|

සියලු කෙළිවලින් ඉක්‌බිති
පොලිස් කටට ම පැනපි සක්‌විති!
අවසාන කොටස
"අම්මේ..... අපිට උදව් කරන්න. දරු දෙන්නව
ඉස්‌කෝලෙකට යවන්න ඕනේ. අපි අතේ මුදලුත් නෑ. මට රුපියල්
පනස්‌දාහක් දෙන්න." අනුරාධිනී දුරකථන ඇමතුමක් දෙමින් මවට
කියා සිටියාය.
"මම උඹට කිව්වා. කවද හරි උඹ අමාරුවේ වැටෙනවා කියලා." මව කීවේ
හඬමින්ය.
අගහිඟකම්වලින් සක්‌විති පතුළටම වැටී හමාරය.
වැලි පොලේ බර වැඩ කිරීමට ගිය ද ඒවා කිරීමට නොහැකි වී සක්‌විති
කල්පනා කළේ මොකද කරන්නේ කියමිනි.
"අපිට වෙන කරන්න දෙයක් නෑ ඔයාලගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි
උදව් ගමු."
"අම්මලගෙ ගෙදර යන්න බෑ. අඳුරන අය ඉන්නවා." අනුරාධිනී කීවාය.
"එහෙම කියලා හරියන් නෑ. අපි කොහොම හරි අම්මට කියලා සල්ලි
ටිකක් ඉල්ල ගමු..." සක්‌විති පෙරැත්ත කළේය.
අනුරාධිනී මවට යළි කතා කළාය. පියාට ද කතා කළා ය.
මොනව වුණත් අපේ කෙල්ල. එයාට උදව් නොකර ඉන්න බෑ. ඔන්න ඔහෙ එන්න
කියමු. මුණුපුරයි, මිණිපිරියගෙයි ජීවිත විනාශ වෙන්න ඉඩ දෙන්න
බෑ." අනුරාධිනීගේ පියා ඔහුගේ බිරිඳට කීවේය.
දිනය අගෝස්‌තු 06 වැනිදාය. එදින සිකුරාදා දිනයකි.
දරුවො දෙන්න ගෙදර හිටපු දෙන් යමු මමත් ඔයත් එක්‌ක යන්න එන්නම්.
සක්‌විතිත් අනුරාධිනිත් නවගමුව, කොරතොටට යැමට සූදානම් වූහ.
මුහුණ බලන කණ්‌ණාඩියක් ගෙන සක්‌විති මුqහුණේ ස්‌වරූපය බැලීය.
"කාටවත් මාව අඳුරගන්න බෑ" සක්‌විති සිතුවේය.
"පුතේ ඔයාල දොර වහගෙන ගේ ඇතුළටම වෙලා ඉන්න. කවුරු ආවත් දොර
අරින්න එපා. කාත් එක්‌කවත් කතාවට යන්නත් එපා." අනුරාධිනී දරු
දෙදෙනාගේ හිස අතගාමින් කීවාය.
ඒ දරු දෙදෙනා බුද්ධිමත් ය. මව, පියා කියන දේට පිටින් නොගිය ඒ
දෙදෙනා ගෙතුළට වී සිටියේ පියාත් මවත් බරපතල අමාරුවක වැටී සිටින
බව අවබෝධ කර ගත් අය සේ ය.
"අම්මී ඔයාලා ගිහින් එන්න. අපි දෙන්න ගේ ඇතුළෙම ඉන්නම්." පුතා
කීවේය.
අනුරාධිනීගේ පමණක් නොව සක්‌විතිගේ දෑසට ද කඳුළු පිරිණි.
"අපි හින්ද මේ දරු දෙන්න අමාරුවෙ වැටිලා. පව් අනේ" අනුරාධිනී
කීවාය.
වත්තල, හේකිත්ත නිවසින් එළියට පැමිණි යුවළ පාර අයිනට වී සිටියේ
ත්‍රිරෝද රියක් එන තුරුය.
"බස් එකේ යමුද?" අනුරාධිනී ඇසුවේ ත්‍රීවීලර්වලට දෙන මුදල ද
ඉතිරි කර ගැනීමට සිදුව තිබුණු නිසා ය.
සක්‌විති ආපසු නිවසට දිව ගියේය.
"ඇයි මොකද?"
"සල්ලි ගන්න බැරිවුණා."
සල්ලි රැගෙන එළියට බසින විට විනිෆීඩාගේ කුලී නිවසේ ඉහළ මහලේ
බිත්තියක සිටි හූනෙකු හඬන්නට විය.
