17 වැනි සංශෝධන මාළු කඩය ගැන චම්පිකගේ අත්දැකීම්

ආණ්‌ඩුවට පාර්ලිමේන්තුව තුළ ඉබේටම මෙන් තුනෙන් දෙකේ බලයක්‌ ලැබීමට යන මේ අවස්‌ථාවේදී ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ කතිකාව නැවතත් කරලියට පැමිණ ඇත. ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් කතා කරන විට ප්‍රධාන කාරණා අතර විධායක ජනාධිපති ක්‍රමයත් මැතිවරණ ක්‍රමයත් 17 වන සංශෝධනයත් වේ. ඇතැම් දේශපාලකයන්ගේ ප්‍රකාශන නිසා මේ රටේ බොහෝ උදවිය පුරුදුවී සිටින්නේ 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් මේ රටේ සියලු ප්‍රශ්න විසඳෙනවා යෑයි සිතීමටය. මෙහිදී පවතින ජනප්‍රිය මතය වන්නේ 17 වන සංශෝධනයෙන් රාජ්‍ය තන්ත්‍රය "නිර්දේශපාලනීකරණය" වන බවත් එකී නිර්දේශපාලනීකරණයෙන් රටේ සියලුම දේශපාලන ප්‍රශ්න විසඳෙන බවත්ය. 17 වන සංශෝධනය සම්මත කොට දැන් අවුරුදු 10 ක්‌ පමණ ගතවී ඇත. මේ කාලය තුළ එය ක්‍රියාත්මක කිරීමටත් යම් උත්සාහයක්‌ ගෙන තිබිණි. 17 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවාය යන්නෙන් අදහස්‌ වන්නේ ව්‍යවස්‌ථාදායක සභාව පත් කිරීමයි. මෙකී ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් දසදෙනකු සිටී. පාර්ලිමේන්තුවේ කථානායකවරයාත්, අගමැතිවරයාත්, විපක්‍ෂ නායකවරයාත් නිල බලයෙන් ව්‍යවස්‌ථාදායක සභාව තුළ අසුන් ගනී. සෙසු සාමාජිකයන් 7 දෙනා විවිධ අය විසින් පත් කළ යුතුය.

චම්පික රණවක ඇමැතිවරයා එදා පාර්ලිමේන්තුව තුළ සිටි තනි හෙළ උරුමය මන්ත්‍රීවරයා හැටියට 17 වන සංශෝධනය බිහිකළ සාකච්ඡාවලට සහභාගි විය. ඉන් පසුව 17 වන සංශෝධනය යටතේ ව්‍යවස්‌ථාදායක සභාව පත් කිරීමට ගත් උත්සාහයන් වලටත් සහභාගි විය. රටේ නීතිපති, පොලිස්‌පති, අගවිනිසුරු හා මැතිවරණ කොමිසම රාජ්‍ය සේවා කොමිසම වැනි වැදගත් තැන්වලට කරන පත්වීම් වල නිර්දේශපාලනීකරණය ඇති කිරීම සඳහා බිහිකරන ලද මේ ව්‍යවස්‌ථාදායක සභාව සැබැවින්ම පත්වූ ආකාරය සියෑසින්ම දැක ඇති පුද්ගලයන් අතර රණවක ඇමැතිවරයාද වෙයි. පහත සඳහන් වන්නේ ඒ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඔහු අපට ලබාදුන් ප්‍රකාශයයි.

"17 වන සංශෝධනය පිළිබඳ මුලින්ම යෝජනාවක්‌ පැමිණියේ වෘත්තීයවේදීන්ගේ සංගමයෙනි. මෙහි අදහස වූයේ රාජ්‍ය අංශයත් අධිකරණයත් නිර්දේශපාලනීකරණයකට ලක්‌ කිරීමයි. මෙම 17 වන සංශෝධනය ගැඹුරින් සාකච්ඡා කිරීමට නොහැකි වූයේ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ තිබූ හදිස්‌සිය නිසාය. ආණ්‌ඩුව අස්‌ථාවරභාවයට පත්වී ඔවුන්ට බලයේ සිටීමට ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනා අවශ්‍ය විය. තමන්ගේ සහයෝගය ආණ්‌ඩුවට ලබාදීමට නම් ජ.වි.පෙ. ඉදිරිපත් කළ එක්‌ කොන්දේසියක්‌ වූයේ 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමය. අනෙක්‌ අතට එ.ජා.ප. යට අවශ්‍ය වූයේ 17 සංශෝධනය තුළින් චන්ද්‍රිකා කුමාරතුංගගේ බලතල සීමා කොට පාර්ලිමේන්තුව ශක්‌තිමත් කිරීමයි. ඒ ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ බලය ලැබුණත් චන්ද්‍රිකා කුමාරතුංග පන්නා ගැනීමට නොහැකි වන බව දැනගෙන සිටි නිසාය. එයට අමතරව එකල මේ රටට උපදෙස්‌ දෙමින් සිටි බටහිර බලවතුන්ට අවශ්‍ය වූයේද ලංකාව තුළ බලය විමධ්‍යගත කිරීම හා මෙකී 17 වන සංශෝධනය වැනි යාන්ත්‍රණයක්‌ තුළින් දේශපාලන බලය "අවතැන්" කරවීමටය."

