ශ්‍රී ලංකාවේ සංක්‍රාමික ආර්ථිකය:
එහි ප්‍රගතිය, ගැටලු සහ අපේක්‍ෂා


ආචාර්ය ජයන්ත කැලේගම
වෙනුවෙන් වූ උපහාරයකි

සංස්‌කරණය( අජිතා තෙන්නකෝන්
ප්‍රකාශනය( විජිත යාපා, 2009



දිවංගත ආචාර්ය ජයන්ත කැලේගම මහතා එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන ලද කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව කටයුතු කළ ප්‍රථම මහාචාර්යවරයා විය. අග්‍රගණ්‍ය ආර්ථික විද්‍යාඥයෙකු වූ එතුමා ශාස්‌ත්‍රඥයෙකු, මහ බැංකුවේදියෙකු, ප්‍රතිපත්ති උපදේශකවරයෙකු, පර්යේෂකයෙකු සහ ලේඛකයෙකු වශයෙන් සංඝටනාත්මක ප්‍රතිපත්ති ව්‍යqහයන් දෙකක්‌ (එනම්, 1977 ට පෙර වූ සංවෘත ආර්ථික ක්‍රමය හා 1977 න් පසුව එළඹි විවෘත ආර්ථික ක්‍රමය) ක්‍රියාත්මක වූ දශක හතරකට වැඩි කාල පරිච්ඡේදය තුළ මෙරටට විවිධාකාර වූ මෙහෙවරක්‌ ඉටු කළේය.

ශ්‍රී ලංකාවේ සංක්‍රාමික ආර්ථිකය( එහි ප්‍රගතිය, ගැටලු සහ අපේක්‍ෂා නමැති කැලණිය සරසවියේ අජිතා තෙන්නකෝන් විසින් සංස්‌කරණය කරන ලද ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම වූ කලී ඇත්ත වශයෙන්ම ආචාර්ය ජයන්ත කැලේගම මහතා වෙනුවෙන් මහඟු උපහාරයකි. පිටු 625 කින් සමන්විත මෙම පොතට ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව ලියෑවුණු ලිපි ලේඛනවලින් විරලව සාකච්ඡා කෙරුණු ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රශ්නගත කරුණු විශාල සම්භාරයක්‌ ඇතුළත් වන අතර, ඒවා ඉතා සමබර ආකාරයේ විශ්ලේෂණයන්ගෙන් යුක්‌තව ඉදිරිපත් කර තිබේ.

සංස්‌කාරකගේ ප්‍රාරම්භක පරිච්ඡේදය කොටස්‌ දෙකකින් සමන්විතය. ඉන් එක්‌ කොටසකින් ආචාර්ය කැලේගම මහතාගේ ජීවන චරිතය විදහා දැක්‌වෙන අතර, විශිෂ්ට ගණයේ අර්ථ ශාස්‌ත්‍රඥයන් විසින් රචිත සෙසු පරිච්ඡේදය ඉතිරි කොටසින් හඳුන්වා දී තිබේ.

එහි පරිච්ඡේද 21 ක්‌ වන අතර, කොටස්‌ 9 ක්‌ යටතේ ඒවා සංවිධාන කොට තිබේ.

1. ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ දී උද්ගතවන ප්‍රශ්නගත ගැටලු

2. සංවෘත ආර්ථිකයක්‌ තුළ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මත වූ ප්‍රත්‍යාවේක්‌ෂණ

3. විවෘත ආර්ථිකයක්‌ සඳහා සංක්‍රමණය වීම

4. සාර්ව ආර්ථික ක්‍රමය( රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය.

