බස්‌නාහිර අධ්‍යාපනය බංකොලොත් ද?

පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස මහතා විසින් 2010.08.08 ඉරිදා දිවයින පුවත්පතේ "බස්‌නාහිර අධ්‍යාපනය බංකොළොත්" යන ශීර්ෂ පාඨය යටතේ කරන ලද ප්‍රකාශයේ ඇතැම් කරුණු නිවැරැදි නොවන හෙයින් බස්‌නාහිර පළාත් සභාව කෙරෙහි පොදු ජනතාව තුළ වැරැදි ප්‍රතිරූපයක්‌ ගොඩනැඟීමට ඉඩ ඇත. ඒ නිසා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්‌ ලබා දීම මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වෙමි.

අධ්‍යාපනය යනු ඕනෑම රටක දිගු කාලීන ආයෝජනයකි. ආයෝජනයේ ඵල නෙළා ගැනීමට දිගු කලක්‌ ගත වීම නිසාම හෝ එහි ප්‍රතිඵල වහා ප්‍රදර්ශනය නොවීම නිසා හෝ අදාළ ක්‍ෂේත්‍රය කෙරෙහි නිසි අවබෝධයක්‌ නොවීම නිසා හෝ එය බිඳ වැටී ඇතැයි හෝ නැතහොත් බංකොළොත් වී ඇතැයි හෝ ප්‍රකාශ කිරීම සමස්‌ත සමාජයටම බරපතල ප්‍රතිවිපාක ගෙන දිය හැකි ප්‍රකාශනයකි.

Education යන වචනය Educo යන ලතින් වචනයෙන් උපත ලබන අතර, එහි තේරුම මතුකොට පිටතට ගැනීම හෝ පිටතට මතුකර දීමයි. ඒ නිසා අධ්‍යාපනය යනු දැනුම ලබාදීම පමණක්‌ය යන සාවද්‍ය මතයෙන් බැහැර විය යුතුය. අධ්‍යාපනය යනු එක්‌ පරම්පරාවක්‌ විසින් තමන්ගේ අත්දැකීම් අනෙක්‌ පරම්පරාව වෙත පවරා දීමකි. නැතහොත් පුද්ගල චර්යාවන්හි වෙනසක්‌ ඇති කිරීමකි. කෙසේ හෝ අධ්‍යාපනය මූලික අරමුණ විය යුත්තේ පුද්ගලයා පූර්ණ මිනිසකු කරා ගෙන යැමය.

අධ්‍යාපනයේ මූලික අරමුණ වන පුද්ගලයා පූර්ණ මිනිසකු කරා ගෙන යැමේ ව්‍යායාමයේදී බස්‌නාහිර පළාත් සභාව එම කාර්ය භාරය කෙසේ ඉටු කර තිබේද යන්න පැහැදිලි කර දීමට මෙම ලිපිය ප්‍රයෝජනවත් වනු ඇතැයි මම විශ්වාස කරමි.

බස්‌නාහිර පළාත සෙසු පළාත් අතර සුවිශේෂ පළාතක්‌ ලෙස සැලකෙනුයේ රටෙහි පාලන මධ්‍යස්‌ථාන පිහිටීම නිසා පමණක්‌ ම නොව ආර්ථික ක්‍ෂේත්‍රය, වාණිජ ක්‍ෂේත්‍රය, කාර්මික ක්‍ෂේත්‍රය, ජන ඝනත්වය මෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ලබා ඇති ඉහළ දායකත්වය හේතු කොටගෙනය. බස්‌නාහිර පළාත් සභාව යටතේ පාලනය වන සිංහල මාධ්‍ය පාසල් 1,153 ක්‌ සහ දෙමළ මාධ්‍ය පාසල් 118 ක්‌ වේ. එම පාසල්වල සිංහල මාධ්‍ය ගුරුවරු 29,006 ක්‌ ද දෙමළ මාධ්‍ය ගුරුවරු 3,009 ක්‌ද , ඉංගී්‍රසි මාධ්‍ය ගුරුවරු 142 ක්‌ ද සේවය කරන අතර, මව් ශිෂ්‍ය ජනගහනය 7,00,118 ක්‌ වේ. පොදුවේ ගත් කල පළාතේ ගුරු සිසු අනුපාතය 21(1 ක්‌ වේ.

