නර්තන කලාවේ ඉතිහාසය

ශි ෂ්ට සම්පන්න සමාජයක්‌ බිහිවීමේ සමාරම්භක මොහොත විජයාවතරණයත් සමඟ සිදුවූ අතර අනතුරුව ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ආරම්භය අනුරාධපුර යුගය හරහා සිදුවේ. විජයගේ ලංකා ගමනයට ප්‍රථමව මෙරට නොයෙකුත් අවධීන් තුළ විවිධ ගෝත්‍රික කණ්‌ඩායම් ජීවත් වී ඇති අතර ප්‍රාග් ඓතිහාසික ජනයා ජීවත් වූ යුගයන් ද දක්‌නට ලැබේ. එහෙත් කුමන ආකාරයකට හෝ ශිෂ්ටත්වයෙන් යුත් සමාජ පසුබිමක්‌ බිහිවීම සිදුවනුයේ විජයගේ ආගමනයක්‌ සමඟ බිහිවන අනුරාධපුර යුගය ඇසුරෙනි. දේශපාලනික, ආර්ථික, සමාජීය, ආගමික, සංස්‌කෘතික යනාදී අංශයන්ගේ පැහැදිලි සංවර්ධනයක්‌ දැකගත හැකිවනුයේ මේ යුගයෙන් ඇරඹෙන ජන සමාජය හරහාය. ඕනෑම ශිෂ්ටාචාරයක ප්‍රධාන ස්‌ථානයක්‌ එතුළ අන්තර්ගතව පවතින සංස්‌කෘතියට හිමිවී තිබෙන බව නොරහසකි. සංස්‌කෘතිය යනු එම ශිෂ්ටාචාරයේත්, ශිෂ්ටාචාරය තුළ ජීවත් වන්නා වූ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබිඹු කෙරෙන කැඩපතයි. ලාංකේය ජන සමාජ තුළ ද එලෙස පැතිරී පැවැති උසස්‌ මට්‌ටමේ ඇගයීමට ලක්‌කිරීමට හැකි සංස්‌කෘතියක්‌ මුල්බැසගෙන පැවතුණි. එලෙස මුල් බැසගනු ලැබූ සංස්‌කෘතියේ එක්‌ අවියෝජනීය අංගයක්‌ වශයෙන් කලාව ඉතා උසස්‌ මට්‌ටමෙන් ක්‍රියාත්මකව තිබිණි. මෙහිදී මූලික වශයෙන්ම ක්‍ෂේත්‍ර ගණනාවකින් එය සැදුම්ලත් බව කීමට හැකි වේ.

කලාව වූ කලී විශේෂිත භාෂා මාධ්‍යයක්‌ වන අතර ඒ තුළ අන්තර්ගතව පවත්නා දේ සුවිශේෂී වේ. චිත්‍ර, මූර්ති, කැටයම්, සංගීත, නර්තන යනාදී ප්‍රධාන පාර්ශ්වයන් කලාව තුළ සංස්‌ථාපිතව පවතිනු ලැබේ. මීට පරිබාහිරින් විශාල වශයෙන් ජන සමාජ මූලික කර ගනිමින් විවිධ කලාවන් නිර්මාණ කලාවන් ව්‍යාප්තව පැතිරී පවතී, ලාංකේය ජන සමාජය තුළ ක්‍රියාත්මකව පැවැති කලාවේ එක්‌ අංශයක්‌ ලෙස පෙන්වා දිය හැකි නර්තන කලාවේ ආරම්භය එහි ප්‍ර්‍රගමනය කුමන ආකාරයකින් සිදුවුණිද යන්න විමසාලීම කාලෝචිත කරුණක්‌ වශයෙන් පෙන්වා දීමට හැකිවේ. ඓතිහාසික වශයෙන් ඕනෑම රටක ජන සමාජයක සංස්‌කෘතික තොරතුරු හෙළිකර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම සාහිත්‍ය මූලාශ්‍ර මහත් පිටුවහලක්‌ ලබාදේ. එලෙස සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන් ලබාගන්නා තොරතුරුවල විශ්වාසනීයත්වය වැඩිකිරීම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් සිදු කෙරෙන තහවුරු කිරීම් ප්‍රබල ස්‌ථානයක පසුවේ. ශ්‍රී ලංකාවේ පැවැති නර්තන කලාව හා එහි ආරම්භය පිළිබඳ විශාල වශයෙන් තොරතුරු සම්පාදනය කරගැනීමේදී සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍ර මහෝපකාරී වේ.

නර්තන කලාවේ ඉතිහාසය පිළිබඳව විමසුමට ලක්‌කිරීමේදී එය ප්‍රධාන ලෙසම යුගයන් ඇසුරෙන් සිදුකිරීම වැදගත් වේ. එහෙත් ප්‍රාථමික ජනසමාජයක්‌ පැවැති ප්‍රාග් ඓතිහාසික යුගයන් තුළදී ද නර්තනය පැවැති බවට තොරතරු හෙළි වුවද ප්‍රධාන වශයෙන්ම අනුරාධපුර යුගයේ සිට ඉදිරි යුගයන්වලදී නර්තනය පැවැතියේ ද යන්න විමසීමට යොමුකිරීම යෝග්‍ය වේ. එසේ ප්‍රකාශ කරනුයේ ප්‍රමාණවත් පරිදි සත්‍යතාවයෙන් යුක්‌තව තොරතුරු ඉදිරිපත් කිරීමට අවැසි සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පැවතීමයි. මෙහිදී මූලික වශයෙන්ම යුගයන් බෙදීමක්‌ සිදු කිරීමට හැකියාව ලැබේ. එනම් අනුරාධපුර හා පොළොන්නරු යුගයන් අයත් ඓතිහාසික යුගයත්, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්‌ටේ යන යුගයන් ඇතුළත් මධ්‍යතන යුගයක්‌ අවසාන වශයෙන් මහනුවර යුගය අයත් වන්නා වූ නූතන යුගයක්‌ වශයෙනි. එකිනෙක යුගයන්ට අදාළ වන ආකාරයට නර්තන කලාව කුමන ආකාරයකින් ආරම්භ වී ප්‍රචලිතව පැවතියේ ද යන්න විමසා බැලීම මෙහිදී වැදගත් වේ.

අනුරාධපුර යුගය

ශ්‍රී ලංකාවේ දියුණුම සංස්‌කෘතික ලක්‍ෂණයන්ගෙන් යුක්‌ත වූ ජන කොට්‌ඨාසයක්‌ වශයෙන් පෙනී සිටින ආදිතම පිරිස විජයාවතරණය සමඟ මෙරටට සංක්‍රමණය වූ ආර්යය ජනයා බව පිළිගනු ලබයි. එසේ වුවත් එම පිරිසගේ සම්ප්‍රාප්තියට ප්‍රථමයෙන් ලංකා ජන සමාජය තුළ යක්‍ෂ, නාග ගෝත්‍රිකයන් ජීවත් වූ අතර ඔවුන්ගේ සමාජය තුළ සැලකිය යුතු මට්‌ටමේ උසස්‌ සංස්‌කෘතික මුහුණුවරක්‌ තිබූ බවට සාක්‍ෂි හමුවේ. එහිදී මූලිකවම ඔවුන්ගේ අනන්‍යතාව මුසු වූ ඔවුන්ටම ආවේණික ලක්‍ෂණයන්ගෙන් යුක්‌ත නර්තන විලාසයක්‌ පැවැති බවට තොරතුරු මහාවංශය තුළින් විවරණය කෙරේ. එහි සඳහන් වන ආකාරයට "මේ ශීරිෂවස්‌තු පුරයෙහි නැටුම් ගැයුම් වැයුම් සහිත මහත් උත්සවශ්‍රීයෙන් යක්‍ෂයින්ගේ ආවාහ මංගල්‍යයක්‌ පැවැත්වූ බව" (මහාවංශය - බුද්ධදත්ත (සංස්‌) 7 වන පරිච්ඡේදය, 30 ගාථාව) දක්‌වා තිබීමෙන් පැහැදිලි වනුයේ විජය ලංකාවට පැමිණීමට ප්‍රථම මෙරට ජන සමාජයේ නර්තන කලාවේ මූලාරම්භයක්‌ පැතිරී පැවැති බවයි.

