සිංහල ජනශ්‍රැතියේ ඉතිහාසය

ශ්‍රී ලංකා සමාජ සංවිධානය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපට උරුම වූ ජනශ්‍රැති අංග විමසා බැලීම වැදගත් වේ. අප සමාජය තුළ අතීතයේ සිට වර්තමානයෙන් පසුව අනාගතය දක්‌වාත් එය අඩු වැඩි ලෙස ක්‍රියාත්මක වීම නිරන්තරයෙන්ම සිදුවේ. ජනශ්‍රැතිය පිළිබඳ අදහස්‌ නිශ්චිතව සඳහන් කළ නොහැකි අතර එහි ඇති විවිධ නිර්වචන තුළින් අවබෝධයක්‌ ලබා ගත හැකි වේ. ජනශ්‍රැති (Folklore) යන පදය ප්‍රථමයෙන්ම හඳුන්වාදෙන ලද්දේ සී. විලියම් තොම්ස්‌ විසිනි. ඒ 1846 දීය. ජනශ්‍රැතිය නම් ජනයාගේ ශ්‍රැතිය ලෙස ඔහු සඳහන් කරයි. මේ පිළිබඳ අදහස්‌ දක්‌වන ලෙවි බ්‍රෑල් ට අනුව ජනශ්‍රැතිය යනු "මුඛ පරම්පරාවෙන් පැවතෙන සංස්‌කෘතික අංගයක්‌" වන බවය. විසිවැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ විසූ අග්‍රගන්‍ය වියෙතෙකු වූ ආචාර්ය ආනන්ද කේ. කුමාරස්‌වාමි ප්‍රකාශ කරන්නේ "ඓතිහාසික පරීක්‍ෂණ වලට ලක්‌ වූ යුගවලට පෙර සිට පොතින් පතින් නොව මුඛ පරම්පරාවෙන් සහ මනුෂ්‍ය චාර්යාවෙන් පැවත එන පුරාවෘත්ත, සුරංඟනා කතා, කවි කතා, කෙළි සෙල්ලම් සහ ඒ ආශ්‍රිත භාණ්‌ඩ ආදිය වූ පරිපූර්ණ අඛණ්‌ඩ සංස්‌කෘතික සම්බන්ධතාව" ජනශ්‍රැතිය ලෙස හැදින් විය හැකි බවය.

මෙම නිර්වචන සියල්ල සාරංශ කොට ගත් විට ජනශ්‍රැතිය යනු යම් රටක ජීවත් වන මිනිසුන් ඔවුන්ගේ මතකයෙන් ඉදිරියට ගෙන එනු ලැබූ සංස්‌කෘතික අංගයන් සමූහයකටය. මෙයට බොහෝ අංග රැසක්‌ අයත් වේ. ජන කතා, ජන ගී, ජන වෙදකම, ජන විශ්වාස, ජන ආගම, තේරවිළි හා ප්‍රස්‌ථා පිරුළු, උපමා කතා, ජන භාෂා වූ සත්ව ශ්‍රැති හා වෘක්‍ෂ ශ්‍රැති ජන සන්නිවේදන ක්‍රම ආදී අංග ගණනාවක්‌ මෙයට අයත් වේ. මෙම ජන ශ්‍රැති අංග අධ්‍යනය කිරීමෙන් සමාජයේ ජන ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයක්‌ ලබා ගත් හැකි වෙයි. විශේෂයෙන් යම් මානව කණ්‌ඩායමක්‌ පිළිබඳ අධ්‍යනය කරන විට එම ජනසමූහයේ භාෂාව සහ සංස්‌කෘතිය පිළිබඳ විමර්ශනය කිරීමේදී දේශීය මෙන්ම විදේශීය පුද්ගලයන් ගණනාවක්‌ වැදගත් කොට සැලකිය හැකිය. ආචාර්ය නන්දදේව විඡේසේකර, මාර්ටින් වික්‍රමසිංහ, ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සී. එම්. ඔස්‌ටින් සිල්වා, ගනනාථ ඔබේසේකර, මහාචාර්ය නන්දසේන රත්නපාල ආදී දේශීය පුද්ගලයන්ද වේ. විදේශිකයන් ලෙස හෙන්රි පාකර්, හියු නෙවිල්, රොබට්‌ නොක්‌ස්‌, එම්. ඩී. රඝවාන, සී. ජී. සෙලිග්මාන්, ඊ. ආර්. ලිච්, නුල් යාල්මන්, බ්‍රයිස්‌ රයන් ඒ අතර වේ.

