සංස්‌කරණය : නාරද නිශ්ශංක

  මා වේදිකාවේ ගී ගයනවා
දැක නැති පරම්පරාවක්‌ ඉන්නවා
"ශ්වේත රාත්‍රිය" ඒ අයට මා දෙන තෑග්ගක්‌
- විශාරද නන්දා මාලනී
   

තම ජීවිත කාලය තුළදී දර්ශන වාර සියයක්‌ ඉක්‌මවූ ඒක පුද්ගල ගීත ප්‍රසංග තුනක්‌ පැවැත්වූ ගායිකාවක්‌ සිටී නම්... අපේ පුංචි රටේ නම් එවන් ගායිකාවක්‌ ඉතාමත් වාසනාවන්තියකි. අනතුරුව සිව්වැනි වරටත් ඒක පුද්ගල ප්‍රසංගයක්‌ පවත්වන්නට අවස්‌ථාව උදාවේ නම්..... ඕ සත්‍ය වශයෙන්ම භාග්‍ය වන්තියක්‌ම වන්නීය.


"ශ්වේත රාත්‍රිය" මාධ්‍ය හමුවේදි....

ජනතාවාදී ගායිකාවක ලෙස කිරුළු පළන් ඕ ස්‌වභාචික ගීතයේ ශ්‍රී ලාංකීය ලකුණද වන්නීය. ඈ විශාරද නන්දා මාලිනියයි. නන්දා මාලිනිය පළමු වරට ගීත ප්‍රසංගයක්‌ පැවැත්වූයේ හරියටම මීට වසර තිස්‌ නවයකට පෙරාතුවය. 1971 අගෝස්‌තු 26 දා ඇගේ ඇඳුරුතුමන් වන අමරදේවයන් සමග එක්‌ව "ශ්‍රවණ ආරාධනා" ද්වි පුද්ගල ගීත ප්‍රසංගය ඈ ආරම්භ කළාය. 1973 ජනවාරි 19 දා පටන් ඕ "ශ්‍රවණ ආරාධනා" ඒක පුද්ගල ගීත ප්‍රසංගයක්‌ ලෙස දර්ශන වාර 530 ක්‌ දක්‌වා ගෙන ගියාය. මෙරට ප්‍රථම ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ලෙස පිළිගැනෙන "ශ්‍රවණ ආරාධනා" 1979 මැයි 22 දා නතර කළේ එනමින්ම දීර්ඝ ධාවන (එල්.පී.) තැටියක්‌ද නිකුත් කරමිනි.

ඉන් වසර දෙකකට පසුව 1981 අගෝස්‌තු 29, 30 සහ 31 යන දින තුනේ දර්ශන වාර තුනක්‌ පවත්වමින් නන්දා මාලිනිය "සත්‍යයේ ගීතය" ආරම්භ කළාය.

සත්‍යයේ ගීතය දර්ශන වාර 500 ක්‌ පවත්වා අවසන් කළේද 1984 අගෝස්‌තු 29, 30, 31 දින තුන අඛණ්‌ඩව රසිකයාට තිළිණ කරමිනි. ඒ නිමිත්තෙන් සිංග්ලංකා සමාගම "සත්‍යයේ ගීතය" නමින් තවත් එල්.පී. තැටි යුගලයක්‌ නිකුත් කරන ලදී. "ශ්‍රවණ ආරාධනා" ප්‍රසංගයට ඇතුළත්වූ කිසිදු ගීතයක්‌ "සත්‍යයේ ගීතයට" ඇතුළත් නොවීම විශේෂයකි. "සත්‍යයේ ගීතය" වූ කලී එකම තේමාවක්‌ යටතේ නන්දා මාලිනිය ගැයූ ගීත එකතුවකි.