"ව්‍යවස්‌ථාදායක සභාව පිළිබඳ සාකච්ඡාවේදී මම යෝජනා කළේ එයට දේශපාලකයන් පත් නොකර ඇතැම් ප්‍රධාන පෙළේ වෘත්තීයවේදී සංගම් වල සභාපතිවරුන් එයට පත්විය යුතු බවයි. ඒ අතර නීතිවේදීන්ගේ සංගමයත්, වෛද්‍යවරුන්ගේ සංගමයත්, ඉන්ජිනේරුවන්ගේ සංගමයත් විය. නමුත් බහුතරය සිටියේ වෙන අදහසකය. මේ සාකච්ඡා පැවැති අවසන් දිනයේ අලුත් තත්ත්වයන් කීපයක්‌ම ඇති විය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 17 වන සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු යෑයි නියමකරාවිය යන බය නිසා ජනාධිපතිගේ නියෝජිතයෙක්‌ ව්‍යවස්‌ථාදායක සභාවට ඇතුළත් කරන ලදී. ඉන්පසු උතුරේ දෙමළ නියෝජිතයෙක්‌ අවශ්‍ය බව දෙමළ මන්ත්‍රීවරුන් කියා සිටියේය. ඉන්පසුව මුස්‌ලිම් නියෝජිතයන් තමන්ටද ව්‍යවස්‌ථාදායක සභාව තුළ අසුනක්‌ අවශ්‍ය බව කියා සිටියේය. මෙම ඉල්ලීමම කඳුරට දෙමළ නියෝජිතයන්ගේ පැත්තෙන් ද ආවේය. මේ නිසා ජනවාර්ගික නියෝජිත ක්‍රමයක්‌ ඇති කරන ලදී. මේ සියල්ල වුණේ එක දවසක්‌ ඇතුළතය. උදෙන්ම ජනාධිපතිවරයාට එක්‌ නියෝජිතයෙක්‌ ලබාදෙන ලදී. ඊට පැය බාගයකට පසු උතුරේ දෙමළ නියෝජිතයෙක්‌ ද දවල් වන විට මුස්‌ලිම් නියෝජිතයකුටද ඊට පසු උඩරට දෙමළ නියෝජිතයකුටද ඉඩ සලසන ලදී. අවසානයේදී ජ.වි.පෙ. ට ද නියෝජිතයෙක්‌ අවශ්‍ය විය. මේ නිසා ඔවුන් යෝජනා කර සිටියේ අගමැතිවරයා හෝ විපක්‍ෂ නායකවරයා අයත් නොවන වෙනත් පක්‍ෂ වලටද එක්‌ නියෝජිතයෙක්‌ සිටිය යුතු බවයි. ව්‍යවස්‌ථාදායක සභාවේ ආසන 10 බිහිවූයේ ඒ ආකාරයටය."

"17 වන සංශෝධනය සම්මත කිරීමෙන් පසු ව්‍යවස්‌ථාදායක සභාව පත් කරන විට මේ පත්වූ සියලුම නියෝජිතයන් විවිධ දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් විය. එවක අගමැතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට ද විපක්‍ෂ නායක තුමාට ද ඒ සිදුවූ ක්‍රියාදාමය පිළිබඳ හොඳ අවබෝධයක්‌ තිබිණි. ජාතික හෙළ උරුමය 17 වන සංශෝධනයට ඡන්දය දීමෙන් වැලකී සිටියේ මේ ක්‍රියාදාමයට විරෝධය පෑමක්‌ හැටියටයි."

