සංස්‌කරණය : නාරද නිශ්ශංක

නිලතලවල ට මුවාවෙලා වෙස්‌මුහුණු බැඳගෙන
ඉන්න අය ගැන මම තවමත් අනුකම්පා කරනවා

ප්‍රවීණ නළු සනත් ගුණතිලක


සිංහාවලෝකනය

ඔහු කවුද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. සනත්.., සනත් ගුණතිලක මෙතෙක්‌ කලක්‌ කළ කී දැ පිළිබඳ නොදන්නා කෙනෙක්‌ සිනමා ක්‍ෂේත්‍රයේ පමණක්‌ නොව දේශපාලන ක්‍ෂේත්‍රයේද නොමැත. දක්‍ෂ, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්‌ වන සනත් ගුණතිලකට සාර්ථක දේශපාලන ගමනක්‌ යන්නට නොහැකි වූ බවද රහසක්‌ නොවේ.මේ සාර්ථක ප්‍රවීණ නළුවා සමග අප කළ සාකච්ඡාවක සටහන් මතු පෙළ ගැසේ.

අපේ සිනමාවට සිනමා කර්මාන්තයට ලබා තිබූ අඳුරු කාලපරිච්ඡේදය නිමාවට පත්ව ඇතැයි කිසිවකු කියනවා නම් ඔබ එය පිළිගන්නවද?

නැහැ... අවංකව හදවතින්මයි කියන්නේ. එය පිළිගන්නේ නැහැ. අර්බුදය එන්නේ අද නොවෙයි හෙට. හැබැයි 2005 ට කලින් තිබූ බොහෝ අඩුපාඩු, බොහෝ ව්‍යසන මේ ජනාධිපතිතුමා යටතේ විසඳුවා. විශේෂ සහන ලැබුණා. නමුත් යුද්ධය අවසන් වුණා කියලා සිනමා කර්මාන්තයේ විශාල පිබිදීමක්‌ ආවද? චිත්‍රපට හැදෙනවා. ඒත් ඒ චිත්‍රපට හැදූ නිෂ්පාදකවරුන්ගෙන් කීයෙන් කී දෙනෙක්‌ දෙවැනි නිෂ්පාදනයට යනවද... සිනමා ශාලා වැහෙන්නේ ඇයි... ලබාදුන් සහන ප්‍රයෝජනයට නොගැනෙන්නේ ඇයි... මෙන්න මේ හේතු සරළව නෙවෙයි ගැඹුරින් අධ්‍යයනයක්‌ නොවන නිසා මට හෙට දවස ගැනනම් බයයි.


එකම ධනාත්මක කරුණ නම් සිනමාව පිළිබඳව උනන්දුවක්‌ සහ කැක්‌කුමක්‌ ඇති රාජ්‍ය නායකයෙක්‌ සිටීම. නමුත් මේ විවෘත ගෝලීය ආර්ථිකය තුළ විවිධාකාර වෙළෙඳ බලවේග තුළ අපි නිශ්චිත ප්‍රතිපත්තියක්‌ සාදා නොගෙන කරන ක්‍රියාවලිය දිගුකාලීන වශයෙන් අනතුරුදායකයි කීම මගේ හැඟීමයි. අතීතයේ සිදුවූ බොහෝ සුබදායී මෙන්ම අශුභදායී සිද්ධීන් සහ තීරණ නැවත ආවර්ජනය කරමින් සහ ඉදිරි ලෝකය තුළ සිදුවිය හැකි වෙනස්‌කම් අවබෝධකර ගනිමින් මේ රාජ්‍ය නායකයා යටතේ අපි යම් ප්‍රතිපත්තියක්‌ සකස්‌කර ගත යුතුමයි.

එක දිගට චිත්‍රපට හැදුනු පමණින් සිනමාවට යහපත් කාලයක්‌ උදාවී ඇතැයි කිව හැකිද...?

බැහැ... ඒවා පෙන්වන්නේ කොහේද. එම චිත්‍රපට නිෂ්පාදකයින් ආයෝජනය කළ මුදලවත් පියවෙනවාද... ඇත්තටම මේකට දිය හැකි උත්තරේ ඔබේ පළමු ප්‍රශ්නයට අදාළ පිළිතුරේම තියෙනවා.

