18 සම්මත කළ හැටි ප්‍රජාතන්ත්‍ර විරෝධීයි
ජනතා විමුක්‌ති පෙරමුණ

18 වැනි සංශෝධනය සම්මත කරගත් ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර දේශපාලන සදාචාරයට පටහැනි බව ජනතා විමුක්‌ති පෙරමුණ නිවේදනය කර සිටී.

ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ. ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති ගමන තහවුරු කරන 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුව සම්මත කර ගත්තේය. එය සම්මත කර ගත්තේ අල්ලසින්, පගාවෙන් හා විවිධ වරදානයන්ගෙන් පක්‌ෂපාතී කරගත් විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආධාරයෙන් ලබාගත් තුනෙන් දෙකක බහුතරයක්‌ මගිනි. එසේ නැතිව ආණ්‌ඩුවට ජනතා වරමින් ලැබුණු තුනෙන් දෙකක බහුතරයක්‌ නැත.

එපමණක්‌ නොව වත්මන් ආණ්‌ඩුව ජනවරමක්‌ ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට අලුත් ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වාදීම සඳහාය. එහෙත් ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින්නේ එම ජනවරමට පයින් ගසමින්ය.

ආණ්‌ඩුව, ජනමතයට පයින් ගසා, ජනමතය නොසලකා හරිමින් 18 වැනි සංශෝධනය ගෙන ආවා පමණක්‌ නොව. ඒ පිළිබඳව ජනතාව අතර සංවාදයක්‌ ඇතිවීමට ඉඩ දුන්නේද නැත. ඒ ජනමතයට බිය නිසාය. සංශෝධනය සම්බන්ධයෙන් සංවාදයක්‌ ඇති වන විට එක්‌සත් ජාතික පක්‌ෂය සමග බොරු සාකච්ඡාවක්‌ ආරම්භ කොට ජනතා අවධානය වෙනත් දෙසකට යොමු කළේය. එමගින් ආණ්‌ඩුව කළේ දේශපාලන තක්‌කඩිකමකි. එක්‌සත් ජාතික පක්‌ෂ නායකත්වයද ඊට දායක විය.

ඒ නිසා ආණ්‌ඩුව 18 ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කරගත් ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධීය. දේශපාලන සදාචාරයට පටහැනිය.

එමෙන්ම, මෙම සංශෝධනය මගින් සිදු කර ඇත්තේ එක්‌ පුද්ගලයකුට විධායක ජනාධිපති ධුරය දැරීමට ඇති වාර දෙකේ සීමාව ඉවත් කිරීමයි. ඒ හරහා ගොඩනැගීමට උත්සාහ කරන්නේ මාකොස්‌ පන්නයේ ඒකාධිපති පවුල් පාලනයක්‌ බව පැහැදිලිය. එම ඒකාධිපති ගමනට බාධාවක්‌ විය හැකි, ස්‌වාධීන කොමිෂන් සභා බල රහිත කිරීමටද ආණ්‌ඩුව 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේම කටයුතු කර තිබේ. ඒ අනුව, ඉදිරියේදී ස්‌වාධීන පොලිස්‌ සේවයක්‌, ස්‌වාධීන රාජ්‍ය සේවයක්‌ මෙන්ම නිදහස්‌ හා සාධාරණ මැතිවරණද බලාපොරොත්තු විය නොහැකිය. ඉදිරියේදී ඒ සියලු ආයතන මෙහෙයවනු ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති පවුල් පාලනයට අවශ්‍ය ආකාරයටය. දැනටම ආණ්‌ඩුව තම හිතුවක්‌කාරකම පෙන්වමින් සිටී. රජයේ සේවකයෙක්‌ ගස්‌ බඳිනු ලැබූ මර්වින් සිල්වාට යළි නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ පිරිනමා තිබේ. ඉදිරියේදී තව තවත් ආශ්චර්යයන් දැක ගැනීමට හැකිවනු ඇත.

අප මාතෘ භූමිය තුළ ඒකාධිපති පාලනයක්‌ බිහිවීමට ඉඩ දිය යුතු නැත. වත්මන් ආණ්‌ඩුව සැරසී සිටින්නේ එවැනි ගමනක්‌ යැමට බව පැහැදිලිය. එම නිසා ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන නතර කොට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීම සියලු පුරවැසියන්ගේ වගකීම බව මේ මොහොතේ පෙන්වාදීමට අපි කැමැත්තෙමු.

18 වන සංශෝධනය දැන් සම්මතව ඇති නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන මෙරට ප්‍රගතිශීලී ජනයා බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත. මන්දොත්සාහී විය යුතු නැත. ගොඩනැගෙන ඒකාධිපති පවුල් පාලනය ඉදිරියේ නිහඬ විය යුතු නැත. පවතින ආණ්‌ඩුව තුළ තම පැවැත්ම රැකගැනීම වෙනුවෙන් හෘද සාක්‌ෂිය පාවාදී නිවටුන් බවට පත් වූ හා මුදලට වරප්‍රසාදවලට තම හෘදය සාක්‌ෂිය උකස්‌කර නිවට නියාලු කමක්‌ හදාගත් තුනෙන් දෙකේ බලය සැබෑ ජන බලයක්‌ නොවන බව ඉතා පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ අද සිට ගොඩනැගෙන මේ වියරු ඒකාධිපති පාලනය පෙරළා දමා සැබෑ ජනතාවාදී ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කළහැකි ජනතාවාදී පාලනයක්‌ වෙනුවෙන් ජනතාව පෙළගැස්‌විය හැකි ධෛර්යය සම්පන්න නායකත්වයකි. එම නායකත්වය සමඟ ගොඩනැගෙන දැවැන්ත ජනතා බලයකි. එම ජනතා බලය ගොඩනැගීම සඳහා මේ මොහොතේ සිටම පෙළගැසෙන ලෙසත්, අනාගතය පිළිබඳව විශ්වාසයෙන් යුතුව පෙරට එන ලෙසත් අපි ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ප්‍රගතිශීලී සමාජවාදී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.