ශ්‍රී ලාංකික ගැමි සමාජය දෙස බලන විට ජනශ්‍රැති අංග කෙතරම් වැදගත් වේදැයි විමසා බැලීම වැදගත් වේ. ජනශ්‍රැති අංග අතර වැදගත් තැනක්‌ හිමිවන්නේ ජන කතා සඳහායි. අකුරු ලිවීමට දත් හා නොදත් ජනතාව අතර මෙය ජනප්‍රිය අතර එහි එන අවස්‌ථා මුල, මැද හා අග යනුවෙන් සකස්‌කර ඇත. ක්‍රි.පූ. 3 වැනි සියවසට පෙර සිට ජන කතා මෙහි තිබී ඇත. ජන කතා අතර සුරංගනා කතා, දේව කතා, යක්‍ෂ කතා, ජාතක කතා, සත්ව කතා, අවතාර කතා, ප්‍රේම කතා, උපමා කතා, වීර කතා, කුණු හරුප කතා, විකට කතා වැනි විවිධ වූ කතා වර්ග ගණනාවක්‌ හඳුනාගත හැකිය. මෙහිදී සුරංගනා කතා, සත්ව කතා, දේව කතා, වීර කතා කුඩා දරුවන් උදෙසා වැදගත් වේ. වැඩිහිටියන් විසින් කුඩා දරුවන්ට මෙම කතා කියාදෙයි. මෙම කතා එම දරුවන් පසුව වැඩිහිටියන් වූ විට ජීවිතය ගෙන යැම සඳහා උපයෝගී කරගනී. තරුණ පරපුර විසින් විනෝදය උදෙසා ප්‍රේමකතා, අවතාර කතා, කුණුහරුප කතා, යක්‍ෂ කතා, විකට කතා භාවිත කරයි. මෙම ජන කතා තුළ අධි ස්‌වභාවික බලවේග පිළිබඳ ගැමියන් තුළ තිබූ විශ්වාසයන් හඳුනා ගැනීමට හැකිය. මිත්‍යා සතුන් පිළිබඳ විශ්වාස පවා ඒමත තිබිණි. විශේෂයෙන් මකරා, කිඳුරන්, භෛරුණ්‌ඩ පක්‍ෂියා, ඇත් කඳ ළිහිණියා, බෝදිලිමා, ගුරුලා වැනි මිත්‍යා සතුන් වර්ග පිළිබඳ විශ්වාසයන් මෙවැනි කතා තුළ ගැබ්ව පවතී. ජන කතා අතර රාමසීතා පෙම් කතාව, සංදේශ කාව්‍ය, සීගිරි ගී, පංචතන්ත්‍රය, ජාතක කතා, හිතෝපදේශය, සද්ධර්මාලංකාරය, ඊසෝප්ගේ උපමා කතා, අන්දරේගේ කතා, මහදැන මුත්තාගේ කතා, ගමරාළ ගේ කතා වැදගත් තැනක්‌ හිමිකර ගෙන ඇත. ජන කතා ජීවිතයේ විවිධ අවස්‌ථාවලදී භාවිතයට ගැනේ. විශේෂයෙන් වැඩිවිය බවට පත්වන තරුණියට ජන කතා දැන ගැනීමේ අවස්‌ථාව ලැබෙන අතර එමගින් තම ජීවිතය යහපත් ලෙස සකසා ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව ලැබේ.