5. සාර්ව ආර්ථික ක්‍රමය( මතු වී එන ප්‍රශ්නගත කරුණු

6. කාර්මිකකරණය හා යටිතල පහසුකම්

7. කෘෂිකර්මාන්තය හා ආහාර

8. දරිද්‍රතාව( සූක්‌ෂම මූල්‍ය සම්පාදනයේ සහ සූක්‌ෂම ව්‍යවසායන්හි කාර්ය භාරය

9. සමාජයීය සංක්‍රමණ

සංවෘත ආර්ථික ව්‍යqහය, විවෘත ආර්ථික ව්‍යqහය මෙන්ම එකී ආර්ථික ව්‍යqහයන් යා කෙරෙන සංක්‍රමණය ආවරණය කෙරෙමින් සහ අවසාන වශයෙන් වත්මන් සංවර්ධන අදියර තුළ ශ්‍රී ලංකාවට මුහුණපෑමට සිදුවන නව ප්‍රශ්නගත කරුණු ගෙනහැර දක්‌වමින් විවිධ පරිච්ඡේද යටතේ ඒවා සාකච්ඡාවට බඳුන් කොට ඇති ආකාරය අනුව බලන කල එය අද්විතීය කාර්යයක්‌ බව කිව යුතුය. බොහෝ අවස්‌ථාවලදී ප්‍රතිපත්ති ව්‍යqහයන් නිර්දය විවේචනයට පාත්‍ර වන්නේ එකී ප්‍රතිපත්තීන් ගෙන එන ලද්දේ කුමක්‌ නිසාද යන්න සහ අපේක්‍ෂිත අරමුණු ඉටු කිරීමෙහි දී ඒවා අසාර්ථක වූයේ මන්දැයි යන්න පිළිබඳව තැකීමක්‌ නොකොටය. 1977 ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්‌කරණවලින් පසුව අර්ථ ශාස්‌ත්‍රඥයෙකු වශයෙන් බිහි වූ මා ඇතුළු අර්ථ ශාස්‌ත්‍රඥයින් අතින් මෙම වැරැද්ද සිදුවන්නට ඉඩ ඇත. ඒ අනුව ගත් කල පවා මෙම අභිනන්දන ග්‍රන්ථය අති විශිෂ්ට ගණයේ එකක්‌ වන්නේ එමගින් තත්කාලීන දේශපාලන ආර්ථික තත්ත්වය තුළ උද්ගත වන්නා වූ ප්‍රතිපත්තිමය ගැටලු දෙස බැලීමට අපට මාර්ගෝපදේශයක්‌ සැපයෙන බැවිනි. තවද, ආරම්භයේ සිටම දක්‌ෂිණාංශික දේශපාලන ආර්ථික මතවාදය පිහිටා සිටි එක්‌සත් ජාතික පක්‍ෂය 1965 දී බලයට පත් වූ සමයේ දී පැවැති ආනයන ආදේශක ක්‍රමයෙන් බැහැර වීමට අසමත් වූයේ මන්දැයි කෙනෙකුට ප්‍රශ්නයක්‌ නැගිය හැකිය. ඒ අනුව දෙවැනි ප්‍රශ්නය වශයෙන් 1977 දී රජයට එසේ කිරීමට හැකි වූයේ ඇයි දැයි ප්‍රශ්න කළ හැකිය. වාමාංශික දේශපාලන පක්‍ෂයක්‌ වශයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එම අවස්‌ථාවේදී සෙසු වාමාංශික පක්‍ෂවල සහාය ඇතිව අවුරුදු 20 කට වැඩි කාලයක්‌ තුළ බොහෝ කාල පරිච්ඡේදයන් තුළදී සංවෘත ආර්ථික ව්‍යqහය යටතේ තම පාලනය ගෙන ගියේය. එහෙත් මෙහිදී පැන නගින වැදගත් ප්‍රශ්නයක්‌ වන්නේ 1994 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට තම දේශපාලන ආර්ථික මතවාදය අත්හැරීමට සිදු වූයේ ඇයි ද යන්නයි. එබැවින් දේශීය හා ගෝලීය වශයෙන් පැවැති තත්කාලීන දේශපාලන ආර්ථික වාතාවරණය නොසලකා හරිමින් ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිඵල අර්ථාන්විත අයුරින් විශ්ලේෂණය කිරීම වඩාත් උගහටය.

පළමු පරිච්ඡේද දෙක මගින් පොතේ ඉතිරි කොටසින් ආවරණය වන ප්‍රශ්නගත කරුණු විශ්ලේෂණය කිරීම පිණිස අවශ්‍ය වන සන්දර්භයමය පදනම සකසා තිබේ. ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ආචාර්ය ජයන්ත කැලේගම මහතාගේ ප්‍රවේශය අනුව යමින් ලක්‌දාස හුලුගල්ලේ, ප්‍රතිපත්ති සම්පාදක ක්‍රියාවලියේදී මුහුණපෑමට සිදු වන සීමාකාරක සහ තර්ක විතර්ක විමසුමකට ලක්‌ කරයි. මීට අනුරූප ආකාරයකින් ප්‍රතිපත්ති උපදේශකයින් වශයෙන් සමාජ විද්‍යාඥයන්ගේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කිරීම තුළින් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන ප්‍රශ්නගත කරුණු විශ්ලේෂණය සඳහා ඇවැසි පදනම ලක්‌සිරි ජයසූරියගේ කාර්යය හරහා සැලසී තිබේ. නිදහස ලැබීමෙන් පසුව සිදු කෙරුණු ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ මුල් කොටස තුළදී ප්‍රතිපත්තිමය උපදේශක කාර්යභාරය ඉටු කළේ ආචාර්ය ජයන්ත කැලේගම මහතා විසිනි. මෙම විශ්ලේෂණයට අනුව ප්‍රතිපත්ති උපදේශකයින් විසින් දේශපාලනය හා විද්‍යාව යන උභයාත්මක සංස්‌කෘතීන් තුළ සංකීර්ණ වූ මැදිහත්වීම් කාර්ය භාරයක්‌ ඉටු කළ යුතුව තිබේ. එහෙත් බොහෝ විශ්ලේෂකයෝ නිවැරදි හෝ වැරදි ආකාරයෙන් එක්‌ පැත්තක්‌ දෙස පමණක්‌ සංක්‌ෂේපයෙන් බලති.

