ආරියවතීගේ සිරුරට යකඩ ඇණ
විසිහතරක්‌ ගැසූ සෞදි මෘගයෝ

ආරියවතීට පීඩාකළ අයට එරෙහිව
නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා

විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති කිංස්‌ලි රණවක


ආරියවතී මහත්මිය


පාදවල ඇණ ගැසූ ස්‌ථාන

රජකාලේ විවිධ වැරදිවලට වරදකරුවන් වූවන්ට දරුණු ගණයේ දඬුවම් පැමිණවූ බව අප අසා ඇතත් එසේ දඬුවමට ලක්‌වූවකු අප දැක නැත. ඒකාධිපති පාලනයක්‌ පැවැති එකල එවැනි දරුණු දඬුවම් ලබා දුන්නද ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ ඇති මෙකල එවැනි දඬුවම් ලබා නොදෙන බැවිනි.

දුප්පත්කම නිසා යම් මුදලක්‌ උපයා ගැනීමට මැදපෙරදිග රටක ගෘහ සේවයට ගිය අහිංසක කාන්තාවක රජ කාලයටත් වඩා දරුණු ගණයේ දඬුවම් ලබා දී ඇති අන්දම සියෑසින් දැක ගැනීමට තරම් අපි අවාසනාවන්ත වී සිටිමු.

කඹුරුපිටිය මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි ප්‍රභාත් ගජධීර මහතාගෙන් ලැබුණු හදිසි දුරකථන ඇමතුමක්‌ මත අප රෝහලට යන විටත් මෙසේ දඬුවම් විඳි කාන්තාව අපිරිමිත වේදනාවෙන් රෝහල් ඇඳක්‌ මත වැතිර හඬමින් සිටි දසුන අපගේ නෙතට කඳුළු මතු කරන්නට විය.

ඇය නමින් ලකඳපුරගේ ආරියවතීය. හතලිස්‌නව වන වියේ පසුවන මෙම කාන්තාව තිදරු මවකි. ඇගේ දියණියන් දෙදෙනාත් එකම පුත්‍රයාත් විවාහ වී සිටිති. බොහෝ කාන්තාවන් මැදපෙරදිග රටවල ගෘහ සේවයට යන්නේ තම කුඩා දරුවන් හදා වඩා ගැනීමට හෝ නිවසක්‌ ඉදිකර ගැනීමට හෝ ඉන්න හිටින්නට පර්චස්‌ දහයකවත් බිම්කඩක්‌ මිලට ගැනීමට මුදලක්‌ උපයා ගැනීමේ අපේක්‍ෂාවෙනි.

එහෙත් දරුවන් ලොකු මහත් වී දීගතල ගිය පසුව ආරියවතීට රට යැමේ උවමනාවක්‌ ඇතිවීම පුදුමයකි. ජීවිතයේ අඩකටත් වඩා ගෙවා ඇති ඇයට ඉතිරි ටිකත් සුපුරුදු පරිදි ජීවත්වීමට ඇගේ සිත ඉඩ දුන්නේ නම් මෙවන් ගැහැටක්‌ විඳීමට සිදු නොවනු ඇත. ආරියවතීගේ වැඩිමහල් දියණිය පවසන පරිදි ඇගේ මවට පසුගිය කාලයේ රට යැමේ පිස්‌සුවක්‌ තිබී ඇත. අම්මා රට යනවාට දරුවන් කැමැති වී නැත.

ඔය කියන කාලයේ මම පොඩි අමනාපයක්‌ නිසා ගෙදරට ආවෙ ගියේ නැහැ. අම්මා රට යන්න සූදානම් වෙලා මට කීවේ. ඒත් ඒ වෙනකොට මම හිටියෙ නුවර ගිහිල්ලයි. මම හිටිය නම් පාස්‌පෝට්‌ එක ඉරලා හරි අම්මා රට යන එක නතර කරනවා යෑයි ආරියවතීගේ එකම පුත්‍රයා පැවැසීය.

ගමේ අහල පහළ නිවෙස්‌වල කාන්තාවන් පිටරට රැකියාවලට යන අන්දමත් එසේ ගොස්‌ පැමිණ විය පැහැදම් කරන අන්දමත් දුටු ආරියවතීට ද පිටරට රැකියාවකට යැමේ සිහිනයක්‌ ඇතිවීම පුදුමයක්‌ නොවේ. ඇය ඇගේ සිහිනය සපුරා ගැනීමට නරවැල්පිට ප්‍රදේශයෙන් පැමිණ ඇගේ නිවස අසල පදිංචි පවුලක පිහිට ලබාගැනීමට සමත් විය. ඒ අයගේ සහයෙන් හඳුනාගත් වලස්‌මුල්ල ප්‍රදේශයේ පුද්ගලයකුගේ මාර්ගයෙන් කොළඹ පිහිටි එක්‌තරා රැකියා ඒජන්සියක්‌ හරහා සෞදි අරාබියේ ගෘහසේවිකාවක්‌ ලෙස යැමට ආරියවතී මඟ පාදා ගත්තාය.