රටක අධ්‍යාපනයේ සාර්ථකත්වය මනින මිනුම් දඬු අතර, විභාග ප්‍රතිඵල කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කිරීමක්‌, වත්මන දැක ගත හැක. 2009 වසරේදී අ.පො.ස. (ස.පෙළ) සඳහා මුළු දිවයිනෙන්ම ඉදිරිපත් වූ සංඛ්‍යාව 3,10,441 ක්‌ වන විට බස්‌නාහිර පළාතෙන් ඉදිරිපත් වූ අයදුම්කරුවන් සංඛ්‍යාව 74,375 ක්‌ විය. එම අයදුම්කරුවන්ගෙන් 1,50,608 එනම් 48.5% ක්‌ අ.පො.ස. (උ. පෙළ) සඳහා සුදුසුකම් ලබන විට බස්‌නාහිර පළාතෙන් උසස්‌ පෙළ සඳහා සුදුසුකම් ලත් සංඛ්‍යාව 42,910 කි. එනම් 57.69% කි. මේ අනුව රටෙහි සමස්‌ත ප්‍රතිඵලය 47% ක්‌ වන විට බස්‌නාහිර පළාත් ප්‍රතිඵලය 57.69% ක්‌ වී ඇත. එසේම විෂයයන් 09 සඳහාම A සාමාර්ථ ලබා ගත් සංඛ්‍යාව සමස්‌ත දිවයිනේම 2,039 ක්‌ වන විට බස්‌නාහිර පළාත් දායකත්වය 1,074 ක්‌ වී ඇත. විෂයයන් 08 ම අසමත් සංඛ්‍යාව මුළු දිවයිනේම 20,201 ක්‌ වන විට බස්‌නාහිර පළාතේ එය 3,711 කි. මෙම තත්ත්වය කෙරෙහි බස්‌නාහිර පළාත තුළ බෙහෙවින් බලපා ඇත්තේ ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ සහිත දුෂ්කර පාසල්වලට විෂයානුබද්ධව ඇවැසි ගුරුවරුන් ලබාදීමේදී ද අධ්‍යාපන අමාත්‍යාංශයේ 2003/38 චක්‍රලේඛයෙහි ඇති යම් යම් බාධාවන්ය. කෙසේ වෙතත් බස්‌නාහිර පළාත් සභාව සෙසු පළාත් අතර අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින බව ප්‍රකාශ කළ යුතුය. අ.පො.ස. (උසස්‌ පෙළ) ප්‍රතිඵල ගෙන බැලුවද එය 56% ඉක්‌මවා ඇත. මේ අනුව බස්‌නාහිර පළාතේ අධ්‍යාපනය බංකොළොත් වී ඇතැයි ප්‍රකාශ කරනුයේ කවර සාධක මතද? යන්න ගැටලු සහගතය.

05 ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයක යෙදීමේදී බස්‌නාහිර පළාතේත් එකී ප්‍රතිඵල සම්බන්ධව සලකා බැලීමට කැමැත්තෙමි. ශිෂ්‍යත්ව විභාගය යනු සාධනීය පරීක්‍ෂණයක්‌ නොවේ. තේරීම් පරීක්‍ෂණයකි. 2008 වසරේ සිට ශිෂ්‍යාධාර ලබාගැනීම සඳහා වන සංඛ්‍යාව 10,000 සිට 15,000 දක්‌වා වැඩි කරන ලද බව කිව යුතුය. ඒ අනුව අඩු ආදායම් ලාභීන්ට ශිෂ්‍යත්ව 15,000 ක්‌ ලැබෙන මට්‌ටම තෙක්‌ ලකුණු මට්‌ටම පහත හෙළනු ලැබීය. ශිෂ්‍යත්ව 15,000 ක්‌ සම්පූර්ණ මට්‌ටම කඩඉම් ලකුණ වේ. (ජමඑදෙෙ ප්රනි) ශිෂ්‍යාධාර ලබාදීමේදී සිංහල මාධ්‍ය 12,500 ක්‌ ද දෙමළ මාධ්‍ය සඳහා 2,500 ක්‌ ද, දුෂ්කර දිස්‌ත්‍රික්‌ක සඳහා 10% ක්‌ ද ඉන්පසු ඉතිරිය ජන අනුපාතයට ද වෙන් කරනු ලබයි. කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් තෝරා ගන්නා ප්‍රතිශතය තීරණය වනුයේ මෙසේය.