අනතුරුව ඕ තම තෙවැනි ඒක පුද්ගල ප්‍රසංගය 1987 ජූනි 26, 27, 28 දිනවල ප්‍රසංග වාර තුනකින් "පවන" නමින් ආරම්භ කළාය. වසර එකහමාරක්‌ තුළ දර්ශන වාර දෙසිය පහක්‌ රට පුරා ගෙන ගියේ දැඩි බාධක, රාජ්‍ය මර්ධන මැදය. ඒ භීෂණය පැවැති සමයයි. "පවන" 1988 දෙසැම්බර් 11, 12 සහ 13 පවත්වා හැව්ලොක්‌ ටවුන් ලුම්බිණි රඟහලේදී අවසන් කිරීමට තීරණය කළාය. එහෙත් නන්දා මාලිනියට පටන්ගන්නට හැකිවූයේ දෙසැම්බර් 11 දා සවස 3.30 දර්ශනය පමණි. විවිධ බලපෑම් මත 6.30 දර්ශනයත්, 12 සහ 13 දින දෙකේ දර්ශනත් නොපෙන්වා හදිසියේම "පවන" නතර කරන්නට සිද්ධ විය.

"පවන" නතර කර අදට වසර විසි දෙකකි. දැන් ඇය සිව්වැනි ප්‍රසංගයට සූදානම්ය. 2010 සැප්තැම්බර් 14 දා "ශ්වේත රාත්‍රිය" නමින් ජෝන් ද සිල්වා සමරු රඟහලෙන් නන්දා මාලිනිය ඒක පුද්ගල ගීත ප්‍රසංගය අරඹන්නීය. මෙය අපේ ගීත රසිකයන්ව අමන්දානන්දයට පත්කරවන පුවතකි. ගීතය නමැති සිය දැක්‌ම ප්‍රකාශන මාධ්‍යයෙන් රසිකයා අමතන්නට සූදානම් වන විශාරද නන්දා මාලිනිය දිවයින සමග කළ සම්මුඛ සාකච්ඡාවකට මෙතැන් පටන් ඉඩකඩ සලසමු.....

ඒක පුද්ගල ගීත ප්‍රසංගයක්‌ කරන්න අවුරුදු විසි දෙකක්‌ කල් ගත්තේ ඇයි?

එළිමහන් ප්‍රසංගවලට මම කැමති නැහැ. ඉන් තෘප්තියක්‌ ලැබෙන්නේ නැහැ. ගීතය කියන්නේ ප්‍රබල මාධ්‍යයක්‌ කියා දැනුණු පසුව මට එළිමහන් ප්‍රසංගවලට යැම කොහෙත්ම කරන්න බැරි වුණා. එළිමහන් ප්‍රසංගවලට විවිධ අදහස්‌ දරන රසිකයෝ එනවා. සමහරුන්ව අපිව රුස්‌සන්නේ නැහැ. සමහරු කෑ ගහයි. හූ කියයි. ඒක අපේ මනසට බලපානවා. අනෙක හරිම කළබලකාරී පරිසරයක්‌ . ඒ නිසා තමයි ඒක පුද්ගල ප්‍රසංග කරන්න කැමති. මම පළමුවෙන්ම අමරදේව ඇදුරුතුමා සමග "ශ්‍රවණ ආරාධනා" ද්වි පුද්ගල ප්‍ර්‍රසංගය කළා. ඒ 1971 දී. ඒත් ප්‍රසංග පනහක්‌ කරන්න කලින් අමරදේව ඇදුරුතුමා ප්‍රසංගයෙන් ඉවත් වුනා.

මේ නිසා ප්‍රාදේශීය සංවිධායකවරු විශාල ලෙස කැළඹුනා. ඒ අය බල කළා. තනිව හෝ "ශ්‍රවණ ආරාධනා" කරන්න කියලා. අමරදේව නමැති මහා වෘක්‍ෂය නොමැතිව මම කොහොමද තනිව මේ ප්‍රසංගයට මුහුණ දෙන්නේ කියා බියක්‌ තිබුණා. ඒත් ප්‍රාදේශීය සංවිධායකවරුන් මුහුණදුන් ප්‍රශ්නයෙන් ගොඩ ගැනීමේ අරමුණින් මම තනිව "ශ්‍රවණ ආරාධනා" කළා. අනපේක්‍ෂිත රසික ප්‍රතිචාර සමග දර්ශන වාර පන්සිය තිහක්‌ ගියා. ඉන් පසු සත්‍යයේ ගීතය, පවන කළා. මගේ රස්‌සාව සිංදු කියන එකයි. සිංදු නොකියා ඉන්න බැහැ. මම වෘත්තීය ගායිකාවක්‌. නැවත ඒක පුද්ගල ප්‍රසංගයක්‌ කිරීමේ සිහිනය අවුරුදු තුනක හතරක ඉඳලා තිබුණා. රසිකයා පිරිවරා ගනිමින් සිංදු කියන්න මම කමැතියි. මට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ඒ නිසා තමයි මම තීරණය කළේ "ශ්වේත රාත්‍රිය" කරන්න.

