සංස්‌කරණය : නාරද නිශ්ශංක

ඉර හඳ යට

"ඉර හඳ යට" හි ප්‍රචාරක පාඨය වනුයේ "පෙම්වත් සිත මුසපත් කළ මිනිසත්කම" යන්නයි. ඉන් හැඟී යන්නේ "ඉර හඳ යට" ස්‌ත්‍රී පුරුෂ ප්‍රේමය ම මුල් කර ගත් සිනමාපටයක්‌ බවය. ඊට ගෙවුණු යුද සමය ද විෂය වන බව කියෑවේ. යුද සමය, ස්‌ත්‍රී - පුරුෂ ප්‍රේමය නිරූපණය කිරීමට බාධකයක්‌ විය යුතු නැත. යුද සමයක පිබිදුණු පෙම් පුවත් සුපුරුදු ය. සුලබය. එහෙයින් ම රසික ජනයාගේ බලාපොරොත්තුව වන්නේ මෙතෙක්‌ නොදුටු සොඳුරු පෙම් පුවතක්‌ යුද සමය ආශ්‍රිතව දකින්නටයි. අපූර්වත්වයකින් යුතුව එය වටහා ගන්නට යි.

රසිකයාගේ මේ අපේක්‌ෂාව කොතෙක්‌ දුරට සාක්‌ෂාත් වන්නේ ද යන්න විමසීම "ඉර හඳ යට" විමසීමේ කර්තව්‍යය ම වෙයි. මන්දයත් "ඉර හඳ යට" පවුලේ සැමටම නැරැඹීමට සුදුසු සිනමාපටයක්‌ බව හඟවන වදන්ය. ප්‍රචාරක කාර්යයේදී ද ඒ බව තහවුරු කෙරේ.

සිනමාකරු - බෙනට්‌ රත්නායක මුල සිටම මුහුණ දෙන අභියෝගය වන්නේ යුද සමය හා පෙම් පුවතක්‌ අතර ගැඹුරු සබඳතාවක්‌ සහතික කිරීමයි. එය සිනමාපටයේ ඒකමිතිය කෙරෙහි තීරණාත්මකව බලපාන කාරණයකි. ඉන් කියෑවෙන්නේ විශ්වසනීයත්වය සුරක්‍ෂිත කළ යුතු බවයි. මෙතැනදී මතු කෙරෙන තත්ත්වයක්‌ රසික සහභාගිත්වයට අදාළ ආකල්ප නිර්මාණය කිරීම සමග බැඳේ.

සිනමා පටය ආරම්භ වන්නේ රසිකයා ග්‍රහණය කර ගන්නට සමත් ක්‌ෂණික ඡේදන බහුල රූපාවලියක්‌ සමගිනි. නාමාවලිය තිරය මතට ගෙන ඒම රසික සහභාගිත්වයට පහරක්‌ විය හැකි යෑයි බෙනට්‌ කල්පනා කරන්නට ඇත. රතු පැහැති කැබ් රථයක්‌ උතුරට දිවෙන මාර්ගයේ ධාවනය වෙයි. ජව සම්පන්න තරුණයකු එය පදවයි. පසෙකින් සුකුමාල ළදැරියකි. යුද හමුදා ට්‍රක්‌ රථ පෙළක්‌ද යම් හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරා ඇදෙයි. ඊට සමාන්තරව ධාවනය වන්නේ පෙම් යුවළක්‌ රැගත් යතුරුපැදියකි. එළවලු පටවා ගත් කුඩා ටිපර් රථයක්‌ද දර්ශනය වේ. මේ පෙර කී හමුදා හුවමාරු මධ්‍යස්‌ථානය කරා යන බෝම්බ සහිත එල්. ටී. ටී. ඊ. රථයකි. උතුරේ එල්. ටී. ටී. ඊ. මුර කපොල්ලකින් පැන දකුණට ඒමට වැර දරන සුන්දර යුවතියක ද වෙයි. ඈ එල්. ටී. ටී. ඊ. වෙඩි පහරකට ලක්‌ වන්නේ කැබ් රථයේ හුන් ළදැරිය තිගැස්‌සවමිනි.