සක්‌විතිට ඒ ගැන ලොකු තැකීමක් තිබුණේ නැත.
බුදු දහමවත් විශ්වාස නොකළ මේ මිනිසා හූනෙකුගේ හැŽමකට ගමන නතර
කරයිද?
හේ පහළට බැස බිරිඳ ළඟට ආවේය. දෙදෙනාගේ අරමුණ වූයේ කොරතොටට
ගොස් අනුරාධිනීගේ පියාගෙන් රුපියල් 50,000 ක් ඉල්ලීමටය.
සිත නොසන්සුන් ය. කවුරුන් හෝ මුණගැහේවිද? නෑ අඳුරන කවුරුවත්
නෑ. අනුරාධිනී සිතුවාය.
අනුරාධිනීගේ දෙමාපියන් මුලින්ම පදිංචිව සිටියේද කොළොන්නාව,
සිංහ පුරයේ ය. අනුරාධිනීලාට තට්‌ටු දෙකේ නිවසක් සිංහපුරයේ
තිබිණි. සිංහපුරය යනු පැල්පත් නිවාස සංකීර්ණයේ තිබූ තට්‌ටු
ගොඩනැඟිලි දෙක තුනෙන් අනුරාධිනීගේ නිවස එකල කැපී පෙනුණි.
සක්‌විති මුල් කාලයේදී අනුරාධිනීට ආදරේ කරන්නට වූයේ ද එකල
සක්‌විතිට වඩා අනුරාධිනීලා පෝසත්කමින් ගව් ගණනක් ඉදිරියෙන්
සිටි නිසා ය. එකල ඉංග්‍රීසි පංති කරන කාලයේ ද අනුරාධිනී
සක්‌විතිට උදව් උපකාර කළාය.
සක්‌විතිගේ විසේකාරකම නිසා අසරණ වූ තවත් තරුණියක සක්‌විති
පිටුපස එන විටත් අනුරාධිනී සක්‌විති ඇයගේ රැකවරණයට ගත්තේ ද
දෙදෙනා අතර විශාල අවබෝධයක් තිබූ නිසා ය.
මොහු කොයිතරම් මුදල් කන්දක් එකතු කළත්, කැසිනෝහල්වලට රුපියල්
ලක්‍ෂ ගණන් මුදල් විසි කළත්, මොන තරම් සුරූපී තරුණියන්ගේ පහස
ලැබූවත් අනුරාධිනීව අත් නොහැරියේ ඒ බැඳීම නිසාය.
සක්‌විති අනුරාධිනී සමඟ නීත්‍යනුකූලව විවාහ වී සිටින බව හෙළි
වී නැත. හේතුව සක්‌විති මීට වසර දොළහකට දහතුනකට පෙර වෙනත්
තරුණියක සමඟ නීත්‍යනුකූලව විවාහ වූ නිසා ය. ඒ විවාහය සිදු වූයේ
සක්‌විතිගේ කැමැත්තට නොවේ. තරුණියගේ දෙමාපියන් සක්‌විතිව
බලහත්කාකරයෙන් රැගෙන ගොස් විවාහ කර දී ඇත. ඒ බව මට කීවේ
සක්‌විතිගේ අම්මා බව මීට පෙර ලියා ඇත.
සක්‌විතිත්, අනුරාධිනිත් නවගමුවට ආවේ දහසකුත් එකක් දේ සිතමින්
ය.
"මම මේ හරියෙ ඉන්නම්. ඔයා ගිහින් සල්ලි අරන් එන්න." ඔහු කීවේය.
අනුරාධිනී නිවසට ගියේ වටපිට බලමින්ය.
මේ නිවස දෙමහල් නිවසකි. ඒ වන විට දහවල් 12 පසු වී යමින්
තිබිණි.
අනුරාධිනීගේ මවගේ නිවස ඉදිරිපිට තිබුණේ වෙළෙඳසලකි. එහි
පවත්වාගෙන ගියේ කොමියුනිකේෂන් ආයතනයකි.
එහි සිටියේ ජානකී නම් තරුණියකි.
"යකෝ...... අන්න සක්‌විතිගෙ ගෑනි" ඇයට කියෑවිණි.