විජයගේ රාජ්‍ය පාලන සමය නිමාවීමත් සමඟ ඔහු ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වූ පඬුවස්‌ දෙව් රජුට වැළඳුණු දිවි දෝෂය සුවපත් කරගැනීම පිණිස කොහොඹකංකාරිය නමින් ශාන්තිකර්මයක්‌ සිදුකළ බව සඳහන් වී ඇත. ශාන්ති කර්මය සිදුකර ගැනීම සඳහා මලය රටින් මලය රජු ඇතුළු පිරිසක්‌ ගෙන්වාගනු ලැබූ බව "කංකාරී පුරාවෘත්තයේ" සඳහන් වී තිබේ. මෙහි සඳහන් වන්නා වූ මලය රජු යනු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට ප්‍රදේශයෙන් ගෙන්වා ගත් බවට මතයක්‌ පවතී. මෙතුළින් පැහැදිලි වන කරුණු වනුයේ කන්ද උඩරට ප්‍රදේශය ඇසුරු කරගනිමින් නර්තන ක්‍රමවේදයක්‌ පැවැති බවයි. එනම් උඩරට නර්තන සම්ප්‍රදායට ආවේණික වූ පදනම, සැකැස්‌ම, පිළිවෙල බලපවත්වා ඇති ආකාරය පිළිබඳ මෙතුළින් නිගමනයකට එළඹීමට හැකිය. අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනයේ ආරම්භය සිදුකරනු ලැබූ පණ්‌ඩුකාභය රජුගේ පාලන අවධිය තුළ (ක්‍රි.පූ. 437-367) රජු ඉදිරියෙහි දෙවි මිනිසුන් නර්තනයේ යෙදුනු බව "මහාවංශය" සඳහන් කරයි. (එම, සුමංගල බටුවන්තුඩාවේ (සංස්‌) 46 පිටුව) කෙසේ වෙතත් රජු ඉදිරිපිට දෙවියන් ලෙසින් පෙනී සිටියේ දෙවියන් ලෙස වෙස්‌ගත් මනුෂ්‍යයන් බව පෙන්වා දී ඇත.

ක්‍රි.පූ. 3 වැනි සියවසේ එනම් දේවානම්පියතිස්‌ස රාජ්‍ය පාලන කාලයේ ඉදිකරනු ලැබූ ථූපාරාම දාගැබේ නිධන් කිරීමට ගෙන ආ ධාතූන් වහන්සේලා අලංකාරව සරසන ලද ඇතෙකු පිටින් වැඩමවූ බවත් මේ අවස්‌ථාවේ නැටුම්, ගැයුම්, වැයුම්වලින් සමන්විත වූ අලංකාර පෙරහැරකින් ඇතා වැඩමවාගෙන පැමිණි බව "සමන්ත පාසාදිකාවේ" සඳහන් වී ඇත. (පාලි සමන්ත පාසාදිකාව, සුචරිත ගම්ලත්, 1999)

ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ බුදුදහම ස්‌ථාපිත වීමේ කේන්ද්‍රස්‌ථානය ලෙස සලකනු ලබන මිහින්තලා පුදබිම ලාංකික බෞද්ධ ජනතාවට සුවිශේෂී පූජ්‍යස්‌ථානයකි. අතීතයේදී පුද බිමෙහි පිහිටා තිබෙන අම්බස්‌තල දාගැබට පූජෝපහාර දැක්‌වීම පිණිස "මහා දැලියාමන" රජු විසින් දාගැබ අබියස නාටක පැවැත්වූ බවට දැක්‌වෙන දීපවංශයේ සඳහන් වී ඇති කරුණු බොහෝ සෙයින් වැදගත් වේ. එපමණක්‌ නොව අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය සිදු කරනු ලැබූ පාලකයන් අතරින් වැදගත්ම පාලකයා වශයෙන් දුටුගැමුණු රජතුමා හැඳින්විය හැක. මෙතුමාගේ පාලන කාලය තුළ අනුරාධපුර මහමෙව්නා උයනෙහි ඉදිකරනු ලැබූ රුවන්වැලිසෑය බඳිනා දිනයේ දුටුගැමුණු රජු එම ස්‌ථානයට සහභාගි වූ බව වංශකථා මූලාශ්‍රයන් වන මහාවංශයේ හා ථූපවංශයේ විස්‌තර දක්‌වා ඇත. එම සඳහන් තොරතුරු අනුව "කණක, කටක, නුපුර, පාදාංගුලි, රත්නපට, රුවන්තෝඩු, කාදු කාප්පු, කොණ්‌ඩමල්වලින් යුක්‌තව ගැටබෙර, පනාබෙර, මිහිඟු බෙර...." (මහාවංශය - බුද්ධදත්ත (සංස්‌) 34 වන පරිච්ඡේදය, 77-79 ගාථා) යනාදී ආභරණයන්ගෙන් සැරසී වාද්‍ය භාණ්‌ඩ අතින් ගත් නළඟනන් දහසය දාහක්‌ පිරිවරා එම කටයුත්ත සඳහා සහභාගි වූ බව පෙන්වා දී ඇත.

තවද අනුරාධපුර යුගයේ අති උත්කර්ෂවත් අයුරින් සිදුකරනු ලැබූ "හිරිඛණ්‌ඩ පූජා" නැමති උත්සවය සඳහා නැටුම්, ගැයුම්, වැයුම් වලින් යුක්‌තව පැවැති බවට තොරතුරු මහාවංශයේ හා රසවාහිනියේ සඳහන්ව ඇත. එපමණක්‌ නොව මෙම උත්සවයේදී මිනිසුන් දෙවියන්ගේ දේවාශිර්වාදය ලබාගැනීමට එකතු වන අතර අනුරාධපුර රාජධානියේ වූ මහාවීථි සතර දොරටු අලංකාරව සරසා වීථි දෙපස සල්පිල් තොරන් බැඳ පහන් දල්වා උත්සවය පැවැත්වූ බව සඳහන් කර තිබේ. ක්‍රි.පු. 1 වන සියවසේ අවසාන අවධියේ පිහිටුවනු ලැබූ සක්‌සේරුව හා කොරවක්‌ගල් යන ස්‌ථානයන්හි හමුවන ලෙන් ලිපි ද වැදගත් වේ. එම ලෙන් ලිපිවල සඳහන් වන ආකාරයට "නටන ගහපතියා විසින් පවරා දෙන ලදී සහ නටන ගහපතියාගේ දුව විසින් පවරා දෙන ලදී" යනුවෙන් සඳහන් වී ඇත. මේ තුළින් පෙනී යනුයේ සමාජය තුළ සැලකිය යුතු ආකාරයේ නර්තන පරම්පරාවක්‌ ජීවත් වී සිටිය බවයි.

එකල සමාජයේ ජීවත් වූ ජනතාව ප්‍රධාන වශයෙන්ම බෞද්ධාගම මූලික කරගනිමින් තම කටයුතුවල නියෑළුණු අතර ආගමට මුල්තැනක්‌ ලබාදීමට කිසි විටෙක අමතක නොකරන ලදී. මේ හේතූන් මත නැටුම් හා වැයුම් සම්බන්ධව ශේෂව ඇති රූකම් බොහෝමයක්‌ බෞද්ධාගමික ගොඩනැඟිලි නිර්මාණ ඇසුරෙන් දැකීමට පුළුවන. ඇතැම් විට මෙම නිර්මාණ ආගමික සංකල්පය හා ඉස්‌මතු වූ ආකාරය පෙන්නුම් කෙරෙන කදිම නිදර්ශනයන්ය.

එලෙස දැකගත හැකි රූකම් රාශියක්‌ අනුරාධපුර මහමෙව්නාවේ ඉදිකොට තිබෙන සංඝාවාස ගෘහයක්‌ වූ ලෝවාමහාප්‍රාසාදයේ ශේෂව පවතින හිස්‌ ගල් කුළුණුවල දක්‌නට ලැබේ. ඒවායෙහි දක්‌නට ලැබෙන ආකාරයට වීණා වාදකයින් බොහෝ ප්‍රමාණයක්‌, තාලම්පට, හක්‌ගෙඩි, එකැස්‌රේ, උඩැක්‌කි යනාදී වාද්‍ය භාණ්‌ඩ රූකම් නිරූපණය කරනු ලබයි. මෙලෙසම නෙළන ලද රූකම් රාශියක්‌ දක්‌නට ලැබෙන ස්‌ථානයක්‌ වශයෙන් ශ්‍රේaෂ්ඨ නිර්මාණයක්‌ ලෙස පුරාවිද්‍යාඥයන් තහවුරු කිරීම සිදුකර තිබෙන මැදිරිගිරිය වටදාගයෙA හිස්‌ ගල්කුළුණු තුළ ද නිරූපණය සිදුකර ඇත.