තිහගොඩ, බටුවිට, උඩදෙනිය, දියරුක යන ලිපිනයේ පදිංචි ආරියවතී එම රැකියා ඒජන්සිය හරහා රට යැමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරගෙන ඇත. ඇයට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය මගින් දින පහළොවක අරාබි භාෂාව සහ එම රටේදී ගෘහ සේවිකාවක්‌ ලෙස කටයුතු කරන අන්දම පිළිබඳ පුහුණුවක්‌ ද ලබා දී ඇත.

ආරියවතීගේ සිහිනය මල්ඵල ගන්වමින් 2010 මාර්තු 25 දින සෞදි අරාබියේ ගෘහ සේවිකාවක්‌ ලෙස පිටත්ව ගොස්‌ තිබේ. දයාබර සැමියා සහ සිය දරුවන්ගෙන් වෙන්ව නොරටට ගිය ආරියවතී සැබැවින්ම එම රටේදී හුදකලා විය. ඒ ආරියවතීට ඇය සේවය කරන නිවසේ අරාබිකාරයන් කතාකරන අරාබි භාෂාව නොතේරීමත් අරාබිකාරයාට ආරියවතී කතා කරන සිංහල භාෂාව නොතේරීමත් නිසාය. ඒ නිසා ඇය ගොළුවකු මෙන් හස්‌ත මුද්‍රdවෙන් අදහස්‌ හුවමාරු කර ගැනීමට උත්සාහ කළ ද එය ද සාර්ථක වූ බවක්‌ පෙනෙන්නට නැත.

ආරියවතීට සේවය කරන්නට සිදුවී ඇත්තේ මව පියා සමඟ දරුවන් හත්දෙනකු සිටින නිවසකය. පවුලේ වැඩිමහල් දරුවකු (පුත්‍රයකු) එරට පොලිසියේ සේවය කරන බව පවසන ඇය කුඩා දරුවන් තවමත් පාසල් යන බව පවසයි. උදේ හතේ පමණ සිට රාත්‍රි දොළහ එක වනතුරු මේ නවදෙනාගේ කුදු මහත් කටයුතුත් නිවසේ සියලු කටයුතුත් කිරීමට ආරියවතීට පැවරුණු රාජකාරිය විය.

මෙම නිවසේ රැකියාවට ගිය මුල් සතිය කිසිදු කරදරයක්‌ නැතිව ගෙවී ගිය ද එතැන් සිට ඇයට එම නිවසේ කටයුතු හිතකර එකක්‌ නොවිණි.

ආරියවතීට ගෙහිමි කාන්තාව හෝ ඒ නිවසේ අය යමක්‌ ගෙන එන ලෙස කියූ විට ඇය ලංකාවේදී අරාබි ඉගෙනගත් පොත පෙරලා බලා ඒ දෙය ගෙනගොස්‌ එම ඉල්ලූ භාණ්‌ඩය ගෙනගොස්‌ දුන්නත් එය ඉල්ලූ භාණ්‌ඩය හෝ උපකරණය නොවීම නිසා ගෙදර අය ඇය කෙරේ නපුරු ලෙස සලකන්නට පටන්ගෙන තිබේ. ඇය කියන්නේ එහේ තියෙන්නේ මෙහේ උගන්වන අරාබි භාෂාව නොවන බවයි. කෙසේ වෙතත් භාෂාව පිළිබඳ අවබෝධයක්‌ නොවීම නිසා නිවැරදිව අදහස්‌ හුවමාරු කර ගැනීමට නොහැකි වීමෙන් ආරියවතීගේ කලදසාව ටිකෙන් ටික නරක අතට හැරෙන්නට විය.

හස්‌ත මුද්‍රdවෙන් අදහස්‌ හුවමාරු කරගත්ත ද නිවසේ කටයුතු හරියාකාරව කරගෙන යැමට එය ප්‍රමාණවත් වී නැත. නිවස පිරිසිදු කිරීමෙන් පසු බිම දූවිලි ස්‌වල්පයක්‌ දුටු විට නිවැසියන් කෝපාවිෂ්ඨ විය. ඔවුන් කෝප වූ විට දිග පොල්ලකින් ආරියවතීගේ හිසට පාදවලට සහ පිටට පහර දෙන්නට විය.

