සංස්‌කරණය : නාරද නිශ්ශංක

"මේ මගේ නරක වෙලාව වෙන්න ඇති"
ඉක්‌මණින් සුවය ලබා යළි ඔබ අතරට එනවා
ඔත්පලව ලෙඩ ඇඳේ සිට ජනකාන්ත ගායක
ඇන්ටන් ජෝන්ස්‌ "දිවයින" ට කියයි

හැත්තෑව දශකය ආරම්භයේ ගුවන් විදුලිය ඔස්‌සේ ඇදී ආ මධුර ගී ශ්‍රවණය කිරීමෙන් මහත් ප්‍රබෝදයට පත්වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සංගීත පිස්‌සුව හැදී තිබූ සමයක වික්‌ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය නිසා එම පිස්‌සුව තවත් උග්‍ර විය. ගුවන් විදුලි ගී ශ්‍රවණය කිරීමෙන් පමණක්‌ සෑහීමකට පත්ව සිටි මාගේ "සංගීත පිස්‌සුව" සංගීත ප්‍රසංග නැරඹීමේ ඇබ්බැහිකම දක්‌වා වර්ධනය කිරීමට වික්‌ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය අඩිතාලම දැමීය.

වේයන්ගොඩ, ගම්පහ, මීරිගම, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල පැවැති සෑම "ස" ප්‍රසංගයක්‌ම නැරඹූ මම එකල මෙම ප්‍රදේශවල පැවැති සෙසු බොහෝ සංගීත ප්‍රසංග නැරඹීමට ද අමතක නොකළෙමි.

වික්‌ටර් හැරුණුකොට මිල්ටන් මල්ලවාරච්චි, ප්‍රියා සූරියසේන, පුන්සිරි සොයිසා, ටී. එම්. ජයරත්න, ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන, මර්වින් පෙරේරා මාගේ ප්‍රියතම ගායකයෝ අතර වූහ. හැත්තෑව දශකයේ මැද කාලයේදී ප්‍රසංග වේදිකාව සංගීතවත් කරමින් රසික ප්‍රසාදය දිනාගත් "සුපර් ස්‌ටාර්ස්‌" වාදක කණ්‌ඩායම සමඟ ඉහත ගායකයන්ගේ ගීත රස විඳීමටද මම මහත් උනන්දුවක්‌ දැක්‌වූයෙමි.

මිල්ටන්, ප්‍රියා, ක්‌ලැරන්ස්‌, ටී. එම්. යන මාගේ ප්‍රියතම ගායකයන් සමඟ "සුපර් ස්‌ටාර්ස්‌" ප්‍රසංග වේදිකාවේ එකල ගී ගැයූ ඇන්ටන් ජෝන්ස්‌ නම් වූ ගායකයාද රසිකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නට සමත්වූයේ ඔහුටම ආවේණික වූ වෙනස්‌ ශෛලියකින් ගීත ගැයීම නිසාය.

බයිලා සහ වේග රිද්ම ගීත කෙරෙහි එතරම් ඇල්මක්‌ රුචියක්‌ නැතත් ඇන්ටන් ජෝන්ස්‌ගේ ගීත ඇසීමෙන් කිසියම් වින්දනයක්‌ ලැබූ මා සත්‍ය සිදුවීම් ඇසුරින් ඔහු ගැයූ ගීතවලට කෙමෙන් ඇළුම් කළෙමි.

"කන්දේ හැපුනා මහ වනන්තරේ........" "ප්‍රේමවතී මනම්පේරි තරුණිය........", "අඳිsන්න මිනි ගවුqම අඳින්න." "ආසයි බයයි ඒ බෝට්‌ටුවෙ නමයි", "කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන." "රුක්‌මණි දේවී.....", "සීගිරි ගිරි ශිඛරය" "පොළොන්නරුවෙ පොඩි විඡේ.." "ශාන්ත අන්තෝනි මුනින්දා", "ගල්කිස්‌සේ මුහුදු වෙරළෙ......" වැනි ගීත දහස්‌ ගණනක්‌ ගැයි ඒ ආකර්ෂණීය ගී හඬ ගොලුවී යමින් පවතින දුක්‌මුසු පුවත පසුගියදා අප වෙත ගෙන ආ ප්‍රවීණ ගායක හා ගුවන් විදුලි නිෂ්පාදක ඡේ. ඒ. රොම්ලස්‌ පෙරේරා හෙළි කළ කනගාටුදායක තොරතුරුවලින් අප පමණක්‌ නොව සංගීතකාමී සුවහසක්‌ රසික රසිකාවියෝද කම්පාවට පත්වනු නිසැකය.

