අභාවප්‍රාප්ත වේදිකා නාට්‍ය (ටවර් හෝල්) සංගීත කලා ශිල්පී
ලක්‍ෂමන් ජයකොඩි සූරීන් පිළිබඳ කෙටි සටහනක්‌

දේශපාලනය හා කලා රසය



ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නිර්මාතෘ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ හා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියගේ රාජ්‍ය සමයේ සිටම ලක්‍ෂමන් ජයකොඩි හිටපු අමාත්‍යවරයා ගැන මුළු රටම දැන හැඳින සිටියේ කෘතහස්‌ත - අවංක දේශපාලනඥයෙක්‌ ලෙසිනි. අද ඔහු සිය දේශපාලනයෙන් මෙන්ම සිය ජීවන ගමනින්ද සදහටම සමුගෙන ඇත. දේශපාලන වශයෙන් එතුමාගෙන් රටට - ජනතාවට සිදුව ඇති අප්‍රමාණ මෙහෙවර ගැන කතා කිරීමට සුදුසුකම් ඇති ඉහළ තලයේ ජන නායක නායිකාවන් බොහෝ දෙනෙක්‌ අද මේ රටේ සිටිනවාට කිසිදු සැකයක්‌ නැත.

එහෙත් මා අද මේ කෙටි සටහන තබන්නේ එම දේශපාලන සේවාව ගැන නොව එතුමාගේ භූමිකාව පිළිබඳව බොහෝ දෙනෙකු නොදැන සිටි කතා පුවතකි.

ජීවිතයෙන් සදහටම සමුගන්නා විට අසූවන වියේ පසුවූ ලක්‍ෂමන් ජයකොඩි මහතා මිය යන තුරුම මුළු ජීවිත කාලයම දේශපාලනයට කැප කළද මගේ විශ්වාසය අනුව නම් එතුමාගේ හදවත පතුලේ - ආත්මය පුරා සැඟවී තිබුණේ ඊට වඩා විචිත්‍රවත් අධ්‍යාත්මික ගුණ සමුදායකි. ඔහු ඒ තත්ත්වයට රැගෙන ගොස්‌ ඇත්තේ කලාව හා සෞන්දර්යයයි. විශේෂයෙන් වේදිකා නාට්‍ය හා පැරණි දේශීය සංගීතය හා දකුණු ඉන්දියානු රාග තාල මිශ්‍රිත සංගීතයයි.

ඉකුත් 1996 මැයි, ජූලි හා අගෝස්‌තු මාස තුන ඇතුළත දින ගණනාවක්‌ එවකට එතුමා පදිංචිව සිටි නුගේගොඩ. නිවසේදී "දිවයින ඉරිදා සංග්‍රහයේ" මීවිත රසාංගය වෙනුවෙන් මා හා පැවැති සම්මුඛ සාකච්ඡා කිහිපයකදී පළ කළ අතීතයේ රසබර සිදුවීම් තොරතුරු හරහා ඒ බව තහවුරු කෙරිණ.

ලක්‍ෂමන් ජයකොඩි කලා ශිල්පියා ජීවිතය සිංහල සංස්‌කෘතිය, පැරණි වේදිකා නාට්‍ය හා නෘත්‍ය ගී හා සංගීත රිද්මයන් අතර කොතෙක්‌ දුරට ඇදී බැඳී ගොස්‌ ඇද්ද යන්න එදා මට සිතුනේ එතුමා මා හා සම්මුඛ සාකච්ඡාවට වැටුණු දිනක හෝරා එකහමාරක්‌ පමණ කාල වේලාවක්‌ තුළ මොහොතක්‌ හෝ අසුන් නොගෙන සිය කුටිය තුළ ඒ මේ අත ඇවිදිමින් කතා කළ විලාශයෙනි.

වරෙක හෙතෙම පැරණි නෘත්‍ය ගී කිහිපයක කොටස්‌ ගායනය කළේය. එසේම පැරණි වේදිකා නාට්‍ය හා සංගීත කලාවට අදාළ සියලුම නම් ගම් හා වකවානු මතු කළේ මතකයෙනි. එයින් මතුවූයේ කලාව කෙරෙහි එතුමා තුළ පැවැති අප්‍රමාණ භක්‌තිය සමග අව්‍යාජ හැඟීම් සමුදායයි. ඒ එක්‌දහස්‌ අටසිය ගණන්වල අග භාගය ටවර් හෝල් නාට්‍ය කලාවට පදනම වැටුණු වකවානුවයි. ටවර් හෝල් නාට්‍ය කලාවේ ආදීම නිර්මාණයක්‌ ලෙසට ප්‍රණාමය හිමිවිය යුත්තේ සී. දොන් බස්‌තියන්, නීතිඥ ජෝන් ද සිල්වා හා ලක්‍ෂමන් ජයකොඩි සූරීන්ගේ සීයාවරුන් වන චාල්ස්‌ ඩයස්‌ සහ එඩ්මන් සෙනෙවිරත්න යන හතර දෙනායි. මරදානේ ටවර් හෝල් රඟහලේ ආරම්භයත් ආර්ය සිංහල නාට්‍ය සභාවේ උපතත් සිදුව ඇත්තේ එම පැරණි ශිල්පීන්ගේ උත්සාහයෙනි.