සක්‌විති රණසිංහ යනු මුළු රටම කැළඹූ චරිතයකි. කලක් ඉංග්‍රීසි
ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධ වූ ඒ මිනිසා පසුව අංක එකේ
ව්‍යාපාරිකයකු ලෙස වැජඹුණේය. ඊට පසුව ඔහු රුපියල් කෝටි ගණනක
පොලු තබා රටින් පැන ගිය බව ජානකීට සිහිවන්නට වූවාය.
"කාටද මේක කියන්නේ....." ඇය දුරකථනය අතට ගත්තේ කලබලයෙනි.
තම වෙළෙඳසල ඉදිරිපිට නිවස සක්‌විතිගේ බිරිඳගේ නිවස බව ජානකී
දැන සිටියාය.
රට පැන්න ගෑනි කොහෙද මෙහෙ. ඇය කෝකටත් කියා යළිත් කල්පනා කළාය.
නෑ. ඒ අනුරාධිනීම තමයි.
කලබලයට කාට කියන්නදැයි ඇයට සිතිණි.
සිවිල් ආරක්‍ෂක කමිටුව සිහිවූයේ එවිටය.
අජිත් අයියේ සක්‌විතිගේ නෝනා මේ දැන් අපේ කඩේ ඉස්‌සරහ එයාලගේ
අම්මලගේ ගෙදරට ආවා... ජානකී කොරතොට සිවිල් ආරක්‍ෂක කමිටුවේ
සභාපති ඩබ්ලිව්. අජිත් විමලසිරිට දුරකථනයෙන් කියා සිටියේ
කලබලයෙනි.
"හරි මම ටක්‌ගාලා එනවා. විශ්වාසද මේ එයාම කියලා" අජිත් ඇසීය.
"ඔව් ඔව්." දුරකථනය විසන්ධි වී ගියේය.
මේ වන විට සක්‌විති හිටියේ කොරතොට අඹගහ හන්දියේය.
රැවුල වවාගෙන යාචකයකු සේ ඔහු බිම බලාගෙන සිටියේ කාටත් මුහුණ
නොදෙමිනි.
අනුරාධිනී සිටියේ මවගේ නිවස තුළ ය.
ඒ අතර අනුරාධිනී හඳුනාගත් ජානකී ඊළඟට වන දේ පිළිබඳ විමසිල්ලෙන්
බලා සිටී.
අජිත් නම් වූ සිවිල් ආරක්‍ෂක කමිටුවේ සභාපතිවරයා දුරකථනය ගෙන
නුගේගොඩ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්ට මේ පිළිබඳ
දැන්වූයේ ලැබුණු තොරතුර වරදින්නට විදිහක් නැතැයි සිතමිනි.
"කවුද? මම අහවල් සිවිල් ආරක්‍ෂක කමිටුවේ සභාපති අජිත්"
"ඔව් ඇයි"
"සක්‌විතිගේ බිරිඳ නවගමුවේ කොරතොට එයාලගේ අම්මලගේ ගෙදර ඇවිත්."
අජිත් පොලිස් අධිකාරිවරයාට කීවේය.
"යන්න නොදී තියාගන්න. මම මේ දැන් පොලිස් කණ්‌ඩායමක් එවනවා."
පොලිස් අධිකාරිවරයා දුරකථන ඇමතුමට කතා කරමින් අනෙක්
දුරකථනයෙන් නුගේගොඩ හදිසි ඇමතුම් අංශයේ ස්‌ථානාධිපති පොලිස්
පරීක්‍ෂක භාතිය ජයසිංහට කතා කළේය.
"ඉක්‌මනට කොරතොටට ටීම් එකක් යවන්න. ඔයත් යන්න. සක්‌විතිගේ
බිරිඳ එයාලගේ අම්මලාගේ ගෙදරට ඇවිත්ලු. ඉක්‌මනට ගිහින් බලන්න."
පොලිස් අධිකාරිවරයා නියෝග කළේය.
මේ අතර සිවිල් ආරක්‍ෂක කමිටුවේ සභාපති අජිත් විමලසිරි එම
කමිටුවේ තවත් සාමාජියකු වන සුසන්ත බණ්‌ඩාරට ද කතා කළේය. සිවිල්
ආරක්‍ෂක කමිටුවේ කිහිපදෙනකුම අනුරාධිනීගේ නිවස අසලට ඒ වන විටත්
පැමිණ සිටියේ විදුලි වේගයෙනි.
අනුරාධිනී එළියට ආවේ මේ කිසිත් නොදැනය.