ජනශ්‍රැතියේ වැදගත් අංගයක්‌ වන ජන ගී අප රටේ ජනප්‍රිය දෙයකි. ජන ගී මිනිසුන්ගේ අපේක්‍ෂා හැඟීම් හා අදහස්‌ පෙන්වා දෙන දෙයකි. ජන ගී යනුවෙන් හඳුන්වන ගීත විශේෂය ජන කවි නමින්ද හඳුන්වයි. සිංහල ගැමි සමාජය දෙස බලන විට විශේෂ ජනකවි ගණනාවක්‌ හඳුනා ගත හැක. ගොයම් කවි, පැල් කවි, පතල් කවි, පාරු කවි, ක්‍රීඩා කවි, සමයං කවි, තේරවිළි කවි, තහංචි කවි, කුල ගැන සඳහන් කවි, වන්නම් ආදී ලෙසය. මේ අතරින් ගොයම් කවි යනු ගොයම් කැපීමේදී හා පාගා ගැනීමේදී මෙන්ම පැළ සිටුවා ගැනීමේදී ගායනා කරන දෙයකි. ගැල් කරුවන් තනිකම හා කාලය මගහරවා ගැනීමට කරත්ත කවි භාවිත කරයි. පාරු පදින්නන් විසින් ගඟේ ඔරුවක්‌ තුළ හෝ පාරුවක්‌ තුළ තනිකම හා වෙහෙස නිවා ගන්නා ලද්දේ පාරු කවි කීමෙනි. බොහෝ අවස්‌ථාවල ක්‍රීඩා කවි ජන ක්‍රීඩා සඳහා යොදාන්නා ලදී. වන්නම් යනු නැටුම් හා එක්‌වූ ගායනා විශේෂයකි. නැටුම් ගැයුම් හා වැයුම් යන අංශ තුනම එක්‌ව යන ලෙස වන්නම් ගායනා කිරීම යොදා ගනු ලැබේ. මෙයට අමතරව විවිධ සිරිත් විරිත් උත්සව අවස්‌ථාවන්හි ගායනා කරනු ලබන ගී විශේෂයෙන් හඳුනා ගත හැක. උදාහරණ ලෙස වන්දනා ගමන් යන විට විඩාව නැතිකර ගැනීමට බුදුගුණ වරුණ, තුන් සරණ, යශෝදරා වත වැනි ගී ගායනා කරයි. එමෙන්ම යාතු කර්ම ගී ගැමියන් විසින් ගායනා කරන අවස්‌ථා පවතී. ඒවා අතර පුනාමඩු, දේවාල මඩු, කිරිදානය වැනි අවස්‌ථාවන් හි මෙම ජන ගී ගායනා කිරීම දැක ගත හැක.

ගැමියන් අතර තවත් ප්‍රචලිත ජනශ්‍රැති අංගයක්‌ ලෙස ජන වෙදකම විශේෂ තැනක්‌ ගනී. මේ සඳහා ආගමික, අභිචාර සහ වෛද්‍ය ක්‍රම පදනම් වී ඇත. සාම්ප්‍රදායික වෙදකමක්‌ ලෙස සලකන මෙය සඳහා මුදල් වැය වූයේ නැත. අදාළ ගැමියන් මගින් ඖෂධ සපයා දීම සිදුකළ අතර තම ශ්‍රමය මගින් සහාය දීම කරන ලදී. ජන වෙදකම සඳහා අත් බෙහෙත් භාවිත කරයි. කැඩුම් බිඳුම් වෙදකම සහ සර්වාංග වෙදකම සඳහා බොහෝවිට වනයේ පවතින ඖෂධ පැළෑටි යොදා ගනී. අරිෂ්ඨ, කල්ක, ගුලි මගින් රෝගය නිවාරණය කිරීම සඳහා වෙද මහතා ක්‍රියා කරන අතර හිසේ අමාරුවට හිස කුඩිච්චි දැමීම, පත්තු ගැට, ලය විරේක මගින් සමහර රෝග සුව කරයි. සමහර රෝග දෙවියන්ගේ රෝග ලෙස හඳුන්වයි. වසූරිය, සරම්ප, පැපොල්. ඒ සඳහා අයත් රෝග වේ. මේවා වැළඳුන විට දෙවියන්ට භාර වී දින හතකින් පසු එම රෝගියා නාවා ශීත ආහාර දෙනු ලබයි. මේ සමයේ දී පුළුටු ආහාර රෝගියාට නොදීමට වග බලා ගනී. සමාජ සම්මත ක්‍රියාවලින් බැහැරව කටයුතු කිරීමේදී ලිංගික සම්බන්ධ රෝග සැදීම සිදුවේ. ගණිකාවන් වෙත යැම හා පරදාර සේවනය නිසා ලිංගික රෝග සැදෙයි. මේ සඳහා ද ජන වෙදකම ක්‍රියා කරයි. ගැමියන්ගේ ජන වෙදකම බැඳී පවතින තවත් හේතුවක්‌ ලෙස ග්‍රහ බලපෑම් මත ඇතිවන රෝග පෙන්වා දිය හැක. ඒ සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම අතර අදාළ ග්‍රහයන්ට හිමි වර්ණ වලින් යුත් ඇඳුම් පැළඳුම් ඇදීම, පාෂාණ වර්ග මගින් මුදු සාදා පැළඳීම, නවග්‍රහ පූජා, සෙත්කවි, බෝධිපූජා පැවැත්වීම සිදු විය.