"ඉන්පසු ව්‍යවස්‌ථාදායක සභාව පත් කිරීමට යැමේදී දෙමළ සංධානය කියා සිටියේ ඔවුන්ට ජ.වි.පෙ. ට වඩා මන්ත්‍රීවරුන් සිටින නිසා අගමැතිවරයාත් විපක්‍ෂ නායකවරයාත් අයත් නොවන පක්‍ෂ වලට යා යුතු අසුන ඔවුන්ට හිමිවිය යුතු බවයි. එකල පාර්ලිමේන්තුවේ සිටි දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා එවිට නැඟී සිට පැවැසුවේ උතුරේ දෙමළ නියෝජිතයා පත් කිරීම නිසා දෙමළ සංධානයට දැනටමත් නියෝජිතයකු සිටින බවත් මෙකී අසුන යා යුත්තේ ජ.වි.පෙ.ට බවත්ය. ඉන්පසු ජ.වි.පෙ. විසින් එක්‌ නමක්‌ ඉදිරිපත් කළ ද එම පුද්ගලයා සිරිසේන කුරේ මහතාගේ ජාතික ලැයිස්‌තුවේ සිටියේය යන කාරණය මත ප්‍රතික්‍ෂේප විණි. ඉන්පසු ජ.වි.පෙ. වෙනත් නමක්‌ ඉදිරිපත් කර එය සම්මත කරවා ගත්තේය."

"ව්‍යවස්‌ථාදායක සභාවක්‌ පත් කිරීමට දෙවැනි අවස්‌ථාව එන විට එනම් 2005 න් පසු අලියා ලකුණින් හෝ බුලත් කොලය ලකුණින් තරග නොකළ දෙමළ සංධානයද නොවන විශාලම කණ්‌ඩායම වූයේ මන්ත්‍රීවරු 9 දෙනකු සිටි ජාතික හෙළ උරුමයයි. නමුත් මේ අවස්‌ථාවේදී ද දෙමළ සංධානය කියා සිටියේ විපක්‍ෂ නායකවරයාත් අගමැතිවරයාත් අයත් නොවන පක්‍ෂවලට හිමිවන අසුන තමන්ට හිමිවිය යුතු බවයි. ප්‍රශ්නය පැන නැග්ගේ මෙතනින්ය. අද 17 වන සංශෝධනය ක්‍රියාත්මක නොවී ඇත්තේ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක නොකිරීම නිසා නොව දෙමළ සංධානය විසින් ජාතික හෙළ උරුමයට ලැබිය යුතු අවස්‌ථාව පැහැර ගැනීමට තැත් කිරීම නිසා ඇති වූ අර්බුදයක්‌ හේතුවෙනි. ජාතික හෙළ උරුමය මෙහිදී තදින්ම කියා සිටියේ මුල් ව්‍යවස්‌ථාදායක සභාව පත් කිරීමේදී ඇති කරන ලද පූර්වාදර්ශය අනුව එම අසුන හෙළ උරුමයට අයත් විය යුතු බවයි. ඒ මන්දයත් දෙමළ සංධානයට උතුරේ දෙමළ නියෝජිතයා පත් කිරීමට ලැබීමෙන් ව්‍යවස්‌ථාදායක සභාව තුළ ඉබේටම අසුනක්‌ හිමිවන නිසාය. මේ ආකාරයට නිර්දේශපාලනීකරණය අරමුණු කරගෙන පත් කරන ලද ව්‍යවස්‌ථාදායක සභාව අවසන් වූයේ නිර්දේශපාලනීකරණය කිරීමෙන් නොව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙන්ය."

චම්පික ඇමැතිවරයා ඉහත කියන ලද කතාවෙන් කාටත් පෙනී යනු ඇත්තේ 17 වන සංශෝධනයෙන් කිසිදු නිර්දේශපාලනීකරණයක්‌ සිදුවී නැති බවයි. සිදුවී ඇත්තේ තිබුණාටත් වඩා දේශපාලනීකරණයකි. මෙකී දේශපාලනීකරණය 17 වන සංශෝධනයේ නීතියෙන්ම නියම කොට ඇත. එහි 41 අ (ඊ)(3) වගන්තියට අනුව අගමැතිවරයා විපක්‍ෂ නායකවරයා හා කථානායකවරයා නිල බලයෙන්ම ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් වෙයි. ඉන්පසුව ජනාධිපතිවරයාට එක්‌ නියෝජිතයෙක්‌ පත්කළ හැක. එයට අමතරව අගමැතිවරයාටත් විපක්‍ෂ නායකවරයාටත් සාමුහිකව සාමාජිකයන් 5 දෙනකු පත් කළ හැක. මෙම නියෝජිතයන් පස්‌දෙනාගෙන් තුන්දෙනෙකු පත් කිරීමේදී එය ජනවාර්ගික පදනම මත කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින ඒ ඒ ජනවර්ගයන්වල මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ විමසිය යුතු බවට නියම කොට ඇත.