බෙනට්‌ ඉක්‌මනින්ම මේ රූපාවලිය නිරූපිත රිද්මයෙන් බැහැර වෙයි. රසිකයාට හැඟෙන්නේ නාමාවලියට පසුව සිනමාපටය යළි ඇරැඹෙන්නාක්‌ මෙනි. සිනමාපටය ගැන විමසිලිමත් ව, කුතුහලයෙන් බැඳුණු රසිකයා දැන් සිටින්නේ ඒවා බැහැර කරන ෙච්තනාවෙනි. කුතුහලය දැන් නැත. විමසිලිමත් වීම අවශ්‍ය නොවේ. බෙනට්‌ගේ රූප රාමු නරඹනවා හැර අන් මැදිහත්වීමක්‌ රසිකයා අපේක්‍ෂා නොකරයි.

දැන් නිරූපණය කෙරෙන්නේ බිහිසුණු යුද ගැටුම්ය. එය රසිකයා තුළ විශ්වාසයක්‌ ඇති කරන අන්දමින් ප්‍රතිනිර්මාණය කරන්නට බෙනට්‌ දරන උත්සාහය කැපී පෙනේ. යුද්ධය සතු ජීවිතය හා මරණය අතර සංවාදය රසිකයාට ඇසෙන්නට පටන් ගනී. ප්‍රහාරයට ලක්‌ වූ කනිෂ්ඨ හමුදා නිලධාරියකු වන රතට පිහිට වන්නේ ඔහුට වඩා උසස්‌ හමුදා නිලධාරියකු වන මහසෙන්ය. මහසෙන්ද එල්. ටී. ටී. ඊ. වෙඩි පහරකින් තුවාල ලබයි. ඔහුට උපකාර කරන්නේ රතය. පසුව රත එල්. ටී. ටී. ඊ. අත්අඩංගුවට පත් වෙයි. නොවිඳිනා දුක්‌ විඳියි. මහසෙන් පිළිබඳ තොරතුරු එල්. ටී. ටී. ඊ. සංවිධානයට රත පවසන්නේ අහිතකින් නොවේ. මහසෙන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමේ අදහසිනි. එහෙත් එල්. ටී. ටී. ඊ. ඉල්ලීම් නොතකන මහසෙන්ට සිදු වන්නේ ජීවිතයෙන් පලා යන්නටය. මහසෙන්ගේ පෞද්ගලික ඉල්ලීම් ඉටුකරනු පිණිස කැප වන්නේ එල්. ටී. ටී. ඊ. අත්අඩංගුවෙන් මිදුණු රතය.

සිනමාපටයේ මුල් අඩම වෙන් වන්නේ මේ කරුණු කාරණා නිරූපණය වෙනුවෙනි. යුද සමයේ පෙම් පුවතක්‌ එතැනට නොඑයි. පෙම් පුවතක අසිරිය දකින්නට සිනමාහලට ආ රසිකයා නොඉවසිලිමත් වෙයි. පෙම් පුවත ඇත්තේ කොහේද? කොතැනද? රතට පෙම්වතියක සිටින බව කියෑවේ. මුල් රූපාවලියෙන් පෙන්වූ උතුරේ යුවතිය කවුද? ඈ මහසෙන්ගේ බිරිඳ බවයි පසුව සඳහන් කරන්නේ. මහසෙන් හා මේ යුවතිය - කිරුබා අතර ඇති ඇයි හොඳයිකම දුර දිග නොයන්නකි. ඉක්‌මනින්ම ඔවුහු විවාහ වෙති. එසේ නම් පෙම්වත් සිත මුසපත් කළ මිනිසත්කම" ට අදාළ වන්නේ රත හා පෙම්වතිය අතර සබඳතාවද? මහසෙන් හා කිරුබා අතර ආදරණීය බැඳීමක්‌ තිබෙන බව සැබෑවකි. එය සිනමාපටය තුළ ඊට හිමිවන්නේ මුල්තැනක්‌ නොවේ. රත හා කිරුබා අතරද ආදරයක්‌ නූපදියි.