මෙකී සංදර්භාත්මක ක්‍රියා රාමුව අබියස සංවෘත ආර්ථික ව්‍යqහය තුළ වූ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ කරුණු තෙවැනි හා සිව් වැනි පරිච්ඡේද මගින් පිළිබිඹු කෙරේ.

ශ්‍රී ලාංකික සංවර්ධනය පිළිබඳව ලියෑවුණු ශාස්‌ත්‍රීය ලිපි ලේඛන මගින් ප්‍රමාණවත් තරමින් සාකච්ඡාවට භාජනය නොවුණු වැදගත් මෙන්ම එකිනෙක හා සබැඳි ප්‍රතිපත්තිමය ගැටලු දෙකක්‌ මෙකී පරිච්ඡේද දෙකෙන් සාකච්ඡාවට භාජනය කර තිබේ. සංවෘත ආර්ථික ව්‍යqහයක්‌ පැවති 1970 - 1975 කාලය තුළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ ආර්ථික ක්‍රමෝපායය අළලා බුද්ධදාස හේවාවිතාරණ විසින් සිත්ගන්නා රචනයක්‌ ඉදිරිපත් කර ඇත. සමස්‌තයක්‌ වශයෙන් සලකා බැලීමේදී සමාජවාදී මාවතක්‌ තුළ සංවර්ධනය හා සමානාත්මතාව වැඩිදියුණු කිරීම පිණිස ඉඳුරාම පරහිතකාමීත්වය පෙරදැරි කර ගනිමින් ඇති කරන ලද මෙකී ආර්ථික ක්‍රමෝපායයන්හි අභ්‍යන්තරික සංඝටන කෙරෙහි කතුවරයා එබී බලන බවක්‌ පෙනීයයි. සරත් රාජපතිරණගේ පරිච්ඡේදය වූකලී ආචාර්ය ඇන්. ඇම් පෙරේරා විසින් සිදුකළ විශේෂිත මූල්‍යමය අත්හදා බැලීමක්‌ එනම් භාවිතයේ පැවති මුදල් අවලංගු කිරීම පිළිබඳව ලියෑවුණු එකකි. ශ්‍රී ලංකාව, මෙම අත්හදා බැලීම සිදුකළ රටවල් ස්‌වල්පයෙන් එකක්‌ වන අතර, මීට ආර්ථික විශ්ලේෂකයන්ගේ වැඩි අවධානයක්‌ යොමු නොවීය. මෙම මූල්‍යමය අත්හදා බැලීමේ ව්‍යqහාත්මක ස්‌වරූපය ගෙනහැර දැක්‌වීමේ දී කතුවරයා, අභිලාෂයන් හා ඒවා සාක්‍ෂාත් කරගත් ආකාරය අනුව එකී ප්‍රයත්නයේ යථා ස්‌වභාවය පැහැදිලි කරයි. අපේක්‍ෂිත ප්‍රතිපත්තිමය ප්‍රතිඵල නොලද සංවෘත ආර්ථිකමය අත්හදා බැලීම්වල පාඩම් හා ජයග්‍රහණයේ කතන්දර පමණක්‌ නොව, 1977 න් ඉක්‌බිතිව ඇති වූ විවෘත ආර්ථික මොඩලය ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළ මුහුණ දුන් නව අභියෝග පිළිබඳව ද අවධානය යොමු කෙරෙන පරිච්ඡේද සමූහයක්‌ එහි වේ. ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්‌කරණවලින් ඉක්‌බිතිව අපනයනයට නැඹුරු කාර්මිකකරණය විවේචන මගින් එල්ල වූ ප්‍රශ්නවලට ප්‍රේමා බණ්‌ඩාර අතුකෝරළගේ පරිච්ඡේද මගින් පිළිතුරු සැපයේ. මෙම විශ්ලේෂණයෙන් දැක්‌වෙන්නේ රජය මගින් ක්‍රියාත්මක කෙරුණු ආනයන අදේශක කාර්මිකකරණය තුළින් මෙරට බාහිර කම්පනයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි වී, ඒ හේතු කොටගෙන රැකියා වර්ධන අගාධයක්‌ නිර්මාණය වූ අතර, 1977 සිදු කරන ලද ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්‌කරණවලින් ආයෝජන හා වෙළ¹ම් ලිහිල් කිරීම හරහා ශක්‍යමාන ලැබීම උකහා ගැනීම පිණිස මංමාවත් විවර වී ඇති බවත්ය.

