දැක ගන්න රජගලට යන්න. මේවා දැක බලාගෙන මතු පරපුර වෙනුවෙන් ඉතිරි කිරීමට දායක වන්න. අද ඔබ විසින් කළ යුතුම සද්කාර්ය එයයි.

විශේෂ ස්‌තුතිය

පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දසනායක, ආචාර්ය බෙනිල් ප්‍රියංක, සහකාර අධ්‍යක්‍ෂ එම්. ඒ. ඡේ. ආර්. මඩගම්මන, පුරාවිද්‍යා නිලධාරීන් වන චින්තක, බෝවත්ත, රම්‍යා හේරත් මහත්ම මහත්මීන්ට හා රථයේ රියෑදුරු අත්තනායකට.

තිලක්‌ පුෂ්පකුමාර










 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.