හඳෙන් හාල් මැතිනියට දුන් ශ්‍රී ලාල් හික්‌කඩුව

එලිසබෙත් මහ රැජින ලංකාවට සම්ප්‍රාප්ත වීම වළක්‌වාලීමට අත දිගහැර වියදම් කළ පුද්ගලයකු නම් ඩී. ආර්. විඡේවර්ධනයි. එඩ්මන්ඩ් වික්‍රමසිංහ නොහොත් රනිල් වික්‍රමසිංහගේ පියා නොහොත් ඩී. ආර්. විඡේවර්ධනගේ බෑනාද විඡේවර්ධනගේ මේ මතයේම විය. ලංකාවේ ආණ්‌ඩු පිහිටුවීමේ "කිං මේකර්" විරුදාවලිය ලබාසිටි විඡේවර්ධන - වික්‍රමසිංහ දෙදෙනාටම තිබූ ප්‍රබල අවිය "සිළුමිණ පුවත්පත" විය.

රැජිනගේ ගමනට හීන්නූලෙන් විරෝධතා ගොනු කෙරෙත්දී තමන්ගේම "සිළුමිණ" පුවත්පතේ රැජිනගේ ගමන ගැන පළවූ කතුවැකියක්‌ දැක ඩී. ආර්. විඡේවර්ධන විමතියට පත්විය.

සිළුමිණ කර්තෘ ශ්‍රී ලාල් හික්‌කඩුව ලියනගේ ලියූ කතුවැකිය මුළුමනින්ම ලේක්‌හවුසියේ ප්‍රතිපත්තිවලට විරුද්ධ විය.

ඒ සංදියේ "ඉරිදා සිංහල පුවත්පත්" කියා ජාතියක්‌ තිබී ඇත. ඒවා මුද්‍රණය කොට ඇත්තේ හෙනහුරුදා රාත්‍රි ජාමයේ සිට ඉරිදා අලුයම වන තුරුය. "සිළුමිණ" කර්තෘ ඉරිදා පාන්දර ජාමේ ගෙදර යන්නේ "අලුයම මුද්‍රණය" නම් වූ අවසන් මුද්‍රණයේ පත්‍රයටත් තම අත්සන යෙදීමෙන් පසුවය. ඒ අගනුවර මුද්‍රණය ලෙසද හැඳින්වේ.

ඩී. ආර්. විඡේවර්ධන මහතා "සිළුමිණ" අවසන් මුද්‍රණය ගෙන පරික්‍ෂා කළේ "ලියනගේ" ගේ අත්සන එහි තිබේද කියාය. අත්සන දකින තුරු විඡේවර්ධන සිතා සිටියේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ ලෙසය.

ශ්‍රීලාල් හික්‌කඩුව ලියනගේ වහාම "ලේක්‌හවුස්‌" පාලනාධිකාරියට ගෙන්වා නිදහසට කරුණු විමසන ලදී.

"මීට පෙර ඉන්දියාවෙන්ද මෙවැනිම තත්ත්වයක්‌ ඇතිවුණා හෙළිදරව් කොට ගත යුතු බුද්ධිමත්ම පියවර මම ගත්තා." ලියනගේ - විඡේවර්ධනට දුන් පිළිතුර විය. නිවැරැදි කිරීමක්‌ පළ කිරීමට විඡේවර්ධන - ලියනගේට උපදෙස්‌ දුන්නද තම මතය කිසිම වෙනසකට ලක්‌නොකරන බව ලියනගේ පවසන්නට විය. අන්තිමේ "රැජින විරෝධී" බලවේගය අකුලාගන්නට විඡේවර්ධනට සිදුවිය.

එදා පත්‍ර කතුවරුන් ආයතනයේ ප්‍රධානියාගේ මතයටවත් හිස නොනැමූ "ජනතා සුබසිද්ධියට" කැපවූ අදීන - අභීත ලේඛකයන් වූ බවට මීටත් වඩා උදාහරණ කුමකටද?

ශ්‍රී ලාල් හික්‌කඩුව ලියන වැකි ජාතික වීරයන් ගැන අද දන්නේ කීයෙන් කී දෙනාද? අතීත පත්තර මතකයන් අතර කිමිදෙත්දී ඔහු ගැන ඇති මෙවැනි සටහනකින්ම ඔහු වැනි ශ්‍රේෂ්ඨ ජාතික වීරයන් අමතක කර දැමුවේ ඇයි දැයි ප්‍රශ්නයක්‌ අපගෙන්ම අසා දැන ගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස දිනා ගැන්මේ ප්‍රාරම්භක අවස්‌ථාවේ සිදුවූ අතිශය වැදගත් සිදුවීමක්‌ සේ සැලකෙන සෝල්බරි කොමිසම පත් කිරීම පිළිබඳ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ ලියනගේ මහතාටය. ඩී. ඇස්‌. සේනානායක හා ඩී. ආර්. විඡේවර්ධන මහත්වරු පවා මුලින්ම සෝල්බරි කොමිසමට විරෝධය පළ කළහ. ලියනගේ මහතා ලියූ වේගවත් කතුවැකි කීපයකින් පසු සෝල්බරි කොමිසම පිළිගැනීමට ජාතික නායකයෝ එකඟ වූහ. ලියනගේ මහතා නිදහස්‌ සටනේ නිහඬ සෙබළකු බව දන්නේ කීයෙන් කීදෙනෙක්‌ද?

