වෙනත් රටවල අබලි ද්‍රව්‍ය හෙළන තැනක්‌ නොකර
"මේඩ් ඉන් ශ්‍රී ලංකා" නාමය ලෝ පතල කරන්න වැඩ කරමු
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අනුර බාලසූරිය, චමින්ද සිල්වා

අපට අහිමි වූ උරුමයන් ගැන කිය කියා ළතවෙමින් නොසිට අපේ මේ මාතෘ භූමිය වෙනත් රටවල අබලි ද්‍රව්‍ය හෙළන තැනක්‌ වෙන්න ඉඩ නොතබා "මේඩ් ඉන් ශ්‍රී ලංකා" කියන නාමය ලොව පතල කරවන නිෂ්පාදන බිහිකරන ආර්ථික මර්මස්‌ථානයක්‌ බවට අප රට පත්කර ගත යුතු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පළමු අදියරයේ වැඩ නිමවා වරාය ෙද්‍රdaණියට සාගර ජලය පිරවීම නිමිත්තෙන් ඊයේ (15 වැනිදා) පෙරවරුවේ එහි පැවැති කරදියවර මංගල්‍යයට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේය.

කරදියවර මංගල්‍ය පැවැත්වීමට පෙර ඊයේ (15 වැනිදා) අලුයම හම්බන්තොටට ඇදහැළුණු වර්ෂාවෙන් එහි පැවැති වියළි කර්කශභාවය තුනී කෙරිණි.

රුපියල් කෝටි පන්දහසක වියදමින් මෙම වරායේ පළමු අදියරයේ වැඩ නිමාකෙරෙන අතර සමස්‌ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 360 කි.

උත්සවය අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

වසර සිය ගණනාවකට පසු ශ්‍රී ලංකාව ලෝක ගෝලයේ ශ්‍රේෂ්ඨ සලකුණක්‌ තැබීමට සූදානම් වන අවස්‌ථාවක්‌. ඒ සළකුණ වන්නේ අද කරදියවර මංගල්‍යයේ යෙදෙන මේ මහා වරායයි. අපිට මේ වරාය අද මෙලෙස විවෘත කරන්න නොයෙක්‌ බාධා කම්කටොළුවලට මුහුණ දෙන්න වුණා. අපි මේ නිසාම අහපු බැනුම් අනන්ත අප්‍රමාණයි. අපිට මේ නිසාම මොන ආකාරයේ දොස්‌ පැවරුවද. ඒ දොස්‌ ඒ මඩ මේ වර්ෂාවත් එක්‌ක අද සේදිලා යනවා. සමහරුන් අපට නඩු දාන්නත් හැදුවා. මේ අයට ඇස්‌ ඇරලා බලන්න කියලා අපිට අද කියන්න වෙනවා.

අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ මේ රට වටා ලොව ප්‍රසිද්ධ වරායන් රාශියක්‌ තිබුණා. විජය රජතුමා ගොඩබැහැපු තම්බපන්ණිය වරාය මන්නාරමට පහළින් වයඹ මුහුදු තීරයේ තිබුණා. එතුමාගේ සරණ මංගල්‍යයට ආ පිරිස ගොඩබැහැපු මහාතිත්ථ වරායත් තිබුණේ මන්නාරමේ වයඹ මුහුදු තීරයේ. උතුරු වෙරළේ පේදුරු තුඩුවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩමවපු දඹකොළ පටුන මහා වරාය තිබුණා. නැගෙනහිර වෙරළ තීරයේ ත්‍රිකුණාමලයට පහළින් අපේ දළදා හාමුදුරුවෝ වඩමවපු ලංකා පටුන තිබුණා.

ගජබා රජතුමා එදා ලෝකය දිනලා ගොඩ බැස්‌සේ අම්බලන්තොට අර පෙනෙන මානයේ තිබෙන ගොඩවාය වරායට. විහාර මහා දේවීන් වහන්සේ ගොඩබැහැපු කිරින්ද වාගේ තොටමුණු මේ මාගම්පුර ප්‍රදේශයේ තිබුණා. ඒ විතරක්‌ නොවෙයි ටොලමි ඇන්ද ලෝකයේ මුල්ම ලෝක සිතියමේත් මාන්තොට, ගෝකන්න වරායන් ලකුණු කරලා තිබීම මේ මාතෘ භූමියේ ඉපදුණු අපට මොනතරම් ආඩම්බරයක්‌ද?