හැත්තෑව දශකයේ සිටි චිත්‍රපට ප්‍රේක්‍ෂක සංඛ්‍යාව අති විශාල ලෙස පහත බසිමින් තිබෙනවා. අලුතින් ප්‍රේක්‍ෂකයන් ආකර්ෂණය කර ගැනීම කෙසේ වෙතත් දැනට සිටින ප්‍රේක්‍ෂකයින් අතළොස්‌ස හෝ රැක ගැනීමේ අභියෝගයට අප මුහුණදී සිටිනවා කීවොත්...?

ඔව්... හැත්තෑව දශකයේ චිත්‍රපට බෙදා හැරීමට සංස්‌ථාව මැදිහත් වූ පසු නිපදවෙන ඕනෑම චිත්‍රපටයක්‌ සිනමා ශාලාවල නිවැරදිව සංසරණය වීමේ ක්‍රමවේදයක්‌ තිබුණා. මා දන්නා පරිදි එය පටන් අරන් තිබෙන්නේ 1976 අප්‍රේල් 01 වැනිදා. නමුත් ඒ ක්‍රමය අසූව දශකය මුල් භාගයේ සිට අක්‍රමවත් වූවේ ඇයි... අක්‍රමවත් කළේ කව්ද? චිත්‍රපට සංස්‌ථාවක අවශ්‍යතාව කියූ ඉල්ලූ සියලුම සිනමාවේ අංශ අසූව දශකය අග භාගය වෙද්දී සංස්‌ථාවෙන් කෙරෙන සේවයක්‌ නැතැයි කියා පෞද්ගලික අංශ සමග සම්බන්ධ වීම වඩාත් යෝග්‍ය යෑයි සිතුවේ මන්ද... ඒ සංස්‌ථාවේ අකාර්යක්‍ෂමතාවය සහ වැරදි පරිපාලනයයි. එමෙන්ම පසුකාලීනව ආ විවෘත ආර්ථිකයට සරිලන ප්‍රතිපත්තියකට නොයැමයි.

නමුත් මේ තත්ත්වය උග්‍රවී සිනමාවේම වැඩි පිරිසකගේ අවශ්‍යතාවය මත බෙදාහැරීම පුද්ගලික අංශ සහ මණ්‌ඩල වෙත ලැබුණු පසු එහිදීද හැත්තෑව දශකය මුල් භාගයේ තිබූ සශ්‍රික භාවය හෝ නරඹන ප්‍රතිශතයේ ඉහළ යැමක්‌ හෝ සිදුවුණේ නැත්තේ ඇයි... අද නැවතත් සංස්‌ථාව බල සහිත ඒකකයක්‌ ලෙස ක්‍රියාකර නිෂ්පාදකයින් ආරක්‍ෂා කළ යුත්තේ ඇයිද කියා අප බල කරන්නේ ඇයි. මෙන්න මේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් සොයාගත් විට අප කළ නිවැරදි දේ සහ අප කළ වැරදි දේ අවබෝධ කර ගත හැකි යෑයි මා සිතනවා.

අපි සිනමාවේ සියලු දෙනා එකතු වී ඉදිරි තීරණ ගත යුත්තේ මේ අතීතයත් අපේ මනස තුළ රඳවා ගනිමින්.

බදු සහන, සිනමා ගම්මාන හැදූ පමණින් කර්මාන්තයේ පවතින අර්බුද නිමාවේවිද...? රජයෙන් සිනමා කර්මාන්තයට විය යුතු සේවාවන් මීට වඩා තිබෙන බව ඔබ විශ්වාස කරනවද?