ඔහු ජීවත්ව සිටි කාලයේම ඔහු ගැන තැබූ සටහනක්‌ උපුටා දැක්‌වූයේ මෙම සටහන ඔහුද කියවා ඇති බැවිනි.



ශ්‍රී ලාල් හික්‌කඩුව ලියනගේ කවුද?

මා ඔහු ගැන කරුණු රැස්‌ කිරීමට ගිය බොහෝ තැන්වලදී මගෙන් ඇසූ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය ඇසූ විට මාගේ මතකය නිතැනින් ඇදී ගියේ විපුල ධර්මවර්ධනගේ "පළමු ගුණ සමරු උත්සවයේ" තිලකරත්න කුරුවිට බණ්‌ඩාර පැවැත්වූ දේශනයක්‌ වෙතය.

"අද මෙරටට විශිෂ්ට සේවයක්‌ කළ පුවත්පත් කලාවේදීන්ගේ ගුණ සමරා උත්සව පැවැත්වීමට සිදුවී ඇත්තේ ඔවුන්ගේම පවුලේ උදවියටයි. මේ සඳහා සංස්‌කෘතික අමාත්‍යාංශය තම වගකීම කරහැර සිටීම එම උතුම් මිනිසුන් නව පරපුරට හඳුනාගැනීමට ඇති අවස්ථාව ඔවුන්ගෙන් පැහැර ගැනීමකි" යනුවෙන් කුරුවිට බණ්‌ඩාර මහතා එම උත්සවයේදී පවසන්නට විය.

ශ්‍රීලාල් හික්‌කඩුවගේ දරුමල්ලන් හෝ සංස්‌කෘතික අමාත්‍යාංශය හෝ ඔහු ගැන කිසිදු ගුණ සමරුවක්‌ නොකළ බැවින් ඔහුගේ නාමයද කෙමෙන් පොදුජන මතකයෙන් ඈත්වෙමින් පවතින බව සංවේගයෙන් යුතුව මෙසේ සටහන් කළ යුතුව ඇත. ඔහු බිහිකළ පුවත් පත් තුනක්‌ තවමත්, ඔහු අලෙවි වාර්තා තැබූ ජාතික පුවත් පත තවමත් පළවෙතත් කිසිවකුට "ශ්‍රීලාල් හික්‌කඩුව ගැන මතකයක්‌ නැතිවීම මහා ගුණමකුකමෙකි.

"ලියනගේ" ගැන මුලින්ම තොරතුරු දැන ගැනීමට ඇති "ෆයිල්" එකක්‌ ආණ්‌ඩුවේ සම්බන්ධකම් ඇති තැනක ඇති බව ඔහුගේ හිතවකු මා සමග පැවැසීම නිසා පළමුව එම ෆයිල් එක බැලීමට මට අවශ්‍ය විය.

මා එම ස්‌ථානයට යන විට අදාළ නිලධාරියා කෑමට ගොස්‌ සිටි නිසා එහි සිටි ද්‍රවිඩ සේවකයකුට මම මගේ අවශ්‍යතාව පවසා සිටියෙමි. ඔහු කරුණු සොයා බලා එවැනි ෆයිල් එකක්‌ ඇති බව මට දන්වා සිටියේය. එහි ඇත්තේ මොනවා දැයි බලන්න එන ලෙස මම ඔහු සමග මිත්‍රව ඉල්ලා සිටියෙමි. සැනෙකින් ඇතුළට ගිය ඔහු එහි ඇති කරුණු කීපයක්‌ සටහන් කර ගෙන පැමිණ මා අතට දීමට තරම් කාරුණික විය. නමුත් එම සටහන් කියවූ මා කරකවා අත හැරියා මෙන් විය. ශ්‍රීලාල් හික්‌කඩුව ලියනගේ "සෙක්‌ස්‌" චිත්‍රපටවල රඟපා ඇති බවත්, ගෙදර සැලුන් එකක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බවත් ඔහු විවාහයකු බවත් විවාහය ගැන පත්තරවලට කියා නැති බවත් මා දැනගත්තේ එම සටහනෙනි.

ලබන සතියට....

වජිර ලියනගේ

 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.