ජීවිතයේ දී සිදුවන අයහපත් ක්‍රියාවලට ජන විශ්වාසයක්‌ තිබේ. ගැමියන් තුළ පවතින මෙවැනි විශ්වාසයන් තුනකි. ඇස්‌වහ, කටවහ, හෝවහ ඒවා වේ. ඇස්‌ වහ යනු එක එල්ලේ බලා සිටීමෙන් ඇතිවන අයහපතකි. ඇසට සිත මගින් ලබා ගන්නා දෙය වචනයෙන් කීම කටවහ වේ. හෝවහ යනු සුසුම් ළීමෙන් මතුවන අයහපතකි. සමහර රෝග වැළඳීමේ දී ගැමියන් ප්‍රධාන කොට සලකන ලද්දේ ඇස්‌වහ, කටවහ, හෝවහ වල බලපෑම්ය. මෙවැනි අවස්‌ථා කාටත් පොදුවන බවත් එය වළක්‌වා ගත නොහැකි බව ගැමියන්ගේ විශ්වාසය විය. එයින් මිදීමට ඇස්‌වහ වතුර මැතිරීම හෝ ඇස්‌ වහ පිපිරීමේ ක්‍රම අනුගමනය කරන ලදී. එසේම කිල්ල හේතු කොටගෙන රෝග ඇතිවන බව ගැමියෝ විශ්වාස කළහ.

කිල්ල යනු කිළිටි, අපිරිසිදු යන විශ්වාසය විය. මේ නිසා එවැනි අවස්‌ථා වලින් වැළකීමට ප්‍රබල උත්සාහයක්‌ ගැනීම සිදුවිය. වැඳුම් කිල්ල, මගුල් කිල්ල, මාස්‌කිල්ල, ආහාර කිල්ල, මරණ කිල්ල ඒ අතර වේ. ඌරු මස්‌, අළුපුහුල්, මෝර මාළු, අළු කෙසෙල් ආදිය කිළි ආහාර ලෙස සලකයි. දෙවියන් ගේ ලෙඩ දුක්‌ සැදුන විට කිලේලෙන් ගැලවීමට ගොක්‌ රෑන් ඇදීමත් දේව ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණින් කොහොඹ අතු එල්ලීමත් සිදුවිය.

මෙවැනි විශ්වාස අතර සෙත් කවි හා වස්‌ කවි වලට ලැබෙන්නේ ප්‍රමුඛ තැනකි. සෙත් කවි මගින් තමාට යහපත, සෞභාග්‍ය උදාවේ. වස්‌ කවි තුළින් තමන්ට වරදක්‌ කළ අයකුට දඬුවම් ලබාදීම සිදු කරයි. සෙත් කවි විෂ්ණු, කතරගම, පත්තිනි දෙවිවරු ඉදිරියේ කියවේ. වස්‌ කවි බෝහෝවිට කියෑවෙන්නේ සූනියම් දෙවියන් ළඟය. එසේම හූනියම් කිරීම හා පලිගැනීම ද සිදු විය. අනාගතය පිළිබඳ තොරතුරු දැන ගැනීමට ගැමියන් තුළ පවතින විශ්වාසයක්‌ ලෙස නක්‍ෂත්‍රය යොදා ගැනීමත්, අතබලා ශාස්‌ත්‍ර කීමත්, පියවර මැන ශාස්‌ත්‍ර කීමත්, අංජනම් හා නිමිති යොදා ගැනීමත් සිදුවිය.