අජිත් කලබල විය. පොලිසිය එන්න පරක්‌කුයි. අජිත් යළිත් පොලිසියට
දුරකථන ඇමතුමක් ගත්තේය. "යන්න දෙන්න එපා. පොලිසිය ළඟම එනවා.
කොහොම හරි යන්න නොදී තියාගන්න." පොලිස් අධිකාරිවරයා කීවේය.
අප සිවිල් ආරක්‍ෂක කමිටුවෙන්.
ඔයාගේ හැඳුනුම්පත දෙන්න. අජිත් සහ තවත් කිහිපදෙනකු අඹගහහන්දියට
යමින් සිටි අනුරාධිනීව නවතා කියන්නට විය.
"අයියෙ හැඳුනුම්පත නම් ගෙනාවේ නෑ" ඇය කීවාය.
"නම මොකක්‌ද?"
"රංජනී" මම මේ කුලියට ගෙයක් හොයන්න ආවේ. අයිඩෙන්ටිටි එක ගේන්න
බැරි වුණා."
"අපිට වැරැදුනාවත්ද?" සිවිල් ආරක්‍ෂක කමිටුවේ සමහරුන්ට එසේ
සිතිණි.
"තනියමද ආවේ" සිවිල් කමිටුවේ අයෙකු ඇසීය.
"නෑ මහත්තයත් එක්‌ක ආවේ. බොරු නම් අන්න මහත්තයා ඉස්‌සරහා
හන්දියෙ ඉන්නවා. අහලා බලන්න....." අනුරාධිනී ගොත ගසමින් කීවේ ඒ
ටිකය.
සිවිල් කමිටුවේ අයෙකු ඉදිරියට ආවේ මේ කාන්තාවගේ සැමියා
කවුරුදැයි බැලීමටය.
අනුරාධිනීගේ සිත සලිත වේ. මහා බියකින් සිත හෝන්දු මෝන්දු වී
තිබේ. අනේ අපි අහුවෙයිද? ඇයගේ දෑසට කඳුළු පිරිණි. දරු
දෙන්න...... ඇයට සිහිවිණි.
"පොඩි ප්‍රශ්නයක්. පොඩ්ඩක් එනවද ඉස්‌සරහට." තිගැස්‌සී
සක්‌විති බැලුවේ ඒ හඬ ආ දෙසය.
දැඩි අව් රශ්මියද නොතකා මහමඟට වී ඔහු සිටියේ අනුරාධිනී
එනතුරුය. ඇය වෙනුවට මේ ආවේ මොකාද? ඔහුට සිතිණි.
"ඇයි මචන්...." සක්‌විති ඇසුවේ මිත්‍රත්වයේ දෑත් දිගු කරමිනි.
සිත යට ගිනි ගනිමින් තිබේ. අනුරාධිනී අඳුරගෙනද? මාවත්
අඳුරගනීවිද? අයියෝ.... දැන් මොකද කරන්නේ. සක්‌විති කල්පනා
කළේය..
"මට ඔයාගේ අයිඩෙන්ටිටි කාඩ් එක දෙන්න."
"අයියෝ මචන්. මම අයිඩෙන්ටිටි එක අරන් ආවේ නෑ. ඇයි මාව අඳුරගන්න
බැරිද? මම රන්ජන්. තිලක්‌ගෙ මස්‌සිනා."
"මොන තිලක්‌ද?" සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයා ප්‍රශ්න කළේය.
"ඇයි බං හාඩ්වෙයාර් එකේ තිලක්. මම එයාගෙ මස්‌සිනා" සිනා සිසී
සක්‌විති කී දේ ඔහු පිළිගත්තා දැයි සක්‌විති බලා සිටියේය.
ඒ වන විට අනුරාධිනිත් සමඟ අජිත් ඇතුළු සිවිල් ආරක්‍ෂක කමිටුවේ
පිරිස සක්‌විති ළඟට පැමිණ සිටියහ.
පොලිස් ජීප් රථය නුගේගොඩ සිට පවනට බඳු වේගයෙන් කොරතොට
අඹගහහන්දියට ධාවනය වෙමින් තිබිණි.
නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් ද සිටියේ
අලුත්ම ආරංචිය ලැබෙන තුරුය.
"අපිට යන්න දෙන්න. අපි ගෙයක් කුලියට හොයන්න යන ගමන්. දරුවොත්
ගෙදර තනියම." අනුරාධිනි කියන විටත් පොලිස් ජීප් රථයක්
බ්‍රාස් හඬින් නතර කරන අයුරු සක්‌විති දුටුවේය.