අවුරුදු විසි දෙකකට පස්‌සේ. "සත්‍යයේ ගීතය" "පවන" කරද්දී රටේ පැවතියේ අයහපත් වාතාවරණයක්‌. එදා සමාජය ඔබෙන් මෙවැනි ප්‍රසංගයක්‌ ඉල්ලා සිටියා. ජනතාවාදී ගායකයන් ලෙසයි එදා ඔබව කපුගේව හැඳින්වූයේ "ශ්වේත රාත්‍රිය" අද සමාජයේ අවශ්‍යතාවක්‌ද?

මෑත භාගයේදී විශේෂයෙන් අපේ රටේ සංගීත රසඥතාව අභියෝගයකට ලක්‌ව තිබෙනවා. එක එක පැතිවලට ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවෙනවා. විද්යුත් මාධ්‍ය ඒ අයගේ රසවින්දනය බලහත්කාරයෙන් අනෙක්‌ අයට දෙනවා කියා සමහරු කෑගහනවා. අක්‌මුල් සොයා නොයන අලුත් පරපුරක්‌ රසඥතාව මොට කරනවා කියා ඇතැමුන් චෝදනා කරනවා. අපි මේ ක්‍ෂේත්‍රයට එද්දී තිබුණේ ගුවන්විදුලිය විතරයි. රූපවාහිනී නැහැ. අද සින්දු යද්දී රූප මාධ්‍යයත් අවශ්‍යයි. එදා අපි සිංදු කියද්දී අපව දන්නේ පත්තරේක පිංතූරයක්‌ දැක්‌කාම විතරයි. හෙŒ ප්‍රබලත්වය සහ හෙŒ භාවාත්මක බව රසිකයා වැළඳගත්තා. අපේ අනන්‍යතාව සහ චින්තනය සංගීත තැටිවලින් හෝ එළි දැක්‌වූවා. නන්දා මාලිනී නුදුටුවත් රසිකයා ඒ ගීතවලින් ඇය හඳුනාගත්තා. මෙවන් පසුබිමකදී ඉඳහිට මා සහභාගි වන ප්‍රසංගවලින් දැනගත්තා රසිකයන්ගේ ඉහළ ප්‍රතිචාර අදහස්‌ අපේ ගීතවලට තිබෙනවා කියලා.

මම එළිමහන් ප්‍රසංගවලට නොගියත් විශේෂ කරුණු මත ඇතැම් ප්‍රසංගවලට සහභාගි වුණා. "සමිතා සමන්මලී" වෛද්‍ය සිසුවියගේ ෙ€දවාදකයට මුළු රටම එදා හඬා වැටුණා. ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා උදව් කරන්න සහෝදර සිසුන් පාරට බැස්‌සා. ඒ දරුවා වෙනුවෙන් ප්‍රසංග මාළාවක්‌ පැවැත්වූවා. අන්න එතැනදී මම ඉදිරිපත් වුණා. ඇය වෙනුවෙන් ගී ගයන්න. එදත් මම දුටුවා තරුණ පරපුර නියෝජනය කරන අපගේ ගීත අහන පිරිසක්‌ ඉන්නවා කියලා. එනිසා මම හිතනවා අපේ තරුණ පරපුර අපිට ආදරෙයි කියලා. අපේ දේ ඔවුන් අගයනවා. එනිසා මේ ශ්වේත රාත්‍රිය මා වේදිකාවේ ගී ගයනවා දැක නැති මගේ අනන්‍යතාව පිළිබඳ පැහැදිළි අදහස්‌ නොමැති අයට මා විසින් දෙන තෑග්ගක්‌. පරම්පරාවක්‌ ඉන්නවා මාව දැක ගන්න. මගේ ගීත අහන්න. මා ඔවුන්ට අවස්‌ථාව ලබා දිය යුතුයි. ඔබ ප්‍රකාශ කලා වගේ "පවන" කළේ අති භීෂණකාරී කාලවකවානුවක. අපි වෘත්තීය ශිල්පීන් බවට පත්වූ කලක පවන නොකළා නම් තමයි පුදුම විය යුත්තේ. ඒ කියන්නේ අපි සමාජය දිහා ඇස්‌ කන් හැර නොබැලුවා කියන එකයි. භීෂණකාරී යුගයේ එවක රාජ්‍ය මර්ධනයන් තරුණයන් පීඩා විඳිද්දී අපිත් පීඩා වින්දා. අපි හිටියේ මල් යහනාවක නොවේ. අපේ ආත්ම ප්‍රකාශනය අපේ විරෝධය ගීතය තුළින් මුදා හැරියා. එදා රාජ්‍ය මර්දනය පීඩනය නිසා තරුණයෝ බෝම්බ හැදුවා. ජීවිත පූජා කළා. ඒත් අපට බෝම්බ හදන්න බැරි නිසා අපි ගීත ගැයුවා.