රවි රත්නායක විසින් අවධානය යොමු කොට ඇත්තේ, විවෘත ආර්ථිකයක්‌ කරා පියවර තැබීමේ දී සිදු කෙරෙන තීරු බදු ප්‍රතිසංස්‌කරණවල දේශපාලන ආර්ථික මුහුණුවර පිළිබඳවය. තීරු බදු ප්‍රතිසංස්‌කරණ පිළිබඳව පෞද්ගලික අංශයේ ඕනෑ එපාකම් පිළිබඳ ප්‍රවේශ සහ රාජ්‍ය අංශයේ ඕනෑ එපාකම් පිළිබඳ ප්‍රවේශය ආර්ථිකමිතික ආදර්ශයක්‌ භාවිතයට ගෙන සන්සන්දන කරමින් ශ්‍රී ලංකාවේ තීරු බදු ලිහිල් කිරීම සම්බන්ධයෙන් ගත් කල ජාතික අවශ්‍යතා වඩා වැදගත් බව රත්නායක නිගමනය කරයි. එබැවින් කාර්යක්‍ෂම නිලධාරීන්ගේ සහාය ලැබෙන ශක්‌තිමත් රාජ්‍යයක්‌ තිබෙන විට ප්‍රතිසංස්‌කරණ සිදු කිරීම පහසුවේ. පසුගිය දශක තුනක කාලය තුළ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය වෙත සෘජු විදේශීය ආයෝජන තුළින් ඇති වන බලපෑම විශ්ලේෂණය කිරීම මගින් ඡේ. එම්. පී. පතිරගේ විවෘත ආර්ථික ව්‍යqහයේ ජයග්‍රාහක කතාවන් හී තවත් අංශයක්‌ විමර්ෂණයට ලක්‌ කොට ඇත. පතිරගේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කොට ඇත්තේ ගෙවුම් ශේෂ පිළිබඳව වූවද එම විශ්ලේෂණය මගින් පැහැදිලිව දක්‌වා තිබෙන්නේ, ප්‍රාග්ධනය හිඟකමින් යුත් සංවර්ධනය වන ආර්ථිකයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවට ගලා එන විශාල සෘජු විදේශීය ආයෝජන ජාතික හැකියා ශක්‌තිය ගොඩනැඟීමෙහිලා සෘජුව හා වක්‍රව දායක වී ඇති බවය. කෙසේ නමුත්, සෘජු විදේශීය ආයෝජන රට තුළට ගලා ඒම සම්බන්ධයෙන් ගත්කල පැහැදිලිවම දැකිය හැකි ආර්ථික හා දේශපාලනමය කරුණු හේතුකොටගෙන ඒවා උකහා ගැනීමේ හැකියාව අතින් ශ්‍රී ලංකාව ඉතාමත් පසුගාමි තත්ත්වයක පසුවන බවය. පසුගිය දශක තුන ඇතුළත ශ්‍රී ලංකාවේ සෘජු විදේශීය ආයෝජනයන්හී සමුච්චිත අගය එ.ජ. ඩොලර් බිලියන 3.5 ක්‌ පමණක්‌ වූ අතර, මෙය ප්‍රමාණාත්මකව ගත්හොත් ශ්‍රී ලංකාවට පසුව ප්‍රතිසංස්‌කරණ ආරම්භ කළ වියට්‌නාමය වැනි රටකට එක්‌ වසරක්‌ තුළ ගලා එන සෘජු විදේශීය ආයෝජන ප්‍රමාණයකි.