දෑස් අග නළියමින් තිබූ කඳුළු බිඳක් දෙකොපුල රත් කරමින් ගලා
යනවා අනුරාධිනීට දැනිණි.
"තමුන්ගෙ නම මොකක්‌ද?" පොලිස් පරීක්‍ෂක භාතිය ජයසිංහ විමසීය.
"රංජනී" ඇය කීවේ දෙකින් එකකටය.
නඟිනවා ජීප් එකට. ඇය හඬන්නට වූවාය.
"කවුද තමුසෙ. කවුරු වුණත් කමක් නෑ තමුසෙත් නඟිනවා. සක්‌විතිත්
ජීප් රථයට තල්ලු කරගත් පොලිස් නිලධාරීහු සැකකරුවන් දෙදෙනා
ආරක්‍ෂා කර ගනිමින් නුගේගොඩ පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලය
බලා පිටත් වූහ.
දේශබන්දු තෙන්නකෝන් නමැති පොලිස් අධිකාරිවරයා කලක් ගම්පහ
භාරව සිටියේය. පසුව නුගේගොඩ පොලිස් අධිකාරිවරයා ලෙස
පැමිණියේය.
කොටි ත්‍රස්‌තවාදය රට පුරා පැතිර තිබූ සමයේ බස් රථවලද මහ මඟද
බෝම්බ පුපුරා යන්නට විය. ආරක්‍ෂක අමාත්‍යංශය ඒ බෝම්බ පිපිරීම්
වළක්‌වාලීමට කදිම සැලසුමක් සකස් කළේය. ඒ රට පුරාම සිවිල්
ආරක්‍ෂක කමිටු පිහිටුවීමය. බස්‌වල බෝම්බ තබා යැම, මහමඟ ක්‌ලේමෝ
බෝම්බ ඇටවීම ආදිය නතර වූයේ මේ සිවිල් ආරක්‍ෂක කමිටු
පිහිටුවීමෙන් පසුවය. නුගේගොඩ පොලිස් අධිකාරිවරයා ද මේ සිවිල්
ආරක්‍ෂක කමිටු හරහා විශාල වැඩ කොටසක් කරගත්තේ රාජ්‍ය ආරක්‍ෂක
අමාත්‍යංශයේ මඟ පෙන්වීම නිසා ය.
කෙසේ හෝ රංජන් සහ රංජනී ලෙස පෙනී සිටි දෙදෙනා පොලිස්
අධිකාරිවරයා හමුවේද කියන්නට වූයේ මේ නම් දෙක ය.
"මේ මට බොරු කරන්න හදන්න එපා. මට තමුන්ව අඳුරන්න බෑ කියලද
හිතන්නේ. තමුන් සක්‌විති රණසිංහ නේද?" පොලිස් අධිකාරිවරයා
කියන විට සක්‌විති නිරුත්තර විය.
2007, 2008 කාලයේ සක්‌විති ගේ ජීවිතයේ ස්‌වර්ණමය සමය විය. එකල
ඔහු නුගේගොඩ සිටි නිල නොළත් රජු ලෙස ද වැජඹුණේය. නුගේගොඩ
ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට සක්‌විතිගේ මුහුණ නැතත් කඳෙන්
පවා හඳුනා ගන්නට තරම් පුළුවන්කමක් තිබිණි. හේතුව සක්‌විති
පොලිසිය සමඟ කලක් ළඟින්ම මිතුරුව සිටි නිසා ය. පොලිසියටත්,
පොලිසියේ කටයුතුවලටත් සක්‌විති කලක් උදව් උපකාර කර තිබිණි.
නුගේගොඩ පොලිස් අධිකාරිවරයා සක්‌විති දුටු සැනින් හඳුනාගත්තේ
ඒ අනුවය.
"ඔව් මම සක්‌විති තමයි."
"කෝ තමුන් මිනිසුන්ගෙන් ගත්ත මුදල්."
මට ඒවා වියදම් වුණා. සූදු පිටියේ ඒවා
පැරැදුනා. මගේ ළඟ දැන් සල්ලි නෑ. අපි මුලින්ම පැනලා ගියේ
ඉන්දියාවට. ඉන්දියාවේ චෙන්නායි (මදුරාසියෙ) වල අවුරුදු දෙකක්
හිටියා. එහෙදි තිබ්බ සල්ලි ටිකත් ඉවර වුණා. ඊට පස්‌සෙ හලාවතට
ආවා. පංති කළා. මාව එක්‌කෙනෙක් අඳුරගත්තා. එයා මගෙන් රුපියල්
කෝටි දෙකක් ඉල්ලුවා. නැත්නම් පොලිසියට කියනවා කියලා කිව්වා.