බස්‌නාහිර පළාතේ සියලුම ළමයි ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක්‌ ලබා ගත්තද, තෝරා ගන්නා ප්‍රතිශතය ඉහත ක්‍රමවේදය අනුව තීරණය වේ. සෑම වසරකම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය අනුව ළමයින් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය වෙනස්‌ වේ. ඒ අනුව ශිෂ්‍යාධාර සඳහා තෝරා ගන්නා කඩඉම් ලකුණු ද වෙනස්‌ වේ. එබැවින් සෑම වසරක්‌ පාසාම ශිෂ්‍යත්ව සඳහා තෝරා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහත ප්‍රතිශතය අනුව වෙනස්‌ වේ. මේ අනුව ශිෂ්‍යත්ව විභාගයේදී වැදගත් වන්නේ ලකුණු 0 ගත් ශිෂ්‍ය සංඛ්‍යාව හෝ 25 ට අඩුවෙන් නැතහොත් 50 ට අඩුවෙන් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කර ගැනීමයි. ලකුණු 0 සිට 50 දක්‌වා ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වී තිබේ නම් එය බරපතල ගැටලුවකි. එහෙත් 2008 හෝ 2009 වසරවල බස්‌නාහිර පළාතේ එවැනි තත්ත්වයක්‌ වාර්තා වී නැත. එසේම ශිෂ්‍යත්ව විභාගයට අනුව දරුවන්ගේ සාධනය මැනීම එතරම් සුදුසු අධ්‍යාපනික ක්‍රමවේදයක්‌ නොවන බව කිව යුතුය.

විභාග ප්‍රතිඵල දුර්වල වීමත් සමග දරුවන් පාසල්වලින් ඈත්වීමක්‌ සිදු වන බවත්, ඒ නිසාම ග්‍රාමීය පාසල් වැසී යැමේ අනතුරකට බස්‌නාහිර පළාත මුහුණ දී ඇති බවත් ප්‍රකාශ කෙරේ. නමුත් විභාග ප්‍රතිඵල නිසාම නොව මිනිසුන්ගේ යම් යම් ආකල්පමය වෙනස්‌වීම් මත ජනප්‍රිය පාසල් වෙත පවතින ඉල්ලුම ඉහළ යැමේ ප්‍රවණතාවක්‌ පසුගිය දශක දෙක තුන තුළ දැක ගත හැකි විය. විශේෂයෙන්ම පවුලේ සාමාජික සංඛ්‍යාව සීමා වීම නිසාත් තමන්ට දිනාගත නොහැකි වූ ලෝකය දරුවන් වෙත ලබාදීම උදෙසාත් දරනු ලබන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙම තත්ත්වය බස්‌නාහිර පළාතේ පමණක්‌ නොව රට පුරාම දැක ගත හැක. ප්‍රවාහන පහසුකම් දියුණු වීම, තාක්‍ෂණය දියුණුවීම, සන්නිවේදනය දියුණුවීම මෙම ප්‍රවණතාව තීව්‍ර වීම කෙරෙහි බලපෑම් කර ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ කලක්‌ ඉහළ ඉල්ලුමක්‌ සහිතව පැවැති ග්‍රාමීය පාසල් සඳහා වන ඉල්ලුම පහළ යැමයි. යම් යම් කළමනාකරණ ගැටලු පාසල් පද්ධතිය සම්බන්ධයෙන් මේ වනවිට පැවතීමත් අදාළ ඉල්ලුම පහළ යැම කෙරෙහි බලපෑ අතර, මෙය බස්‌නාහිර පළාතට පමණක්‌ නොව මුළු රටම මුහුණදුන් තත්ත්වයකි. කෙසේ වෙතත්, බස්‌නාහිර පළාත් සභාව මෙම ව්‍යසනය නිවැරැදිව තේරුම් ගෙන එම තත්ත්වය ජය ගැනීමට කටයුතු කර තිබීම ප්‍රශංසනීය නොවන්නේද?