කෙසේ නමුදු බෙනට්‌ ස්‌ත්‍රී - පුරුෂ පෙම් සබඳතා පිළිබඳ කතිකාව තුළ රැඳී සිටින්නට දරන්නේ මහත් වෙහෙසකි. මුල් රූපාවලියේ නිරූපිත එල්. ටී. ටී. ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්‌ වන්නිය කිරුබා බව බෙනට්‌ පවසයි. දැරියගේ තිගැස්‌සීම බෙනට්‌ භාවිත කරන්නේ මහසෙන් හා කිරුබා අතර බැඳීමේ ස්‌වභාවය ගැන යම් අදහසක්‌ ඉදිරිපත් කරමිනි. දැරිය උපන්නේ මහසෙන් හා කිරුබා ගේ ආදරයේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි. එහෙත් දිගින් දිගටම යුද පිටියට අදාළ දැ නිරූපණය කරන හෙයින් ස්‌ත්‍රී - පුරුෂ ප්‍රේමය පිළිබඳ කතිකාව යටපත් වන සැටියක්‌ පෙනේ. එය යාන්තමින් නැඟී සිටින්නේ පසු අර්ධය ආරම්භයත් සමගය. මහසෙන්ගේ අතීත ජීවිතයත්, ඔහුට කිරුබා මුණ ගැසෙන ආකාරයත්, ඔවුනතර සිදුවන හදිසි විවාහයත්, මහසෙන්ගේ මව හා සොයුරිය ඊට දක්‌වන එකිනෙකට වෙනස්‌ ප්‍රතිචාරත් ඇසුරෙන් ස්‌ත්‍රී පුරුෂ ප්‍රේමය ගැන කතා බහක්‌ නොපැමිණෙනවා නොවේ. එහෙත් ප්‍රධාන චරිතය සේ ඉස්‌මතු කෙරෙන්නේ මහසෙන් නොව රතය. සිමනා පටයේ සමස්‌තය එය අවධාරණය කරයි. රත සම්බන්ධ වන ගැඹුරු ප්‍රේමණීය බැඳීම කුමක්‌ද? හුරු බුහුටි නාගරික යුවතියක හා ඇති පෙම් සබඳතාව කෙතරම් ගැඹුරුද? ඒ පිළිබඳ විවරණයකට බෙනට්‌ නොඑයි. රත, මරා දැමුණු මහසෙන්ගේ බිරිඳ, මව හා සොයුරිය අතරට පැමිණෙන්නේ ද නව ප්‍රේමණීය බැඳීමකට අවකාශ සලසකමින් නොවේ. යුද පිටියේ බිහිසුණු බවත්, අවදානම් සහගත නිසල බවත් හසුකර ගන්නට සමත් වන බෙනට්‌, රත - මහසෙන්- කිරුබා ඇතුළු චරිත අතරට වැද ඔවුන්ගේ මානුෂීය මුහුණුවර දකින්නට සුදුසු වැඩපිළිවෙළක්‌ නිර්මාණය කර නොගන්නා බවද වරෙක සිතේ.

එක්‌කෝ "ඉර හඳ යට" ගෙවුණු යුද සමය අලලා නිර්මිත සිනමාපටයක්‌ විය යුතුව තිබිණිs. බෙනට්‌ යුද සමයේ ඒ ඒ කාලවකවානු පිළිබඳ ඉඟි කරන්නට උනන්දු වෙයි. එය රසික සහභාගිත්වයට පහසුවකි. යුද්ධයේ නැඟ ඒමත්, බැස යැමත් බෙනට්‌ගේ අවධානයට ලක්‌ වන්නේ වාර්තානුරූපීව නොවේ. හැකි පමණින් නිර්මාණශීලීව මැදිහත් වන්නට බෙනට්‌ යන්න දරා ඇත.