ඉතින් එදා ඔබ බලාපොරොත්තු වූ අරමුණ ඉටුවුණාද?

දේශපාලන විප්ලවයේ අපට කරන්න බැහැ. අපි කලාකරුවෝ නමුත් බුද්ධිමතුන් පිරිසක්‌ අප විසින් අවධි කරවූවා. අයුක්‌තියට තරුණ සංහාරයට, අසාධාරණයට අප තුළ ඇති විරෝධය ගීයෙන් ඉදිරිපත් කර අපි බුද්ධි මණ්‌ඩලයක්‌ අවධි කරන්න මඟ පාදා ගත්තා.....

නැවත අපි "ශ්වේත රාත්‍රිය" දෙසට හැරෙමු, මේ ප්‍රසංගයට මහාචාර්ය සුනිල් අරියරත්නයන්ගේම ගී පද රචනා තෝරා ගැනීමේ සුවිශේෂත්වය මොකක්‌ද?

මගේ සත්‍යයේ ගීතයට ඇතුළත් වුණේ සම්පූර්ණයෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීත "පවන" කළෙත් මහාචාර්යතුමාගේ අලුත්ම ගී පද රචනා ඇතුළත් ගීත වලින්. පවන ගී තනුත් අලුත්. අපි දෙදෙනා එක්‌ව දශක හතරකට වැඩි කාලයක්‌ මේ සංගීත චාරිකාවේ ගමන් කරනවා. මම වැඩි පුරම ගයා තිබෙන්නේ ඔහුගේ ගීත. ඒ ගී තමයි වැඩිපුර ප්‍රේක්‍ෂක පිරිස අතරට ගියේ. විද්වතුන්ගේ සාකච්ඡාවට, විචාරයට බඳුන් වුණේ. අපි දෙදෙනා එකට ආ මේ චාරිකාවේදී අපට මල් වගේම ගල් ද එල්ල වුණා. ඒ සියල්ල අපි සමසිතින් බෙදා හදා ගත්තා. අපේ සාර්ථක වූ නිර්මාණ වගේම අසාර්ථක වූ නිර්මාණත් තියෙනවා. "ශ්වේත රාත්‍රිය"ට ගීත තේරුවේ සිරස ගුවන් විදුලි නාලිකාවෙන්. මගේ ගීත 1028 කින් ඔවුන් ගීත සියක්‌ තෝරා ගත්තා. ඉන් පසු සිරස එෆ්.එම්. නාලිකා ප්‍ර්‍රධානි මරික්‌කාර් සොහොයුරාත්, සංගීත අංශයේ ප්‍රධානි නිහාල් වික්‍රම එදිරිසූරිය සොහොයුරාත් අප දෙදෙනා සමග සාකච්ඡා කළා. තෝරාගත් ගීත සීයෙන් තවත් විසි පහක්‌ තෝරන්න කියා අපි ඔවුන් දෙදෙනාට යළි කිව්වා. දින දෙකකට පසුව ඔවුන් තිහක්‌ විතර තෝරාගෙන ආවා.