දුවේ පුතේ, ලංකාවේ මේ මහා වරායන් නොතිබුණා නම් ලෝකයේ බොහෝ කලාප අඳුරේ හිටපු සියවස්‌ ගණන වැඩි වෙන්න තිබුණා. අපේ මේ වරායන් නිසා ලෝකය සම්බන්ධකම් වැඩිදියුණු වුණා. හැමදාමත් ජාත්‍යන්තර වෙළෙ¹මේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට මේ දිවයින ප්‍රසිද්ධ වුණා. ඒ වගේම අද කරදිය මංගල්‍යයෙන් වතුර පුරවන මේ මහා වරායෙන් අපි අපේ මාතෘ භූමිය බබළවන්න ඕන.

මේ රටට නිදහස ලබාදෙන වීරවරයන්ට ඒ වීරත්වය සම්පූර්ණ කරන්න නම් රටට නිදහස්‌ ආර්ථිකයක්‌ ලබා දීමේ වගකීමක්‌ අපිට පැවරෙනවා. අපි රටේ නිදහස්‌ ආර්ථිකයක්‌ ගොඩනඟන්න ඕන නිසා තමයි මහින්ද චින්තනයට අනුව අපි පංච මහා කේන්ද්‍රයක්‌ ගොඩනැඟුවේ නාවික, ගුවන්, බලශක්‌ති වාණිජ්‍ය කේන්ද්‍රය මෙන්ම දැනුමේ කේන්ද්‍රය කියන පංච මහා කේන්ද්‍ර අතරේ මේ වගේ වරායන් පහක්‌ ගොඩනඟන්න කටයුතු ආරම්භ කළේ.

උගත්කමට, කුසලතාවට දේශීයත්වයට අපේ සම්පත්වල වටිනාකම එකතු කරන ආර්ථිකයක්‌ ගොඩනැඟීම තමයි අපේ අරමුණ. ශ්‍රී ලාංකික ජාතියේ පරාජිත මනස පහුගිය අවුරුද්දේ මැයි 18 වැනිදා සදහටම අප අතරින් සමුගත් බව, සමුදුන් බව ඔබ සලකන්න ඕනෑ. අද ඒ වගේ හැඟීම් දිනවන දවසක්‌. මේ මහා වරායට පිරෙන සෑම වතුර බිඳුවක්‌ පාසාම අපේ තිබුණු බැහැයි කියන දුර්වල හැඟීම් දියවෙලා යන්න ඕනෑ. ඒ නිසා මේ වරායේ පිරෙන්නේ කරදිය වතුර නොවේ. මේ වරායේ පිරෙන්නේ අපේ ජාතියේ සමෘද්ධියයි. මේ වරායෙන් මතු වෙන්නේ අපේ ස්‌වාධීන ආර්ථිකයයි. මුදල් නැහැ සංවර්ධනය නැහැ කියලා බලන් ඉන්නේ නැතිව අපේ ශක්‌තියෙන් රට සංවර්ධනය කරන හැටි පෙන්වන්න මේ වරාය සංකේතයක්‌.

අර පෙනෙන මුහුදේ දිනකට නැව් සිය ගණනක්‌ ඒ පැත්තටත්, මේ පැත්තටත් යාත්‍රා කළා. මැදපෙරදිග, අප්‍රිකා කලාපයේ ඉඳන් එන නැව් වාගේම, අග්නිදිග ආසියා කලාපයේ, ඕෂිනියා කලාපයේ ඉඳන් මේ මාගම බල බලා පෙනි පෙනී ගියා. ඉන්දියානු අර්ධද්වීපයේ ඉඳන් බටහිර නැගෙනහිර අතර යාත්‍රා කළ නැව් මේ අතරේ ගියා.

