අනුරාධපුර පොලිසියේ කොස්‌තාපල්වරයාට හා කොස්‌තාපල් බිරියට එකම අංකයේ යතුරු පැදි දෙකක් සැමියාගේ වැඩ තහනම්, බිරියට විනය පරීක්‍ෂණ අනුරාධපුර විශේෂ පර්සි කුරුනේරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ එකම අංකයක් භාවිතා කරමින් යතුරු පැදි දෙකක් පරිහරණය කළ බව කියන අනුරාධපුර පොලිසියේ සේවයේ නියුතු කොස්‌තාපල්වරයකුගේ සේවය පෙරේදා (1 දා) සිට තහනම් කර තිබේ. උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි දයානන්ද මහතාගේ නියෝගයකට අනුව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මර්වින් ඡේ. කරුණාරත්න මහතා විසින් මෙම වැඩතහනම සිදුකොට තිබේ. නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි දයානන්ද මහතාට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ අනුරාධපුර පොලිස් රථවාහන කොට්‌ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ගාමිණි මීගහකුඹුර මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් නිලධාරීන් කණ්‌ඩායමක් විසින් සිදුකළ පරීක්‍ෂණයකදී වැඩතහනමට ලක්‌වූ පොලිස් කොස්‌තාපල්වරයාට අයත් බව කියන අනුරාධපුර නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට නවතා තිබියදී එකම ලියාපදිංචි අංකය සඳහන් අංක තහඩු සවිකළ යතුරු පැදි දෙක පෙරේදා (1 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව මේ පිළිබඳව පොලිසිය විසින් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී සැකකාර කොස්‌තාපල්වරයා හා දැනට අනුරාධපුර උඩමළුව පොලිස් මුරපොළේ කොස්‌තාපල්වරියක ලෙස සේවයේ නියුතු ඔහුගේ බිරිඳ විසින් එම යතුරුපැදි දෙක පරිහරණය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ අනුව එම වංචනික ක්‍රියාවට කොස්‌තාපල්වරියද සම්බන්ධවී ඇති බවට පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇති බැවින් ඇයට එරෙහිවද විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.