අනුරාධපුර යුගයේ සුවිශේෂ පාලන අවධියක්‌ ලෙස සලකනු ලබන වසභ රාජ්‍ය සමයේ නිර්මාණය කරනු ලැබූ කුට්‌ටම් පොකුණේ අඩිතාලමට යටින් ද නර්තනය පැවැති බවට සාක්‍ෂි හමුවේ. එනම් ක්‍රි.ව. 6-7 සියවස්‌වලට අයත් සේ සලකනු ලබන ලෝකඩින් නිර්මාණය කරන ලද නළඟනකගේ ප්‍රතිමාවක්‌ මෑතකදී සොයාගෙන ඇත. එම ප්‍රතිමාවේ ස්‌වභාවය අනුව "බමන" නම් නර්තන අංගයක නියෑළෙන බව ඇයගේ නර්තන අංගහාරයන් තුළින් පිළිබිඹු වන බව විද්වතුන් පෙන්වා දී තිබේ. ඉතා වේගවත් ආකාරයෙන් අත්පා හා හිස චලනය ආධාර කරගනිමින් ඉදිරිපත් කරනු ලබන නර්තන විලාසයක්‌ ලෙස වැඩිදුරටත් සිදුකරනු ලැබූ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත.

දැනට ශේෂව පවතින පැරණිතම සිංහල ග්‍රන්ථය වශයෙන් සලකනු ලබන සියබස්‌ලකරයෙහි අනුරාධපුර යුගයේදී පවත්වනු ලැබූ විවිධ නාටක පිළිබඳ තොරතුරු විවරණය කිරීම සිදුකරනු ලබයි. එසේ සඳහන් වන නාටකයන් වර්ණවත් කිරීම සඳහා නැටුම්, ගැයුම්, වැයුම් පැවැත්වූ බවත් ඒ තුළින් ජනතාව මහත් ප්‍රීති ප්‍රමෝදයට පත්වූ බවත් පෙන්වා දේ. තවද අනුරාධපුර යුගයේදී නොයෙක්‌ ආකාරයෙන් පවත්වන ලද වාර්ෂික උත්සව ගණනාවක්‌ පැවතී ඇත. එම උත්සව අතරින් වඩාත් උත්කර්ෂවත් ආකාරයෙන් ආගමික උත්සව පැවැත්වීම සිදුකිරීමට රටවැසියා හා පාලකයා කටයුතු සිදුකර තිබේ. ඒ අතුරින් දළදා පූජා, ශ්‍රී මහා බෝධි පූජා හා විවිධ ස්‌ථූප කේන්ද්‍ර කරගනිමින් විශාල උත්සව සිදුකර ඇත. එම උත්සව අතරින් වඩාත් උත්කර්ෂවත් ආකාරයෙන් ආගමික උත්සව පැවැත්වීම සිදුකිරීමට රටවැසියා හා පාලකයා කටයුතු සිදුකර තිබේ. ඒ අතුරින් දළදා පූජා, ශ්‍රීමහා බෝධි පූජා හා විවිධ ස්‌ථූප කේන්ද්‍ර කරගනිමින් විශාල උත්සව සිදුකර ඇත. එම උත්සවයන් අතර රුවන් හසුන් බෝ මඟුල, බුදු බිසෝ අභිෂේක බුද්ධ, ශ්‍රී සොම්නස්‌ බෝ මඟුල යනාදී වශයෙන් පැවැති ආගමික උත්සවයන් සඳහා නැටුම්, ගැයුම්, වැයුම් යොදාගත් බව පෙන්වා දී තිබේ.

මේ අන්දමට අනුරාධපුර යුගය තුළදී හමුවන සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍රවලින් හෙළිවන තොරතුරු තුළින් පැවැති නර්තන කලාව පිළිබඳ සාක්‍ෂි අපට දක්‌නට ලැබේ. එලෙස පැවැති නර්තන ක්‍රමවේදයට රාජ්‍ය අනුග්‍රහය ප්‍රධාන වශයෙන් හිමි වූ අතර ආගමික ලබැඳියාවෙන් යුක්‌තව එකල සමාජය තුළ විසිරී පැතිර පැවැති බව සිතීමට හැකිවේ.

පොළොන්නරු යුගය

අනුරාධපුර යුගයේ අවසාන සමයේ පාලකයන්ගේ අවිධිමත් පාලන රටාව හා විවිධ දකුණු ඉන්දීය ආක්‍රමණ හේතුකර ගනිමින් ඇති වූ අනුරාධපුර බිඳවැටීමත් සමඟ රාජධානිය පොළොන්නරුවට මාරුවීම සිදුවිය. මේ යුගය වන විට තදින්ම රට තුළ සොලී ආධිපත්‍යය පැවැති බව දක්‌නට ලැබේ. ඒ හේතුව පදනම් කරගනිමින් හින්දු කලා සම්ප්‍රදායන් ප්‍රබල ලෙස සමාජය තුළ ව්‍යාප්ත වී යැම සිදු වූ ආකාරය දැකිය හැකි වේ. මූලික වශයෙන්ම හින්දු ආගමික සංකල්පය සමාජය තුළ ක්‍රියාත්මක වීම දක්‌නට ලැබුණු අතර ගෘහ නිර්මාණ කලාව ප්‍රබල අංශයක්‌ වශයෙන් වර්ධනය වී පැතිර යන ලදී. මේ තුළින් මූලිකවම ප්‍රධාන පෙළේ කෝවිල් ඉදිවීම ආරම්භ වීම සිදුවන්නට විය. හින්දු ජන සමාජය තුළ කෝවිල් ආශ්‍රිතව පූජා කර්මයන් වශයෙන් නැටුම්, ගැයුම්, වැයුම් පැවැත්වූ හෙයින් එම පූජා කර්මයන් සුවිශේෂී භාවයකින් යුක්‌තව පැවතුණි. මේ හේතූන් මත එම ආභාෂය පොළොන්නරු යුගයේදී ලංකා ජන සමාජය තුළ ප්‍රතිෂ්ඨාපනය වූ බව පැහැදිලිවම දැකගත හැකි වේ. එහිදී මූලිකවම මේ කාලපරිච්ඡේදය වන විට ඉන්දියාවේ පැවැති ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් පොළොන්නරු යුගය තුළ බලපැවැති බව පෙනී යයි. එසේ සිදුවීමේදී ප්‍රධාන ලෙසම හින්දු ආගමත්, නර්තන සම්ප්‍රදායත් ඒකාබද්ධ වීමට හේතු වූ කරුණ එහි නිර්මාතෘවරයා ලෙස ශිව හෙවත් නටරාජා මුල් වීමයි.

පොළොන්නරු යුගය තුළ නර්තන කලාව කුමන ආකාරයකින් පැවතියේද යන්න පිළිබඳ කරුණු විමසීමේදී පොළොන්නරුවේ අංක 2 දරන ශිව දේවාලයෙන් සොයාගනු ලැබූ ලෝකඩ නටරාජා ප්‍රතිමාව සුවිශේෂී වේ. මෙම ප්‍රතිමාවේ පාදමේ එකැස්‌ පෙර, තාලම්පොට, හොරණෑව, උඩැක්‌කිය වැනි වාද්‍ය භාණ්‌ඩ දක්‌නට ලැබේ. මේ තුළින් සංකලනාත්මක නර්තන කලාවක්‌ එනම් දේශීය හා ඉන්දීය සම්ප්‍රදායන් මුසු වූ නර්තන කලාවක්‌ පැවැතිය බව සිතීමට පුළුවන.