බස්‌නාහිර පළාත් සභාව 2006 වසරේදී ක්‍රියාත්මක කළ පාසල් ප්‍රතිව්‍යqහකරණ වැඩසටහන යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම මත වැසී යැමට ආසන්නව තිබූ පාසල් බොහෝමයක්‌ පළාතේ ජනප්‍රිය පාසල්වලට අනුබද්ධ කිරීමක්‌ හෝ ඒකාබද්ධ කිරීමක්‌ කළ අතර, ඉන් සාර්ථක ප්‍රාථමික පාසල් පද්ධතියක්‌ බිහි වී ඇත. 2006 වසරේදී ද ජනප්‍රිය පාසල් 81 කට කඩා පාසල් 104 ක්‌ අනුබද්ධ කරමින් ඇරැඹි මෙම වැඩසටහන අද දක්‌වාම ක්‍රියාත්මක වන අතර, පාසල් ප්‍රතිව්‍යqහකරණ වැඩසටහන අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ ගෞරවය බස්‌නාහිර පළාත් සභාව හිමි කරගෙන ඇත. එසේම මෙම වැඩසටහන යටතේ වැසී ගිය පාසල් කිහිපයක්‌ද, නැවත පාසල් පද්ධතියට එකතු කිරීමට අපට හැකිවී ඇති බව ආඩම්බරයෙන් යුතුව සිහිපත් කළ හැක. වැසී ගිය නිලම්මහර මහා විද්‍යාලය මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයට ඒකාබද්ධ කිරීමත්. නුගේගොඩ ඩී. බී. ජයසිංහ විද්‍යාලය සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ලෙස සංවර්ධනය කිරීමත් හොන්නම්තර ජයන්ති විද්‍යාලය කැස්‌බෑව ධර්මසේන ආටිගල විද්‍යාලයේ ප්‍රාථමික අංශය ලෙස සංවර්ධනය කිරීමට හැකිවීමත්. මෙම ව්‍යාපෘතිය තුළින් අප ලද මහඟු ප්‍රතිඵලයි. එය අධ්‍යාපනය පද්ධතිය මුහුණ දුන් අභියෝග ජයගත් අවස්‌ථාවකි. එසේ නම් බස්‌නාහිර පළාතේ බදු ගෙවන ජනතාවගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට පළාත් සභාව අපොහොසත් වී ඇතැයි පැවසීම සාධාරණ නොවේ.

පාසල් ප්‍රතිව්‍යqහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය වසර 03 තුළ පාසල් වැසී යැම අවම කිරීමට පළාත් සභාවට හැකි වී ඇති බව අභිමානයෙන් සිහිපත් කළ හැක. කෙසේ වෙතත් 2008 සහ 2009 වසරවල යම් යම් පාසල්වල එක ශේ්‍රණියේ ඇතුළත් වීම් පහළ යැමක්‌ පෙන්නුම් කර ඇත. එහෙත් එය සමස්‌ත දිවයිනේම තත්ත්වයන් හා සසඳන කල ඉතා අඩු අගයක්‌ ගනී. විශේෂයෙන්ම බස්‌නාහිර පළාතේ පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් සමූහයක්‌ ස්‌ථාපිත වීමද මේ කෙරෙහි සෘජු ලෙස බලපා ඇත.

ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිබඳ ප්‍රෙෘඪත්වයක්‌ සහිත සහ බහු භාෂාමය නිපුණතාවක්‌ සහිත ගුණධර්මවලට සංවේදී මානව සම්පත් රටට දායාද කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන දැනට පළාත තුළ ද්වී භාෂා පාසල් 105 ක්‌ ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරනුයේ පළාතක්‌ ලෙස අනාගත අවශ්‍යතා තේරුම් ගෙන අධ්‍යාපනයේම යෙදීම පළාත් සභාවේ කාර්යයක්‌ ලෙස තේරුම් ගෙන ඇති බැවිනි. එය අනාගත ආශ්චර්යයක පෙර නිමිති පෙන්නුම් කිරීමකි.

සිංහල, දෙමළ සහ මුස්‌ලිම් යන ප්‍රධාන ජාතීන් කිහිපයකින් සැදුම්ලත් බස්‌නාහිර පළාත මේ සියලු ජන කොටස්‌වල අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලනුයේ ජාතික සමගිය, ජාතික ඒකාග්‍රතාව.

සංකේතවත් කරමිනි. පළාතේ පාසල් බොහෝමයක මෙම ජාතීන් දෙකටම අයත් දරුවන් කිසිදු බේදයකින් තොරව අධ්‍යාපන කටයුතුවල නිරත වීම මෙයට කදිම නිදසුනකි.