සක්‌විති සිය කතාව එකින් එක කියන්නට විය.
අතට දමා තිබූ මාංචුවක් පුටුවට සවිකළ පොලිසිය සක්‌විතිගේ කට
උත්තරය ලියා ගනු ලැබුවේ මේ ප්‍රවෘත්තිය රටටම කියන ගමන් ය.
සක්‌විති අත්අඩංගුවට පත් වූයේ 2010 අගෝස්‌තු 06 වැනිදා
සිකුරාදා ය.
ඔහු කියන්නේම දැන් ඔහු යාචකයකුගේ මට්‌ටමට පත්ව ඇති බවයි.
දරු දෙදෙනා හේකිත්ත නිවසේ සිටියදී පොලිසිය සොයා ගත්තේ ද
එදිනමය.
දරු දෙදෙනා හඬති. අනුරාධිනී ද හඬන්නීය. සක්‌විති පොලිස්
ප්‍රශ්නකිරීම්වලින් හෙම්බත්ය.
ජනතා මුදල් රුපියල් කෝටි සියයකට වඩා වංචා කළ මොහු ළඟ මුදල්
නැතැයි කීම පොලිසියට ද විශ්වාස කළ නොහැකි එකක්‌ව තිබේ.
කෙසේ හෝ සක්‌විති අධිකරණය වෙත පැමිණවීමෙන් පසුව මාසයක් රහස්
පොලිසියේ තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී ඇත. මේ කතාව
ලියනවිටත් සක්‌විති සිටියේ රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම් මැද
ය.
අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නමැති ආතක් පාතක්
නොවූ දරුවකු නොමඟට වැටී, දුරාචාරවල යෙදී සූදුවත්, බොරුවත්,
වංචාවත් හරහා ඉහළ සමාජයට පිවිසි හැටි එසේ ය.
අදටත් කොළඹ නගරයේත්, කොළඹ පැල්පත්වලත් මෙවැනි දරුවන් කිසිදු
හව්හරණක් නොලැබ අයාලේ හැදෙති. වැඩෙති. දෙමාපියන්ගේ ආදරය,
සෙනෙහස, රැකවරණය අහිමි වූ මෙවැනි දරුවන් වීදි දරුවන් ලෙස ද
සලකති.
අප මේ ලියුවේ සක්‌විතිලා බිහිවන සමාජ පසුබිම පිළිබඳවය. අදටත්
මහමඟ සිඟා යදින, පොඩි පොඩි සොරකම්කර, පොඩි පොඩි දෑ විකුණා
මුදල් සොයන දරුවන්ද, තරුණයන් ද හෙට සිතන්නේ කොහොමින් හෝ මුදල්
ඉපැයීමටය. බල්ලන් බළලුන් මරා හෝ උපයන සල්ලි Cඳාව් ගාන්නෙත්,
බුරන්නෙත් නැතැයි සිතන අය ද සිටිති. මෙවැනි දරුවන් සමාජයට කරන
වෛරය පෙරදැරි කරගෙන අවසානයේ පාතාලය බිහිවී කොන්ත්‍රාත්
මිනීමරුවන් බිහිවන්නේය.
සක්‌විති කුඩා කල සමාජයට වෛර කළ අයෙකි. සමාජ අසාධාරණයට ලක් වූ
අයෙකි. අප මේ සොයාගෙන ගියේ සක්‌විතිගේ අවසානයට හේතු වූ මුල,
මැද සොයා ය. අප කීවේ සක්‌විති කී කතාව නොව අප සොයාගත් සක්‌විති
පිළිබඳව ය.
සක්‌විති වීරයකු නොවේ. හොරෙකි. පල්මපල් හොරෙකි. වංචාකරුවෙකි.
බොරුකරුවෙකි. සූදුකරුවෙකි. එනිසා අපි ඉල්ලන්නේ මෙවන් මිනිසකු
බිහිවන මේ සමාජ ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් වෙනස් කරමු කියා ය. අප
දුටු සක්‌විති සහ සක්‌විතිම කියන සක්‌විති කතාව දෙකක් නොවනු
ඇතැයි අපගේ විශ්වාසයයි.
ශිරාන් රණසිංහ |