මේ කළ කී දැට අපේ ගෞරවය පෞද්ගලිකව ජනාධිපතිතුමාටත්, පොදුවේ රජයටත් ලැබිය යුතුයි. නමුත් මෙවැනි දේ ලබා දීලත් විශාල ප්‍රගතියක්‌ නැති බව ජනාධිපතිතුමාටත් අවබෝධ වී ඇති බව සිනමාවේ අප රැස්‌වූ රැස්‌වීමකදි ප්‍රකාශ වුණා. එහෙමනම් මේ තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය කරන කරුණු එතුමාට සහ රජයට ඉදිරිපත් කළ යුත්තේද අප විසින්මයි. අද දවසේ තරම් සිනමා කර්මාන්තයට සම්බන්ධ කලාවට සම්බන්ධ පිරිස්‌ පාලන තන්ත්‍රීය තුළ සිටින යුගයක්‌ කවමදාවත් තිබුණේ නැහැ. යුද්ධය අවසන් වුණත් මේ රටේ සෞඛ්‍ය, අධ්‍යාපන විරැකියාව වැනි ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳිලා නැහැනේ. එහෙම විසඳන්නත් බැහැනේ. ඒවාට අනිවාර්යයෙන්ම මුල්තැන ලැබෙනවා. ඒවා එදිනෙදා ජන ජීවිතයට ඉතාම වැදගත් නිසා. කලාව සම්බන්ධ ප්‍රශ්න නිසිතැනට යොමුකිරීම කලාවට සම්බන්ධ අපේ වැඩක්‌. අපි එකිනෙකා හුදෙකලාව කතා කරනවාට වඩා සියලු දෙනා එකතුවී නිවැරදි සැලැස්‌මක්‌ සකස්‌කර ගත යුතු බව මා දිගින් දිගටම කියා සිටින්නේ ඒ නිසයි.

නළුවන්, නිළියන් කිහිප දෙනෙක්‌ම අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. විශේෂයෙන් ආණ්‌ඩු පක්‍ෂයට නළු මන්ත්‍රීවරු, නළු මන්ත්‍රීවරියන් වගේම ජනාධිපතිවරයාට උපදෙස්‌ දෙන නළුවන් සහ සංගීතඥයන්ද සිටිනවා. මේ අයගෙන් සිනමාවට, කලාවට මෙහෙවරක්‌ වේවි කියා ඔබට කිව හැකිද?

ඒ අයගෙන් මෙහෙයක්‌ වෙන්නේ නැහැ කියා කියන්න තරම් මම කවදාවත් දරුණු වෙන්නේ නැහැ. නමුත් එකතුවයි අවශ්‍ය. අපි මෙහෙම පටන්ගමු. අද චිත්‍රපට සංස්‌ථාව භාර කෙහෙළිය ඇමැතිතුමා චිත්‍රපට නිෂ්පාදකයෙක්‌. බන්ධුල ගුණවර්ධන, ජීවන් කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, රන්ජන් රාමනායක, චිත්‍රපට නිෂ්පාදකයෝ. ඒ වගේම ජීවන්, මාලිනී, රන්ජන්, රෝසි, සුජීව, උපේක්‍ෂා, ටී. බී. ඒකනායක මොන පක්‍ෂයෙන් ආවත් රංගන ශිල්පීන්. මීට අමතරව දෙපැත්තේම සිනමාවට දැඩි ලෙස ඇලුම්කරන අගමැති දි.මු, දයාසිරි, සජිත්, කුමාර වෙල්ගම, මහින්ද සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති, එස්‌. බී. දිසානායක, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි වැනි බොහෝ දෙනා පාර්ලිමේන්තුව තුළ. මොනවත් නොවේ චිත්‍රපට සංස්‌ථාවේ පළමු සභාපති සරත් අමුණුගම මහතාත්, සංස්‌ථාවේ පළමු අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජික ජී. එල්. පීරිස්‌ මහතාත් පාර්ලිමේන්තුවේ. කලාව හා සිනමාව පිළිබඳව ජනාධිපති උපදේශක තනතුරු ප්‍රථම වරට ඇතිවන්නේත් මේ ජනාධිපතිතුමා යටතේ. ඒ රවීන්ද්‍ර සහ රෝහණ. ඒ වගේම අද ඩී. බී. නිහාල්සිංහ, සුමිත්‍රා පීරිස්‌ වැනි ගෞරවණීය පුරවැසියන් මාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති කමිටු නියෝජනය කරනවා. මේ සියලු දෙනාගේ මූලිකත්වයෙන් අපි සියල්ල එක්‌රැස්‌ වුණොත් මේ ප්‍රශ්නවලට පිළිතුරු නැද්ද?