බස්‌නාහිර පළාතේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සැළකිලිමත් වීමේදී සෙසු පළාත්වලට සාපේක්‍ෂව ඉදිරියෙන්ම සිටී. විශේෂ අධ්‍යාපන ඒකක සිංහල මාධ්‍යයෙන් 174 ක්‌ වන අතර, දෙමළ මාධ්‍ය ඒකක 02 ක්‌ ක්‍රියාත්මක වේ. මෙම ඒකකවල කටයුතු කරන මුළු ගුරු සංඛ්‍යාව 262 කි. විශේෂ අධ්‍යාපන ගුරුවරුන් පුහුණු කිරීම හාපිටිගම විද්‍යා පීඨයේ සිදුවන අතර, වසරකට පද්ධතියට එකතු වන මුළු ගුරු සංඛ්‍යාව 60 ක්‌ පමණ වේ. සාමාන්‍යයෙන් මෙම ගුරු භවතුන් බස්‌නාහිර පළාතට ලබාදීමක්‌ සිදු නොවුවද, පළාත් සභාව විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පළාතේ උසස්‌ පෙළ සමත් දරුවන් 124 දෙනකු ගුරු සහයක ලෙස බඳවා ගෙන අදාළ ගුරු හිඟය මග හරවා ගැනීමට කටයුතු කර ඇති ආකාරය ප්‍රශංසනීය. මීට අමතරව 2005 යේදී උපාධිධාරීන් 60 දෙනකු ද විශේෂ අධ්‍යාපන ඒකකය සඳහා බඳවා ගෙන තිබීම මගින් මෙම දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව ලබාදී ඇත. 2003/38 චක්‍රලේඛ ප්‍රකාර විශේෂ අධ්‍යාපන ගුරු හිඟයක්‌ පැවතියද, දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවලට බාධාවක්‌ නොවන අයුරින් කටයුතු කිරීමට පළාත් සභාව ක්‍රියා කොට ඇත.

බස්‌නාහිර පළාත සිය ගුරු අවශ්‍යතා සපුරා ගැනිම සඳහා 2008 වසරේදී උපාධිධාරී ගුරු විභාගය පැවැත්වූ අතර, එම විභාගයේ ප්‍රතිඵල මත මේ වනවිට අවස්‌ථා 05 කදී නවක උපාධිධාරී ගුරුවරුන් 1,211 ක්‌ පද්ධතියට එකතු කොට ඇති අතර, 2010 දෙවන පාසල් වාරය ආරම්භ කිරීමත් සමග තවත් උපාධිධාරීන් 450 ක්‌ බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු අවසන් කොට ඇත. ප්‍රාථමික, සෞන්දර්යය, ඉංගී්‍රසි මාධ්‍ය තොරතුරු තාක්‍ෂණය, විද්‍යාව වැනි ගුරු අවශ්‍යතා සපුරාලීමට මෙමගින් කටයුතු කර ඇති අතර, විෂයානුබද්ධව ඇති වන ගුරු හිඟය පියවීම සඳහා පිට පළාත්වලින් පැමිණෙන ගුරුවරුන් බඳවා ගැනීමේ කටයුතු ද අඛණ්‌ඩව සිදු කෙරෙමින් පවතී. මෙසේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා පෙරටු කරගත් වැඩසටහන් මගින් ගුරු අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර ඇත. කෙටි කාලීනව ගුරු හිඟයකට පාසලක්‌ මුහුණ දුන්නද, දිගු කාලීනව එවැනි තත්ත්වයක්‌ ඇති නොවන අයුරින් කටයුතු කිරීමට පළාත් සභාව ක්‍රියා කොට ඇති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැක.

නිසි කලට රේ‚ය අමාත්‍යාංශය බඳවා ගැනීම් සිදු නොකළ හෙයින් අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ හිඟයක්‌ මුළු රටේම වූ අතර. එය බස්‌නාහිර පළාතට ද පොදු විය. නමුත් අධ්‍යාපන පද්ධතියක්‌ ලෙස ඉදිරියට ගෙන යැමේදී තාවකාලික පිළියම් යෙදීමට ද, ඒ තුළින් අධ්‍යාපන පද්ධතිය සුරැකීමට ද සමත් වූ අතර, දැනට අදාළ විදුහල්පති ශේ්‍රණිධාරීන් හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ලබාදී ඇති බැවින්, ඒ අයගේ සුදුසුකම් සැළකිල්ලට ගෙන ස්‌ථානගත කිරීමට කටයුතු කරමින් සිටී.