ආර්ථික ලිහිල්කරණයේ නියමයන් අනුව තවත් ඉදිරියට යමින් මූල්‍යමය ගෝලීයකරණය පිළිබඳ තම පරිච්ඡේදය තුළින් කේ. ජී. ඩී. ඩී. ධීරසිංහ ශ්‍රි ලංකාවේ ප්‍රාග්ධන ගිණුම් ලිහිල්කරණය පිළිබඳ පරීක්‍ෂාකාරී සහ ක්‍රමික ප්‍රවේශය වෙත අවදානය යොමු කරවයි. ගෝලීය මූල්‍යමය ඒකාබද්ධතා ක්‍රියාදාමයේ දී දිළිඳු රටවල් වෙත පොහොසත් රටවලින් මූල්‍යමය ප්‍රාග්ධනය ගලා එයි. කතුවරයාගේ මතය අනුව මෙම ක්‍රියාදාමය තුළින් උකහා ගත හැකි ප්‍රස්‌ථා මෙන්ම මුහුණු දීමට ඇති අභියෝගද පැන නඟී. මෙම ප්‍රධාන කාරණය මෑත අතීතයේ ශ්‍රී ලංකාව විසින් ලබා ඇති අත්දැකීම් අනුව කෙරුණු විශ්ලේෂණ තුළින් මනාව තහවුරු වී තිබේ. මූල්‍යමය ලිහිල්කරණයෙන් රටකට වාසි අත්වීම හෝ අවදානම් තත්ත්වයන් වෙත ඇදී යනවාද යන කරුණු සියල්ල ර¹ පවතින්නේ ආයෝජකයන්ගේ විශ්වාසය හා ආයෝජනය මතය. ප්‍රතිපත්ති සම්පාදකයන්ට මාර්ගෝපදේශ සැපයීම සම්බන්ධයෙන් කෙරෙන විශ්ලේෂණය තුළින් ඉස්‌මතු වන ප්‍රධාන කාරණය මෙයයි. මේ නයින් බලන කල මීට අදාළව පවත්නා ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ඉහළ යැමයි. වත්මන් ගෝලීය පරිසරය තුළ උග්‍රවීමට ඉඩකඩ ඇති මෙම ගැටලුව නිහාල් කප්පාගොඩ විසින් තම පරිච්ඡේදය මගින් විශ්ලේෂණයට භාජනය කර තිබේ. රාජ්‍ය ණය කළමනාකරණය විෂය සම්බන්ධයෙන් පවත්නා ලොකුම අඩුව වන්නේ ඉදිරියේදී පැන නගින අභියෝගයන්ට මුහුණදීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ දාමයක්‌ ක්‍රියාවට නැංවීම සඳහා වූ ආයතනික ව්‍යqහයමයක්‌ නොමැතිකම බව ඔහු හඳුනා ගෙන තිබේ.

ආණ්‌ඩු දෙකේම පව් වලට මෙරට කර ගසා ඇති බැවින්, විවෘත ආර්ථික ව්‍යqහයේ සියලු දේම යහපත් විය නොහැක. තියුණු කෝණයකින් සංක්‍රමණය පිළිබඳව බලන ඒ. ඩී. වී. ද එස්‌. ඉන්ද්‍රරත්නගේ අදහස වන්නේ, සංවෘත ආර්ථිකය ඉතාමත් සංවෘත වන අතර විවෘත ආර්ථිකය වඩාත් විවෘත බවයි. විශ්ලේෂණය මගින් අවධානය යොමු කොට ඇත්තේ ප්‍රතිපත්තිමය ව්‍යqහයන් සඳහා යොදා ගන්නා ලද ආර්ථික මොඩලයන්හි (ආදර්ශකයන්හි) සමාජයීය සංකුලතාවන් කෙරෙහිය. මෙම ප්‍රශ්නය උද්ගතව ඇත්තේ ආර්ථිකය සංවෘත වන විට රජය "අත්‍යාධිකව" ක්‍රියා කිරීම සහ ආර්ථිකය විවෘතව පවතින විට "ඉතා අවමයක්‌" සිදු කිරීම නිසාය. මෙම විශ්ලේෂණය තුළින් දෙන මූලික පණිවුඩය නම් 2015 සහස්‍රක සංවර්ධන අරමුණු සාක්‌ෂාත් කර ගැනීම අත්‍යවශ්‍ය සේ අප විසින් සලකනු ලබන්නේ නම් අන්ත දෙකෙන්ම මිදී පැරණි ක්‍රමය හා නව ක්‍රමය මිශ්‍ර කිරීම වැදගත් බවයි.