ඔබ දේශපාලන වශයෙන් බලවත්ව සිටි කාලයේදී ආණ්‌ඩුව විසින් රුපියල් කෝටි ගණනක්‌ වටිනා රසායනාගාර යන්ත්‍ර කිහිපයක්‌ මෙරටට ආනයනය කළා. ඒවා කෝ...?

මේ ගැන මම කතා කළාට ලිවීමේ අයිතිය තිබෙන්නේ ඔබට. මේ පිළිබඳව අඩු නැතිව සටහන් කරන්න. රජයේ චිත්‍රපට අංශයේ වර්ණ රසායනාගාරය සඳහා නවීන උපකරණවලට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රංශයෙන් ලබා ගැනීමේ කටයුත්ත අනූපහ දෙදහස කාල සීමාව තුළ පැන නැඟුණා. එහිදී මගේ සහාය ආවේ එම කටයුත්ත සඳහා ප්‍රංශ ආධාර ලබා ගැනීමේදි ප්‍රමුඛතා ලැයිස්‌තුවට මෙය ඇතුළත් කර ගැනීම. ඒ සඳහා රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්‍ෂ ලාල් වික්‍රමආරච්චි මහතා මගෙන් උදව් ඉල්ලා සිටියදී මම ඉතා උනන්දුවෙන් එය ඉටුකළා. මේ කාරණාව එකල ක්‍ෂේත්‍රයේ සියලු දෙනාම දන්නා දෙයක්‌. ඒ කාලේ මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සිට සියලුම දෙනා එය දැන සිටියා. මෙය රජයකින් රජයකට ලැබුණු ආධාරයක්‌, ණයක්‌. මා ඒ කටයුත්තට උදව් කළ පසුව පසුකාලීනව මා සේවයේ නොමැති කාලයේ දෙදහසෙන් පසුව රජයේ චිත්‍රපට අංශයේ සිදුවූ වෙනස්‌වීම්, මාරුකිරීම්, පරීක්‍ෂණ, සීල් තැබීම්, කිසිම දෙයක්‌ දන්නේ නැහැ. වරදක්‌, අලාභයක්‌ හෝ අකටයුත්තක්‌ සිදුව ඇත්නම් ඒ පිළිබඳ නීතිමය අන්දමින් කටයුතු කරන්නැයි පසුකාලීනව සහ මෑතකදීත් මා ලිතව දැන්වූවා. එදා මා ඒ සහාය නොදුන්නා නම් චිත්‍රපට කර්මාන්තයට සහාය නොදෙන ෙද්‍රdaහියෙක්‌ ලෙස සලකන්නේ නැද්ද... කොහොම වුණත් මේ අක්‍රමිකතාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපතිතුමා ඉදිරියේ 2007 දී චෝදනා කළා. එය ඔහු ද්වේශ සහගතව කළා කියා එදා මා හිතුවත් අද මා ඔහුට ස්‌තුතිවන්ත වෙනවා. ඒ කෙළින්ම මූණට නොකියා හැංගි හැංගි මේ ගැන කතාකරන අය සිටිය බව මා නොදැන සිටි නිසයි. නමුත් ජනාධිපතිතුමා ඒ අවස්‌ථාවේදී මට කරුණු කියන්න අවස්‌ථාවක්‌ උදාකර දුන්නා. මට හැකි වුණා මගේ නිර්දෝෂීභාවය කර්මාන්තයේ සියලු දෙනා ඉදිරියේ පවසන්න. එයින් නොනැවතුනු මා මේ පිළිබඳ සොයා බැලුවා. වර්තමාන ජනමාධ්‍ය ලේකම්තුමා මේ සිද්ධිය දන්නවා. මේ පිළිබඳ පත්කර ඇති කමිටුවේ ප්‍රධානී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ මහතාත් දන්නවා. මට අදත් අවශ්‍ය ඇත්තටම සිදුවූ දේ ලෝකයාට හෙළි කරන්න. ධාරිතාව, ප්‍රමාණය වැඩි උපකරණ, අධිවේගී උපකරණ ගෙන ඒම නිසා ඒවා පාවිච්චියට නුසුදුසු බව තමයි ප්‍රධාන මතය. රසායනාගාර තාක්‍ෂණය ගැන මම දන්නේ නැහැ. ඒත් මම සොයනවා සිදුවූ අපරාධය සම්බන්ධයෙන්. මේ අතරේදී තමයි මට ඔය උපකරණ නිපදවන සමාගමේ මෙරට ඒජන්ත ඩි. විදානගේ මහතා හමුවන්නේ. මේ උපකරණ භාවිතා නොකිරීම ගැන ඔහු දොස්‌ පැවරුවා. ඒ පිළිබඳ දැඩි කෝපයකින් ඔහු ඉන්නේ. මා මෙය හෙළි කරන්නේ ඒ නිසයි. සිනමාව පිළිබඳ උනන්දු මාධ්‍යවේදීන් මේ පිළිබඳ සොයා බැලිය යුතුයි. ප්‍රවීන් ජයරත්න වැනි පෞද්ගලික රසායනාගාර ශිල්පීන් වගේම සරසවි චිත්‍රාගාරයේ ප්‍රධානියා වැනි අයගෙනුත් මේ ගැන තොරතුරු ගන්න පුළුවන්