ජන විශ්වාස හැරුණු විට ජනශ්‍රැතියේ තවත් අංගයක්‌ වන්නේ ජන ආගමය. ගැමියන් බොහෝ දෙනා බෞද්ධයන් වුවද බුදු දහමේ එන මධ්‍යම ප්‍රතිපදාව, කර්මය, පුනර්භවය, හේතුඵලධර්මයට අමතරව විවිධ අධි ස්‌වාභාවික බලවේග ගැමියන් විසින් ජන ආගමට එකතු කරගන්නා ලදි. දෙවිවරු යක්‍ෂයෝ, ප්‍රේතයෝ වැනි අධි ස්‌වාභාවික බලවේග ජන ආගම වටා ගොනුකර තිබීම නිසා බුදු දහමට අන්‍ය ආගම් වල ඇදහිලි සම්බන්ධ කරමින් තම ජීවිතයේ බොහෝ බලාපොරොත්තු ඉටුකර ගැනීමට යොදා ගෙන ඇත.

ජනශ්‍රැතිය පිළිබඳ තවදුරටත් අවධානය යොමු කිරීමේදී තේරවිලි හා ප්‍රස්‌ථා පිරුළුවලට හිමිවන තැන ප්‍රධානය. කුඩා දරුවන් හේ දැනුම අවබෝධය, විනෝදය, බුද්ධිමය හැකියාවන් ගොඩ නැඟීම සඳහා තේරවිලි භාවිත කරයි. මෙම තේරවිලි අතර අත්තක්‌ උඩ බුම්මාගෙන කටු රෙද්දක්‌ පොරවාගෙන, ගහක්‌ උඩ ගෙඩියක්‌ ගෙඩියක්‌ උඩ ගහක්‌, පුංචි ළිඳේ වතුර රසයි, අලියා නොකන දැල්ල, මව් මරා උපන් කුමරා යන තේරවිලි තුන් තේරවිලි සහ තේරවිලි කවි ද මේ අතර ඇත. තේරවිලි හැරුණු විට විවිධ ප්‍රස්‌ථා පිරුළු භාවිත කිරීමට ගැමියන් පුරුදුව සිටියහ. පිරුළු බොහෝමයක්‌ ජන කතා වලට සම්බන්ධය. බුදු දහම හා ජන කතා ආශ්‍රය කරගෙන සමහර ප්‍රස්‌ථා පිරුළු සෑදී ඇති අතර තවත් සමහර ප්‍රස්‌ථා පිරුළු උපහාසාත්මක හා සතුන් පිළිබඳ ඒවා වේ. ඇතැම් ඒවා ඉතිහාසයට සම්බන්ධ අතර තවත් ඒවා ජීවිතය පිළිබඳ වැරැදි නිගමන හා විනිශ්චයන් මුල් කරගත් ඒවාය. බුදු දහම හා ජන කතා සම්බන්ධ ප්‍රස්‌ථා පිරුළු ලෙස කොකා බක තපස්‌ රැක්‌කා වගෙයි, ඉක්‌මන් බුදුන් බුදු වුණාසේ, වෙස්‌සන්තර කාලේ වගෙයි, ආටානාටිය කියවනා වගෙයි, මහා පතරංග ජාතකය වගෙයි, උපහාසාත්මක ඒවා ලෙස ධනපාලත් හොරකම් කරනවා, කපුරුහාමි වුණත් කට ගඳයි, කුසල් හාමි වුණත් පව් කරනවා, පණ්‌ඩිතයාට ඒ දණ්‌ඩේ යන්න බැහැ ආදිය වේ. සතුන් පිළිබඳ ප්‍රස්‌ථා පිරුළු අතර ගෙනා පිට හකුරු පටවනවා වගෙයි, ඉබ්බා දියට දැම්මා වාගෙයි, බල්ලාට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නැත, ලූලා නැති වලට කණයා පණ්‌ඩිතයා වගේලු, කොකාට වාරයක්‌ නම් තිත්තයාටත් වාරයක්‌ එයිලු යනුවෙන් සඳහන් කළ හැක.

