ප්‍රාදේශීය සභා පළාත් සභා හා පාර්ලිමේන්තු
මන්ත්‍රීන්ට මෙන් ජනපතිටත් ඕනෑම වාර ගණනක්‌
මැතිවරණවලට ඉදිරිපත් වීමට හැකි ලෙස නව
සංශෝධන ගෙනාවා
අගමැති දි. මු. ජයරත්න

මේ ව්‍යවස්‌ථා සංශෝධනය ග්‍රහ මාරුවක්‌ විදිහටයි
පෙනෙන්නේ. ග්‍රහ මාරුව එක එක්‌කෙනාට එක එක
විදිහට බලපානවා. එජාපය මේ ග්‍රහ මාරුවෙන්
භංග වෙලා යනවා
ඇමැති විමල් වීරවංශ

මා පාර්ලිමේන්තුවට පැමිණ වැඩි දවසක්‌ නැහැ.
ඒත් මේ කෙටි කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම
සටහන් වන මෙවැනි පනත් කෙටුම්පතක්‌ ගැන කතා
කරන්න වේ යෑයි මා සිතුවේ නැහැ
එස්‌. සුමන්තිරම (ද්‍රජාස)

අද අපේ රටේ නීතිය බවට පත් වී තිබෙන්නේ
ආණ්‌ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකුගේ කැමැත්තයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්‌ටිය සඳහා අන්තිම ඇණයත්
අද ගහනවා. ඒත් මේ ගසන ඇණේ, මිහිදන් කරන
ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිවිපාක රටේ අනාගතයේ ඉපදෙන්න
ඉන්න දරු දැරියන්ටත් බලපාවි
අනුර කුමාර දිසානායක (ප්‍ර. ජා. සං.)

මුස්‌ලිම් කොංග්‍රසය වන අපගේ සම්පූර්ණ සහයෝගය
මේ ව්‍යවස්‌ථා සංශෝධනයට ලබාදෙනවා. අපේ දිවංගත
පක්‍ෂ නායක අශ්රොµa මහතා පැවැසුවේ විධායක ජනාධිපති
ධුරය ශක්‌තිමත් කරන ගමන් පාර්ලිමේන්තුව සතු බලයත්
ශක්‌තිමත් කරගත යුතු බවයි. මේ සංශෝධනයෙන් ඒ
දෙය ඉටු වෙනවා
රවුෆ් හකීම් මහතා (ශ්‍රීලමුකො)


කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඕනෑ තරම් වාර ගණනක්‌ තේරී පත්වීමට ව්‍යවස්‌ථාවෙන් සලසා දී ඇති අවස්‌ථාව ජනාධිපතිවරයාටත් ලබා දීම සඳහා දහඅටවැනි සංශෝධනය ගෙන එන බව අගමැති දි. මු. ජයරත්න මහතා (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

18 වැනි ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කරමින් අගමැතිවරයා එසේ කීය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (08 දා) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්‌විණි.

නිවේදන, ලිපි ලේඛන සහ වාර්තා ඉදිරිපත් කළ පසුව මන්ත්‍රීවරුන් අතැතිවූ වාචික පිළිතුරු අපේක්‌ෂිත ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරුන් පිළිතුරු දුන්හ.

අනතුරුව දහඅටවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියෑවීම අරඹමින් අගමැති දි. මු. ජයරත්න මෙසේ කීය.