ඔබ ජනපතිවරු හතර දෙනෙක්‌ යටතේ දේශපාලන පත්වීම් ලැබ සේවය කළ පුද්ගලයෙක්‌. ඡේ. ආර්. ප්‍රේමදාස, විඡේතුංග යන එජාප ජනාධිපතිවරු පමණක්‌ නොවේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනපතිනිය යටතේ ඔබ සමීපව කටයුතු කරන්න තරම් උපක්‍රමශීලී වුණා. අද ජනාධිපතිවරයාත් ඔබේ සමීප හිතවතෙක්‌. ඒත් ඇයි දේශපාලනමය වශයෙන් ඔබ නිහඬ?

ඔබේ ප්‍රශ්නය වැරදියි. මම තනතුරක්‌ ලෙස දැරුවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ මාධ්‍ය උපදේශක ලෙස පමණයි. අනෙක්‌ අවස්‌ථාවල මම පෙරකී අනෙකුත් ජනපතිවරු තිදෙනා සමග සෘජුව කටයුතු කිරීමේදී ගාමිණී දිසානායක මහතාගේ මාධ්‍ය උපදේශක හා පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසයි වැඩ කළේ. ඔබේ උපක්‍රමශීලී කියන වචනයත් වැරදියි. එහෙම නම් මම මේ ජනාධිපතිතුමා ළඟ වැඩනේ. සිනමාව සම්බන්ධව ඔබ ඔය කී ජනාධිපතිවරුන්ට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අගමැතිවරු සමගත් මා කිට්‌ටුවෙන් වැඩ කළා. එකඟ වුණා. විරුද්ධ වුණා. නමුත් ඒ හැම දේකම මූලික බලාපොරොත්තුව වුණේ සිනමාවේ අභිවෘද්ධියයි. මා ජයගත් අවස්‌ථා මෙන්ම පැරදුණු අවස්‌ථාත් තියෙනවා. මේ ජනාධිපතිතුමා තමයි ඇත්තටම පක්‍ෂ භේදයෙන් තොරව මා හඳුනාගත් පළමු දේශපාලනඥයා. අසූව දශකය තුළ මට එතුමාව නිරන්තරයෙන්ම හමුවුණා.