පොළොන්නරු අවධියේ රාජ්‍ය පාලනය ගෙනයනු ලැබූ පාලකයන් අතරින් සුවිශේෂම පාලකයෙක්‌ වශයෙන් සැලකෙන පරාක්‍රමබාහු රජු උපන් ස්‌ථාන වශයෙන් සැලකෙන දැදිගම (පුංකා ග්‍රාමය) කොටවෙහෙරෙන් සොයාගනු ලැබූ අගනා කලා නිර්මාණයක්‌ ලෙස සැලකෙන ඇත්පහන සුවිශේෂ වේ. මේ තුළින් එළිදැක්‌වෙනුයේ මෙකල පැවැති නර්තන කලාව කිනම් ආකාරයේ එකක්‌ද යන්නයි. ඇත්පහන එල්ලීමට යොදන දම්වැලෙහි පිළිවෙළින් බෙරකරුවෙක්‌, නළඟනක්‌ හා නළුවෙක්‌ රූකම් කොට ඇත. එම රූකම් බොහෝ සෙයින්ම භාරතීය ආභාෂයෙන් යුක්‌තව පවතින බව ඒ පිළිබඳ සිදුකර ඇති අධ්‍යයනයන් තුළින් පෙන්වා දී ඇත. පොළොන්නරු යුගයේ රාජ්‍ය පාලනය කරනු ලැබූ 1 වන පරාක්‍රමබාහු රජු (1153-1186) නර්තනය බොහෝ සෙයින් ප්‍රිය කරනු ලැබූ පාලකයෙක්‌ වූ අතර ඒ සඳහා විශාල වශයෙන් අනුග්‍රහය ලබා දී ඇත. ඒ අනුව බලන විට පරාක්‍රමබාහු රජතුමා විසින් නැටුම්, ගැයුම්, වැයුම් ඉදිරිපත් කිරීම සඳහා "සරස්‌වතී මණ්‌ඩපය" ඉදිකරනු ලැබූ බව සාහිත්‍ය මූලාශ්‍රයන්ගේ සඳහන් වේ. එහි රංගනයන් ඉදිරිපත් කිරීම සඳහා දක්‍ෂ නළු නිළියන් යොදාගත් බවත් මහාවංශය තුළින් කරුණු අනාවරණය කරනු ලබයි. එසේ සිදුකරනු ලැබූ නර්තනයන් මූලික වශයෙන්ම රජුගේ සේනාවේ යුද හමුදා සෙබළුන්ගේ විනෝදාස්‌වාදය උදෙසා පැවැත්වූ බව පෙන්වා දේ. එපමණක්‌ නොව චූලවංශය පෙන්වා දෙන ආකාරයට රෝහණයේ "කිරාග්‍රාම පුරයේ" නාට්‍ය ශාලා පහක්‌ කරවූ බව සඳහන් වී තිබේ. (පංචනාටක සාලායෝ - කාරාපෙත්වාන පත්ථිවෝ, 79 පරිච්ඡේදය, 79 ගාථාව)

තවද පොළොන්නරු යුගයේ රාජ්‍ය පාලකයකු වූ නිශ්ශංකමල්ල රජතුමා විසින් ඉදිකොට ඇති සැටදාගෙයෙහි ඇතුල් වන ද්වාරයේ බිත්ති දෙපස අලංකාර රූකම් වැලකි. එම රූකම් අතර නර්තනයේ යෙදෙන පිරිස්‌ හා බෙරවාදකයන්ගේ අංගචලනවලින් යුක්‌තව නිරූපණයන් සිදුකරන ආකාරය දක්‌නට ලැබේ. එලෙස දක්‌නට ලැබෙන රූකම් තුළින් වැඩි වශයෙන්ම දක්‌නට ලැබෙන්නේ ඉන්දියානු නර්තන ශෛලීන්ගේ අංගහාරයන්ය.

මේ ආකාරය තත් අවධිය තුළින් හෙළිවන සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පදනම් කරගනිමින් එළඹිය හැකි පොදු නිගමනය වනුයේ අනුරාධපුර අවධිය තුළට වඩා භාරතීය ආභාෂය මත ප්‍රචලිතව පැතිරී පැවැති නර්තන කලාවක්‌ පොළොන්නරු යුගය තුළ පැවැති බවයි. එහෙත් ඇතැම් අවස්‌ථාවලදී දේශීය ආභාෂය ගුරුකොටගත් නර්තන කලාව හා සම්මිශ්‍රණයකින් යුක්‌තව එම භාරතීය නර්තන කලාව ව්‍යාප්තිය සිදුවූ බව ඉදිරිපත් වී ඇති තොරතුරු හා සාක්‍ෂි මත නිගමනය කළ හැකි වේ.

දඹදෙණි යුගය

ලක්‌දිව රාජධානි නිරතදිගට සංක්‍රමණය සිදුවීම පොළොන්නරු යුගයේ පරිහානියත් සමඟ සිදු වූ සුවිශේෂී අවස්‌ථාවකි. එලෙස නිරිතදිගට රාජධානි සංක්‍රමණය වීමත් සමඟ ආරම්භ වූ මුල්ම රාජධානිය දඹදෙණි රාජධානියයි. මේ පාලන අවධිය තුළදී විදේශීය බලපෑම් එනම් ඉන්දියානු ආක්‍රමණ තදින්ම එල්ල වූ යුගයක්‌ වශයෙන් සලකනු ලබයි. චන්ද්‍රභානු නමැති ජාවක පාලකයාගේ ආක්‍රමණයන් ඒ අතරින් ප්‍රමුඛස්‌ථානයක්‌ ගනු ලැබේ. කෙසේ වෙතත් එවැනි බලපෑම් එල්ල වුවද මේ යුගය තුළින් ද කලා අංගයක්‌ වශයෙන් නර්තන කලාව පැවැති බවට තොරතුරු හමුවී තිබේ.

දඹදෙණි පුවත පිළිබඳව විස්‌තර කරමින් රචනා කරනු ලැබූ "දඹදෙණි අස්‌නේ" උගත් කලාවක්‌ දැක්‌වෙන තැත භාරත යෑයි පෙන්වා දී ඇත. භාරත යන ප්‍රචලිත නර්තන කලාව දක්‍ෂිණ භාරතයේ ප්‍රචලිතව පැවැති ප්‍රධාන නර්තන ශෛලිය වූ අතර එම නර්තන සම්ප්‍රදායේ ආභාෂය මෙම කාල වකවානුව තුළදී බලපවත්වා තිබූ බව පැහැදිලි වේ. එපමණක්‌ නොව මේ යුගයේ රාජ්‍ය පාලනය ගෙනයනු ලැබූ පාලකයන් තමන්ගේ නෘත්‍ය මණ්‌ඩලයන් සඳහාත්, විහාරස්‌ථානයන් ආශ්‍රිතව සිදුකරනු ලැබූ ආගමික උත්සවයන් සඳහා නටන, ගයන (නළු නිළියන් හා වාදකයන්) පිරිස්‌ ගෙන්වා ගන ලැබුයේ භාරතයෙන් බව පෙන්වා දී තිබේ. තවද මේ යුගය තුළ පැවැති වැදගත් ආගමික උත්සවයක්‌ වූ දළදා පූජෝත්සවයට අවශ්‍ය වූ නර්තන හා ගායන කණ්‌ඩායම් ඉන්දියාවෙන් ගෙන්වා ගෙන ඇති බව සඳහන් වී ඇත. එපමණක්‌ නොව දඹදෙණි අස්‌න මගින් එකල යොදාගනු ලැබූ තූර්යවාද්‍ය භාණ්‌ඩ ලේඛනයක්‌ පිළිබඳ තොරතුරු ඉතා උසස්‌ අන්දමින් දක්‌වනු ලබයි. එනම් එහි සඳහන් වන පරිදි "තවද නිසාත, තම්මැට, දවුල්, ලෝහ දවුල්, තප්පු, තාලම්පට, ජින දවුල්...." යනාදී වශයෙන් වාද්‍ය භාණ්‌ඩ විශාල සංඛ්‍යාවක්‌ නාමයන් සඳහන් ලේඛනයක්‌ ඇතුළත්ව තිබේ. මේ තුළින් පැහැදිලිව පෙනී යනුයේ වර්තමානය තුළ විද්‍යමාන නොවන වාද්‍ය භාණ්‌ඩ බොහොමයක්‌ පුරාතනයේ ලංකා සමාජයෙහි භාවිතයට යොදාගෙන ඇති බවයි. එලෙස යොදාගනු ලැබූ වාද්‍ය භාණ්‌ඩ අතත, විතත, විතතාත, ඝණය, සුසිරය යනුවෙන් සඳහන් වන පසතුරු නාදයන්ට අනුකූලව සෑදුනු බව මෙතුළින් විද්‍යමාන වී පෙනේ.

13 වන 14 වන සියවස්‌ තුළට අයත්ව ලියෑවුණු බොහෝමයක්‌ ග්‍රන්ථයන්ගේ නර්තන විෂයට අදාළ වන්නා වූ තූර්යවාද්‍ය භාණ්‌ඩ බොහෝ ප්‍රමාණයක්‌ තිබූ බව පෙන්වා දී තිබේ. වර්තමාන කාලපරිච්ඡේදය තුළදී පවා දක්‌නට ලැබෙන අතීතයේ පටන් පැවත එන භාරතයේ නර්තනය හා බැඳී පැවැති වාදනයන් සඳහා යොදාගනු ලබන මෘදංග හා මද්දල පිළිබඳ මහාවංශයේ ද නාමිකව දක්‌වා ඇත. එපමණක්‌ නොව දඹදෙණි හා කුරුණෑගල යුගයන් තුළදී රචනා කරනු ලැබූ ථූපවංශය හා දළදා සිරිත යන සාහිත්‍ය

නර්තන

ග්‍රන්ථයන්හි තූර්යවාද්‍ය භාණ්‌ඩ පිළිබඳව කරුණු දක්‌වා තිබේ. එහිදී ථූපවංශයේ දැක්‌වෙන සඳහන අනුව "ගැටබෙර, පනාබෙර, එකැස්‌ පෙර, මිහිඟු බෙර, උඩැක්‌කි, ඩැක්‌කි තම්මැට, මද්දල...." යනුවෙන් වාද්‍ය භාණ්‌ඩ බොහෝ ප්‍රමාණයක්‌ නාමිකව පෙන්වා දී ඇත.