මෙම ප්‍රකාශනයේ පරිච්ඡේද කිහිපයක්‌ වෙන් කොට ඇත්තේ ප්‍රතිපත්තිමය නිර්දේශයන් හා බැඳුනු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ඓතිහාසික පරිණාමය සාකච්ඡා කිරීම සඳහාය. රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව ලියෑවුණු පරිච්ඡේද දෙක මගින් මෙකී සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල සාම්ප්‍රදායක නොවන අංශයන් හි ගැටලු පිළිබඳව කටයුතු කරන ආකාරය පැහැදිලි කොට ඇත. මහ බැංකුවේ ස්‌වාධීනත්වය පිළිබඳ ගෝලීය වශයෙන් අවධානය වැඩිවෙමින් පවතින පරිසරයක්‌ තුළ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ ස්‌වාධීනත්වය පිළිබඳව ප්‍රශ්නගත කරුණ විමල් හෙට්‌ටිආරච්චි විසින් විමසුමට ලක්‌ කර තිබේ. මහ බැංකුවේ ස්‌වාධීනත්වය වැදගත් වන්නේ මූලික අයිතිවාසිකම් වන ආර්ථික හා මිල ස්‌ථාවරත්වය මෙන්ම මූල්‍ය ක්‍රමයේ ස්‌ථාවරත්වය පවත්වා ගැනීමට එයින් ඉඩකඩ ලැබෙන බැවිනි. මහ බැංකුවේ ස්‌වාධීනත්වය සාක්‌ෂාත් කර ගැනීමට සහාය කර ගත හැකි ආයතනික හා ප්‍රතිපත්තිමය විචල්‍යයන්හි අවශ්‍යතාව කතුවරයා මෙයින් විභාග කරයි. මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඩී. ඩී. එම්. වෛද්‍යසේකරගේ පරිච්ඡේදය වූ කලී වෙනස්‌ වන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස්‌වීමේ ඓතිහාසික රටාව සහ රටේ තත්කාලීන සංවර්ධන කාර්යයේදී බදු අය කිරීම යන කරුණු අළලා ලියෑවුනකි. එක්‌ එක්‌ අනුප්‍රාප්තික රජයන් යටතේ වූ සංවර්ධන අරමුණු හා ක්‍රමෝපායයන් හුවා දක්‌වමින් යටත් විජිත හා පශ්චාත් යටත් විජිත යුගය තුළ සිදු කෙරුණු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා බදුකරණයෙහි මූලික කරුණු කතුවරයා එයින් සම්පිණ්‌ඩනය කොට දක්‌වා ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තය අළලා ක්‍රිස්‌ රොඩි්‍රගෝ විසින් රචිත පරිච්ඡේදය තුළින් නිදහස ලැබීමෙන් පසුව එළඹුණු කාලය තුළ නිෂ්පාදන කර්මාන්තයේ පරිණාමය හා ව්‍යාප්තිය විමසුමට ලක්‌ කොට ඇති අතර, කාර්මික භවශක්‌තිවාදයේ ප්‍රධාන නිර්ණායක ලෙස වැදගත්වන තාක්‌ෂණික ප්‍රගතිය සහ නව නිපැයුම් ක්‍රම එයින් හුවා දක්‌වා ඇත. පරිච්ඡේදය සමාප්ත කරමින්, සමාගම්, ව්‍යාපාරික සංසද සහ රජය විසින් කාර්මික භවශක්‌තිය ඇති කොට සංවර්ධනයට දායක වීම සඳහා යොදාගත යුතු දෑ පිළිබඳ ලේඛනයක්‌ කතුවරයා විසින් හඳුනාගනු ලැබ ඇත. ජයතිලක බණ්‌ඩාර සහ සිසිර ජයසූරිය විසින් රචිත පරිච්ඡේදයේදී පශ්චාත් යටත් විජිත කාලයේ කෘෂිකාර්මික සංවර්ධනය හා ඒ සඳහා වූ දිරිගැන්වීම් සහ රජයෙන් ලැබුණු සහයෝගය අතර සහසම්බන්ධතාව විමසා බැලීම සඳහා ආර්ථික මිතික ආදර්ශයක්‌ භාවිතයට ගෙන තිබේ. කෘෂිකර්මාන්තය තුළින් ලබා ගත හැකි ඵලදායී ප්‍රතිලාභ සාක්‌ෂාත් කර ගැනීම පිණිස ප්‍රතිපත්ති තුළින් උද්ගත වී ඇති විෂම තත්ත්වයන් ඉවත් කරලීමේ වැදගත්කම ඔවුහු හඳුනා ගනිති. ආහාර ආරක්‍ෂණය ශ්‍රී ලංකාව කොතරම් දුරට සාක්‌ෂාත් කර ගැනීමට සමත් වී ඇද්ද? මෙම ප්‍රශ්නය උපාලි වික්‍රමසිංහ විසින් සාකච්ඡා කර ඇති අතර, ආහාර ආරක්‍ෂණය හා ආරක්‍ෂිත ජාල සඳහා වූ සාර්ථක ක්‍රමෝපායක්‌ තුළ අඩුපාඩුව පවත්නා කරුණු රාශියක්‌ ඔහු විසින් හඳුනාගනු ලැබ ඇත. වත්මන් අභියෝගයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන වශයෙන් රජයේ මැදිහත්වීම සහ වෙළෙඳපොළ අකාර්යක්‌ෂමභාවය සම්බන්ධයෙන් පවතින අඩුපාඩුකම් කතුවරයා විසින් විශ්ලේෂණය කර ඇති අතර, පසුගිය දශක කීපය තුළ මෙකී ප්‍රශ්නගත කරුණු පිළිබඳව අවධානය යොමු කොට ඒවාට පිළියම් යෙදීමෙහිලා වැඩි ප්‍රගතියක්‌ දක්‌වා නොමැති බව සටහන් කරමින් පරිච්ඡේදය සමාප්ත කරයි.