පසුකාලීනව එහෙම සම්බන්ධ කම් නොතිබුණත් මා එතුමා හමුවූ හැම අවස්‌ථාවකම මාව මඟ හැරියේ නැහැ. මා ඉගෙන ගත් කිංග්ස්‌වුඩ් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අගමැති ලෙස පැමිණියේ මගේ ආරාධනාවටයි. ඒ වගේම එතුමා යම් යම් අවස්‌ථාවල මාව යම් යම් දේශපාලන වැඩවල යෙදෙව්වා. ඒ සියල්ල මා සතුටින් කළා. ඒ හැර මා කිසි දෙයක්‌ එතුමාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. මා එතුමාට කරදර කරන්න යන්නේත් නැහැ. නමුත් මගේ ගැටලුවකදී, ප්‍රශ්නයකදී එතුමා මට උදව් කරයි කියන විශ්වාසය මට තියෙනවා.

ඔබ වඩාත් ආන්දෝලනාත්මක චරිතයක්‌ බවට පත් වුණේ චන්ද්‍රිකා රජය කාලයේදී. චන්ද්‍රිකා ජනපතිනිය යටතේ ඔබ දේශපාලන බලය අයුතු ලෙස පාවිච්චි නොකළ බවට සහතික වෙන්න පුළුවන්ද?

මම ආන්දෝලනාත්මක චරිතයක්‌ වුණේ "විරාගය" රඟපෑ කාලයේදී, සහ නිළියන්ට පෙම් කළ කාලයේ. නැතිව ඔබ කියන දේවල්වලට නොවේ. අනිවාර්යයෙන්ම මම බලය අයුතු ලෙස පාවිච්චි නොකළ බවට සහතික වෙන්න පුළුවන්.

කොහොම කීවත් ඒ කාලයේ නළුවෙක්‌ය යන මානසිකත්වයේ සිට කටයුතු නොකළ ඔබ අද සිනමාවට, ශිල්පීන්ට විතරක්‌ නොවේ මාධ්‍යවේදීන්ටත් පුදුමාකාර ආදරයක්‌ පෙන්වන්නෙකු බවට පත්වෙලා. මේකත් මවා පෑමක්‌ හෝ රංගනයක්‌ද?

මෙය මවා පෑමක්‌ හෝ රඟපෑමක්‌ නම් ක්‍රියාශීලී තරුණ මාධ්‍යවේදීන් මාව පුවත්පත්වලින්ම හම ගහලා එල්ලලා මරා දමයි... නමුත් ඔවුන්ගේ හෘද සාක්‍ෂිය එය දන්නා බැවින් මා එසේ නොවන බව දන්නවා. එනිසා ඔවුන් මාව එල්ලන්නේ නැහැ. මම කැමතියි ඔය බලය ගැන ඔබ සමග දීර්ඝ සංවාදයක යෙදෙන්න. ඔබ ඔය අනියම් අර්ථයෙන් කියන බලය ගැන කතා කරන්න මට අවස්‌ථාවක්‌ ලබාදෙන්න. මා තවම එසේ කතා නොකරන්නේ මේ සමාජයේ වෙස්‌ මුහුණු බැඳගෙන නිලතලවලට මුවාවී සිටින සමහරුන් ගැන තවම අනුකම්පා කරන නිසයි.

ඔබ අපට සිටින ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨ නළුවෙක්‌. ඒත් චරිත තෝරා බේරා නොගෙන ලැබෙන හැම චිත්‍රපටයකටම ඔළුව දා ගන්නා තත්ත්වයට ඔබ පත්ව සිටින බවට චෝදනා එල්ල වෙනවා?

දැන් හැරිලා බලන්න අද පෙන්වන බඹර වළල්ලේ, පුංචි භූතයා, සුවඳ දැනුනා ජීවිතේ, ඉරහඳයට කියන චිත්‍රපටවල මම ඉන්නවද? මගේ ඊළඟට එන්න තියෙන්නේ සංගිලි පමණයි. මම පෙනී සිටි චිත්‍රපටවල ඉදිරිපත් කරන්නේ සැබෑ දායකත්වයක්‌ හා රංගනයක්‌ බැවින් එය මාධ්‍යයට නිරාවරණය වෙනවා. ඒකට මට කරන්න දෙයක්‌ නැහැ.

