විපරීත බුද්ධිඃ!

විනාශ කාලෙ - විපරීත බුද්ධිඃ යනුවෙන් සිංහල ජනවහරට එක්‌වූ සංස්‌කෘත ශ්ලෝක පදයක්‌ තිබේ. එහි සරලම තේරුම නම් යම් යම් යුගවලදී කිසියම් උමතු ස්‌වරූපයෙන් මිනිස්‌සු ක්‍රියා කරති යනුයි. නූතන වහරට අනුව "පිස්‌සු කෙළීම" ලෙසද එය හැඳින්විය හැකිය.

කෙසේ හෝ පසුගියදා මේ රටේ සමාජ දේශපාලන ක්‍ෂෙත්‍රවල ඉමහත් ආන්දෝලනයට ලක්‌වූ සිද්ධියක්‌ වූයේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා විසින් සමෘද්ධි නියාමකවරයකු ගස්‌ බැඳීමය.

(ඔහු එම හපන්කම කළේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසය. දැන් ඔහුට එම ධුරය මෙන්ම සිය සංවිධායක ධුරයද අහිමි කර තිබේ.)

මර්වින් යනු දේශපාලනයේදී මෙන්ම සමාජය තුළද විවාදාත්මක චරිතයකි. ඔහුගේ වැඩට මෙන්ම කටටද බ්‍රේක්‌ නැති බවද කව්රුත් දනිති. එහෙත් ඒ සියල්ලම දේශපාලන බලය නමැති අවිය ලෙළවමින් කරනු ලබන දේවල්ය.

අද මේ රටේ විනය හා සංවරය පිළිබඳ බොහෝ විවේචන ඇසෙයි. පාසල, සරසවිය, පාර්ලිමේන්තුව වැනි ආයතන මෙන්ම පොදු සමාජය පිළිබඳවද කෙරෙන විවේචන හඳ කම්පා කරවන සුළුය. උසස්‌ පෙළට පිළිතුරු ලිවීමට පැමිණි සිසුවියක්‌ දෑත් බැඳ කාමරයක සිර කර තිබියදී හමු විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්‌වරයකුට මාතරදී මැර ප්‍රහාරයක්‌ එල්ල වී ඇත. සිය රාජකාරිය නිමා කර නිවස බලා යමින් සිටි ඒ නිලධාරියාට පහර දී ඇත්තේ බස්‌ රියකට කඩා වැදුණු මැරයින් විසින් බව පොලිසිය කියයි.

ආණ්‌ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ නිලධාරීන්ට ගස්‌ බැඳ දඬුවම් දීමට ඉදිරිපත් වන රටක, තවත් නිලධාරියෙකුට මැර ප්‍රහාරයක්‌ එල්ලවීමද සාමාන්‍ය දෙයකැයි කෙනෙක්‌ කීමට බැරි නැත. එහෙත් නීතිය අතට ගෙන මේ වර්ගයේ සැහැසිකම් කිරීම මෙන්ම දේශපාලන පිස්‌සු කෙලීම්ද කිසිවෙක්‌ අනුමත නොකරති.

මේ වර්ගයේම තවත් පිස්‌සුවක්‌ පසුගිය දිනවල වාර්තා වී තිබිණි. ඒ අපගේ ඓතිහාසික උරුමයක්‌ වන පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්‌ඩපය අබියස විදේශ සංචාරකයින් වෙනුවෙන් මධු සාදයක්‌ පැවැත්වීමය. මෙහිදී පෙරදිග ගැමි සංස්‌කෘතියට අනුව සැරසුණු ලියෝ සුදු මහත්වරුන්ට සංග්‍රහ කළහයිද වාර්තාවේ.

මර්වින් සිල්වා මහතා සඳහන් කරන පරිදි ඔහුට මෙන්ම අපේ සංස්‌කෘතික උරුමයන්ටත් ඒරාෂ්ටකයක්‌ ලබා තිබේද? නිශ්ශංකමල්ල උයන පෞඪ සංස්‌කෘතික උරුමයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අලඡ්ජී සාදය සඳහා එය තෝරා ගත්තෝද ඒ බැව් ඉඳුරා දනිති.

කලකට පෙර අපගේ දේශපාලන බලවතුන්ගෙන් ඇසුණේ සංචාරකයන් ඉඹලා පිළිගතයුතු බවකි. එසේ ඉඹලා පිළිගැනීමේ අනතුරු අද රටට ද ලැබී තිබේ. අපට ආර්ථික අගහිඟකම් තිබේ. අපව අමාරුවේ දැමීමට බලාසිටින අය මෙන්ම අමාරුවේ වැටෙන තෙක්‌ නොඉවසිල්ලෙන් සිටින අයද වෙති.

සංචාරක ව්‍යාපාරය යනු කිසිසේත් නොසලකා හැරිය යුතු ක්‍ෂෙත්‍රයන් නොවේ. සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත හැකි සොබාදහමේ නිමැවුම් මෙන්ම වෙනත් ඓතිහාසික හා සංස්‌කෘතික උරුමයන්ද අපට තිබේ. එහෙත් සංචාරකයන් පිනවීම සඳහා අපගේ අභිමානය හා ගෞරවය විනාශ කළ යුතු නැත.

තිස්‌ වසරක විනාශකාරී යුද්ධයක අළු මතින් නැගී සිටින අපි අපගේ උරුමයන්ට හා අභිමානයට පිටුනොපෑ යුත්තෙමු. විපරීත කාලයක විපරීත මනස්‌ තුළින් බිහිවන විකාර වෙනුවට යහපත් දැක්‌මක්‌ ඔස්‌සේ ආර්ථික සංවර්ධනය කරා යැමට අපට අධිෂ්ඨානයක්‌ මෙන්ම ශක්‌තියක්‌ද තිබිය යුතුය.

අද මේ රටේ අලුත් නිදහසක අලුත්ම ආලෝකයක්‌ ලැබෙන දිනයකි. ඒ අද හම්බන්තොට කරදිය මංගල්ලයත් සමග විවෘත වන අභිනව වරාය නිසාය. එමගින් සිදුවන ආර්ථික හා සංචාරක ප්‍රතිලාභ කළමනාකරණය සඳහා වුවමනා බුද්ධිමය සම්පත්ද අපට තිබේ.

නිශ්ශංකමල්ල උයනේ සාද සැලසුම් කරන කුස්‌ පුරවන හිස්‌ මිනිස්‌සු තවදුරටත් අපට අවශ්‍ය නොවෙති. මේ මහපොළව හඳුනාගත් මේ ගසකොළ හඳුනාගත් මිහිකතගේ දරුවන්ට ජාතික වගකීම් බාර දිය යුතු වෙතියි පසුගියදා ජාතික තරුණ සමුළුව අමතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද කියා සිටියේය.

ජනාධිපතිවරයා සුපැහැදිලිව ප්‍රකාශ කළ පරිදිම තරුණයන් ජීවිතයෙන් හා වෙනත් අනන්ත පරිත්‍යාගවලින් මේ මව්බිමට දිනා දුන් නිදහස සුරැකීම තරුණයන්ගේ මෙන්ම මුළු මහත් ජනතාවගේම වගකීම බව ද අපි අවධාරණය කරමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.