ඒ නැව් වලින් වසර සිය ගණනක්‌ තිස්‌සේ පොහොසත් වුණේ වෙනත් රාජ්‍යයන්. මම දවසක්‌ නාවික හමුදාව සමග ගිහින් බලාගෙන හිටියා. හරියට ගාලු පාරේ වාහන යනවා වගේ නැව් යනවා එනවා. මේවා බලාගෙන ඉන්නකොට අපේ පපුවට දැනුණේ මහත් වේදනාවක්‌. ඒත් මේවා දකිනකොට සමහරුන්ට ඉවසන්න බැහැ. ඒගොල්ලෝ උත්සාහ ගත්තා මේ කටයුතු දවසක්‌ හරි ප්‍රමාද කරන්න. ශ්‍රී ලංකාවත් ලෝකයේ දැවැන්තයන් අතරට එක්‌වෙනවා දකින්න අකැමැති බලවේග තිබෙන බව අපි මතක තියාගන්න ඕනෑ. දුප්පත්කම යොදාගෙන ජීවත්වන දේශපාලන කොටස්‌ වගේම සංවිධානත් අප අතරේ ඉන්නවා කියන එක අමතක කරන්න හොඳ නැහැ.

මානුෂික මෙහෙයුම කරන කොට ස්‌වාධීන ආර්ථිකයක්‌ ගොඩනඟන කොටත් විශාල අභියෝග භාරගැනීමට ජාතිය සූදානම් වෙන්න ඕනෑ. ඒ අභියෝග සියල්ල ජය අරගෙන අවුරුදු හතරකට අඩු කාලයකදී මේ ජාත්‍යන්තර වරායට වතුර පුරවන්න අපිට පුළුවන්වීම ගැන අපි ආඩම්බර වෙනවා නිහතමානීව.

රටේ සංවර්ධනය අපි කප්පාදු කළේ නැහැ. අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කළා. මංමාවත් ඉදිකරමින් ජනතාවට පහසුකම් ලබාදෙන්න අපට පුළුවන් වුණා. ගොවියා ඉදිරියට ආවා. පොහොර සහනාධාරය දීලා අපි ගොවි ජනතාව ශක්‌තිමත් කළා. වාරි කර්මාන්තය ශක්‌තිමත් කළා. රට තුළ ආහාර සුරක්‌ෂිතතාව ගොඩනැඟුවා. මේ ලංකාව ගොඩනැඟුවේ යෝධ වාරි කර්මාන්තය කියලා අපි ලෝකයටම කියන්න ඕන.

අපට මතකයි අපි කුඩා කාලයේ අර කන්ද උඩට වෙලා බලාගෙන ඉන්නවා මුහුදේ නැව් ගමන් කරපු හැටි. එදා මේ මාගම්පුර ඉපදුන ඩී. එම්., ඩී. ඒ. රාජපක්‍ෂ වගේ දේශපාලනඥයෝ මේ වරාය ගැන සිහින මැව්ව බව මම කියන්න ඕනෑ. ඒ නිසා නැව් වලට තෙලුත්, වතුරත් විතරක්‌ දීලා සැනහෙන ජාතියක්‌ වෙන්න බැහැ අපට. මේ වරාය නිසා රැකියා දස දහස්‌ ගණනක්‌ බිහි වෙන්න ඕනෑ.

අපේ මාතෘ භූමිය වෙනත් රටවල අබලි ද්‍රව්‍ය හෙළන තැනක්‌ වෙන්න බැහැ මින් පස්‌සේ "මේඩ් ඉන් ශ්‍රී ලංකා" කියන නාමය ලොව පතල කරවන නිෂ්පාදන බිහි කරන ආර්ථික මර්මස්‌ථානයක්‌ බවට අපේ රට පත්කර ගන්න ඕනෑ කියන එක අපි පැහැදිලිව කියනවා.

අද වියළියි කටුකයි කියලා මේ මාගම්පුර දිහා බලන්න බැහැ. දැන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා, ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ, අධිවේගී මාර්ග ඉදිකෙරෙනවා. නිදහසින් පස්‌සේ අපට එක හැතැම්ම පහක්‌ දුම්රිය මාර්ගය හදාගන්න බැරි වුණා. අද ඒවා ඉදිවෙනවා. අධිවේගී මාර්ග, සංචාරක කලාප අද තියනවා. දකුණ, සබරගමු, මධ්‍යම පළාත නැගෙනහිර පළාත විතරක්‌ නෙවේ මුළු රටම එකම ආර්ථික කලාපයක්‌ බවට මේ වරාය නිසා පත් වෙනවා. සංවර්ධනය එක පළාතකට සීමා වෙලා නැහැ. මුළු රටම ආවරණය වන දැවැන්ත සංවර්ධනයකට අපි පිවිසිලයි තියෙන්නේ.