රාජා බී. එම්. කෝරලේ විසින් උද්ධමනය පිළිබඳ රචනා කොට ඇති පරිච්ඡේදය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගත් කල විශේෂිත එකක්‌ වන්නේ, එමගින් මෑත අතීතයේ උද්ධමන ප්‍රවණතා පමණක්‌ නොව, උද්ධමනයේ මිනුම්දඬු සම්බන්ධයෙන් වන තාක්‌ෂණික තොරතුරුවලට සවිමත්භාවය පිළිබඳව ද විමසුමට ලක්‌ කොට තිබෙන හෙයිනි.

මෙම විශේෂිත ප්‍රවේශ මගින් උද්ධමන ප්‍රවණතා ඒවායේ ප්‍රභවයන් සමග එක්‌ කිරීමට පාඨකයාට අවස්‌ථාව ලැබේ. උද්ධමනය හා විරැකියාව වූ කලී, එලොවත් මෙලොවත් පවතින නරකම දේ වන හෙයින්, මෙරට රැකියා වියුක්‌තියේ උපනතීන් පිළිබඳව සහ ඒවායේ මිණුම් ආශ්‍රිත ගැටලු සඳහා ඊට සරිලන පරිච්ඡේදයක්‌ සඳහා ඉඩකඩ මෙම පොතෙහි සලසා තිබිණි නම්, එය වඩාත් උචිත වන්නට ඉඩ තිබිණි.

විවිධ කෝණයන් අනුව පරිච්ඡේද දෙකක්‌ මගින් මෙරට දරිද්‍රතාව පිළිබඳ ප්‍රශ්නගත කරුණ ඉදිරිපත් කරනු ලැබ තිබේ. ගෝලීයකරණය සංකෝචනය හා ඉහළ දේශීය පොලී අනුපාතිකයන් සහිත පසුබිමක්‌ තුළ දිළිඳුකම පිටුදැකීමෙහි ලා සූක්‌ෂ්ම මූල්‍යකරණයෙහි වැදගත්කම එම්. යූ. ඒ. තෙන්නකෝන් විමසුමට ලක්‌ කර ඇති අතර, මහ බැංකුව ඇතුළුව රටේ පවත්නා වත්මන් සූක්‌ෂ්ම මූල්‍ය සම්පාදන ක්‍රමයෙහි දුර්වලතා හඳුනාගනී. ඔහුගේ මූලික නිගමනය වන්නේ දිළිඳුකම පිටුදැකීම සහ සංවර්ධන ඉහළ නැංවීම උදෙසා සූක්‌ෂ්ම මූල්‍ය සම්පාදන ආයතනගත කිරීම වැදගත් වන බවයි. මින් වෙනස්‌ වූ රංජිත් බණ්‌ඩාර තම පරිච්ඡේදය ඔස්‌සේ සූක්‌ෂ්ම ව්‍යවසාය සංවර්ධන වැඩ සටහන් පාදක කොට සූක්‌ෂ්ම ආර්ථික විශ්ලේෂණයක්‌ ඉදිරිපත් කර තිබේ. ගම්බද ප්‍රජා කොටස්‌ තුළ ව්‍යවසායකත්වය සංවර්ධනයෙහි නිර්ණායක විභාගයට ලක්‌ කෙරෙමින් හා ආදර්ශයක්‌ භාවිතයට ගනිමින් කතුවරයා නිගමනය කරන්නේ දිළිඳුකම පිටුදැකීමේ සෙසු වැඩසටහන් හා සැසඳීමේ දී සූක්‌ෂ්ම ව්‍යවසාය සංවර්ධන ක්‍රමෝපාය තිරසර සහ ඵලදායී එකක්‌ වන බවත් සූක්‌ෂ්ම ව්‍යවසාය සංවර්ධන ක්‍රමෝපාය තුළින් ග්‍රාමීය ව්‍යවසායකත්ව හැකියාවන් ප්‍රයෝජනයට යොදා ගැනීමේ අවස්‌ථාවක්‌ සැලසෙන අතර, දිළිඳුකමින් පීඩා විඳින ග්‍රාමීය ප්‍රජා කොටස්‌වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මං පෑදෙන බවත්ය.