1978 ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් හඳුන්වා දෙන ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන වාර දෙකක උපරිමයකට යටත් කරන ලදී. 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කර ඇත්තේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නොව ඡේ. ආර්. ජයවර්ධන මහතාට ගැලපෙන ලෙසය. පුද්ගලයකුට ජනාධිපති ධුරය දැරීමට හැකි කාලය වාර දෙකකට සීමා වූයේත් ඒ අනුවය. ඒ නිසා ඔහුගේ ආණ්‌ඩු කාලය තුළම ව්‍යවස්‌ථාව 16 වතාවක්‌ සංශෝධනය කිරීමට සිදුවිය. ඇතැම් සංශෝධන පටු පුද්ගල අවශ්‍යතාවන් සඳහා කළ ඒවාය. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා එම ධූරය යොදා ගත්තේ අවු. 30 ක්‌ තිස්‌සේ පැවැති යුද්ධය නිමා කිරීමටත්, භේද වී තිබූ රට එක්‌සේසත් කර සංවර්ධනය කරා මෙහෙයවීම සඳහාත් මිස මැතිවරණ කල් දැමීමට, අධිකරණයට බාධා කිරීමට, උද්ඝෝෂණ මර්දනය කිරීමට, අපරාධකරුවන්ට රැකවරණ දීමට, රජයේ දේපළ කුණු කොල්ලයට විකිණීමට හෝ ඡන්දයෙන් බලයට පත්වූ ආණ්‌ඩු පෙරළා දැමීමට නොවේ.

රටේ වෙනස්‌ වන අවශ්‍යතාවන් අනුව පවත්නා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තවදුරටත් සංශෝධනය කළ යුතුව ඇත. යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව විරුද්ධ පාර්ශ්ව වැරදි අර්ථකන දෙමින් මහජනතාව නොමග යෑවීමට උත්සාහ කරන බව පෙනේ. මෙම සංශෝධනයෙන් අපේක්‌ෂා කරන්නේ ජනාධිපතිතුමාගේ නිල කාලය දීර්ඝ කර ගැනීම නොවේ. නියමිත දිනට නියමිත පරිදි මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.

අපගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට, පළාත් සභා මන්ත්‍රීවරයකුට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඕනෑ තරම් වාර ගණනක්‌ මහජන කැමැත්තෙන් තේරී පත්විය හැකිය. එහෙත් ජනාධිපතිවරයාට පමණක්‌ තේරී පත්විය හැකි වාර ගණන දෙකකට සීමා කර ඇත. මෙම සංශෝධනයෙන් අපේක්‌ෂිත එක්‌ අරමුණක්‌ නම් මෙම බාධාව ඉවත් කිරීමයි.

17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පිහිටුවනු ලැබූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව එහි සංයුතිය හා පත්කරන ආකාරය බොහෝ සංකීර්ණ කටයුත්තක්‌ වූ හෙයින්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අපහසු විය. මේ නිසා පසුගිය කාලය තුළ විවිධ පරිපාලන හා නීතිමය ගැටලු ඇතිවිය.

පසුගිය ජනාධිපතිවරණයේදී "මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින්, එතුමා ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ධුරය භාරකාර ධුරයක්‌ බවට පත්කරන බවත්, පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වෙමින් විධායකය සහ ව්‍යවස්‌ථාදාකයක අතර සහජීවනය ශක්‌තිමත් කරන බවත්ය.

යෝජිත සංශෝධනවලින් අපේක්‌ෂා කරන්නේ,

කිසියම් පුද්ගලයකුට ජනාධිපතිs ධුරය දැරියහැකි වාර ගණන දෙකකට සීමා කිරීම ඉවත් කිරීමත්,

ජනාධිපතිවරයා මාස තුනකට වරක්‌ පාර්ලිමේන්තුවට පැමිණීමට විධිවිධාන සැලසීමටත්,

"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව" නැවත නිර්වචනය කර එහි සංයුතිය සරල කර "පාර්ලිමේන්තු සභාවක්‌" පිහිටුවීම මගින් ප්‍රායෝගික ආයතනික රාමුවක්‌ සැකසීමත්,

අමාත්‍ය මණ්‌ඩලය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල හා කාර්යභාරය නැවත පැහැදිලි කිරීමක්‌ මගින් පවත්නා බාධක සහ ගැටලු ඉවත් කිරීමත්,

