රු.5 ක්
සොරාගත්තැයි දැරියට ලක්‍ෂයක් ඇප
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් පහක මුදලක් සොරකම් කරන
ලදැයි පවසමින් තෙබුවන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට
ඉදිරිපත් කළ 13 හැවිරිදි දැරියක රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත
මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් නාමල් පෙරේරා මහතා
පෙරේදා (8 දා) සවස නියෝග කළේය.
දැරිය පිළිබඳ පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස
පරිවාස නිලධාරීට නියෝග කළ විනිසුරුවරයා දැරිය ඉහත ඇපමත ඇයගේ
මවට භාරදෙන ලෙස ද නියෝග කළාය.
තෙබුවන යටවර උතුර පදිංචි
රම්‍යා චන්ද්‍රලතා රන්මල්ගොඩ නමැත්තිය පොලිසියට කළ
පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පවත්වා සැකකාර දැරිය අත්අඩංගුවට
ගත් බව තෙබුවන පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක නාලක
නුවන්සිරි මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.
පැමිණිලිකාරිය නිවස ආසන්නයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන බවත්
වෙළෙඳසලේ සිට නිවසට ගිය විටදී කාමරයේ මෙට්‌ටය යට සැකකාරිය
සැඟවී සිටි බවත් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී "රම්‍ය අක්‌කේ මම
රුපියල් පහක් ගත්තා" යෑයි ප්‍රකාශ කර ඇතැයි ද පොලිසිය
අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.
පැමිණිලිකාරිය පොලිසියට දුරකථනයෙන් දැන්වූ විට පොලිස්
පරීක්‍ෂක ජයසිංහ හා කාන්තා පොලිස් සැරයන් 4731 ප්‍රියන්ති යන
නිලධාරීන් ගොස් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය
අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.
කාමරයේ ජනෙල් පඩිය උඩ තිබී මෙම රුපියල් පහ ඇය සොරාගෙන ඇතැයි ද
කාමරයේ තිබූ ස්‌වර්ණාභරණ සහ තවත් මුදල්වල අඩුවක් නොමැති බව
පැමිණිලිකාරිය සඳහන් කර ඇතැයි ද එම වාර්තාවේ දැක්‌වේ.
මෙම දැරිය මෙසේ නිදැල්ලේ ගැවසීම නිසා ඇයට අනතුරක් සිදුවිය
හැකි බවද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.
මෙම දැරිය හා මව්පියන් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන බව අනාවරණය
වූ හෙයින් කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ කාර්ය මණ්‌ඩලය
මෙම දැරියගේ මවට මුදල්වලින් පරිත්‍යාගයක් කළ බව අධිකරණයේ
ප්‍රකාශකයෙක් කීය.
නඩුව මෙම 30 වැනි දිනට නැවත කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග
කළේය.