ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට පිඹුරුපත් සැකසූ
මැලේසියානු මහාචාර්ය රාමසාමි



මහාචාර්ය පී. රාමසාමි යනු බෙදුම්වාදියෙකි. ඔහු මැලේසියාවේ විශ්වවිද්‍යාලය තුළ තම බෙදුම්වාදී පිළිවෙත ක්‍රියාත්මක කිරීමට ගොස්‌ ඉන් නෙරපීමට ලක්‌ විය. 2002 වසරේ ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර පැවැති සටන් විරාම ගිවිසුමත් සමඟම මොහු ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. එවකට පැවැති ශ්‍රී ලංකා රජයේ ආශිර්වාදය මැද කිලිනොච්චියට ගිය රාමසාමි දින දහයක්‌ තිස්‌සේ කොටින්ට සමුළුවක්‌ පවත්වමින් රට දෙකඩ කරන්නේ කෙසේද යන්න ගැන කියා දුන්නේය. එහෙත් එදා රජය ඒ සම්බන්ධයෙන් නියම සැලකීමක්‌ දැක්‌වූයේ නැත. රාමසාමි අන්තර් වාර පාලනය සඳහා වූ සමුළුවකට ද ඇතුළත් කරගැනීමට උත්සාහ කරනු ලැබීය. මේ බෙඳුම්වාදියා අන්තර්වාර පාලන යෝජනාවලිය සකස්‌ කර කොටින්ට බාර දෙනු ලැබීය. කොටි එය රජයට භාර දුන්හ. එහෙත් රාමසාමිගේ අබිරහස්‌ සැලසුම අසාර්ථක විය. එවකට මෙරට ජනාධිපතිනිය සිටි නිසා රජයට තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට නොහැකි විය.

රාමසාමිගේ මෙම අන්තර්වාර පාලන යෝජනාවලියට රජය එකඟ වී තමන්ට ඊළාම් රාජ්‍යය ලබාගැනීමට මඟ පෑදෙනු ඇතැයි ප්‍රභාකරන් අදහස්‌ කළේය.

මේ අතරේ තමිල්සෙල්වන් ඇතුළු කණ්‌ඩායම නෝර්වේ ඔස්‌ලෝ නගරයට ගොස්‌ රහස්‌ සාකච්ඡාවක නිරත වීම මේ සාකච්ඡාවට මුල් වූයේ ශ්‍රී ලංකාවේ 2/3 ක මුහුදු කලාපයේ සම්පත්වල නීත්‍යනුකූලභාවය ලබා ගත හැකි දැයි විමර්ශනය කිරීමය. එහෙත් ඒ බව ශ්‍රී ලංකාවට වාර්තා විය.

මේ අතර කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම නතර කිරීමට රාමසාමි දැඩි උත්සාහයක යෙදුනි. මෙම මෙහෙයුම තුළින් ශ්‍රී ලංකා හමුදාව පරාජය වනු ඇතැයි හෙතෙම කියා සිටියේය. ඊළාම් රාජ්‍යයකට මඟ පෑදීමේ පෙරහුරුව වන්නි මෙහෙයුමයි. ශ්‍රී ලංකා රජයත් ජනතාවත් පාඩමක්‌ ඉගෙන ගන්නවා යෑයි රාමසාමි තවදුරටත් පවසා තිබිණි.

එහෙත් රාමසාමිගේ බලාපොරොත්තු සුන් විය. කොටින්ව පරාජය කළේ ඉන්දීය සහයෙන් යෑයි කියමින් ඔහු ඉන්දීය නායකයන්ට ද බැන වැදුනි.

දැන් රාමසාමිට අලුත් කොන්ත්‍රාත්තුවක්‌ ලැබී ඇත. ඒ බෑන් කී මූන්ගේ ශ්‍රී ලංකාවට එරෙහි විද්වත් මණ්‌ඩලය හමුවට ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බව දක්‌වමින් වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමයි.

මේ සතියේ දිනෙක තම කාර්යාලය වෙත පැමිණි ඉන්දීය පරිසරවේදීන් දෙදෙනකු ශ්‍රී නිවාස්‌රාවෝ සහ ආර්. ඥානසේකරන් හමුවේ කරුණු දැක්‌වූ රාමසාමි ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇති බවත් ඊට එරෙහිව තමා ජාත්‍යන්තර කමිටුවක්‌ පත් කිරීමට ක්‍රියාකරන බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහි මෙම කමිටුවට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයන් ඇතුළත් වන බව ද හෙතෙම තවදුරටත් පළ කළේය.

මෙහිදී ඔහු තවදුරටත් පැවසුවේ අන්තර්පාලන යෝජනාවලිය සකස්‌ කළේ තමා බවයි. මේ නිසා ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට පිඹුරුපත් කළ තැනැත්තා මහාචාර්ය පී රාමසාමි බව සනාථ නොවන්නේ ද?

රාමසාමිගේ අලුත්ම කොන්ත්‍රාත්තුව යටතේ ඔහුට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නායකයන් පමණක්‌ නොව ඉන්දීය නායකයන් ද යුද අපරාධ සිදුකළ බව කියමින් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන ඒමයි.

මෙය සනාථ වන්නේ රාමසාමි කර ඇති ප්‍රකාශයකිනි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ව ඝාතනය කරන්න සහාය දැක්‌වූවා. මේ නිසා මැලේසියානු ද්‍රවිඩ ජනතාව කෝපයෙන් පසුවෙනවා යෑයි රාමසාමි සඳහන් කර ඇත.

මෙලෙස රාමසාමි ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීම යනු මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක්‌ නොවන්නේ ද? ඔහු බලාපොරොත්තු වූයේ වන්නි මෙහෙයුමින් ශ්‍රී ලංකා රජය පරාජය වීමයි.

පසුගියදා මේ බෙඳුම්වාදී මහාචාර්යවරයා ප්‍රකාශයක්‌ කරමින් රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව පිළිගැනීමට තමා කටයුතු කරන බවත් එය කළ හැක්‌කේ මැලේසියාවේ බලය ඇල්ලීමෙන් යෑයි ද කියා සිටියේය.

"අපි මැලේසියාවේ බලය අල්ලනවා. එවිට අග්නිදිග ආසියාවේ රටවල් අතරින් ඊළාම් ආණ්‌ඩුව පිළිගන්නා මුල්ම රට මැලේසියාව යෑයි හෙතෙම සඳහන් කළේය.

රාමසාමිගේ අබිරහස්‌ ක්‍රමවේදය අනුව ඔහු තරයේම විශ්වාස කළේ වන්නි මෙහෙයුම පරාජය වී ප්‍රභාකරන් ඊළම පිහිටුවන බවයි. ප්‍රභාකරන් ඊළම පිහිටුවීමෙන් මැලේසියාව ද දෙකඩ කර තමාට ජනාධිපති වීමට හැකි වනු ඇතැයි ඔහු අදහස්‌ කළේය.

එහෙත් රාමසාමිගේ අතිජාත මිත්‍රයා වූ ප්‍රභාකරන් ඝාතනය වීම ඊළාම් සිහිනය ද බිඳ වැටුණි.

කීර්ති වර්ණකුලසූරිය
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.