පොලිස්‌පති ඇතුළු පොලිස්‌ නිලධාරීන් "රාජ්‍ය සේවක" ගණයට ඇතුළු කිරීම සහ ජාතික පොලිස්‌ කොමිසමේ බලතල නැවත විග්‍රහ කිරීමත් හා

මැතිවරණ කොමිසමේ බලතල හා සංයුතිය නැවත විග්‍රහ කිරීමත් යන කරුණුය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත අද දින පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට අවස්‌ථාව ලැබීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වෙමි. මෙම සංශෝධන රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත්, රාජ්‍ය පරිපාලනය කාර්යක්‌ෂම කිරීමටත්, රටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්‌තිමත් කිරීමටත් ඉවහල් වන බව මගේ දැඩි විශ්වාසයයි. රටේ අනාගතය ගැන සුබවාදීව සිතන, රටේ ජනතාවගේ යහපත ගැන සිතන, ජනතා පරමාධිපත්‍යයට ගරු කරන සෑම කෙනෙක්‌ම මෙම පනත අගය කරනු ඇතැයි මගේ විශ්වාසයයි.

නායකත්වයේ ගරුත්වය, පක්‌ෂයේ ගරුත්වය ආරක්‌ෂා කිරීම අප සැමගේ වගකීමයි. අද මේ සංශෝධනයට පක්‌ෂව එජාප මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුගේ සහයෝගය අපට ලැබෙනවා. රටේ එක්‌කෝටි අනූහත් ලක්‌ෂයක ජනතාව වෙනුවෙන් අපි ඒ මන්ත්‍රීවරුන්ට ස්‌තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අපි ඔවුන්ව අමතක කරන්නෙත් නැහැ. ඒ බව අපි ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. එජාපයේ සිට මීට පෙර අප සමග එකතු වුණු අය අද ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිකම් දරනවා. ජනාධිපතිතුමා ඔවුන්ට අඩු සැලකිලි දක්‌වන්නේ නැහැ. වෙනස්‌කම් කරන්නේ නැහැ. එස්‌. බී. ඇමැතිතුමා, අමුණුගම ඇමැතිතුමා, ජී. එල්. ඇමැතිතුමා. කෙහෙළිය ඇමැතිතුමා, බන්දුල ඇමැතිතුමා, ලක්‌ෂ්මන් යාපා ඇමැතිතුමා, මහින්ද යාපා ඇමැතිතුමා, මහින්ද සමරසිංහ ඇමැතිතුමා, ලොකුගේ ඇමැතිතුමා, දයාරත්න ඇමැතිතුමා මේ අය රජයේ ඉහළ ඇමැතිකම් දරනවා. ඒ වගේම මේ අය දිහා බලද්දී පෙනී යනවා මේ ඔක්‌කෝම දක්‍ෂයෝ කියලා. එතකොට ප්‍රශ්නයක්‌ පැන නගිනවා. දක්‍ෂයෝ අපේ පැත්තට ආවා, අදක්‍ෂයෝ එජාපයේ ඉතිරි වුණාද කියලා. අපි එජාපයෙන් මන්ත්‍රීවරු බිලි බා ගන්නේ නැහැ. ඒ අය අපේ දර්ශනයට, දැක්‌මට, නායකත්වයට කැමැත්තෙන් අපට එකතු වෙනවා. ඒ වගේම එන අයට අපි හොඳින් සලකනවා.