ඉන් සියයට 99 ක්‌ම ලියා තිබුණේ මහාචාර්ය ආරියරත්නයන්.

ඉතින් ඉතිරි සියයට එකත් ඔහුගේම ගීත ඇතුළත් කරලා

නන්දා, සුනිල්, සිරස කියන තුන් ඈඳුතු සංකල්පයක්‌ ලෙස "ශ්වේත රාත්‍රිය" කරන්න තීරණය කළා.

මම පුදුම වන්නේ නැහැ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිංදු ඇතුළත් මගේ හතරවැනි ප්‍රසංගයක්‌ කිරීමට ලැබීම අසීමිත සතුටක්‌. මාව ඔසවා තැබූ ගීත රචක පරපුර අතර ඉහළින්ම සිටින්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ඔහුගේ ගීතවලින් මට ලබා දුන් උත්තේජනය විශාලයි. "ශ්වේත රාත්‍රිය"ට තෝරාගත් ගීත විසි පහේම තනු නිර්මාණය රෝහණ වීරසිංහ, ලයනල් අල්ගම, ස්‌ටැන්ලි පීරිස්‌, සරත් දසනායක, එම්. එම්. ජයවර්ධන, මර්වින් පෙරේරා සහ සුනිල් දයානන්ද කෝනාර යන සහෘදයන්ගේය.

ශ්වේත රාත්‍රියට සිරස තෝරාගත්තේ ඇයි?

සංගීතය ගැන සිරසට අත්දැකීම් සමුදායක්‌ තියෙනවා. එදා "ශ්‍රවණ ආරාධනා" කරද්දී සිරස නැහැ. සත්‍යයේ ගීතය "පවන" කරද්දී සිරස නැහැ. දැන් මම සිරස සමඟ එක්‌ව මගේ හතරවැනි ප්‍රසංගය කරනවා. සිරස එෆ්. එම්. ආරම්භයේ පටන් සාහිත්‍ය උදෙසා වැඩ කොටසක්‌ කළා. හැම මාධ්‍යයකම එක්‌ එක්‌ පැති තියෙනවා. අපි අඳුරටම දොස්‌ කියමින් ඉන්නවාට වඩා හොඳ වැඩකදී අතදීම යුතුකමක්‌. කලක්‌ තිස්‌සේ අවපාතයට ගිය රසඥතාවය නැවත ගොඩගන්න, රසිකයා දැනුවත් කරන්න සිරස වැඩ කොටසක්‌ කළා. ඉන් එකක්‌ තමයි "මියෑසි තටාකය" මරික්‌කාර් කියන්නේ හොඳ රසඥතාවක්‌ තියෙන නාලිකා ප්‍රධානියෙක්‌. නිහාල් වික්‍රම එදිරිසූරියත් සංගීත අංශයේ භාරකරු ලෙස හොඳ රසයක්‌ සංගීතය කෙරෙහි තියෙනවා. "මියෑසි තටාකය" හොඳ රසික ප්‍රතිචාර ලබාගත් වැඩසටහනක්‌. ඉන්පසු "මියෑසි අරණ" පටන් ගත්තා. මම ඊට සම්බන්ධ නොවුණත් ප්‍රධාන අමුත්තා ලෙස මම සහභාගි වුණා. ඉන්පසු "සිරස" වික්‌ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ 1400 දර්ශනය ඉතා සම්භාවනීය ලෙස ඉදිරිපත් කළා. ඒකටත් ප්‍රධාන අමුත්තා ලෙස මම සහභාගි වුණා. එතැනදී තමයි වසර දෙක තුනක්‌ තිස්‌සේ ඒක පුද්ගල ප්‍රසංගයක්‌ සඳහා තිබූ මගේ හීනය පුපුරා ගියේ. ඉක්‌මනටම ප්‍රසංගය කළ යුතුයි කියා හිතුවා. සිරසත් අලුත් වැඩක්‌ සැලසුම් කරමින් සිටියා ඒ කාලේ. මම මගේ යෝජනාව මරික්‌කාර්, නිහාල් වික්‍රම සොයුරන්ට කිව්වා. ඔවුන් ඊට කැමැත්ත පළ කළා. අද කාලය අනුව මෙවන් ප්‍රසංගයක්‌ කිරීම හරිම වෙහෙසකරයි. භාරදූරයි. මගේ හීනය මැරි මැරි තිබුණේ ඒකයි.