ඔබ දන්නවා අද කොළඹ මුහුද ගොඩකරගෙන අලුත් වරායන් හදාගෙන යනවා. ඕලුවිල් වරාය අපි දෙසැම්බර් වල අවසන් කරනවා. පුත්තලම පැත්තට ගියහම දැවැන්ත විදුලි බලාගාරයක්‌ ගොඩනැඟෙනවා. යාපනයේ සංචාරක කලාපයක්‌ ගොඩනැඟෙනවා. ඉහළ කොත්මලේ ගියහම දැවැන්ත විදුලි බලාගාරයක්‌ තියනවා. මන්නාරම්, කංකසන්තුරේ, කතරගම දක්‌වා දුම්රිය මාර්ගය හදාගෙන යනවා. දැවැන්ත අධිවේගී මාර්ගවල වැඩ අවසන් වීගෙන එනවා.

ජාත්‍යන්තර ගුවන් යානා මත්තලට එන දවස වැඩි ඈතක නැහැ කියලා මම මේ අවස්‌ථාවේ කියනවා. පලාලි, රත්මලාන වගේ ගුවන් තොටුපළක්‌ අපි ගොඩනගනවා. මේ තුළින් මේ ප්‍රදේශ දියුණු කරනවා. කඳුරට, රජරට ප්‍රදේශයේ නවීන ආර්ථිකයට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කරනවා. මොරගහකන්ද, උමා ඔය, දැදුරුඔය වාරිමාර්ග ක්‍රම දැන් ඉදිවෙනවා.

මේ රටේ ජනතාවගේ දියුණුව ළඟා කරලා උද්ධමනය අඩු කරලා සාමාන්‍ය ආදායම ඩොලර් 2000 මට්‌ටම ගෙනත් තියනවා. 2005 වෙනකොට අපට ඒකපුද්ගල ආදායම තිබුණේ 1050 යි. එහෙනම් මේ අවුරුදු පහ තුළ එය දෙගුණයක්‌ කරන්න පුළුවන් වුණා. ගම නැඟුම, මඟ නැඟුම වගේ වැඩපිළිවෙළ හරහා ගමේ ආර්ථිකය ශක්‌තිමත් කරන්න අපට පුළුවන් වුණා. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවලා සාමාන්‍ය ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 ට ගෙන ඒමේ ඉලක්‌කය කරා ගමන් කිරීම තමයි අපේ අරමුණ. ඒ ඉලක්‌කය ඉටුකරන්න කලින් සෑම ගෙදරකටම විදුලිය සපයන්න අපි ලෑස්‌තියි.

මේ මාර්ග පද්ධති ගොඩනගන්න. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්‌, සෞඛ්‍ය සම්පන්න රටක්‌ විතර නොවේ. කර්කෂ පරිසරයක්‌ කර ඇති මේ රට නිල්ල පිරි බත බුලතින් සපිරි රටක්‌ බවට පත් කරන්න මහින්ද චින්තන ඉදිරි දැක්‌ම තුළින් කටයුතු කරනවා කියන එක ඔබට මතක්‌ කරනවා.

කෘෂිකාර්මික, කර්මාන්ත හා වෙළෙ¹ම් මගින් අපේ ආර්ථිකය ශක්‌තිමත් වන නිෂ්පාදිත ආර්ථිකයක්‌ ගොඩ නගන්න ඕන. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් ශක්‌තිමත් කරමින් කුසලතා සහ උසස්‌ අධ්‍යාපනයෙන් යුත් තරුණ පරපුරක්‌ රටට අවශ්‍යයි. අපි ඔවුන් රට තුළ බිහි කරන්න සූදානම්. විශ්වවිද්‍යාල හා උසස්‌ අධ්‍යාපන ආයතන සංවර්ධනය කරන්න විශේෂ ප්‍රමුඛත්වයක්‌ අපි දැන් දීලා තියනවා. අපි දැන් මේ සූදානම් වෙන්නේ අනාගතය ගොඩනගන්න. මේ තමයි ආසියාවේ නැගී එන ආර්ථිකය. ඒ අපේ දැක්‌මක්‌ අපේ ගොඩනැඟීමක්‌. ඒ නැති එම ආර්ථිකයට අවශ්‍ය යටිතල පහසුකම් අපි ගොඩනගනවා.