රටක්‌ සැනසූ, රටක්‌ නැලවූ මේ අසහාය ගායන ශිල්පියා හෙවත් "බයිලා චැම්පියන්" ලෙස සංගීත ලොවේ විරුදාවලිය ලත් ඇන්ටන් ජෝන්ස්‌ රෝගාතුරව එක්‌තැන්වී සිටින කනගාටුදායක පුවත රසික ඔබ වෙත මෙසේ ගෙන එනුයේ දශක පහකට අධික කාලයක්‌ තිස්‌සේ සිය ගායන කුසලතාවයෙන් අප සනසාලූ පිනවාලූ මෙම කලාකරුවාට සහෘද රසිකයන්ගේ සංවේදී කරුණා දයාව වඩාත් අවැසි කාලය එළඹ ඇති බව ද සිහිපත් කරමිනි.

1958 වසරේ සිංහල දෙමළ කෝලාහලය දා සිය මුල්ම ගුවන් විදුලි ගී පටිගත කිරීමෙන් ගායන ලොවට පිවිසි ඇන්ටන් මෙරට සත්‍ය සිද්ධීන් අළලා ගීත විශාල ප්‍රමාණයක්‌ ගැයූ එකම බයිලා ගායකයා වේ. ඔහු ලංකාවට බයිල ගෙනා වොලී බැස්‌ටියන්ගේ එකම ශිෂ්‍යයා ද වේ.

වසර 35 ක්‌ ලංකා බැංකුවේ සේවය කළ ඔහු රාජකාරියත් සංගීතයත් සමබරව පවත්වාගෙන ගියේය.

ඇන්ටන් නොසිටි සංගීත සංදර්ශනයක්‌ එදා නොමැති වූ තරම්ය. ඔහු නොගිය විදෙස්‌ රටක්‌ද නොමැති තරම්ය. දෙස්‌ විදෙස්‌ සංගීත ප්‍රසංග සඳහා එදා ඇන්ටන් ජෝන්ස්‌ නැතිවම බැරි ගායකයකු විය.

දැනට අවුරුද්දකට කලින් හදිසියේ මා බයිසිකලයේ යන ගමන් තමයි මේ අසනීපය හැදුනේ. මාස කීපයක්‌ බෙහෙත් කළා. හිටි හැටියේ එක්‌ අංශයක්‌ පණ නැතුව ගියා. ඒ මගේ වෙලාව. මම ලංකාවේ නොගිය අස්‌සක්‌ මුල්ලක්‌ නැහැ. කෝටි ගණන් මගේ ගීතවලට අත්පොළසන් දීල ඇති. ඒ පින මට ඇති. ලංකාවට බයිලාව හඳුන්වා දුන් වොලී බැස්‌ටියන්ගේ හඬ තිබෙන එකම ගායකයා වීම මට ආඩම්බරයක්‌ බව ඇන්ටන් ජෝන්ස්‌ ගුවන් විදුලි වැඩසටහනකට පසුගියදා පවසා ඇත.

ගුවන් විදුලියේ සංගීත අංශයේ නිෂ්පාදක ප්‍රවීන ගායන ශිල්පී. ඡේ. ඒ. රොම්ලස්‌ පෙරේරා මහතා සහ ප්‍රවීන නිවේදක සුජීව හරිශ්චන්ද්‍ර මහතා බාහිර ප්‍රචාරක අංශය සමග ගොස්‌ ඔහුගේ විශේෂ සාකච්ඡාවක්‌ ගුවන් විදුලියෙන් ප්‍රචාරය සඳහා පටිගත කරගෙන තිබේ.

ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ සහ වෙළෙඳ සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ටී. ඩී. කේ. ජයන්ත මහත්වරුන්ගේ උපදෙස්‌ මත රොම්ලස්‌ පෙරේරා නිෂ්පාදනය කළ කලකට පස්‌සේ නම් වූ එම වැඩසටහන සැප්. 04 වැනිදා ප.ව. 3.00 ට වෙළෙඳ සේවය ඔස්‌සේ ප්‍රචාරය කෙරේ. ඇන්ටන් ජෝන්ස්‌ කලාකරුවාණන් එම පිළිසඳරට එක්‌වේ

ඇන්ටන් ජෝන්ස්‌ ප්‍රවීණ කලාකරුවාට ඉක්‌මන් නිරෝගී සුව පතමු. 05 වැනි පටුමග, කවුඩාන, දෙහිවල. 2717015 ඔහුගේ ලිපිනය සහ දුරකථන අංකයයි.

ඡායාරූප - සේනා
සිරිමෙවන් කස්‌තුරිආරච්චි


 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.