ශ්වේත රාත්‍රියේ ඔබ ගයන්නේ කුමන ආකාරයේ ගීතද...... ?

එදා මෙදා තුර අප නිර්මාණය කළ ගීත දෙස බලද්දී අප ඒවා අපි කොතරම් වෙහෙස වී කළ නිර්මාණ කියා හිතෙනවා. ප්‍රේමය, වේදනාව, සමාජ අසාධාරණය, බලාපොරොත්තු මේ ගීත සියල්ලම නියෝජනය කරනවා. ඒ කාලේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ මම කළ නිර්මාණ බොහෝ අය සාහසික ලෙස විවේචනය කළා. ඒත් අපි තරහ උනේ නැහැ. අපි ස්‌වයං විවේචනයකට ගිහින් හදාගත යුතු දේ හදා ගත්තා. පිළිගත යුතු නැති දේ දිගටම කළා......... එවන් ගීත ගොනුවක්‌ තමයි මෙහි තියෙන්නේ.

මේ ප්‍රසංගයට දායක වන අනෙක්‌ ශිල්පීන්.......

"ශ්වේත රාත්‍රිය" කියා නම තැබුවේ දිලීප අබේසේකර. පිටපත හැදුවෙත් දිලිප. තරුණ පරපුරේ ඉන්න දක්‍ෂ කීබොඩ් වාදකයා සුරේෂ්, සංගීත අධ්‍යක්‍ෂණය කරනවා. ඔහු හොඳ අධ්‍යක්‍ෂණයකින් තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩ කරන කෙනෙක්‌. සංගීත කණ්‌ඩායම දහදෙනකුගෙන් සමන්විතයි. ඔවුන් හැමදෙනාම ඒ ඒ සංගීත භාණ්‌ඩ පිළිබඳ හොඳ දැනුමක්‌ ඇති අය. සමූහ ගායනා තිබෙන ගීත තුනක්‌ තියෙනවා. සංගීත කණ්‌ඩායම තමයි සමූහ ගායනා කරන්නේ. නැටුම් නැහැ. ප්‍රසංග විසිපහටම එකම ගීත විසිපහක්‌. ඒත් ප්‍රසංග දහයක විතර මම අලුත් ගීත දහයක්‌ ගායනා කරනවා. පළමු අලුත් ගීය පළමු ප්‍රසංගයේදී රසිකයන්ට තිළිණ කරනවා.

ශ්වේත රාත්‍රිය ප්‍රථම ප්‍රසංගය මේ මාසයේ 14 වැනිදා සවස 7.00 ට ජෝන්ද සිල්වා සමරු රඟහලේදී පවත්වනවා. සිරස එෆ්. එම්. ජාලය ශ්වේත රාත්‍රිය ප්‍රසංග විසිපහක්‌ රට පුරා ගෙන යන්න සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රසංග මාලාව අවසන් වූ පසුව මට හැකි ලෙස, මගේ ශක්‌ති ප්‍රමාණයෙන් ගී තනු නිර්මාපකයන්ට, සංගීතඥයන්ට යම්කිසි කර්තෘ භාගයක්‌ ගෙවන්න අදහස්‌ කළා. ඒ අයගේ ඉහළම තනු නිර්මාණ නිර්ලෝභීව මට දුන්නා. ඒවා අදත් නොමැරී තියෙනවා. ඒ ශක්‌තිය මිල කරන්න බැහැ. ඒ අය කළ දායකත්වය ඇගයීමක්‌ ලෙසයි මා මේ කර්තෘ භාගය ලබා දෙන්නේ.

අජිත් අලහකෝන්
ඡායා - ශ්‍රීලාල් ගෝමස්‌-සුජාතා ජයරත්න

 
Powered By -



  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.