ඉතිහාසයට සම්බන්ධ ප්‍රස්‌ථා පිරුළු ලෙස පරංගියා කෝට්‌ටේ ගියා වාගේ, සංගරාජ වුණත් ගම තුම්පනේ, පලා බෙදුවා වගෙයි, තොටගමුවේ වෙලත් බණ බැරුවා වාගෙයි යන්න වේ. ගෑණුන්ගේ පින කුණු මුල්ලේ, ගෑණුන්ගේ මොලේ හැඳි මිටේ දිගලු, මිට්‌ටා කට්‌ටයා ආදිය ප්‍රස්‌ථා පිරුළු ජීවිතය පිළිබඳ වැරැදි නිගමන හා විශ්වාස මුල්කරගත් ඒවා වේ. මේ මගින් යම් අවබෝධයක්‌ මෙන්ම තමන්ගේ ජීවිතය කෙසේ සකස්‌ කරගත යුතුද යන්නත් එහිදී ඇතිවන විවිධ දුක්‌ විඳ දරා ගැනීමේ ශක්‌තියක්‌ හැකියාවක්‌ ලබා ගැනීමට උත්සාහ කරන ලදී. මෙවැනි ප්‍රස්‌ථා පිරුළු අතර පනින්ට පෙර සිතා බලනු, ඇඟිල්ලේ තරමට ඉදිමීම, උඩපැන්නොත් බිම වැටේ, පෙරළෙන ගලේ පාසි නොබැඳෙයි, දිලිසෙන සියල්ල රත්තරන් නොවේ ආදියයි.

ප්‍රස්‌ථා පිරුළු හැරුණු විට ගැමි ජනවහර තුළ නොයෙක්‌ සමාජ අවස්‌ථා වඩා අර්ථවත් ලෙස දැක්‌වීමට විවිධ උපමා කතා සිංහල ගැමියන් භාවිත කර ඇත. මෙවැනි උපමා කතාවක්‌ අසා සිටින්නාට යම් අවබෝධයක්‌ ලබාදීම ඇති කරමින් එම අවස්‌ථාවට පත් වූ පුද්ගලයා පිළිබඳ උපහාසයට ලක්‌ කිරීම මුල් කරගනිමින් උපමා කතා සකස්‌ කරන ලදී. හොරාගේ අම්මාගෙන් පේන ඇහැව්වා වාගෙයි, කලදුටුකල වළ ඉහ ගැනීම, කටුස්‌සාට රත්තරන් පැළඳුවා වාගෙයි, දී කිරට බළලුත් සාක්‌කි, අටුව කඩා පුටුව සෑදීම, අන්දරේ සීනි කෑවා වාගෙයි, අන්දරේ ගල ඉස්‌සුවා වාගෙයි, අබරන්ගෙ සිල් ගැනීම, ආඬි හත් දෙනාගේ කැඳ වාගෙයි, අනුන්ට ලෙල්ලම් තමන්ට සෙල්ලම් ඒවා අතර වේ.

ජනශ්‍රැතිය පිළිබඳ අධ්‍යයනය කරන විට ජන භාෂාවට හිමිවන තැන සුවිශේෂිය. ජන භාෂාව යනු අදහස්‌ හා හැඟීම් හුවමාරු කරන සංඥ ක්‍රමයකි. විවිධ ප්‍රදේශ අනුව සිද්ධීන්ට අනුකූලව පුද්ගලයන්ගේ ස්‌වාභාවය මත ජන භාෂාව වෙනස්‌ වේ. ප්‍රාදේශීය වශයෙන් වෙනස්‌කම් ගත්විට කුඩා දරුවන් එක්‌ව සෙල්ලම් කරනවා යන්න පහත රට දී ව්‍යවහාර කිරීම උඩරට ප්‍රදේශවල දී කෙළිනවා යන්න භාවිත කරයි. උඩරට ප්‍රදේශ වලදී ආමන්ත්‍රණය කරනුයේ අප්පොච්චි ලෙස වුවත් පහත රටදී තාත්තා ලෙස අමතයි. මෙම ජන භාෂාව තුළ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා යෙදවා ගන්නා සිනහව, නොයක්‌ ශබ්ද කිරීම්, අත, මුව, ඇස්‌, නළල, තොල්, ඇඟිළි, දිව මගින් සංඥ නිකුත් කිරීම මේ යටතට ගැනේ.