දරුවනි ඔබ ජීවිතය ගත කරන්න යන්නේ මා හැදුණු වැඩුණු පරිසරයට වඩා දියුණු ආර්ථිකයක්‌ සහිත රටකයි. එයයි මගේ දැක්‌ම. එයයි අපේ දැක්‌ම ශුෂ්ක දුෂ්කර දුප්පත් කියන වචන වලින් සියවස්‌ ගණනක්‌ තිස්‌සේ සංග්‍රහ ලබපු පළාත් වල ජනතාවට ඓතිහාසිකව සිදුවූ අසාධාරණයට යුක්‌තිය ඉටු කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ කියන එක මතක්‌ කරනවා. අපි මේ රට ඒකීය රාජ්‍යයක්‌ කරවන්නේ මේ මහ පොළවෙන් විතරක්‌ නොවෙයි. දියුණුවෙනුත්, සංවර්ධනයෙනුත් අපි එක හා සමාන රටක්‌ ගොඩ නගලා ඒකීය බව තවත් අර්ථවත් කරනවා කියන එක මේ අවස්‌ථාවේ මතක්‌ කරනවා.

ජාත්‍යන්තර සම්බන්ධතා දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ගොඩනගනවා. මේ වරාය අපේ නොබැඳි සබඳතා, ජාත්‍යන්තර මිත්‍රත්වය, ධෛර්යය හා කැපවීමේ සංකේතයක්‌ බව අපි මේ අවස්‌ථාවේ මතක්‌ කරන්න ඕන. මේ වරාය වෙනුවෙන් ගේ දොර අතහැරලා ගිය පිරිසක්‌ ඉන්නවා. ඒ අය කළ කැපවීම අමතක කරන්න පුළුවන්කමක්‌ නැහැ.

මේ වරාය මෙතරම් සාර්ථක ලෙස නියමිත කාලයට මේ වරායේ ඉදිකිරීම් නිම කරන්න කැපවුණු ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ යෝධ කාර්යය මාස 09 ක්‌ කළින් නිම කරන්න කැපවුණා වරායේ සභාපතිතුමා ඇතුළු සියලු කාර්ය මණ්‌ඩලවලත් සියලු සේවක සේවිකාවන්ගේ සේවය මා ඉතාමත් අගය කරන බව මතක්‌ කරනවා. මේ වැඩ බිම තුළ සිටි සියලු දෙනා සිදුකර ඇත්තේ අති දැවැන්ත සේවයක්‌ කැපවීමක්‌. චීනය සහ අප දෙරට අතර සබඳතා තව තවත් ශක්‌තිමත් කරන්න මෙය ඉවහල් වෙනවා. අපේ මිත්‍ර රටවල් සමඟ පවතින සබඳතා ශක්‌තිමත් කරමින් සංචාරක, ආයෝජන අවස්‌ථා පුළුල් කරමින් අපි ඉදිරියට යන්න ඕන. අපි ඔවුන් සියලුදෙනාට ස්‌තූති වන්ත වෙනවා.

මේ වරාය අතීත ප්‍රෙෘඩත්වය ජාතියට ලබා දෙන අභිනව වරායක්‌. කොළඹ වරාය වගේම ත්‍රිකුණාමල වරායත් මේ රට පෝෂණය කරනවා කියන එක ඔබ දන්නවා. මේ ගොඩනැගෙන ජාතික ආර්ථිකය මගින් ඒ විවිධ කුසලතාවයෙන් යුත් කර්මාන්ත, සේවාවන් විතරක්‌ නොවේ. අපේ නිෂ්පාදන ලෝකයාට යන මාවත උදා වෙනවා.