ඒ වගේම දශක තුනක්‌ පුරාවට රට තුළ පැවැති යුදමය වාතාවරණය යටතේත් බස්‌නාහිර පළාත් සභාවද, මූල්‍යමය ගැටලුවලට මුහුණ පෑවද, කෙසේ හෝ අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන ප්‍රාග්ධන වියදම් යම් නිශ්චිත මට්‌ටමක පවත්වාගෙන යැමට කටයුතු කර ඇති බව ඒ ඒ වර්ෂවල වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය තුළින් පැහැදිලි වන බව කිව යුතුය.



2007 වර්ෂයේදී අමාත්‍යංශයේ සංවර්ධන කටයුතුවල භෞතික ප්‍රගතිය 92% ක්‌ ද, මූල්‍ය ප්‍රගතිය 82% ක්‌ ද, වශයෙන් අත්පත් කර ගත් පළාත් සභාව එය 2009 වසරේදී ද තවදුරටත් භෞතික ප්‍රගතිය 91% ක්‌ ද, මූල්‍ය ප්‍රගතිය 81% ක මට්‌ටමක ස්‌ථාවරව පවත්වාගෙන යැමට හැකි වී තිබීම ප්‍රශංසනීය වේ. 2010 වර්ෂයේදී ප්‍රාග්ධන සැලැස්‌මේ කටයුතු දැනට සිදු කෙරෙමින් පවතින අතර, වර්ෂය අවසානයේදී ඉතා හොඳ ප්‍රගතියක්‌ ලබා ගත හැකි වෙතැයි අපේක්‍ෂා කළ හැක.

සෑම වර්ෂයකම අධ්‍යාපන ප්‍රාග්ධන සැලැස්‌මට වෙන් කරන මුදලින් 15% කට වැඩි ප්‍රමාණයක්‌ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සඳහා වෙන් කිරීම සිදු කෙරේ. අඩක්‌ නිම කර ඇති ගොඩනැගිලිවලින් 80% ක්‌ම මේ වනවිට අවසන් කර ඇති අතර, ඉතිරිය ඉදිරි වර්ෂ 02 තුළ නිමකිරීමට සැළසුම් කර ඇත.

බස්‌නාහිර පළාත් සභාවේ වත්මන් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සංකල්පයකට අනුව "සුපසන් නිම්තෙර" වැඩසටහන දැනට තෝරා ගත් පාසල් සමූහයක ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරෙමින් පවතී. වඩාත් ප්‍රසන්න වූ අධ්‍යාපන ඉසව්වක්‌ පාසල තුළ නිර්මාණය කර යහපත් පාසල් සංස්‌කෘතියක්‌ පවත්වාගෙන යැමෙන් පාසල් අභියෝග ජය ගැනීම මෙම වැඩසටහනේ බලාපොරොත්තුවයි.

පංච බල කේන්ද්‍රයක්‌ ඇසුරෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට, අධ්‍යාපනය හා දැනුම රටට උචිත ලෙස ප්‍රති නිර්මාණය කරමින් ශ්‍රී ලංකාව ලෝකයේ දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස පත් කිරීමට මහින්ද චින්තන ඉදිරි දැක්‌ම යටතේ පාසල් දරුවන්ගේ දැනුම, ආකල්ප කුසලතා සංවර්ධනය කරමින් අනාගත අභියෝගයන්ට මුහුණදිය හැකි දරු පිරිසක්‌ බිහි කිරීමට බස්‌නාහිර පළාත් සභාව අදාළ ඉලක්‌ක සපුරා ගැනීමට කටයුතු කරමින් 2011 වසර "ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන වසර" ලෙස නම් කර අභියෝග ජය ගැනීමට පිඹුරු පත් සකස්‌ කර ඇති බව අභිමානයෙන් ප්‍රකාශ කරමි. ඒ අනුව බස්‌නාහිර පළාත් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ බංකොළොත් භාවයක්‌ නොව සංවර්ධනයක්‌ දැකිය හැකි පළාතක්‌ ලෙස සඳහන් කිරීම ඉතාමත් සාධාරණ යුක්‌ති සහගත කරුණක්‌ ලෙස සඳහන් කරනු කැමැත්තෙමි.

ඡේ. එම්. සී. ජයන්ති විඡේතුංග
ලේකම්, අධ්‍යාපන, පළාත් පාලන හා
ඉඩම් අමාත්‍යංශය,බස්‌නාහිර පළාත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.