මේ අයුරින් කරුණු විග්‍රහ කර බැලීමේදී දඹදෙණිය රාජ්‍ය කාලය තුළදී විදේශීය සම්භවයකින් යුක්‌ත එනම් ඉන්දීය ආභාෂය තුළින් ගොඩනැඟුණු නර්තන වින්‍යාසයක්‌ ශ්‍රී ලංකාවේ පැවැති බවත් වාද්‍ය භාණ්‌ඩ හා වාදනයට මූලිකත්වයක්‌ ලැබුණු බවත් හමුවන තොරතුරු අනුව පෙන්වා දීමට හැකි වේ.

යාපහුව හා කුරුණෑගල යුගයන්

ලංකා ඉතිහාසය තුළ දේශපාලන, ආර්ථික, සමාජීය, ආගමික හා සංස්‌කෘතික වශයෙන් වැදගත් වන්නා වූ යුගයන් වශයෙන් දඹදෙණි අවධියෙන් පසු උදාවන යාපහුව හා කුරුණෑගල යුගයන් බෙහෙවින් වැදගත් වේ. නර්තන කලාවේ ඉතිහාසය විමසාලීමේදී මේ යුගයන් තුළින් ද විශාල තොරතුරු සමුදායක්‌ දැකගත හැක. ඒ අනුව බලන විට නර්තනයට අදාළ අගනා රූකම් රාශියක්‌ දක්‌නට ලැබෙන යාපහුවේ පැරණි රජමාලිගා සංකීර්ණය මහත් පිටුවහලක්‌ සපයනු ලබයි. ඓතිහාසික වටිනාකමින් යුක්‌ත විදේශීය කලා සම්ප්‍රදායක ආභාසය ලබමින් අපේ කලාකරුවන් විසින් නිමවන ලද මේ මාලිගය තුළ දක්‌නට ලැබෙන රූකමක "මිනිසෙක්‌ තම දෑත් බිමට තබා සිටගෙන දෙපා ඉහළට ඔසවා සිටින අතර බෙරවයන්නකු වාදනය කරන පදයට අනුගතව චලනයන් සිදුකරන අයුරු දිස්‌වේ." මාලිගයෙහි තවත් ස්‌ථානයක දක්‌නට ලැබෙන රූකමක "නැට්‌ටුවා හා වාදකයා යන දෙදෙනාම එක්‌ පාදයක්‌ තම හිසට ඉහළින් ඔසවා සිටින ආකාරයේ අසීරු ඉරියව්වක නිරතව සිටී." මේ පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කරන විද්වතුන් පවසා සිටිනුයේ රූකමෙන් දැක්‌වෙන ඉරියව්ව භරත නාට්‍යයම් හා සම්බන්ධ බවත්, එහි අන්තර්ගත අංග 108 න් එක්‌ ඉරියව්වක්‌ මේ තුළින් නිරූපණය සිදුකර ඇති බවයි. රූකමේ දක්‌නට ලැබෙන ආකාරයට නර්තනයේ යෙදෙන තැනැත්තාත් බෙර වාදනය සිදු කරන තැනැත්තාත් යන දෙදෙනාම ස්‌ත්‍රීන් බව පෙන්වා දී තිබේ. තවද මාළිගාවේ ශේෂව පවතින නටඹුන් අතර මේ හා සමාන රූකම් රාශියක්‌ දක්‌නට ලැබේ. එම සියලු රූකම් තුළින් විද්‍යමාන වනුයේ භාරතීය ආභාෂයෙන් යුක්‌ත නර්තන ශෛලියක්‌ පැවති බවයි.

යාපහුව යුගයේදී මෙන්ම කුරුණෑගල යුගය තුළ ද නර්තනය ප්‍රචලිතව පැවැති බවට නිදර්ශන දක්‌නට හැකි මේ. ඒ අනුව කුරුණෑගල යුගයේදී රචනා වුණු "උම්මග්ග ජාතකයේ" සඳහන් තොරතුරු බොහෝ සෙයින් වැදගත් වනු ඇත. එනම් "ඒ වෙදේහ රජුගේ විධානයෙන් ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යනාදී පංච තූර්ය නාද පැවැත්වූහ. (උම්මග්ග ජාතකය - කුමාරතුංග, 1979 පිටු 91) යනුවෙන් සඳහන් වී තිබීමෙන් පැහැදිලි වේ. මේ අවධියේදී ප්‍රධාන ලෙසම යුද්ධ කටයුතුවලට නික්‌ම යැමේදී මෙවැනි වාදනයන් සිදු කරනු ලැබූ බව වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.

ගම්පොළ යුගය

කුරුණෑගල යුගයෙන් අනතුරුව බිහිවන නව රාජධානිය ලෙස ගම්පොල රාජධානිය සුවිශේෂී වැදගත්කමක්‌ හිමිකර ගනී. එනම් කලාව සම්බන්ධයෙන් විශාල ව්‍යාප්තියක්‌ දක්‌නට ලැබෙන කාල වකවානුවක්‌ වශයෙනි. එහිදී සෑම ක්‍ෂේත්‍රයක්‌ම ආවරණය වන ආකාරයට ප්‍රහසන මට්‌ටමේ ප්‍රගතියක්‌ දැකිය හැකි වේ. ගම්පොල යුගය තුළ ද නර්තනය කලාවක්‌ වශයෙන් ක්‍රියාත්මකව පැවති බවට කරුණු කාරණා විශාල ප්‍රමාණයක්‌ හමු වී ඇත. ගම්පොල යුගයේ රාජ්‍ය පාලනය ගෙනගිය වික්‍රමබාහු රජු (1371 - 1378) විසින් දැවයෙන් ඉදිකරනු ලැබූ ඇම්බැක්‌ක දේවාලයේ කුළුණුවල දක්‌නට ලැබෙන වටිනා රූකම් ගණනාවකි. ඒ අතුරින් දේවාලයට ඇතුළු වන ස්‌ථානයේම පිහිටි ප්‍රධාන බාල්ක මත ඉතා පැරැනි ජන නැටුමක්‌ වූ "ලී කෙළි නැටුමේ" රූකමක්‌ පැහැදිලිව දැකීමට හැකිය. තවද එම දේවාලයේ ප්‍රධාන කණුවල දක්‌නට ලැබෙන සිව්රැස්‌ ජනේල වල "නිළියන් මැණ්‌ඩියට නැමී සිට වම් අත දණහිස මත තබා දකුණතින් ඉන්දීය නර්තන ශෛලියක හස්‌ත මුද්‍රdවක්‌ දක්‌වමින්" නර්තනයක්‌ ඉදිරිපත් කරනු ලබයි. මනා ලෙස මෙම රූකම් අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ ඉන්දියාවේ පවත්නා භාරත නාට්‍යම් පාද ප්‍රයෝගවලින් යුත් අංග ප්‍රත්‍යංග කොටස්‌ වලින් යුක්‌ත වූ නර්තන විලාසයන් ය.

තවද සම්පූර්ණයෙන්ම

ගලින් නිර්මාණය කරන ලද ගඩලාදෙණි විහාරයේ විහාරයට ඇතුළුවන ස්‌ථානයේ දක්‌නට ලැබෙන රූකම් ද වැදගත් වේ. එලෙස දක්‌නට ලැබෙන රූකම් අතර නළඟනන්. බෙරකරුවන් මෙන්ම නලා, උඩැක්‌කි යනාදී වාද්‍ය භාණ්‌ඩ යොදා ගනිමින් ඒවා වාදනය කරනු ලබන වාදන ශිල්පීන්ගේ රූකම් නිරූපණය දක්‌නට ලැබේ. එපමණක්‌ නොව මේ පිළිබඳ තොරතුරු රූපාවලියේ පැහැදිලිව කරුණු දක්‌වා ඇත.

තවද ගම්පොල යුගයේදී ඉදිකරනු ලැබූවේ යෑයි සලකන ගාලු දිස්‌ත්‍රික්‌කයේ පිහිටා තිබෙන බෙන්තොට ගලපාත විහාරයේ දක්‌නට ලැබෙන ගල් උළුඅස්‌සේ උඩැක්‌කි, හොරණෑ, ගැටබෙර, යන වාද්‍ය භාණ්‌ඩත්, නර්තන ශිල්පීන්ගේ රූකම් දැක ගත හැක. එමෙන්ම මීට සමාන ආකාරයේ සාක්‍ෂි කෑගලු දිස්‌ත්‍රික්‌කයේ ගනේගොඩ දේවාලයෙන් සොයා ගෙන ඇත.