ආදරණීය දුවේ, පුතේ එදා අපිට නිදහස ලැබෙද්දී අප පිටුපසින් සිටි බොහෝ ජාතීන් අද අප පසුකරගෙන බොහෝ දුර ගිහින්. නමුත් අද අප ඒ ජාතීන් අනුගමනය කරන්නවත්, ඒ සංවර්ධන මාදිලි අනුව වැඩ කරන්නවත් සූදානම් විය යුතු නෑ. ඒ වාගේම අහිමි වූ උරුමය ගැන කිය කියා ළතවෙන්නවත් වුවමනා නෑ. ඒ වෙනුවට අපි කරන්නේ ඔවුන් පසුකර ගෙන ගිහින් ලොවට ඔවුන් හිමි කර නොගත් සංවර්ධනයක්‌ පිළිබඳ මඟ පෙන්වීමයි.

ඔබ දන්නවා එදා මේ රටට ඉතා ප්‍රසිද්ධ දේශගවේෂකයෝ ගොඩ බැස්‌සා. ඔවුන් ලෝකය පුරා ප්‍රචාරය කළේ මේ රට ස්‌වර්ණ දිවයින, ඉන්දියන් සයුරේ මුතු ඇටය වාගේ ගෞරවාන්විත නම් වලින්. මහ පොළව හාරලා, ගල් බිඳලා දේශීය විදේශීය අභියෝග ජය අරගෙන, මුහුද හාරවලා, මහා වරායන් ගොඩ නගලා තියෙනවා. අද ඔබට, මේ වගේ දැවැන්ත සංවර්ධනය තුළින් මේ රට ආසියාවේ ආශ්චර්යය කරන මාවතට අපි පිවිසෙලා තියනවා කියන එක මතක තබා ගන්න. එය ලෝකයාට කියන මොහොත අද.

මිත්‍රවරුනි, අපි ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදය පරාජය කරලා මේ රට නිදහස්‌ කරගෙන තියෙනවා. ඒ වගේම දැන් මේ රට තුළ ජාත්‍යන්තර වරායන්, ගුවන් තොටුපළ, අධි වේගී මාර්ග, විදුලි බලාගාර, යෝධ වාරි කර්මාන්ත ගොඩනගලා තියෙනවා. රට ගොඩනගන්න අපට පුළුවන්. නමුත් මිත්‍රවරුනි, මේ මාතෘ භූමියේ ඉපදුන ඔබටත් යම් කාර්ය භාරයක්‌ තියනවා. ඔබට තියෙන වගකීම තමයි මේ රටට දැයට ආදරය කරන සදාචාර සම්පන්න, ගුණගරුක, නැනවත් වීර්යවන්ත සමාජයක්‌ බිහි කරන්න. පන්සල, පල්ලිය, කෝවිලේ ආභාෂය ලබන නීතිගරුක, විනයගරුක දරු පරපුරක්‌ බිහි කරන්න. එයයි ඔබේ වගකීම.

ආදරණීය දරුවනි, ඔබගේ මවත් පියාත් පෙන්වන යහ මග ගිහින් මේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව භාර ගැනීමට සූදානම් වන්නැයි මේ ඓතිහාසික මොහොතේ මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

අගමැති දි. මු. ජයරත්න මහතා

වසර 2500 ක්‌ මේ රටේ ඉතිහාසය බලන විට මහා පරාක්‍රමාහු, දුටුගැමුණු, කාවන්තිස්‌ස, වලගම්බා රජවරුන් විශාල වැව් හදලා ජාතිය ගොඩනගන්න ජාතික ආගමික, සංස්‌කෘතික වශයෙන් විශාල සේවයක්‌ කළා. මහින්ද රාජපක්‍ෂ මහතා කරපු මේ විශාල සංවර්ධනය පසුගිය කාලයේ ක්‍රියාත්මක වෙලා නැති බව අපි අවිවාදයෙන් පිළිගත යුතුයි.