එක දිගට පැය 18 කට අධික කාලයක්‌ දිනපතා වැඩ කිරීම නිසා ඇතිවන අධික වෙහෙස සහ නිදිමත නිසා නිදාගන්න ගිය විට ද යළි අවදි කරවා වැඩ පැවරූ බව ඇය පවසයි. නිවෙස්‌ හිමියා නිවසට ගෙන එන විශාල කාපට්‌ ඇතුළු විවිධ බර ද්‍රව්‍ය පවා නිවෙස්‌ තුළට තනිවම ගෙන ගබඩා කිරීමට ද ඇයට සිදුව තිබේ. මෙය ඉතා වෙහෙසක්‌ සහ කළ නොහැකි කටයුතු බව ඇය කියයි.

දිනපතා සිදුවන තාඩන පීඩන පහරදීම් ඉවසීමට නොහැකි නිසා ලංකාවට එවන්නැයි ඇය සිය හාම්පුතාගෙන් ඉල්ලා ඇත. ඉන් තවත් කෝපයට පත් හාම්පුතා ඔහුගේ බිරිඳගේ ද සහය ඇතිව රත්කළ යකඩ ඇණ ආරියවතීගේ ඇඟට බලහත්කාරයෙන් ඇතුල් කර තිබේ. මින් ඇතිවන මහත් වේදනාව නිසා ඇය කෑගසන්නට ඇŽමට වූ විට ඔවුන් ආරියවතීට ඇŽමට හෝ කෑගැසීමටවත් ඉඩ දී නැත. මෙසේ මාස ගණනක්‌ තිස්‌සේ ඔවුන් කෝප වූ විට රත්කළ යකඩ ඇණ 24 ක්‌ ආරියවතීගේ ඇඟට ඇතුල් කර ඇත. හිසේ අත්වල පාදවල විවිධ ප්‍රමාණයේ යකඩ ඇණ ඇතුල් කිරීම නිසා වූ තුවාල පැසවා සැරව පිරී මහත් වේදනා ඇති වුවද ඔවුන් කිසිම ප්‍රතිකාරයක්‌ ලබාදීමට කටයුතු කර නැත. මේ නිසා තමා තනිවම තුවාල මිරිකා සැරව ඉවත් කර ගත් බව ආරියවතී පවසයි.

ආරියවතීට ඇවිදීමට නොහැකි වන සේ දණහිසට ද යකඩ ඇණ ගසා ඇත. අවසානයේ ඇය අසාධ්‍යව ඇවිද ගැනීමට පවා නොහැකි වූ විට ගෘහමූලිකයා වාහනයක නංවාගෙන තානාපති කාර්යාලයට පැමිණ ගුවන් ටිකට්‌පතක්‌ ලබාදී ඇත.

එම ගුවන් ටිකට්‌ පතද ආරියවතීට ලැබීමට නියමිත වැටුපෙන් කපාගෙන ලබාදුන් බව කියති. තානාපති කාර්යාලයේදී ගෘහමූලිකයා ආරියවතීට මාස 2 ක වැටුප ලෙස රු. 64,000 ක මුදලක්‌ දුන්නද ඇය නැවත නිවසට ගිය පසු ඉන් රු. 6000 ක්‌ නිවැසි කාන්තාව උදුරාගෙන තිබේ.

අවසානයේ ආරියවතීට දුරකථනය දී ගෙදරට කතා කර ලංකාවට එන බව පවසන්නැයි කියා තිබේ. එසේ ගෙදරට දැනුම් දීමෙන් පසු ගුවන් මගින් පසුගිය 21 වැනි සෙනසුරාදා රාත්‍රි ආරියවතී ඇඟ පුරා යකඩ ඇණ 24 ක්‌ සහිතව කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පා තැබුවාය.

ඇය වේදනාව ඉවසිය නොහැකිව හඬන විට පිහියක්‌ බෙල්ලට තබා බෙල්ල කපා දමන බවට තර්ජනය කර නාඬන ලෙස බල කර ඇත. මෙසේ අපායේ විඳින දසවදවලට නොදෙවැනි වද විඳි ආරියවතී නොමැරී ලංකාවට ඒමට හැකිවීම ගැන ඈ සතුටු වෙයි.

ආරියවතී මහත්මියගේ තත්ත්වය පිළිබඳ කඹුරුපිටිය මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කමල් වීරතුංග මහතාගෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඒ මහතා පැවැසුවේ කිසිදු ප්‍රතිකාරයක්‌ නොමැතිව සිරුරේ යකඩ ඇණ 24 ක්‌ සහිතව මාස ගණනක්‌ මෙම කාන්තාව ජීවත්වීම පුදුම සහගත බවත් ඇය රෝහල්ගතවීමට පෙර දින පෞද්ගලික වෛද්‍ය ආයතනයකින් පිටගැස්‌ම එන්නත සහ වේදනා නාශක ලබාගෙන ඇති අතර ඇයගේ ඇඟේ ඇති සියලුම යකඩ ඇණ ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට කටයුතු කරන බවත්ය.