සන්දේශ සාහිත්‍යයේ ආරම්භය සනිටුහන් කරන ගම්පොල යුගය තුළදී රචනා වූ "තිසර සන්දේශයේ" සඳහන් තොරතුරු වැදගත් වේ. එම තොරතුරුවලට අනුව එකල පැවැති "දැදිගම්පුර රාජ සභාවේ" පැවැත්වූ නැටුම්, ගැයුම්, වැයුම් පිළිබඳ විස්‌තර වී ඇති ආකාරය පහත පද්‍යයෙන් දිස්‌වේ.

තාලම් බෙර තම්මැට පට තන්තරි ඩඹුරු

තඹ මේටක බොම්බිලි මිහිණා මිණි රුසිරූ

මද්දල බෙර තාලම් රජු නිළගම් බැද සොඳුරු

මෙසියල් මහහිඟු මෙන් පළ කරමින් සිදු අයුරු (තිසරු සංදේශය, මහාචාර්ය ඒ. වී. සුරවීර (සංස්‌) 2006, පිටු 59)

දක්‌නට ලැබෙන තොරතුරු විග්‍රාහාත්මක විමර්ශනයකට ලක්‌ කිරීමෙන් ගම්පොල යුගයේදී පැහැදිලිවම දේශීය හා විදේශීය වශයෙන් ව පැවැති නර්තන ශෛලීන් දක්‌නට ලැබුණු අතර දේශීය වාද්‍ය භාණ්‌ඩ මෙන්ම විදේශීය වාද්‍ය භාණ්‌ඩ නර්තන කලාව හා මිශ්‍රව පැවැති බව පෙන්වාදීමට හැකි වේ. එපමණක්‌ නොව රාජ්‍ය අනුග්‍රහය ද නර්තනය වෙනුවෙන් නොමදව ලැබුණු ආකාරය මේ යුගයේදී දැකගත හැකිය.

කෝට්‌ටේ යුගය

ගම්පොල යුගය නිමාවට පත්වීමත් සමඟම ලංකා ඉතිහාසයේ දක්‌නට ලැබෙන රයිගම හා සීතාවක රාජධානි අවධීන් උදාවීම දැක ගත හැක. මේ අවධීන්වලින් අනතුරුව ඇතිවන ඊළඟ වැදගත්ම යුගය වනුයේ කෝට්‌ටේ යුගයයි. රාජ්‍ය පාලනය මුල්කර ගනිමින් පාලන තන්ත්‍රය සැකසී තිබූ අතර මේ අවධියේ වැදගත් ම පාලකයා වශයෙන් ඪෂ වන පරාක්‍රමබාහු රජු ලංකා ඉතිහාසයේ පෙන්වා දී ඇත. එපමණක්‌ නොව සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගයක්‌ වශයෙන් සලකනු ලබන මෙම අවධිය සංදේශ සාහිත්‍යයේ වර්ධනීයත්වයක්‌ පෙන්නුම් කරයි. කෝට්‌ටේ යුගය තුළ ද නර්තන කලාව පැවැති බවට විශාල වශයෙන් තොරතුරු රාශියක්‌ සාහිත්‍ය මූලාශ්‍ර මගින් හා දේශාටන වාර්තා තුළින් ඉදිරිපත් වී ඇත. එසේ සඳහන් වී ඇති තොරතුරු අතරින් දෙවිනුවර උපුල්වන් දේවාලයේ වැඩ වසන විෂ්ණු දෙවියන්ට උපහාර පිණිස "හින්දු බාලිකාවෝ පන්සියයක" දෙනා මුළු රැයක්‌ පුරාම ගීතිකා ගයමින් නර්තනයේ යෙදුනු බව 14 වන සියවසේදී ලංකාවට පැමිණි ඉබන් භතුතාගේ වාර්තාවල සඳහන් වී ඇත. එලෙස නර්තනයේ යෙදුණු හින්දු බාලිකාවෝ මිනිස්‌ උසැති දෙවිවරුන් අබියස නර්තනයේ යෙදුන බව වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

තවද කෝට්‌ටේ යුගයේ සිටි නිශ්ශංක අලගක්‌කෝණාරයන් විසින් නිර්මාණය කරනු ලැබූ ආකාරයේ සඳහන් විස්‌තර මගින් කියෑවෙනුයේ නැටුම්, ගැයුම්, වැයුම් පැවැත්වූ බවයි. එම සඳහනට අනුව "ලක අරක්‌ගත් සිහිරැළි උපුල්වන්, විභීෂණ, කන්දකුමාර යන දෙවිවරුන් විෂයෙහි වෙන වෙනම දේවස්‌ථාන කරවා නර්තන ශෛලීන් නිර්මාණය කරගනු ලැබූ බවයි." එසේ නිර්මාණය කරනු ලැබූ නර්තන ශෛලීන්ට කෝට්‌ටේ යුගය තු=ළ පාලන කටයුතු ගෙන යන ලද රජවරුන්ගේ අනුග්‍රහය නොමඳව ලැබී ඇත. එපමණක්‌ නොව. ක්‍රි. ව. 1415 - 1467 කාලය තුළ රාජ්‍ය පාලනය ගෙන යනු ලැබූ වීර පරාක්‍රම රජුට "වැදී පැමිණියා වූ රෝග බිය, සතුරු බිය, දුරුකොට, යසස්‌ තෙද ඔදවත් කිරීම පිණිසත් සෙත් ශාන්තිය උදාකිරීම සඳහා කොහොඹා කංකාරිය ශාන්ති කර්මය කරවූ බව "කුවේණි අස්‌නයෙහි" සඳහන් වී තිබේ.

සිංහල සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගය ලෙස සලකනු ලබන කෝට්‌ටේ යුගය තුළ බෙහෙවින් ම සංදේශ සාහිත්‍යයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වේ. එනම් සැළලිහිණි, ගිරා, පරෙවි, කෝකිල, හංස යන සංදේශ කාව්‍යයන් මේ යුගයේදී නිර්මාණය වූ සංදේශ කාව්‍යයන් ලෙස පෙන්වා දී තිබේ. කෝට්‌ටේ යුගයේ නර්තනය පැවැති බවට තොරතුරු මෙම සාහිත්‍ය කෘති තුළින් අනාවරණය කරනු ලබයි. එලෙස දැක්‌වෙන තොරතුරු අතර දේවාල ආශ්‍රිතවත්, රාජ සභාවලත් ඉදිරිපත් කරනු ලැබු නැටුම්, ගැයුම්, වැයුම් කුමන ආකාරයෙන් සිදුවූයේ දැයි පෙන්වා දී ඇත. එසේ සංදේශ කාව්‍යයන්වල එම තොරතුරු ඇතුළත්ව තිබූ ආකාරය පහත දැක්‌වන පද්‍යයන් තුළින් පැහැදිලි වනු ඇත.

1. ලෙළදුන් නව තඹ පලුවන් පාදේ

තඹවින් නොවරද මද්ද නාදේ

ගයමින් පානා ගීතෙන් කීදේ

අඟනුන් රඟදුටුවන් සිත පෑදේ

(පරෙවි)

2 ලකල පුළුලුකුල බෑමිණි මෙවුල්ලා

සමඟ රන්සළඹ රැවුදී වෙවුල්ලා

වයන පදට තබමින් පද කමල්ලා

රඟන ලඳුන් බල රූසිරි සියල්ලා

(සැළලිහිණි)

3. අදිමින් සුදු පට සළු හෙළ සඳුනින් තුනු තවරා

සරමින් උර මුතුහර සිරි මලිගිය මල සපුරා

සෙබමන් යුග සරණත නුපුර රැවුදී ඉඳුරා

බසිමින් සබමැද රඟ දෙති කියමින් ගී සපුරා

(කෝකිල)

තවද කෝට්‌ටේ යුගය තුළ පිරිවෙන් කේන්ද්‍ර කර ගනිමින් විධිමත් අධ්‍යාපන ක්‍රමයක්‌ සකස්‌ වී පැවතිනි. එම පිරිවෙන්වල ඉගැන්වීම සඳහා සිංහල, පාලි, සංස්‌කෘත, කාව්‍ය නාටක, අර්ථ ශාස්‌ත්‍ර වැනි විෂයන් යොදා ගන්නා ලදී. ඒ අතරින් පිරිවෙන් තුළ ප්‍රමුඛව කාව්‍ය නාටක පිළිබඳව පුළුල්ව ඉගැන්වූ බවත් එමගින් රසාස්‌වාදනය කෙරෙහි යොමුවීමට මූලික පදනම සැකසීමට හේතු වී ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන්ම හංස, ගිරා යන සංදේශ කාව්‍යයන්හි පැවැති නාටක පිළිබඳ පුළුල් ලෙස තොරතුරු සපයා ඇත.