ජනශ්‍රැතියේ අංග අතර විවිධ සත්ව වර්ග පිළිබඳ විශ්වාස රාශියකි. සත්වයන් කේන්ද්‍රකොට ගනිමින් ඒ වටා යම් යම් විශ්වාසයන් ගොඩනඟා තිබූ අන්දම මේ තුළින් දැක ගත හැකිය. ගැමියන් සමහර සත්ව වර්ග සුබ යෑයි සලකනු ලැබූ අතර සමහර සත්ව වර්ග අසුබ යෑයි සිතූහ. වසු පැටවුන්, එළදෙන, වඳුරන්, මොනරුන්, කුකුළන්, මී මැස්‌සන්, පියාඹන කුරුල්ලෝ වැනි සතුන් සුබ යෑයි සලකන ලැබේ. අසුබ සතුන් අතර බස්‌සන්, කෑරලන්, හූණන්, උලමුන්, බළලුන්, බල්ලන්, බෝදිලිමා, ගැරඬින්, කබරගොයින්, හිවලුන්, බකමූණන්, කණ කොකා ආදිය වේ. මෙම සතුන්ගේ හඬ අනුව ඇතිවෙන ඵල විපාක මොනවාදැයි යන්න විශ්වාසයක්‌ ගැමියන් විසින් ගොඩනඟා ගන්නා ලදී. එසේම සමහරු සතුන්ගේ හම්, ඇට ආදිය රෝග වලට මෙන්ම සෞභාග්‍ය උදෙසා වැදගත් වේ යෑයි සලකන ලදී.

විවිධ වෘක්‍ෂ පිළිබඳ ගැමි විශ්වාසයන් බොහෝය. සමහර වෘක්‍ෂ වල දේවිදේවතාවුන් වාසය කරන බව ප්‍රාග් යුගවල විශ්වාසය විය. වෘක්‍ෂ අතර කිරිවෘක්‍ෂ වලට ලැබෙන ස්‌ථානය විශේෂිතය. ඉන් කොස්‌ වෘක්‍ෂය ප්‍රධානය. කිරි අප සමාජයේ යහපත සඳහා යොදවා ගනී. මේ නිසා කිරි වෘක්‍ෂ ගැමියන් තුළ සශ්‍රීකත්වය පිළබිඹු කරන දෙයක්‌ ලෙස විශ්වාස කරයි. බෞද්ධ දර්ශනය අනුව බෝධීන් වහන්සේට ලැබෙන තැන පූජනීය වේ. බෞද්ධ ජනතාව අතිශය ගෞරව කරන බෝධීන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම්, සිවුරු ආදිය පූජා කරයි. වෘක්‍ෂවල ඇති මල් සඳහා විවිධ නම් භාවිත කරයි. සූරියකාන්ත මල්, නිල් මානෙල් මල්, සල් මල්, නෙළුම් මල්, පිච්ච මල්, සේපාලිකා මල්, සපත්තු මල්, ඉද්ද මල්, ජම්බු මල්, අඹ මල් ආදී මල් වර්ග වේ. කාන්තාව ගේ මුහුණ නෙළුම් මලට සමාන කරන අතර ඇස්‌ නිල් මානෙල් මලට සමාන කරයි. සමහර මල් ගෞරව ලෙස භාවිතා කරන අතර සමහර මල් විනෝදය සඳහා යොදා ගනී. ඖෂධ සඳහා ද භාවිතා කරන මල් ද දුක හා සැප අවස්‌ථාවල දී යෙදා ගන්නා මල් වර්ග ද පවතී.