පත් කළ මන්ත්‍රී එස්‌. සුමන්තිරම මහතා (ද්‍රජාස)(- මා පාර්ලිමේන්තුවට පැමිණ වැඩි දවසක්‌ නැහැ. ඒත් මේ කෙටි කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සටහන් වන මෙවැනි පනත් කෙටුම්පතක්‌ ගැන කතා කරන්න වේ යෑයි මා සිතුවේ නැහැ. මහජනතාවට දැනුම් දීමක්‌ නොකර ඉතා කඩිනමින් මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ එහි ඇති අහිතකර පැත්ත වසා ගන්නයි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා(- ජනතාවගේ පරමාධිපත්‍ය තවදුරටත් ආරක්‍ෂා වීමක්‌ මේ සංශෝධනයේදී සිදුවෙනවා. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට බාධා ඉවත් කිරීම මේ සංශෝධනයේ අරමුණයි. කිසියම් පුද්ගලයකු දෙවරක්‌ ජනාධිපති ලෙස තෝරාගත් ජනතාවට නැවත එම පුද්ගලයා පත්කර ගත යුතු නම් ඒ සඳහා අවශ්‍ය ඉඩ ලබාදිය යුතුයි. ඊට බාධා වීම ජනතා පරමාධිපත්‍යයට හානියක්‌. අද එම බාධාව ඉවත් වෙනවා.

නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණෙයි.

යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. විනයගමුර්ති මහතා (ද්‍රජාස)(- ඒකාධිපති පාලනයකටයි මේ සංශෝධන ගෙන එන්නේ. ඒකමතිකව පනත් සම්මත කරනවා. ආණ්‌ඩුව දේශපාලනීකරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයෙන් පැමිණ ඒකාධිපති පාලනයකට ගමන්කරනවා. හිට්‌ලර් බලයට ආවෙත් ප්‍රජාතන්ත්‍රවාදයෙන්. ඒත් පසුව ඒකාධිපති පාලකයෙක්‌ වුණා. මේ ආණ්‌ඩුව ගමන් කරන්නෙත් ඒ ඒකාධිපති පාලනයටයි.

බදුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ලක්‌ෂ්මන් සෙනෙවිරත්න මහතා (එජාප)(- 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට මම මගේ පූර්ණ සහය ලබා දෙනවා. ඒත් දැඩි හැඟුම්බරවයි මම මේ තීරණයට ආවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා නායකයෙක්‌ නැති වුණොත් ගමක්‌, පක්‍ෂයක්‌ හෝ ආයතනයක්‌ හෝ සමාජයක්‌ වුවත් විනාශ වෙනවා කියලා. ඒ වගේම නායකයෝ වැඩි වුණත් ඒ දෙයම සිදුවෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ නායකතුමා වමට සිග්නල් දාලා, දකුණට හරවන කෙනෙක්‌. එතුමා මේ අවස්‌ථාවේදී වක්‍රව සිදුකර තිබෙනනේ ව්‍යවස්‌ථා සංශෝධනයට සහය දීමයි.

ඡේ. ආර්. ජයවර්ධන මහතාටත් අවශ්‍ය වුණා තෙවැනි වරටත් ජනාධිපති වෙන්න. ඒත් රන්ජන් විඡේරත්න මහතා රට වටේ ගොස්‌ වාර්තාවක්‌ සම්පාදනය කරගෙන ආවා. එයින් කිය වුණේ ඡේ. ආර්. මහතාගේ ජනප්‍රියත්වය අඩුවී ඇති බවත් ඡන්දයකට ගියහොත් ඡේ. ආර්. මහතා පරාද වෙන බවත්. ඒ අනුව ප්‍රේමදාස මහතාට අවස්‌ථාව දුන්නා ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වීමට. එසේ නොවුණා නම් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ජනාධිපති වෙනවා. ඊට පසුව චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියත්, ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න උත්සහ කළා. එකල අපේ නායකයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සමග චන්ද්‍රිකා මහත්මිය සාකච්ඡා කළා. නායකතුමා චන්ද්‍රිකා මහත්මියට එකඟතාව පළ කර ඇවිත් අපට කිව්වා මේ යෝජනා පුච්චා දමන්න කියලා. එතුමා එහෙමයි වැඩ කරන්නේ. පසුගිය දවස්‌වල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමගත් එතුමා සාකච්ඡා කළා. එහිදී එතුමා කුමන කාරණාවලට එකඟ වුණාද කුමන කරුණු සාකච්ඡා කළාද යන්න අපි දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතේ ලොකු විශ්වාසයක්‌ තිබුණා එතුමා 2000 දී ජනාධිපති පුටුවේ වාඩිවේවි කියල. එතුමා බලයේ හිටියත් මේ සංශෝධනය ගේනවා. ඒත් එතුමාට ජනතාවගේ හද ගැස්‌ම හඳුනා ගැනීමට තරම් විඥනයක්‌ තිබුණේ නැහැ. යුද්ධයට එයා අකමැති වුණා. නායකයාව අපි අධික ලෙස විශ්වාස කළා. ඒ නිසා අපට යථාර්ථය තේරුම් ගියේ නැහැ. බන්දුල ගුණවර්ධන මහතා නම් එය අපට කලින් අවබෝධ කර ගත්තා. රනිල් වික්‍රමසිංහ මහතා අද මෙතන නොසිට ව්‍යවස්‌ථාවට වක්‍රව සහය දෙද්දී අපි සෘජුව සහය දීමේ ඇති වරද කුමක්‌ද? ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධ වෙනවානම් ඊට ඇති සුදුසුම ස්‌ථානය මේ පාර්ලිමේන්තුවයි. ඒත් වික්‍රමසිංහ මහතා ඊයේ එයාගේ කට්‌ටියත් අරගෙන මෙතනින් එළියට ගියා.

විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලි චම්පික රණවක මහතා(- අද මේ රට නව දැක්‌මකට පියවර නඟනවා. 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් අප බලාපොරොත්තු වූ අරමුණු අද ඉෂ්ට වෙනවා. ත්‍රස්‌තවාදය හරහා ජාතික රාජ්‍යය දිය කර හැරීමට ක්‍රියාත්මක වූ දේශපාලනඥයෝ මේ රටේ හිටියා. රටට නොගැලපෙන ෆෙඩරල් අදහස්‌ ගෙනවිත් රාජ්‍ය පාලනය දිය කර හැරීමට ක්‍රියාත්මක වූ අය හිටියා. ඒත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්‌තවාදය නිම කර එම පළමු අභියෝගය ජය ගත්තා.

විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා(- විරුද්ධ පක්‍ෂය මේ විවාදය කඩාකප්පල් කරන්න උත්සාහ කළා. බොරු තර්ක විතර්ක ඔවුන් ගෙන ආවා. රට යුද්ධයෙන් මුදා ගන්න විධායක ජනාධිපති ධුරය අවශ්‍ය වූවා සේම රටේ ඉදිරි ගමන සඳහා ඒ ජනාධිපති ධුරය ශක්‌තිමත් කිරීමට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ශක්‌තිය මේ සංශෝධනයෙන් ලැබෙනවා. මේ ව්‍යවස්‌ථා සංශෝධනය පළාත් සභාවලට යොමුකළ යුතු නොමැති බව ශේ්‍රෂ්ඨාධිකරණය පැහැදිලිව සඳහන් කර සිටිනවා.

දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඒ. පියසේන මහතා (ද්‍රජාස)(- මේ මගේ මංගල කතාව. සමන්තුරේ ජනතාවට මා ප්‍රශංසා කරනවා මේ තැනට මාව එවීමට ඡන්දය ලබා දුන්නාට. අද අපේ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව යුද්ධයෙන් නිදහස්‌ව නිවහල්ව ජීවත් වෙනවා. ඒ තත්ත්වය උදාකර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. ඒ මහතාට කෘත ගුණ දැක්‌වීමක්‌ ලෙස මම මේ ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව මගේ ඡන්දය ලබා දෙනවා. මගේ ජනතාවගේ කැමැත්තත් එයයි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ප්‍ර. ජා. සං.) (- ජයග්‍රහණ තත්ත්වයන් හා ශෝචනීය තත්ත්වයන් විසින් ඓතිහාසික දින නිර්මාණය වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ බදු පාර්ලිමේන්තුව අද ප්‍රජාතන්ත්‍රවාදය වළදා දමන කැරකොප්පුව බවට පත්වෙලා. ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම අද මෙතන පාර්ලිමේන්තුවේදී සිදු වෙනවා. ආණ්‌ඩුවේ මේ මැති ඇමැතිවරු ගැන අනුකම්පාවක්‌ පමණයි මට තිබෙන්නේ. ඒකාධිපති වියරුවකට අවශ්‍ය වටපිටාව මේ ආණ්‌ඩුක්‍රම ක්‍රමයෙන් නිර්මාණය කරගෙන එමින් තිබුණා. අද එහි උච්චතම අවස්‌ථාව සිදු වෙලා. අධිකරණයට මැදිහත් වූණා. මාධ්‍ය ආයතනවලට පහර දුන්නා, මාධ්‍ය මර්දනය කළා. පැමිණිලි කරන්න යන දේශපාලනඥයන් අත්අඩංගුවට ගත්තා. මාර පොලිස්‌ හමුදාවක්‌ ක්‍රියාත්මක වූවා. සාමකාමී උද්ඝෝෂණවලට පහර දුන්නා. පෝස්‌ටර් අලවන අය හිරේ දැම්මා. අද අපේ රටේ නීතිය බවට පත් වී තිබෙන්නේ ආණ්‌ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකුගේ කැමැත්තයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්‌ටිය සඳහා අන්තිම ඇණයත් අද ගහනවා. ඒත් මේ ගසන ඇණේ, මිහිදන් කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිවිපාක රටේ අනාගතයේ ඉපදෙන්න ඉන්න දරු දැරියන්ටත් බලපාවි. අනාගතයේ තරුණ පරම්පරාවගේ ජීවිතත් අනතුරේ දැමීමයි මේ සිදුකරන්නේ.

නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති විමල් වීරවංශ මහතා (- මේ ව්‍යවස්‌ථා සංශෝධනය ග්‍රහ මාරුවක්‌ විදිහටයි පෙනෙන්නේ. ග්‍රහ මාරුව එක එක්‌කෙනාට එක එක විදිහට බලපානවා. මට කලින් කතා කළ කෙනා මේ ග්‍රහ මාරුවෙන් නීච වෙලා යනවා. එජාපය මේ ග්‍රහ මාරුවෙන් භංග වෙලා යනවා. කන්දක්‌ දිහා වම් පැත්තෙන් බලනකොටයි ඒ කන්ද දිහාම දකුණු පැත්තෙන් බලනකොටයි කන්ද පෙනෙන්නේ වෙනස්‌ විදිහටයි. මේ ව්‍යවස්‌ථාව දිහාත් එක එක අය එක එක පැත්තෙන් බලනවා. ඒත් ඒ කන්දට නිශ්චිත වූ නාමයක්‌ තිබෙනවා වගේම මේ ව්‍යවස්‌ථාවටත් නිශ්චිත හැඩයක්‌ තිබෙනවා. එල්.ටී.ටී.ඊ. මර්දනය කරනවට විරුද්ධ වූ කට්‌ටියම තමයි මේ සංශෝධනයටත් විරුද්ධ වෙන්නේ. යුද්ධය දිනන්න බැහැ කිව්වා. ඒක කළා. සමානුපාතික ඡන්දයෙන් 2/3 ක්‌ කවදාවත් ගන්න බැහැ කිව්වා. අද ඒකත් කරලා පෙන්වනවා. ජනතාවට අවශ්‍යයි ස්‌ථාවරභාවය සහිත ආණ්‌ඩුවක්‌. මහජනයා පාර්ලිමේන්තු ඡන්දයෙන් දුන්නු ස්‌ථාවරභාවය කුමන්ත්‍රණවලින් බටහිර සල්ලි වලින්, විජාතික පිල්ලි වලින් නැති කරන්න බැරි විදිහට ස්‌ථාපිත කිරීමයි 18 වැනි සංශෝධනයෙන් සිදු වෙන්නේ. ඒකාධිපතිවාදයකට, පවුල් වාදයකට යන්න අවශ්‍ය නම් මේ ව්‍යවස්‌ථා සංශෝධන අවශ්‍ය නැහැ.