මේ ආකාරයෙන් සඳහන් වී ඇති සියලු සාධකයන්ට අනුව කෝට්‌ටේ යුගය තුළදී ද සැලකිය යුතු මට්‌ටමකින් නර්තනය ප්‍රචලිතව පැවැති බවත් විදේශීය ආභාෂය පිළිබිඹු කෙරෙන නර්තනයන් ද පැවති බව දක්‌නට ලැබේ. එසේ පැවැති නර්තන කලාවට රාජ්‍ය අනුග්‍රහය මෙන්ම සමාජයේ වැදගත් ප්‍රභූන්ගේ දායකත්වය ද ලැබී තිබෙන ආකාරය හෙළිවන තොරතුරුවලින් පසක්‌ වනු ඇත.

මහනුවර යුගය

විදේශීය ආක්‍රමණයන්ට ලංකාව ගොදුරුව පවත්නා අවස්‌ථාවලදී සිංහලයාගේ ආරක්‍ෂාව සලසනු ලැබූයේ කන්ද උඩරට ප්‍රදේශයයි. අතීත යුගයන්වලදී ද විවිධ පාලකයන් තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ ප්‍රදේශයට පැන ගොස්‌ සැඟවී සිටි බවට මූලාශ්‍ර මගින් තොරතුරු හමු වී තිබේ. එමෙන්ම මේ යුගය තුළ විශාල විපර්යාසයක්‌ බ්‍රිතාන්‍ය පාලකයන්ගේ පැමිණීම කරණ කොට ගෙන සිදුවිය. එසේ විවිධ ස්‌වභාවයන්ට ලක්‌වෙමින් පැවැති මහනුවර යුගයේ උසස්‌ කලාවක්‌ වශයෙන් නර්තන කලාව පැවැති බවට සාක්‍ෂි විශාල ප්‍රමාණයක්‌ අනාවරණය කරගෙන ඇත. සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක හා දේශාටන වාර්තා ඒ අතර ප්‍රධාන ස්‌ථානයක්‌ හිමිකර ගනී.

ක්‍රි. ව. 1591 - 1604 කාලයේ වැඩ විසූ වික්‍රමබාහු රජුගේ කාලසීමාව තුළදී ලංකාවට පැමිණි සපීල් බර්ජන් සඳහන් කරන තොරතුරු බොහෝ සෙයින් වැදගත් වේ. මොහු විසින් මහනුවර දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යයේදී ඉදිරිපත් කරනු ලබූ නර්තනයන් පිළිබඳව කරුණු දක්‌වා ඇත. එනම් "මහනුවර පෙරහැරේ රූමත් තරුණියෝ අලංකාරව නර්තනයේ යෙදෙති. ඔවුන්ගේ උඩුකය නග්න වූ අතර යටිකයට අලංකාර වැඩ දැමූ වස්‌ත්‍ර ඇත්තෝ ය." යනුවෙන් සඳහන් කරනු ලබයි.

මහනුවර යුගයේ රාජ්‍ය පාලනය ගෙන යනු ලැබූ ශ්‍රේෂ්ඨ පාලකයකු වූ ෂෂ වැනි රාජසිංහ පාලන සමයේ ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික රොබට්‌ නොක්‌ස්‌ ද තම වාර්තාවන්හි මහනුවර දළදා පෙරහැරේ දක්‌නට ලැබුණු නර්තනයන් පිළිබඳ අදහස්‌ දක්‌වා තිබේ. එසේ සඳහන් කර තිබෙන තොරතුරුවලට අනුව ඔහු මෙසේ දක්‌වා තිබේ. එනම් එහි වූ දේවාල පෙරහැරට හා විහාරවල තේවාවන් සඳහා නියම වූ කුලවලින් පැමිණ කළගෙඩි සෙල්ලමේ යෙදෙන නළඟනන් වෙති. ඔවුන් විසින් නියමිත පරිදි විවිධ ක්‍රීඩාවල යෙදෙමින් නර්තනයේ යෙදෙන අතර කළගෙඩි ක්‍රීඩාවේදී තිදෙනා බැගින් අතිනත ගෙන රඟන ස්‌ත්‍රීන් වෙති යනුවෙන් සඳහන් කොට තිබේ.

තවද දේශීය නර්තන කලාවේ ආරම්භයේ ප්‍රබල සංධිස්‌ථානයක්‌ ලෙස මහනුවර යුගය බෙහෙවින් ම වැදගත් ස්‌ථානයක්‌ හිමිකර ගනු ලබයි. එසේම මේ යුගයේ රාජ්‍ය පාලනය ගෙන යනු ලැබූ ශ්‍රී වීර පරාක්‍රම නරේJද්‍රසිංහ රජතුමාගේ පූර්ණ අනුග්‍රහය නර්තන කලාව සඳහා හිමි වී ඇත. එතුමාගේ පාලන සමය වූ 1707 - 1739 අතර කාලයේදී පාලන කටයුතුවලට වඩා වැඩි අවධානයක්‌ නර්තන කලාවට යොදවමින් කටයුතු සිදු කරන ලදී. එපමණක්‌ නොව නැටුම්, ගැයුම්, වැයුම් සඳහා වැඩි ඇල්මක්‌ දැක්‌වූ මෙතුමා විසින් තවදුරටත් මෙම සෞන්දර්යාත්මක චින්තන කලාව නගාසිටුවීමට මූQලිකව ක්‍රියාකරනු ලබයි. මොහු රාජ්‍ය පාලනයේ දුර්වලයකු ලෙස සලකනු ලැබූවද, නර්තන කලාව උදෙසා විශාල මෙහෙවරක්‌ සිදුකර ඇත.

කෝට්‌ටේ යුගයේදී ශ්‍රී වීරපරාක්‍රම රජුට සිදු කරනු ලැබූ අයුරින් මහනුවර යුගයේදී ද ශ්‍රී වීර පරාක්‍රම නරේJද්‍රසිංහ රජුට ද සෙත් පතා සියලු දොස්‌ දුරුකිරීමේ අරමුණින් කොහොඹ කංකාරි ශාන්තිකර්මයක්‌ පැවැත්වූ බව මේ කාලයේ රචනා වූ "සිහබා අස්‌නේ" තොරතුරු සඳහන් වී තිබේ. තවද මෙතුමාගේ පාලන අවධිය තුළදී දේශීය නර්තන කලාව ව්‍යාප්ත කරලීම සඳහාත්, නර්තනයේ නියෑළී සිටි නර්තන ශිල්ප ශිල්පිනියන් හට එය පවත්වා ගෙන යැමට අවශ්‍ය අයුරින් පුහුණුවීම් සිදු කිරීමට "කවිකාර මඩුව" නමින් ආයතනයක්‌ පිහිටුවා ඇත. කවිකාර මඩුව තුළදී නොයෙක්‌ ආකාරයේ රාජ්‍යස්‌තෝත්ත්‍ර, විරිඳු, ප්‍රශස්‌ති හා වන්නම් ගායනා ඉදිරිපත් කිරීම සිදු වූ අතර නර්තනය සඳහා ශෘංගාලංකාරයේ කවි ගායනා යොදාගන්නා ලදී. ශෘංගාලාංකාරයෙහි ඇතුළත් වන්නා වූ කවි ගායනා, රචනා කිරීම මේ අවධියේ ජීවත් වූ රම්මොලවක අදිකාරම්තුමා අතින් සිදු වී ඇත. එපමණක්‌ නොව ශෘංගාලංකාරයේ කවි ගායනා ඇසුරු කර ගනිමින් ඉදිරිපත් කෙරුණු නර්තන විලාසයන් දැකීමෙන් සතුටට පත් වූ නරේJද්‍රසිංහ රජු විසින් ත්‍යාගයක්‌ වශයෙන් "රම්මොලවක ගම" නමින් ගලක කොටවා නිදන්ගමක්‌ පවරා දී තිබේ. තවද රජුගේ නෘත්‍ය මණ්‌ඩලයේ ප්‍රධානියා වශයෙන් ද රම්මොලවක අදිකාරම්තුමා පත්කර ඇත. ජනප්‍රවාදයේ එන ඇතැම් තොරතුරුවලින් පෙන්වා දෙනුයේ උඩරට වන්නම් රචනා වීම රම්මොලවක අදිකාරම යටතේ සිදු වූ බවයි.