මේ අනුව ලක්‍ෂමන් ජයකොඩි නම් වූ තරුණ කලා රසිකයාද එදා ටවර් හෝල් වේදිකා මස්‌තක ගත වූයේ එවකට ජනාදරයට පත් ප්‍රමුඛ පෙළේ දක්‍ෂ නාට්‍ය ශිල්පීන් හා එක්‌ වෙමිනි. 1996 මැයි මස 26 දින "මීවිත" වෙනුවෙන් මා හා සම්මුඛ සාකච්ඡාවට එක්‌වූ ලක්‍ෂමන් ජයකොඩි සූරීන් හෙළිකළ මේ තොරතුරු ටික එතුමාගේ වචනයෙන්ම මෙහි සටහන් කරමි. "1942 වන විට දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වුණා. ජපන්නු කොළඹට බෝම්බ දාන්න පටන් ගත්තා. එදා කොළඹ වැදගත් තැන් ආරක්‍ෂා කර ගන්නයි ආණ්‌ඩුවේ උත්සාහය වුණේ. අංගොඩ පිස්‌සන් කොටුවටත් බෝම්බ වැටුණා. අපට විශාල ප්‍රශ්නයක්‌ වුණේ ටවර් හෝල් රැක ගැනීමයි.

මේ වන විට මගේ වයස අවුරුදු 15 ක්‌ පමණ ඇති. කොළඹ නගරයට උඩින් ටෝර්පිඩෝ බෝම්බ පුරව ගෙන අහස්‌ යානා පියාඹන කොට ටවර් හෝල් එකට රැස්‌වුණු මගේ සීයා වරුන් වන චාල්ස්‌ ඩයස්‌ සහ එඩ්මන් සෙනෙවිරත්න ඇතුළු ශිල්පීන් තීරණයක්‌ ගත්ත ටවර් හෝල් එකේ හැම වස්‌තුවක්‌ම එතැනින් ඉවත් කරල ආරක්‍ෂිත තැනකට ගෙන යන්න.

ඒ අනුව පුටු - තිර - ඇඳුම් පැළඳුම් වේදිකා භාණ්‌ඩ සියල්ලම අපේ දිවුලපිටියෙ බලගල්ල වලව්වට ගෙන ගොස්‌ තැන්පත් කළා. ටවර් හෝල් වගේ ජාතික වස්‌තුවක්‌ යුද්ධයට බිලිsවෙන්න කලින් බේරා ගත්තේ ඒ ආකාරයෙන්.

ලක්‍ෂමන් ජයකොඩි වේදිකා නාට්‍ය ශිල්පියා ටවර් හෝල් රංගනයට එක්‌වූ අයුරු එදා විස්‌තර කළේ මෙසේය.

"යුද්දෙ පවතිද්දිත් නාට්‍ය පුහුණුවීම් කළේ අපේ නිවසෙ (බලගල්ල වලව්වෙ) උඩ තට්‌ටුවේ. එදා බලගල්ල වලව්ව තාවකාලික කලාගාරයක්‌ බවට පත්වුණා. "සිවම්මා ධනපාල" නාට්‍ය පුහුණු කළේත් බලගල්ල වලව්වෙ උඩ තට්‌ටුවෙ.

"වෙස්‌සන්තර, ධර්මාශෝක, සිවම්මා ධනපාල, පද්මාවතී ඇතුළු එදා ජනප්‍රිය ටවර් හෝල් නාට්‍ය ගණනාවකම මා චරිත නිරූපණය කළා. මා පත්මාවතී නාට්‍යය නිෂ්පාදනය කළේ දයානන්ද ගුණවර්ධන සමග මගේ දියණිය අරුන්දතී - "පද්මාවතී" නාට්‍යයේ පද්මාවතීගේ දියණියගේ චරිතය නිරූපණය කලා", යනුවෙන් ලක්‍ෂමන් ජයකොඩිසූරීන් එදා අප හා මොහොතකට අතීතය හා එක්‌වුණේ ඒ ආකාරයෙනි.

කලාව හා සෞන්දර්ය සිය ජීවන මගේ භූමිකාව විචිත්‍රවත් කිරීමට මෙන්ම නිහතමානී අවංක දේශපාලඥයෙක්‌ බිහිවීමට එතුමාට එය ශක්‌තියක්‌ වූ බව මගේ හැඟීමයි.

අභාවප්‍රාප්ත ලක්‍ෂමන් ජයකොඩි ශ්‍රීමතානන්ට නිවන් සුව ප්‍රාර්ථනය කරමු.

පියදාස රණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.