අතීතයේ සිදුවූ ඇතැම් සිද්ධීන් ගැන ඔබ අද කනගාටු වෙනවාද... විශේෂයෙන් ඔබට අහිමිවූ දේ පිළිබඳව...?

අතීතය පිළිබඳ කම්පා නොවන කෙනෙක්‌ නැහැනේ. මට අහිමිවූ සමහර දේ ගැන මම දුක්‌වෙනවා තමයි. හැබැයි මට අහිමි වෙලා වෙන අයට හිමිවූ දේ දකිද්දී ඒ හිමිකර ගත් අය කන කෑම දකිද්දී මට මා ගැන ඇතිවන්නේ පුදුමාකාර සුවදායක හැඟීමක්‌.

ඔබේ ජීවිත කතාව පොතක්‌ වශයෙන් එළිදක්‌වන බව කලකට පෙර කියා තිබුණා. ඒ පොත කෝ... ඔබේ ජීවිත කතාව ලිවීමේ කාර්යයට ඔබම වාරණයක්‌ දමා ගත්තාද?

නෑ... කිසි වාරණයක්‌ නෑ. වාරණය තවම කල් ගන්නේ මාධ්‍යවේදීන් පිරිසක්‌ නිසා. ඔවුන් පොත ලියන්න කලින් ඒ ගැන අනාවැකි කියනවා. පොඩ්ඩක්‌ ඉවසා ඉන්න මම ඒක ලියනවා.

ඔබ හිතනවද ඔබ සම්පූර්ණ පුද්ගලයෙක්‌ කියලා. ජීවිතය ගෙවද්දී ඔබට අඩුවක්‌ දැනෙන්නේ නැද්ද?

සර්වතෝ බද්ධවෙලා හිටියේ බුදුහාමුදුරුවෝ විතරයි. අපි මොන සම්පූර්ණ මිනිස්‌සුද. ආගම ධර්මය අදහන නිසා අතක්‌ පයක්‌ නොකැඩී ඔක්‌කොම "පාර්ට්‌ස්‌" එක්‌ක ඉන්නවා. නැත්නම් මා ගැනවත් නොහිතා රඟපෑ සමහර චිත්‍රපටවල හැටියට දැන් යන්න වෙන්නේ හොම්බෙන්.

මේ ලිපිය අවසන් කරන්න පෙර කියන්න රංගන ජීවිතයේ ඔබේ පරමාදර්ශී චරිතය කුමක්‌ද කියලා.

ටෝනි රණසිංහ.

හේතුව...?

අදත් අපි පිළිගන්නවා ගාමිණී, ජෝ, ටෝනි... ඒත් ටෝනි පැමිණි කාලයේ තමාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් සිටි සහ තවත් පරිසරයන් තිබූ ගාමිණී ජෝ යන රංගනවේදින් දෙදෙනාගේ තැනට අනෙක්‌ අය අභිබවා ආවා. හෙන්රි ජයසේන, එච්. ඩී. කුලතුංග, ඩොමි ජයවර්ධන, පියදාස ගුණසේකර වැනි චරිතාංග නළුවන් අතරෙත් ඔහුට පසු පරම්පරාවෙන් ආ විජය, රවී වැනි තාරුණ්‍යය නියෝජනය කළ නළුවන් අතරෙත් ඔහු සිටියේ තම රංග ප්‍රතිභාව විදහා දක්‌වමින්. අදටත් ඔහු ඒ දේ කරනවා. අදටත් ඔහුට වැරදුනුතැන් කිරීමට බැරිවූ දේ ගැන අධ්‍යයනයක යෙදෙනවා. ඒ වගේම තමන් අතින් සිදුවූ යම් යම් අතපසුවීම් ආවර්ජනය කරමින් ඒ වැරදි අපට නොකරන ලෙස අවවාද දෙනවා. ඔහු ඉතාම සරලයි, සුන්දරයි, නිහතමානියි.

සංවාද සටහන
අජිත් අලහකෝන්

ඡායා : නිශාන් එස්‌. ප්‍රියන්ත, සුජාතා ජයරත්න

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.