අවසාන වශයෙන් ගත් කල රටේ දිගුකාලීන සංවර්ධනය හා ඒ පිළිබඳ අපේක්‍ෂාවන් හා බැඳී පවතින විශේෂිත හා කාලෝචිත ගැටලු සම්බන්ධයෙන් ලියෑවුණු පරිච්ඡේද තුනක්‌ වේ. නිමල් සඳරත්න ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජන විකාශ වෙනස්‌කම් කෙරෙහි අවධානය යොමු කරමින් ඒවායේ ආර්ථික හා සමාජයමය ප්‍රතිඵල හඳුනා ගනී. විශ්ලේෂණය තුළින් මතුවෙන ප්‍රධාන ප්‍රශ්නගත කාරණය නම්, වත්මන් ජන විකාශ සංක්‍රමණයේ යථාර්ථයන් වෙනුවෙන් කළ යුතු ආර්ථික හා සමාජයමය සීරුමාරු කිරීම් සහ සෞඛ්‍ය, අධ්‍යාපනය වැඩි දියුණු කිරීම මෙන්ම, වයස්‌ගත වූවන් රැකබලා ගැනීම සඳහා වූ විධි ක්‍රමයක්‌ සැකසීම මගින් මෙකී යථාර්ථයට මුහුණ දීමට සුදානමින් සිටිය යුත්තේ කෙසේදැයි යන්නයි. විශ්වා වර්ණපාල විසින් විග්‍රහ කොට ඇති පරිදි, ශ්‍රී ලාංකික අධ්‍යාපන පද්ධතියේ කාලයක්‌ තිස්‌සේ විශාල ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගත වී ඇති ක්‌ෂේත්‍රයක්‌ නම්, විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි. මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියේ ඓතිහාසික විකාශනයන් සාරාංශ කරමින් කතුවරයා විසින් වත්මන් ක්‍රමය තුළ පවත්නා ඇතැම් ප්‍රධාන අඩුලුහුඩුකම් හඳුනා ගන්නා අතර, ඒ සඳහා සිදු කළ යුතු සංශෝධණ කෙරෙහි අවධානය යොමු කරවයි. කේ. ධර්මසේන අවධානයට යොමු කොට ඇත්තේ, ශාස්‌ත්‍රීය අංශයන් මෙන්ම ප්‍රතිපත්තිමය අංශ මගින් පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් නොවූ වඩාත් සුවිශේෂී ගැටලුවක්‌ පිළිබඳවය, එනම් ඉන්දියාවේ "සේතු සමුද්‍රම්" ව්‍යාපෘතිය හේතු කොට ගෙන, කොළඹ වරාය සම්බන්ධයෙන් උද්ගත වන ආනුශංගික හා තරගකාරී ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට අහිමි විය හැක්‌කේ කෙසේද? යන්නයි. මෙම විග්‍රහය තුළින් ඉදිරියේදී මුහුණ දීමට සිදු වන අභියෝග වෙසෙසින් පැහැදිලි කර ඇති අතර, එකී අභියෝගවලට මුහුණදීමට පමණක්‌ නොව, මෙරට වරාය කටයුතු වැඩි දියුණු කිරීම සඳහා වූ නිර්දේශ ද එමගින් ඉදිරිපත් කෙරේ. සංක්‌ෂේප වශයෙන් මෙකී නිර්දේශ "එක්‌ වරායක්‌ යන සංකල්පය" වෙතින් බැහැර වෙමින් දිවයින වටා පිහිටි ක්‍රමෝපායීය වශයෙන් වැදගත් ස්‌ථානවල බහුවිධ වරායන් ඇති කිරීම සහ විවිධ ගණයේ වරාය කටයුතු සඳහා විවිධ වරායන් විශේෂිත ආකාරයෙන් සැලසුම් කිරීම හා ඊට පහසුකම් සැලසීම යනාදිය සඳහා වූ නිර්දේශ පුළුල් ක්‍රමෝපාය දෙකක්‌ යටතේ යෝජනා කොට ඒවායේ සුදුසු බව පෙන්වා දී ඇත.

ග්‍රන්ථයේ අන්තර්ගත සමස්‌තයක්‌ ලෙසින් අගැයීමේ දී පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය, ගැටලු හා අපේක්‌ෂාවන් සම්බන්ධයෙන් වන ප්‍රශ්නගත කරුණු පිළිබඳ විශිෂ්ට විශ්ලේෂණ මීට ඇතුළත් වී ඇති බවය. ආවරණය වී ඇති ප්‍රතිපත්තිමය කරුණු හා භාවිතා විශ්ලේෂණාත්මක ප්‍රවේශයන් අනුව බලන කළ සාකච්ඡාවට බඳුන් වී ඇති දෑ අලුත් සහ නිර්මාණාත්මක ඒවාය. ග්‍රන්ථයේ ඇතුළත් ආර්ථික ගැටලු කෙරෙහි පමණක්‌ නොව, කිසියම් ආර්ථික ගැලුවක්‌ පිළිබඳව විමර්ශණය කොට ඊට දේශපාලන ආර්ථික විසඳුමක්‌ දීමේ වැදගත්කම කෙරෙහි ද පාඨකයා දැනුවත් කරයි. අද්විතීය ආර්ථික විද්‍යාඥයෙකු වෙනුවෙන් ඇත්ත වශයෙන්ම මෙම පොත උපහාරයක්‌ වන්නේ එහි ඇතුළත් මෙකී විවිධ ලක්‍ෂණ නිසාය.

සමාලෝචනය (
මහාචාර්ය සිරිමල් අබේරත්න,
ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව,
කොළඹ විශ්වවිද්‍යාලය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.