තවද මේ යුගයේදී හමුවන පුරාණ සන්නසකින් හමුවන තොරතුරු අනුව පෙනී යන්නේ නරේJද්‍රසිංහ රජු විසින් වන්නම් නිර්මාණය කිරීම සිදු කළ බවයි. ඒ අනුව සන්නසේ සඳහන් වී ඇති ආකාරයට ශ්‍රී වීර පරාක්‍රම අධිරාජ්‍යයාණන් වහන්සේ රාජ්‍යසභ්‍යන්තර්ගත, භාෂා ශාස්‌ත්‍ර ප්‍රවීණ මහරාජෝත්තමයාණන් වහන්සේ වන්නම් දහඅට විභාග කොට....." සඳහන් වී තිබේ.

මහනුවර යුගයේ දී ශ්‍රී වීර පරාක්‍රම නරේJද්‍රසිංහ රජුගෙන් පසු කාලීන අවධිය තුළදී දැඩි ලෙස ද්‍රවිඩ සංස්‌කෘතියේ බලපෑම් හේතුවෙන් නර්තන කලාවේ වෙනස්‌වීම් සිදු වී ඇති බව දැකීමට හැකි වේ. මේ කාලයේදී ද්‍රවිඩ සංස්‌කෘතික ලක්‍ෂණ හරහා බිහි වූ වැඩවසම් සමාජ පසුබිම මගින් නැටුම් කලාවේ දියුණුවක්‌ සිදු වුවද, එයට සීමා වැටකඩුළු පනවනු ලැබීය. එසේ ඇති වූ වැඩවසම් සමාජ ක්‍රමය තුළ උසස්‌ යෑයි සම්මත රජවරු, මැති ඇමැතිවරු, ප්‍රභූවරු, නිළමේවරුන් සඳහා වෙන් වූ නර්තන කණ්‌ඩායම් පැවතිණි. එසේ පැවැති නර්තන කණ්‌ඩායම් ඒ ඒ රජවරුන්ගේ, මැති ඇමැතිවරුන්ගේ, ප්‍රභූවරුන්ගේ හා නිළමේවරුන්ගේ නාමයෙන් නම් කර තිබූ අතර ඔවුන් වාසය කරනු ලැබූ රජමාළිගයෙහි නැතිනම් වලව්වේ ඔවුන් රඳවාගෙන ඇත.

මේ ආකාරයෙන් මහනුවර යුගයේ වැඩවසම් සමාජ පසුබිම යටතේ දේශීය නර්තන කලාව දියුණුවට පත් වූ අතර ඒ සඳහා සීමා වැටකඩුළු පැනවීම සිදු වූ බව පැහැදිලිව දක්‌නට ලැබේ.

එපමණක්‌ නොව වැඩවසම් සමාජ පසුබිම තුළ උඩරට නර්තනය හදාරනු ලැබූ ශිල්පීන් හට බෞද්ධාගමික කටයුතුවල නිරත වීමට සිදු වී ඇත. එහිදී ප්‍රධාන වශයෙන් ම දිනපතා පවත්වනු ලැබූ තේවාවන්වලදී හේවිසි වාදනය සඳහාත්, වාර්ෂිකව පවත්වන්නට යෙදුණු දළදා පෙරහැරේ නැටුම්, ගැයුම්, වාදනයන් වෙනුවෙන් දළදා මාළිගාව මගින් සියලුම ශිල්පීන්ට වේතනයක්‌ (වැටුපක්‌) ගෙවීම සිදුකර තිබේ. මෙසේ සිදු වූ ක්‍රියාවන් පිළිබඳව එදිරිවීර සරච්චJද්‍ර මහතා විසින් ලියන ලද "සිංහල ගැමි නාටක" පොතෙහි සඳහන් වී ඇත.

මහනුවර යුගය තුළදී වැඩවසම් සමාජ ක්‍රමයේ ප්‍රතිඵලයක්‌ වශයෙන්

නර්තන කලාව දියුණු වූ අතරම අවසාන කාල සීමාවේදී එම නෘත්‍ය මණ්‌ඩලයන් දූෂණය වීම සිදුවිණි. කෙසේ වෙතත් මේ ඇති වූ තත්ත්වය වළක්‌වාලීම සඳහා රාජ්‍ය අනුග්‍රහය මත එම නෘත්‍ය මණ්‌ඩල භාරව ක්‍රියා කිරීම සඳහා "ඉලංගම් මොහන්දිරම්" යන තනතුරු ඇති කරනු ලබයි. මෙසේ ඇති කරන ලද නව තනතුර යටතේ ඒ වන විට පැවති විවිධ රජවරුන්ගේ ප්‍රභූවරුන්ගේ හා නිළමේවරුන්ගේ නර්තන කණ්‌ඩායම් ක්‍රමානුකූල පදනමක්‌ මත සැකසී ඇත. මේ ආකාරයෙන් බලන විට වැඩවසම් සමාජ ක්‍රමය යටතේ නර්තන කලාව දියුණුවට පත් වූ අතර රාජ්‍ය අනුග්‍රහය හා උපදෙස්‌ මත එක්‌ පුද්ගලයකු වටා කේන්ද්‍ර වී ව්‍යාප්තව පැවති බව දක්‌නට ලැබේ.

තවද ක්‍රි. ව. 1780 - 1715 අතර කාලය තුළදී රචනා වූයේ යෑයි අනුමාන කරන ලද අම්බැක්‌කේ දේවාලය පිළිබඳ ලියෑවුණු "ඇම්බැක්‌කේ අලංකරණය" නමැති කාව්‍ය ග්‍රන්ථයෙහි සඳහන් කරුණු ද බොහෝ සෙයින් වැදගත් වේ. එනම් එහි සඳහන් වී ඇති පරිදි පෙරහැර දේවාලයට පිවිසීමෙන් අනතුරුව දෙවියන් විෂයෙහි සිදු කරනු ලබන "මංගල ගීතය" සඳහා භක්‌ති පූර්වක විලාසයෙන් ඉදිරිපත් කරනු ලැබු නර්තනයක්‌ පැවැති බවයි. මේ තුළින් පෙනී යන කරුණ වනුයේ ඇම්බැක්‌කේ දේවාලයේ වැඩවසන දෙවියන් අභිමුඛයේ ගායනා කරනු ලබන දේවස්‌ත්‍රෝත්ත්‍ර සඳහා නර්තනය භක්‌තිමත්ව ඉදිරිපත් කිරීම සිදු වී ඇති බවයි.

මෙලෙස මහනුවර යුගය තුළදී නර්තන කලාව පැවැති බවට හමුවන සියලු සාධක ඇසුරෙන් පෙනී යනුයේ ප්‍රධාන වශයෙන් දේශීය නර්තන සම්ප්‍රදායේ ආරම්භය සිදු වූ බවත් ද්‍රවිඩ ආභාෂය නර්තනට කලාවට කෙරෙහි බලපෑ බවත් ය. එසේම රාජ්‍ය අනුග්‍රහය හා සමාජයේ ප්‍රභූන්ගේ අනුග්‍රහය නිරතුරු නර්තනය හිමි වූ අතර උසස්‌ අන්දමින් මහනුවර යුගය තුළදී නර්තන කලාව ප්‍රචලිත වී ව්‍යාප්තව පැවති බවයි.

ඉහත අධ්‍යයනයට යොමු කරනු ලැබූ සියලු කරුණු තුළින් පෙනී යන්නේ ප්‍රාග් බෞද්ධ සමයේ සිට නර්තන කලාව ක්‍රමයෙන් ආරම්භව පැවති සමාජ පසුබිමක්‌ නිර්මාණය වී පැවති අතර එය එතරම් ක්‍රමවත් සැලසුමකට අනුගතව සැකසී නොතිබිණි. එහෙත් පසුකාලීනව එළැඹෙන අපේ ශිෂ්ටාචාරයේ ආරම්භක අවධිය වන අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්‌වා හරවත් ආකාරයෙන් නර්තන කලාව ව්‍යාප්ත වූ අතර ඇතැම් අවස්‌ථාවන්වලදී විදේශීය ආභාෂයන් හේතුවෙන් වෙනස්‌කම් සිදු වූ නමුත් උසස්‌ මට්‌ටමේ කලාවක්‌ බවට සමාජ සංදර්භය තුළ රාජ්‍ය අනුග්‍රහය සමාජයේ ප්‍රභූන්ගේ අනුග්‍රහය ලබමින් ක්‍රියාත්මකව පැවැති බවට ඒ ඒ යුගයන් තුළින් හෙළි කෙරෙන සියලු ඓතිහාසික තොරතුරුවල සාවද්‍යතාව මත නිගමනයකට එළැඹීමට හැකි වනු ඇත.

එච්. බී. එල්. හේවගේ
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.