පාත්‍ර වර්ගයාගේ බාහිර රූප නිශ්චයකර ගැනීමේදී ද බෙනට්‌ තමා සතු ප්‍රකාශන හැකියාව පෙන්නුම් කරයි. යුද්ධයේ භයංකර බවත්, ආදරයේ මිහිරත් ඔහු සමීප රූප ඇසුරෙන්ම දකින්නේ මේ සිනමාපටයක්‌ ම බව පවසමිනි. මහසෙන් - කිරුබා විවාහ මංගල්‍ය අවස්‌ථාවට අදාළ රූපපෙළ යුද පිටිය නිරූපිත අවස්‌ථාවලට අතිරේකව බෙනට්‌ රූප රචනයේදී සමත්කම් පෑ හොඳම අවස්‌ථාවයි.

පොදු රසිකයා කේන්ද්‍ර කරගත් සිනමාපටයක්‌ වීම නිසා රංගන ශිල්පි ශිල්පිනියන්ගේ කුසලතා කෙරෙහි බෙනට්‌ දැක්‌වූ අවධානයද සැලකිල්ලට ලක්‌කළ යුත්තකි. නවක ශිල්පි ශිල්පිනියන් සමගම ප්‍රවීනයන්ද බෙනට්‌ ගේ තෝරා ගැනීමට ලක්‌ ව ඇත. එහෙත් ප්‍රවීණයන්ට ප්‍රබල රංගන කාර්යයක නිරත වීමේ අවස්‌ථා නොලැබුණු බව පෙනේ. ඒ බෙනට්‌ගේ අතපසු වීමක්‌ නිසා නොවේ. සිනමාපටය ඊට ඉඩක්‌ ලබා දී නැත. ඊට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ චරිත බහුල වීමයි. සෞම්‍ය ලියනගේ, මහසෙන්ගේ චරිතය වඩාත් යථාර්ථවාදීව නිරූපණය කරන්නට උත්සාහ කරයි. එහෙත් සෙසු චරිතද ප්‍රබලය. රත, කිරුබා ඇතුළු සෙසු චරිත නොවැදගත් වන බවක්‌ නොපෙනේ.

මහසෙන්ගේ චරිතය සතු විශේෂතා කිහිපයකි. ඔහු යුද්ධයේදී දුබලයාව ආරක්‍ෂා කරයි. ස්‌ත්‍රීනට හා වැඩිහිටියන්ට ආදරය - කරුණාව දක්‌වයි. කිරුබාගේ දිවි ගැලවෙන්නේ ඔහු තම ප්‍රධානියාට එරෙහි වීම නිසාය. එසේම ඔහු නොපැකිලිව කිරුබාව විවාහ කර ගනියි. තමා සුවපත් කළ එල්. ටී. ටී. ඊ. කණ්‌ඩායමට ද ඔහුගේ ස්‌තුතිය හිමිවේ. එහෙත් එල්. ටී. ටී. ඊ. යට එරෙහි ඔහුගේ දැක්‌ම කිසි ලෙසකිනුදු වෙනස්‌ නොවේ. ඔහු මිය යන්නේ එඩිතරවය. සංවේදී සිත් ඇති සෙස්‌සන්ද මොහොතකට වුව හඬා වට්‌ටවමිනි.