දෙමළ සංධානයට එක්‌ නියෝජිතයකුද මුස්‌ලිම් කොංග්‍රසයට තවත් නියෝජිතයකුද යනාදී වශයෙන් ලබාගැනීමට හැකිවී ඇත්තේ මෙකී වගන්තිය නිසාය. මේ ජනවාර්ගික නියෝජිතයන් පත්කිරීමෙන් පසු අගමැතිවරයාට හා විපක්‍ෂ නායකවරයාට තවත් ආසන 2 ක්‌ හිමිවේ. එම ආසන 2 ද "ඔයාගෙ පක්‍ෂයට එකක්‌, මගේ පක්‍ෂයට එකක්‌" වශයෙන් ඔවුන් බෙදාගනු ඇත. චම්පික ඇමැතිවරයා එහිදී විස්‌තර කළ ආකාරයට අගමැතිවරයා හෝ විපක්‍ෂ නායකවරයා අයත් නොවන සුළු දේශපාලන පක්‍ෂවලට දෙන ආසනයද යන්නේ තවත් කුමක්‌ හෝ දේශපාලන පක්‍ෂයකටය. ඒ අනුව බලන කල කුමක්‌ හෝ දේශපාලන බලවේගයක නියෝජිතයකු නොවන කිසිදු නියෝජිතයෙක්‌ ව්‍යවස්‌ථාදායක සභාව තුළ නැත. එහි සිටින්නේ විවිධ දේශපාලන පක්‍ෂවල ආධාරකරුවන්ය. නමුත් මෙහිදී ප්‍රශ්නයකට සිටින්නේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරගෙන යැමට කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් පක්‍ෂ නායකයන්ගේ කමිටුවට 17 වන සංශෝධනයේ සියලු බලතල බාර නොදෙන්නේ මන්ද යන්නයි.

කොහොමටත් ව්‍යවස්‌ථාදායක සභාවට පත්වන්නේ ඒ දේශපාලන පක්‍ෂ නායකයන්ගේම හෙන්චයියන් නම් ඔවුන් නඩත්තු කිරීමට අමතර වියදමක්‌ නොදරා කෙලින්ම පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේ කමිටුවට රටේ පොලිස්‌පති, නීතිපති, මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම යනාදිය පත් කිරීමට බලතල ලබාදීම වඩාත් උචිත යෑයි සිතේ. දැනට තිබෙන ආකාරයට ව්‍යවස්‌ථාදායක සභාව පත්වුණත් ඔවුන් රජයේ ඉහළ තනතුරුවලට නිලධාරීන් පත්කරන්නේද තමන් ව්‍යවස්‌ථාදායක සභාවට පත් වූ ක්‍රියා පටිපාටියටම අනුව බව, අනුමාන කළ හැකිය. එනම් උඹට එකයි, මට එකයි යන මූලධර්මය අනුවය. මේ අනුව 17 වන සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ආණ්‌ඩු පක්‍ෂයට තුන්දෙනෙක්‌ද එ.ජා.ප. යට දෙදෙනෙක්‌ ද දෙමළ සංධානයට එක්‌ අයෙක්‌ද වශයෙන් බෙදී යැමයි. රාජ්‍ය සේවා කොමිසමත් මැතිවරණ කොමිසමත්, ඒ ආකාරයටම තම තමන් අතර බෙදාගනු ඇත. නිර්දේශපාලනීකරණය කිරීම යන්නෙන් අදහස්‌ කරන්නේ මෙය යෑයි මට නම් පිළිගත නොහැක. මේ තනතුරු බෙදා ගැනීමේදී චම්පික ඇමැතිවරයා විස්‌තර කළ ආකාරයේ යම් කුලල්කා ගැනීමක්‌ සිදුවුවහොත් කිසිම පත්කිරීමක්‌ කිරීමට නොහැකිව මුළු රටම ඇනහිටිනු ඇත. දැනටමත් මෙහි උදාහරණ අපට ඇස්‌ පනාපිට තිබේ. අගමැතිවරයාත් විපක්‍ෂ නායකවරයාත් අයත් නොවන දේශපාලන පක්‍ෂවලට ව්‍යවස්‌ථාදායක සභාවේ හිමි අසුන බෙදාගැනීමට නොහැකි වීම නිසා මුළු 17 වන සංශෝධනයම ක්‍රියා විරහිතවී ඇත. මේ සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් මුළු රටටම වන්නේද ඔය ටිකමය.

සී. ඒ. චJද්‍රප්‍රේම

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.