මහනුවර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රවුෆ් හකීම් මහතා (ශ්‍රීලමුකො) (- මුස්‌ලිම් කොංග්‍රසය වන අපගේ සම්පූර්ණ සහයෝගය මේ ව්‍යවස්‌ථා සංශෝධනයට ලබාදෙනවා. එය අප ඉතා පරීක්‍ෂාකාරීව කල්පනා කර ලබාගත් තීරණයක්‌. ඒක වගේම එය හෘද සාක්‍ෂියට එකඟ තීරණයක්‌. අපේ දිවංගත පක්‍ෂ නායක අශ්රොෆ් මහතා පැවැසුවේ විධායක ජනාධිපති ධුරය ශක්‌තිමත් කරන ගමන් පාර්ලිමේන්තුව සතු බලයත් ශක්‌තිමත් කරගත යුතු බවයි. මේ සංශෝධනයෙන් ඒ දෙය ඉටු වෙනවා. ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩිව ගරු කරන කෙනෙක්‌. මේ සංශෝධනය හරහා රජය ශක්‌තිමත් වීමෙන් රටට හොඳ ආර්ථික වර්ධනයක්‌ ලබාගත හැකියි.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මුත්තු සිවලිංගම් මහතා (- ජනාධිපතිතුමා වැනි පිරිසිදු හදවතක්‌ ඇති නායකයෙකුට දෙවරක්‌, තුන්වරක්‌ නොව ජීවිත කාලය පුරාවටම වූවත් ඡන්දය ලබා දෙන්න අපි සූදානම්.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා (එජාප) (- පාර්ලිමේන්තුවේ බලය ජනතා පරමාධිපත්‍යය තව දුරටත් ආරක්‍ෂා කිරීමට මේ සංශෝධනය ගෙන ආවා. ආණ්‌ඩු පක්‍ෂයට මගේ ස්‌තුතිය පුදකර සිටිනවා. ඒ සඳහා ඇති කැමැත්ත මම කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ප්‍රකාශ කළා.

බන්ධනාගාර අධිකරණ හා පුනරුත්ථාපන ඇමැති ඩිව් ගුණසේකර මහතා (- කොමිනියුස්‌ට්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා මේ පනතට පක්‍ෂව ඡන්දය ලබා දෙනවා. සමස්‌ත දේශපාලන තත්ත්වයන් ගැන සලකා බලා තමයි අපි මේ තීන්දුව ගත්තේ.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා (ප්‍රජාසං) (- රටකට ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය වෙන්නේ මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමටයි. ඒත් අද සංශෝධන ගෙන එන්නේ මහජනතාව පාගා දැමීමටයි.

මර්වින් සිල්වා මහතා බාධා කරයි.

ෆොන්සේකා මහතා (- මේ මනුස්‌සයාව බැඳලා දමන්න. විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රී කෙනකුට පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ.

ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා (- ජනාධිපතිවරයාට දෙවැනි වරට වඩා ඒ සඳහා තරග කිරීමට ලැබෙන අවස්‌ථාව ඒකාධිපති පාලනයකට මග කියනවා යෑයි කියමින් විපක්‍ෂය බොළඳ උත්සායක්‌ ගන්නවා එය කඩාකප්පල් කිරීමට. ඒත් ජනතාවගේ කැමැත්ත තිබෙනවා නම් ඒ පුද්ගලයාට නැවත ඒ තනතුරට පැමිණීමට අවස්‌ථාව ලබා දිය යුතුයි.

රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා (එ.ජ.නි.ස.) (- ජනාධිපතිතුමා තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරුකර තිබෙනවා. ආණ්‌ඩු විරෝධීන්ගෙන් මේ ආණ්‌ඩුව රැක ගැනීමට අප කටයුතු කරනවා.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.