ජනශ්‍රැතිය පිළිබඳ තවදුරටත් අවධානය යොමු කිරීමේ දී ජනශ්‍රැති අංගයක්‌ ලෙස ජන සන්නිවේදන ක්‍රම වලට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමි වේ. අදහස්‌ හුවමාරු කිරීම ප්‍රධාන කරගත් මෙවැනි ක්‍රම පිළිබඳ ඉතිහාසය සොයා යැමේ දී පක්‍ෂීන් යොදා ගැනීම සඳහන් කළ හැක. තිසර, මයුර, සැළලිහිණි, හංස, කොවුල්, ගිරා, සැවුල් සංදේශ කාව්‍ය වල පණිවිඩ යෑවීම පිළිබඳ පක්‍ෂීන් යොදාගත් ආකාරය විස්‌තර කෙරේ. දුම්, ගින්න, කොඩි, සේසත්, අණබෙර කරු, විරිඳු කරු, කවිකොල කරු සන්නිවේදනය සඳහා යොදාගත් අතර විවිධ සංකේත හා මුදු ද මේ සඳහා භාවිත විය. අම්බලම ආගන්තුකයන් හමුවන සන්නිවේදන ක්‍රමයක්‌ වූ අතර කඩපිළ, තේ කඩය මගින් මේ කාර්ය ඉටු විය. කටකතා, ඕපදූප, කසුකුසු ජන සන්නිවේදන වර්ග තුනකි. කටකතා මගින් විවිධ ආරංචි ගම්වල පැතිරීම සිදුවිය. පැරැණි සමාජයේ කටකතා හොඳ ආරංචි ගෙන දෙන්නක්‌ වුවද වර්තමානයේ එය එතරම් විශ්වාස කළ නොහැකිය. ඕපදූප යන වටිනාකමක්‌ නොමැති කතාය. වල්පල් ලෙස හඳුන්වන මෙය අයහපත් දෙයක්‌ ලෙස ගැමියන් එකල විශ්වාස කළහ. යමක්‌ රහසේ මුමුනා කීම කසුකුසු නම් වේ. මෙය පෞරුෂත්වයක්‌ නොමැති අය තුළ පවතින දෙයක්‌ වශයෙන් එකල විශ්වාසය විය. වර්තමානයේ දී නවීන තාක්‍ෂණය මගින් ජන සන්නිවේදනය ඉතා දියුණු තත්ත්වයකට පත්විය. පුවත් පත්, සඟරා, දැන්වීම්, ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව, දුරකථනය, ෆැක්‌ස්‌, ඊ මේල්, පරිගණක ආදී ක්‍රම භාවිත වේ.

ගැමි විශ්වාසය අනුව උදය වරුව, සවස්‌ වරුව හා යාමයන් පිළිබඳ විවිධ අදහස්‌ ගොඩනඟා ගන්නා ලදී. උදය වරු තුළ උඩපල දරන බෝගයන් වගා කළ යුතු බවත් සවස්‌ වරුවේ වගා කළ යුත්තේ යටිපල දරන බෝගයන් බව ගැමියෝ විශ්වාස කළහ. එමෙන්ම සතර යාමයන් ලෙස උදය හය, දවල් දොළහ, සවස හය, රාත්‍රි දොළහ, සැලකූහ. භයානක වේලාවන් ලෙස සැලකීමට හේතුව වූයේ එම වේලාවන් වල යක්‍ෂයන්, ප්‍රේතයන් වැනි අධි ස්‌වාභාවික බලවේග වල බැල්ම ඇතිවන බව ගැමියන් විශ්වාස කළ අතර තවත් සමහර පුද්ගලයන් උදේ, සවස, රාත්‍රි රාහු කාලය බලා වැඩ කටයුතු කරන ලදී.

මේ අනුව අධ්‍යයනය කළ විට ලාංකික සමාජයේ තම ජන ජීවිතය තුළ ජනශ්‍රැතියේ අංග ගණනාවක්‌ ගොඩනඟා ගනිමින් ඒ ඔස්‌සේ තම ජන ජීවිතය පවත්වා ගෙන යැම කළ බව පෙන්වා දිය හැක. ජනශ්‍රැති අංග වලින් සමහර ප්‍රබල විද්‍යාත්මක තත්ත්වයක බැඳී පවතින අතර තවත් සමහර ඒවා විශ්වාසයන් වලට පමණක්‌ සිමාවේ. රටක සංස්‌කෘතිය පිළිබඳ තේරුම් ගැනීම සඳහා එම රටේ ජනශ්‍රැති අංග වටහා ගැනීම අවශ්‍ය වනවා සේම ගැමි ජන ජීවිත වඩාත් සරල ලෙස පවත්වා ගැනීම සඳහා ජනශ්‍රැති අංග අත්‍යාවශ්‍ය වේ. මෙම අංග පිළිබඳ වටහා ගැනීමෙන් මතු පරපුර වෙනුවෙන් එය රැක ගැනීම අපගේ පරම යුතුකම වේ.

ලලිත් රණවීර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.