ඒකාධිපති? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 18 වැනි සංශෝධනය ඡන්ද 161 කින් සම්මත කර ගැනීම මගින් පහත සඳහන් ප්‍රතිඵල ඇති වී යෑයි අපට පෙනී යයි. එනම්, * ආණ්‌ඩුවේ දේශපාලන අත්තිවාරම තවදුරටත් ශක්‌තිමත් වී ඇති බව. * සමස්‌ත එ.ජා.ප.ය තුළ කිසියම් වරදක් ඇති බව සහ එ.ජා.ප ය එම පක්‍ෂය තුළ පවත්නා සෝදාපාළුව වහා වළක්‌වා නොගත හොත් රනිල් වික්‍රමසිංහ සහ තිස්‌ස අත්තනායක හැරුනු කොට සෙසු එ.ජා.ප. මන්ත්‍රීන් සියලු දෙනා විපක්‍ෂයේ අසුන් ගැනීමට ඉඩ ඇති බව. * ජනතා විමුක්‌ති පෙරමුණේ සටන්පාඨ තවදුරටත් වලංගු නැති බව. * ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හෝ දෙමළ සන්ධානය පාර්ලිමේන්තුව තුළදී තීරණාත්මක බලවේග නො වන බව. දහඅටවැනි සංශෝධනය විවිධ දේශපාලනඥයන් විසින් විවිධාකාරයෙන් අර්ථ කථනය කරන ලදී. මෙහිදී කිසියම් ආකාරයකින් සැලකිල්ලට ගත හැකි විග්‍රහයක් කෙරුණේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වෙතිනි. මේ සංශෝධනයෙන් පසු ඒකාධිපති ආණ්‌ඩුවක් තහවුරු වුවහොත් විප්ලවයක් හෝ හමුදා කුමන්ත්‍රණයක් ඇති විය හැකි බව ඔහු කීය. ඒකාධිපති පාලනයක් යම් හෙයකින් ඇති වුව ද (එබන්දක් කිසි කලෙකත් ඇති නො වේවා) එහි වගකීම ද විපක්‍ෂය භාර ගත යුතු ය. මේ සංශෝධනය පැරදවීමට තරම් ශක්‌තියක් විපක්‍ෂයට නැති විය. තම බැරිකම වසා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ලොකුම විපක්‍ෂය වන එ.ජා.ප.ය කළේ කුමක්‌ද? සංශෝධන යෝජනාව ඉදිරිපත් කරන විට පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ය. ආණ්‌ඩුව 18 වැනි සංශෝධන යෝජනාව ජයග්‍රහණය කළේ එ.ජා.ප.ය පාර්ලිමේන්තුව වර්ජනය කළ නිසා නො වන බව හැමෝම දනිති. ජනතා විමුක්‌ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියා සිටියේ මෙය දාරක ප්‍රේමය වෙනුවෙන් ගෙනා මාරක සංශෝධනයක් බවය. කවර ප්‍රේමයක් වෙනුවෙන් වේවා, ආණ්‌ඩුව මේ සංශෝධනය ජයග්‍රහණය කර අවසන් ය. උග්‍ර වාමාංශිකයන් වූ වාසුදේව නානායක්‌කාර සහ තිස්‌ස විතාරණ යන මන්ත්‍රීවරුන් ද යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමෙන් පැහැදිලි වන්නේ මේ ජනාධිපතිට තවත් වරක් තරග කිරීමට අවස්‌ථාව ලබා දීම වැදගත් බව ඔවුන් කල්පනා කළ බව ය. අප ඒකාධිපතිවාදයට කවදත් විරුද්ධය. මේ රටේ පළමුවැනි විධායක ජනාධිපති ඡේ.ආර්. ජයවර්ධන මහතා ඡන්ද ක්‍රමය වෙනස් කර විධායක බලය සියතට ගත් අවස්‌ථාවේදී මේ රට රාජාණ්‌ඩු සමයෙන් පසු ස්‌වදේශික ඒකාධිපතිත්වයක් යටතට මුල් වරට පත් විය. ඒ අවස්‌ථාවේදී ජනාධිපති ජයවර්ධන හා ගැටෙන්නට දිවයින ප්‍රකාශයට පත් වී නොතිබුණ ද, ප්‍රකාශයට පත් වූ දා පටන් ම ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඒකාධිපති ප්‍රතිපත්තිය සමඟ ගැටීමට දිවයින ඉදිරිපත් විය. එසේ ගැටීම නිසා ජයවර්ධන ජනාධිපතිතුමා දිවයිනට දරුණු දඬුවම් ලබා දුන්නේ ය. ඉන්දු - ලංකා ගිවිසුමට සහ උතුරු නැගෙනහිර දෙපළාත එක් පළාතක් බවට පත් කිරිමට අදාළ 13 වැනි සංශෝධනයට විරුද්ධව දිවයින සිය උපරිම ශක්‌තිය මුදා හළේය. 1980 ජුලි වැඩ වර්ජනයේදී තමා කවරාකාරයේ පාලකයකු ද යන්න ඡේ. ආර්. ජයවර්ධන ප්‍රදර්ශනය කළේය. ඔහු තමා කවරාකාර අනාගත ඒකාධිපතියකු ද යන්න එම අවස්‌ථාවේදී රටටත් ජනතාවටත් තේරුම් කර දුන්නේය. එහෙත් මේ ජනාධිපතිතුමා තමා ඒකාධිපතියකු බව පෙන්නුම් කළේ හතරවැනි ඊළාම් යුද්ධයේදී රට බේරා ගැනීමේ කටයුත්තේදී පමණි .කිසිදු බලගතු රටකට හෝ බලවේගයකට නො නැමුනු ඔහු තම ජනතාව වෙනුවෙන් තාවකාලික ස්‌වදේශික ඒකාධිපතියකු බවට පත් වෙමින් යුද්ධය දිනා රට බේරාදී වහාම සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදි මිනිසකු බවට පත් විය. 18 වැනි සංශෝධනයෙන් පසුව ද ජනාධිපතිතුමා කරන සෑම සද් කාර්යයකදීම දිවයින එතුමාගේ ප්‍රතිපත්ති සමඟ සිටින්නේ ය. ප්‍රතිපත්තිමය දේශපාලනයකින් විනා මෙරට ගොඩනැඟිය නොහැකි බව දිවයින තරයේ විශ්වාස කරයි. ඒ සඳහා යන ගමන දෙස දිවයින විමසුම් නෙතින් බලනු ඇත.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.