හම්බන්තොට මෙම වරාය ලෝකයේ ප්‍රධාන වරායක්‌ බවට පත්වෙනවා. මීටර් 18 ක්‌ ගැඹුර මෙම වරායට ලෝකයේ ඕනෑම විශාල නැවක්‌ ගෙන්වන්න පුළුවන්. මේ ලෝකයේ මේ ආකාරයට ගොඩබිමක හදපු එකම වරාය බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය බව ලෝකයටම ප්‍රකාශසකස්‌ කරලා තියෙනවා. ඒ විතරක්‌ නොව අලුතින් දුම්රිය මාර්ග තැනෙනවා. වසර 30 ක්‌ උතුර නැගෙනහිර පැවති යුද්ධය අවසන් කර සාමය උදාකර ඒ පළාත්වල සංවර්ධනය ආරම්භ කරලා තියෙනවා. අද ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ ඉදිවෙනවා. මේ වගේ සුවිශාල වැඩකොටසක්‌ මෙතුමාගේ කාලයේ සිදුවෙනවා.

මෙතුමාට නොයෙක්‌ අපවාද කෙනෙහිලිකම් ආ විට අභීත සිංහයකු මෙන් ක්‍රියාත්මක වෙමින් ඉතිහාසයේ ශේ්‍රෂ්ඨ යුග පුරුෂයා බවට පත්වී සිටිනවා. එතුමා ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟීම පමණක්‌ නොව මේ රට ලෝකයේ ආශ්චර්යවත් රටක්‌ බවට පත් කරන්න පුළුවන් පෙරනිමිති පහලවෙලා අවසන්. අපි අද ලෝකයේ දියුණු ජාතිය බවට පත් කරමින් ඉන්නවා. ඒ නිසා අප සියලු දෙනා ජාති, ආගම් සියලු බේද අමතක කර මේ සංවර්ධනයට දායක විය යුතුය.

කථානායක චමල් රාජපක්‍ෂ මහතා -

තමන්ගේ ජීවිත කාලය තුළ වැඩක්‌ ආරම්භ කරල ඒ වැඩේ නිමාවක්‌ දකින්න කවුරුත් ආසයි. එදා ජනාධිපති වීමට පෙර 2001 මේ හම්බන්තොට මාගම්පුර වරාය පළමු අදියර ආරම්භ කරා. අද එතුමා ජනාධිපතිතුමා විදියට ඒ අදියර අවසන් කිරීමට ලැබීම පිළිබඳ සතුටු වනවා.

1989 ඉඳන් නියෝජනය කරන ජනතා නියෝජිතයකු හැටියට එතුමා කටයුතු කරනවා. 2008 වසරේදී වරාය හා ගුවන් සේවා අමාත්‍ය ධුරය මා දැරුවා. මට මතකයි 1994 ඉඳන් මේ වරාය ඉදිකිරීම සඳහා යෝජනා අදහස්‌ සාකච්ඡා වුණා. එදා දක්‍ෂිණ සංවර්ධන අධිකාරියක්‌ ආරම්භ කරලා මේ සඳහා විවිධ සැලසුම් සකස්‌ කළා.

ඒ වගේම හම්බන්තොට මට මතකයි යෝධ සංවර්ධන ව්‍යාපෘතියක්‌ සඳහා යෝජනා සකස්‌ කරා. ඒ වගේම ජනාධිපතිතුමා පත් වුණාට පස්‌සේ මෙහි ව්‍යාපෘති කාර්යාලයක්‌ ආරම්භ කරල කටයුතු කළා.

හම්බන්තොට මේ වරාය මේ ස්‌ථානයේ ඉදි නොවෙන්න තත්ත්වයක්‌ ඇති වුණා. මේ ලේවාය කුරුළු අභයභූමියක්‌ හැටියට ගැසට්‌ කළා. නමුත් එදා පාර්ලිමේන්තුවේ සිටි මේ ප්‍රදේශයේ සියලු දෙනාම පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා එය වෙනස්‌ කරගත්තා. එදා එහෙම වුණානම් මේ වරාය මේ තරම් ඉක්‌මණින් ඉදි නොවන්න තිබුණා.