රෝහල් කාර්ය මණ්‌ඩලයේ සහ වෛද්‍යවරුන්ගේ අනුකම්පාව සහ ආරක්‍ෂාව මත දැන් ආරියවතී සුවපත් වීමේ අපේක්‍ෂාවෙන් කඹුරුපිටිය මූලික රෝහලේ නේවාසිකව සිටියි.

අපේ රටට විශාල විදේශ විනිමයක්‌ උපයා දෙන්නේ මැදපෙරදිග රටවල ගෘහ සේවයේ යෙදෙන මෙවැනි කතුන් බව රහසක්‌ නොවේ. නමුත් ඔවුන්ගෙන් විශාල පිරිසක්‌ එම රටවලදී විවිධ තාඩන පීඩන අතවර සහ පහරදීම්වලට ලක්‌වෙති. විවිධ වධ කඳවුරුවල වද බන්ධනවලට ලක්‌ව සිටිති. මෙම අසරණ මවුවරුන් සොයුරියන් වෙනුවෙන් කටයුතු කිරීමට තවමත් අපේ තානාපති කාර්යාල සහ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය කටයුතු නොකිරීම කනගාටුදායක තත්ත්වයකි.

සතුන්ගෙන් වැඩ ගන්නා අවස්‌ථාවල පවා උන්ට ආහාර ලබාදීම නෑවීම ඇතුළු සාත්තු සප්පායම් කිරීමට උන්ගේ හිමිකරුවන් කටයුතු කරති.

නමුත් මැදපෙරදිග රටවලට යන කාන්තාවන්ට එසේ තිරිසන් සතුන්ට තරම්වත් නොසලකන තත්ත්වයක්‌ උදාවී ඇත්තේ කවර අවාසනාවක්‌ නිසාද? මිනිසුන් විසින්ම මිනිසුන්ට මෙසේ කෲර ලෙස සලකන්නේ මන්ද?

මෙසේ රන් කහවනු සොයා නොරටක ගොස්‌ අතරමංවන අසරණ මවුවරුන් සොයුරියන් ගැන සොයා බැලීමටත් ඔවුන්ට නිසි ආරක්‍ෂාව ලබාදීමටත් රජය සහ ඊට සම්බන්ධ ආයතන මින් ඉදිරියටවත් පියවර ගැනීම කාලෝචිතය. එසේ කළ නොහැකි නම් මෙරට කාන්තාවන් මැදපෙරදිග වැනි රටවලට ගෘහසේවය සඳහා යෑවීමෙන් වැලකිය යුතු බවය.

ආරියවතීට පීඩාකළ අයට එරෙහිව
නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා

විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති කිංස්‌ලි රණවක

සෞදි අරාබියාවේ රියාද් නගරයේ නිවසක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි තිහගොඩ එල්. පී. ඩී. ආරියවතී මහත්මියගේ සිරුරට ඇණ ගසා හිංසා පීඩාවලට ලක්‌ කළ සිද්ධිය පිළිකුලෙන් යුක්‌තව හෙළා දකිනවා පමණක්‌ නොව ඊට එරෙහිව පරීක්‍ෂණ පවත්වා වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යංශයේ සභාපති නීතිඥ කිංස්‌ලි රණවක මහතා කියා සිටී.

සෞදි අරාබියාවේ රියාද් නගරයේ නිවසක ගෘහ සේවිකාවක්‌ වශයෙන් සේවය කරමින් සිටි මාතර තිහගොඩ එල්. පී. ඩී. ආරියවතී මහත්මියගේ සිරුරට ඇණ ඇතුල්කිරීමක්‌ සම්බන්ධ වූ සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ දැඩි අවධානය යොමුවී ඇති බව කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්‌ලි රණවක මහතා සඳහන් කරයි.

2010 මාර්තු මස 25 වන දින කොළඹ පිහිටි විදේශ රැකියා ඒජන්සියක්‌ මාර්ගයෙන් සෞදි අරාබියාවේ රියාද් නගරයේ නිවසක ගෘහ සේවිකාවක්‌ ලෙස ඇය සේවයට ගොස්‌ තිබේ. මේ අතර ඇය පසුගිය 20 වැනිදා යළි දිවයිනට පැමිණ තිබේ.

පී.එල්. ජයවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.