|
|
|
|
|

කුඩු කහකුඩු සහ ඩෙංගු
රජයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් සඳහා පුහුණු පන්ති පවත්වන උපදේශක
මහතකුගේ නිවාස පිටුපස විශාල වළක ඩෙංගු කීටයන් පිහිනමින් සිටීමේ
පුවතක් ඊයේ (02 දා) දිවයිනේ මුල් පිටුවේ පළ විය. කීටාගාරය
පිහිටි ඉඩමට අල්ලපු ඉඩමේ පෙර පාසලකුත් තිබුණා ලුෘ උපදේශකතුමාගේ
බිරිඳ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරින ලද බව
දැන ගන්නට තිබේ.
ඒ අතර "දිවයින"ටම ලැබුණු තවත් පුවතක් ගැන පාඨකයන්ගේ අවධානය
යොමු කරමු. ඒ වූ කලී මහාධිකරණයේ විභාග වෙමින් පවතින අපරාධ නඩු
10 කට අදාළ නඩු භාණ්‌ඩ වන හෙරොයින් කිලෝ 03 ක් රජයේ රස
පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේදී පිරිසිදු කහ කුඩු බවට පත්වීමේ පුවත
ය. ඉතා වැදගත් කුඩු නඩුවක සැකකාරියට එරෙහිව සාක්‍ෂි වශයෙන්
තිබූ මත්කුඩු කිලෝවක්‌ද මෙසේ කහකුඩු බවට පත්ව ඇත.
ඉහත සඳහන් ප්‍රවෘත්ති දෙක විමසා බැලීමෙන් පෙනී යන වැදගත්ම
කාරණය වන්නේ ලංකාව දිනෙන් දිනම හාස්‍යජනක රටක් වෙමින් තිබෙන
බවය. සෞඛ්‍ය පරීක්‍ෂකයන්ගේ උපදේශකතුමා දැන හෝ නොදැන ඩෙංගු
මදුරුවන් ඇති කරයි. රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ මත් කුඩු කහ
කඩු වෙයි. මත් කුඩු කිලෝවක් රුපියල් කෝටියකි. කහකුඩු කිලෝවක්
රුපියල් 400 කි. සමස්‌තයක් වශයෙන් ගත් කල මේ ජාවාරම් දෙකම
පාඩුවට දිවෙන ඒවාය. සෞඛ්‍ය උපදේශකතුමා ඩෙංගු කීටයන් වෙනුවට
මාළු ටැංකියක් දමා ගත්තා නම් අද කීයක් හෝ උපයා ගන්නා
මිනිසෙක් බවට පත් වන්නේය. එතුමාගේ බිරිඳ අත්අඩංගුවට පත් වන්නට
සිදු වන්නේත් නැත. රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ හෙරොයින්
පරීක්‍ෂණාගාරයේ මැෂිමට හෙරොයින් දැමූ විට කහ කුඩු පිටවන්නේ නම්
එහි ඇති ලාභයක් නැත. කහකුඩු දැමූ විට හෙරොයින් පිට කරගත හැකි
යන්ත්‍රයක් නිර්මාණය කරගත හැකි වී නම් අඩුම ගණනේ ඖෂධීය කටයුතු
සඳහා නීත්‍යනුකූලව හෙරොයින් නිපදවා නීත්‍යනුකූලවම පිටරටට
විකුණා විශාල ලාභයක් උපයා ගැනීමට හැකිව තිබිණි.
ඩෙංගු මදුරුවන් පිළිබඳ සිද්ධිය බරපතල ලෙස ගණන් ගත යුතු නමුත්
ඊට එරෙහිව රජය විශාල ව්‍යාපාරයක් දියත් කර ඇති නිසා යම්කිසි
සහනයක් සිතට දැනේ. එහෙත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි
වගකිවයුතු තැනකදී හෙරොයින් කහ කුඩු බවට පත් වන්නේ නම් මීයන්
යකඩ කෑමේ උපමා කතාවටත් වඩා එය බරපතල තත්ත්වයක් වන්නේය. විවිධ
නඩුවලට සම්බන්ධ නඩු භාණ්‌ඩවල අනන්‍යතාවත් භෞතික හා රසායනික
විශ්ලේෂණ කටයුතුත් කෙරෙන්නේ රජයේ රස පරීක්‍ෂක
දෙපාර්තමේන්තුවේය. දැනට පවතින තත්ත්වය යටතේ රස පරීක්‍ෂක
දෙපාර්තමේන්තුවට බෝම්බයක් යෑව්වොත් එය බනිස් ගෙඩියක් වීමට
ඉඩ ඇති අතර එය බනිස් බව ඔප්පු කිරීම පිණිස අනුභව කර පෙන්වීමට
පවා අදාළ පිරිස් ඉදිරිපත් වනු ඇත. එසේම මිනීමැරුමකදී පාවිච්චි
කළ පිස්‌තෝලයක් රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේදී කැටපෝළයක්
වීමට ඉඩ තිබේ. පතරොම් සීනි බෝල වීමටද, ඩයිනමයිට් උක් හකුරු
වීමට ඉඩ තිබේ. ඉතාම නරක තත්ත්වයක් ඇති විය හැක්‌කේ උදේට රස
පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට යන රස පරීක්‍ෂකතුමා වෙනුවට කහ කුඩු
මුදලාලි කෙනෙක් හෝ මිරිස් කුඩු මුදලාලි කෙනෙක් එළියට ආ දවසට
ය.
ලෝකය යනු දූෂණ, වංචා, ප්‍රයෝග, බොරු සහ ලනු වලින් සමන්විත
ගෝලයකි. මේ ගෝලය පරිභ්‍රමනය වන්නේ මේ සියලු උපාංග ද සමගය.
එහෙත් මේ උපාංග කිසිවක් ඒවාට හිමි නිශ්චිත ප්‍රමාණයන් ඉක්‌මවා
යා යුතු නැත. ලංකාව තුළ එකී උපාංගයන් රට පාලනය කරන ආණ්‌ඩුවත්
ඉක්‌මවා යමින් තිබෙන බව පෙනේ. රට වැසියාගේ ප්‍රධාන රැකියාව
හොරකමත් රට වැසියා වැඩියෙන්ම කියන්නේ බොරුත් නම් ඒ රටේ පැවැත්ම
ඉතාම අඩාල බව කිව යුතුය. ඩෙංගු උපදේශකතුමා කෙසේ වුවත් රස
පරීක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳව ආණ්‌ඩුව පියවරක් ගත යුතුමය.
ශක්‌තිමත් රස පරීක්‍ෂක වාර්තා නැතිව නඩු ඉදිරියට ගෙන ගිය
නොහැක. ඇතැම් උසාවිවලින් නඩු ලිපිගොනු අස්‌ථාන ගතවන ආකාරය ගැන
අපට විටින් විට දැන ගන්නට ලැබෙයි. රස පරීක්‍ෂක
දෙපාර්තමේන්තුවත් ඒ තත්ත්වයට පත් නොවේවා.
|
|
|
|