අද අපේ බලාපොරොත්තු සඵල වෙලා තියෙනවා. ඉදිරියේදී මේ වරාය කොළඹ වරාය වගේ පස්‌ ගුණයක්‌ විශාල වෙනවා. ඒ වගේම මේ හම්බන්තොට වගේම අවට දිස්‌ත්‍රික්‌කත් සංවර්ධනය වෙනවා. ඒ වගේම අවට තරුණ තරුණියන්ගේ රැකියා සඵලවීමේ බලාපොරොත්තු ඉටු වෙනවා. එමෙන්ම අවට ප්‍රදේශවල ජනතාවටත් අලුත් ආදායම් මාර්ග ඇති කරගන්න පුළුවන් කම මේ තුළින් ඇති වෙනවා.

අපි හැමදාම සඳහන් කරනවා මේ හම්බන්තොට ආසන්නයෙන් දිනකට නැව් 200-300 ක්‌ ගමන් කරනවා කියලා. ඒත් ඒ නැව් ගෙන්න ගන්න කිසිවකුගේ අවධානය තිබුණේ නෑ. නමුත් දැන් අපට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එදා මටත් මතකයි මේක කරන්න බැහැ කිව්වා. එදා කොළඹ වරායේ ජැටිය බදුදීමත් සමග හම්බන්තොට වරාය අවුරුදු 25 කින් පස්‌සට යන බව කියා තිබුණා. නමුත් ජනාධිපතිතුමා ගත් සෘජු තීරණ නිසා මේ වරාය අපිට ඉක්‌මණින් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.

මෙය ඉදිකිරීමට වරායේ සභාපතිතුමා විශාල කැපවීමක්‌ කළා. මේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට වහින කාලයක්‌ නොවෙයි. මේ කාලයේ කුරක්‌කන් ඇතුළු ගොවිතැන් කරන්න බිම් සකස්‌ කරන කාලයක්‌. නමුත් අද මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග වැසි වැසලා ආශිර්වාද කරනවා. එක ශ්‍රී ලාංකික ජනතාවක්‌ ලෙස කටයුතු කරමින් ජනාධිපතිතුමා ආරක්‍ෂා කරමු.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දුවික්‍රම මහතා -

ශ්‍රී ලාංකීය වංශ කතාවේ අලුත් පිටුවක්‌ පෙරළන මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිමකර පළමු දියවර නිකුත් කිරීමේ අවස්‌ථාව දක්‌වා එන ගමනේදී 2001 වසරේදී වත්මන් ජනපතිතුමා වරාය සංවර්ධන ඇමැතිවරයා වශයෙන් මේ කටයුත්තට අතගැසුවා. ඊට පස්‌සේ 2005 මේ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පළමු වෙඩි මුරය තැබුවා.

එතුමා රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් තිබූ තීන්දු තීරණ ගත්තා. එදා මේ වරාය ඉදිකරන්න බැහැ කියලා කකුලෙන් අදිද්දී ඇතැම් නිලධාරීන් කරන්න බැරි ව්‍යාපෘතියක්‌ කියද්දී එතුමා එදා ප්‍රකාශ කළේ නැහැ කියන බැහැ කියන අය ඉන්නවා නම් ඉවත්වෙලා ගිහින් කරන්න පුළුවන් අය පමණක්‌ ඉන්න කිව්වා. එහි ප්‍රතිඵල දැන් පෙනී ගොස්‌ තිබෙනවා. ජාත්‍යන්තර නාවික ක්‍ෂේත්‍රය උඩු යටිකුරු කරන ව්‍යාපෘතියක්‌ මේ පුංචි ශ්‍රී ලංකාවේ කෙරෙනවා. තව වසර කිහිපයක්‌ යන විට මෙරට නාවික ක්‍ෂේත්‍රයේ ප්‍රධාන නාවුක කේන්ද්‍රස්‌ථානය බවට පත්වෙනවා. එය කිසිවකුට වළක්‌වන්න බැහැ. මේ රටේ වසර 30 ක්‌ පැවැති දරුණු ත්‍රස්‌තවාදය තුරන් කරන්නට ගත් අභීත තීන්දුව වගේම මේ සඳහා ගත් සෘජු තීන්දුවත් අද මල්ඵල ගැන්විලා.

මෙම ඓතිහාසික අවස්‌ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඇතුළු රජයේ මැති ඇමැතිවරු නිලධාරීන් ඇතුළු අති විශාල ජනකායක්‌ එක්‌වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.