මහසෙන් සතු ප්‍රතිපත්ති ගරුක බවට යටින් ඇත්තේ සංකීර්ණ තත්ත්වයකි. එය ආදරය හා අරමුණු අතර දොaලනය වීමක්‌ නොවේ. ජීවිතය එකම තැනකට ගෙන්වා ගැනීමකි. සිනමාකරු මෙතැනට පිවිසීමේ අරමුණු පෙන්නුම් කරන්නේ හැල හැප්පීම් මධ්‍යයේය. යුද පිටිය සේම රතගේ චරිතයද ඔහුට යම් බාධාවක්‌ ගෙන දෙයි.

මහසෙන්ගේ චරිතය තරමටම වැදගත් විය හැකි චරිතයක්‌ද බෙනට්‌ නිර්මාණය කරයි. ඒ එල්. ටී. ටී. ඊ. නායිකාවක වන භානුය. කෞෂල්‍යා ප්‍රනාන්දු මේ චරිතය මැනවින් නිරූපණය කරන්නට අර අඳින බව පෙනේ. දවටන වලින් තොරව ජීවිතයේ සොඳුරු තැන්ද, අඳුරු තැන්ද කියවන්නට භානුගේ චරිතයද පිටිවහලකි. රත, මහසෙන්, කිරුබා හා භානුගේ චරිත සමාන්තරව විකාශය කිරීමේ අවශ්‍යතාවක්‌ද සිනමාපටය ඉඟිකරයි. සටන් විරාම අවස්‌ථාවක එල්. ටී. ටී. ඊ. මුරකපොල්ලක්‌ පසුකරන රතට භානු මුණ ගැසේ. මිනිසත්කමට අයත් බොහෝ යහපත් දෑ රත තුළ මෙන්ම භානු තුළ ද ඇති බව සිනමාකරු පවසන්නේ සිනමාපයටය තවත් දුර රැගෙන යා හැකි බව ඉඟි කරමිනි.

"ඉර හඳ යට" සිනමාපටය නිමා වන්නේ රසිකයා තුළ ප්‍රශ්න කිහිපයක්‌ම ජනිත කොටය. කිරුබාට කුමක්‌ වීද? ඇය එල්. ටී. ටී. ඊ. ප්‍රහාරයෙන් මිය ගියේද? ඇගේ දියණිය රත භාරයට පත්වන්නේද? රත පෙම්වතිය හා විවාහ වන්නේද? අනුන්ගේ දරුවකු හදාවඩා ගැනීමට ඇය කැමති වන්නේද?

සිනමාකරු මේ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු ලබා දිය යුතු නොවේ. එක අතකට සිනමාපටය ඇසුරෙන් - එහි එන පුවත ඇසුරෙන් ජනිත වන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම සිනමාකරුවකුගේ කාර්ය භාරය නොවේ. කෙසේ වුණද, රසික කේන්ද්‍රීය සිනමාපටයකදී චරිත සමග රසිකයා ගොඩනඟා ගන්නා බැඳීම විසින් මතු කරනු ලබන පෙර කී මාදිලියේ ප්‍රශ්න අරබයා සැලකිලිමත් වීමත් සිනමාපටයට අගතියක්‌ සිදු නොවන බව පැහැදිලිය.

බෙනට්‌ගේ ප්‍රයත්නය නොසලකා හැරිය යුතු නැත. මේ ඔහුගේ තෙවන වෘත්තාන්ත සිනමාපටය යි. තමා ඒකාකාර සිනමා භාවිතයකට මනාප නොවන බව බෙනට්‌ හොඳින්ම පවසන්නේ "ඉර හඳ යට" සමගිනි. එසේම "ඉර හඳ යට" ඔහුගේ සිනමා භාවිතයේ වර්ධනීය අවස්‌ථාවක්‌ ද නොවේ. පසුබෑමක්‌ ද නොවේ. "ඉර හඳ යට" බෙනට්‌ගේ පූර්ව සිනමාපට වන "අස්‌වැසුම" හා "සුළඟ" සමග සාකච්ඡා කිරීම අනුචිතය.

තුසිත ජයසුන්දර

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.