ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා ක්‍රීඩිකාවන්ට
ආසියාවේ අභියෝගය ජයගත හැකිවේද?

වියට්‌නාමයේ පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලිය 2010 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා කණ්‌ඩායම - පසුපෙළ වමේ සිට - කාංචනා අබේවික්‍රම(උපනායිකාව), නිලන්තිකා සංජීවනී, තිලිණි පෙරේරා, රුවනි තක්‌ෂලා, කසුනි ලක්‌ෂානි, දිනුෂි මධුෂිකා, එස්‌. බී. පුහලරසි, රවීහාරි ගීත්මා, ඕෂනී චාපා, නිපුනි අනුෂ්කා, ධම්මිකා කුමාරි
ඉදිරි පෙළ වමේ සිට දකුණට - එම්. ඒ. පී, සෙනෙවිරත්න(ජාත්‍යන්තර වොලිබෝල් විනිසුරු), මධුකා කිරිඇල්ල(කාන්තා ක්‍රීඩිකාවන් භාර නිලධාරිනී), ඉරේෂා උමයංගනී(නායිකාව), ප්‍රසන්න කළුතරගේ(කණ්‌ඩායම් ප්‍රධානි), ඩිලාන් පෙරේරා මහතා(සභාපති-ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), ඒ. ඒ. ජයතිස්‌ස(ජාතික වොලිබෝල් පුහුණුකරු), අයි. පී. විඡේරත්න(පුහුණුකරු), අජන්ත දහනායක(සහාය පුහුණුකරු), එල්. සී. ඒකනායක(අභ්‍යාසක)


ඔබ මේ සටහන කියවන මොහොත වන විට ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කාන්තා වොලිබෝල් පිල අඩි 33,000 ක්‌ ඉහළ අහසේ රැඳී සිටිනවා විය හැක.

අප කනිෂ්ඨ ක්‍රීඩිකාවන් අද පස්‌වරු වන විට වියට්‌නාමයේ නොචිමිං නුවරට ළඟාවීමට නියමිතය. තවත් දින දෙකක ඇවෑමෙන්, එනම් මෙම 12 වැනිදා 15 වැනි ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් ශූරතාව ඇරඹීම වෙනුවෙන් නොචිමිං නුවර සැරසී සිටියි.

ලොව මහා හමුදාව වන ඇමරිකාවට එරෙහිව අභිමානවත් යුද්ධයක්‌ කළ වියට්‌නාමය අනිද්දා සිට ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කිරුළ ජය ගැනීම පිණිස කලාපීය රටවල් 15 ක සටන්බිම බවට පත්වනු ඇත.

වියට්‌නාමය, කසකස්‌තානය, නවසීලන්තය, චීන තායිපේ, තායිලන්තය, ෆීජි, ඉන්දියාව, චීනය, කොරියාව, ඉරානය, ඔස්‌ටේ්‍රලියාව, ජපානය, ඉන්දුනීසියාව සමග ශ්‍රී ලංකාවද මේ සටනට පිවිස සිටිති.

අප වැනි රටකට එය කිසිසේත් පහසු සටනක්‌ නොවනු ඇති බව නම් නියතය. වොලිබෝල් ක්‍ෂේත්‍රයේදී ආසියානු කලාපය යනු අප සාමාන්‍යයෙන් දකින ආසියාව නොවේ. රුසියානු සමූහාණ්‌ඩුවට අයත්ව තිබූ කසකස්‌තානයද මධ්‍යම ආසියානු කලාපීය රටක්‌ ලෙසත් අසියාවට ඈඳී තිබේ. ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය සහ ෆීජි කණ්‌ඩායම්ද වොලිබෝල් කුලකයේදී ආසියාව යන උප කුලකයට ඇතුළත්ව සිටිති. "ආසියාව" යෑයි නම් කළත් සැබැවින්ම ඔස්‌ටේ්‍රලියානු මහද්වීපයත් එයට ඈඳී ඇත්තේ ජගත් වොලිබෝල් සම්මේලනයේ පරිපාලන පහසුව පිණිසය. එහෙත් අප වැනි රටකට නම් මේ සියලු ඈඳීමේ ජයග්‍රහණය ඉදිරියේ ඇති අපහසුතා බවට පත්වේ.

ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය සහ කසකස්‌තානයෙන් පැමිණෙන ක්‍රීඩිකාවන් ප්‍රතිවාදී පිටිය දෙස බලන්නේ දැලට උඩිනි. ඔවුන් ඒ තරම් උසය.(ඔවුන්ටද වඩා චීනයෙන් පැමිණෙන ක්‍රීඩිකාවන් උසවේ) අපේ ක්‍රීඩිකාවන් ප්‍රතිවාදීන් දෙස බලන්නේ දැලේ යට දාරයට මදක්‌ ඉහළිනි.

චීන තායිපේ, කොරියාව, තායිලන්තය සහ වියට්‌නාම ක්‍රීඩිකාවන්ගේ වේගය ජානමය හිමිකමකි. එහෙත් අපට එවැනි ජානමය හිමිකම් නැත.

මෙවැනි තරගාවලියකදී ඉන්දියාව සහ ඉරානයෙන් පැමිණෙන ක්‍රීඩිකාවන් ශරීර උස අතින් ඉදිරියෙන් සිටිනවා මෙන්ම ඔවුන්ගේ සැබෑ උපත සහ උප්පැන්න සහතිකයේ උපන්දිනය අතර යම් නොගැලපීමක්‌ තිබේ යෑයි සිතෙන තරමට පැසුණු පෙනුමක්‌ද ඔවුන්ගෙන් දිස්‌වේ. (මෙය මේ දක්‌වා ආසියානු වොලිබෝල් සම්මේලනයටද විසඳුම් නැති පැනයකි) ඒ අනුව ඔවුන් වැනි කණ්‌ඩායම් ප්‍රතිවාදීන් වූ විට කනිෂ්ඨ මට්‌ටමේ දක්‍ෂතා සමග පමණක්‌ නොව ප්‍රතිවාදීන්ගේ වයස සමගම "හැප්පීමට" අප වැනි රටවලට සිදුවේ. ආසියාවේ වොලිබෝල් සටන අපට ලෙහෙසි නැත්තේ එබැවිනි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව "බී" කාණ්‌ඩය යටතේ තරග වදියි. ප්‍රභල ජපානයද, ඉන්දුනීසියාව සහ හොංකොං යන කණ්‌ඩායම්ද එයට අයත්වන අතර ජපානය සමග තරගය ශ්‍රී ලංකාවට හුදෙක්‌ අත්දැකීමක්‌ පමණක්‌ බවට පත්වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. ඔවුන් සමග තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිවීමේ සම්භාවිතාව ඉතාම අල්පය.

එහෙත් හොංකොං සහ ඉන්දුනීසියාව සමග තරග කෙරෙහි ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තබා ගත හැක. මෙම රටවල් දෙක අතුරින් සාපේක්‍ෂව හොංකො සමග සටන වඩා පහසුවනු ඇති අතර ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී සිය ප්‍රථම තරග අත්දැකීම ලැබීමට නියමිතව ඇත්තේද හොංකොං සමගිනි.

තරගාවලියේ සමාරම්භක දිනය වන 12 වැනිදා පැවැත්වීමට නියමිත එම තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකියාව ලැබුණහොත් ඉන් ලැබෙන මානසික ශක්‌තිය ඉන්දුනීසියාව පරාජය කිරීම පිණිස පිටුවහලක්‌ වනු නොඅනුමානය.

හොංකොං සහ ඉන්දුනීසියාව සමග තරග ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වුවහොත් ඔවුන්ට මෙරට වොලිබෝල් ඉතිහාසයට එක්‌වීමේ අවස්‌ථාව හිමිවේ. ඒ ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියක සුපිරි කණ්‌ඩායම් 8 අතරට එක්‌වන ප්‍රථම කණ්‌ඩායම ලෙසිනි. මෙම තරග ඉතිහාසයේ කිසිදු ශ්‍රී ලංකා පිලකට නොහැකි වූ එම අවස්‌ථාව උදාකර ගැනීමේ තරමක්‌ පහසු අවස්‌ථාවක්‌ මෙම ශ්‍රී ලංකා කණ්‌ඩායම සතුය.

යම් හෙයකින් ශ්‍රී ලංකා පිලට සුපිරි කණ්‌ඩායම් 8 අතරට එක්‌වීමේ අවස්‌ථාව අහිමිවුවහොත් ඔවුනට සිදුවනුයේ අංක 9 ත් 15 ත් අතර ශ්‍රේණිගත වීමේ (ස්‌ථානගතවීමේ) තරගාවලිය සඳහා තරග වැදීමටය.

එසේ වුවහොත් එහි හැකි තරම් ඉදිරි ස්‌ථානයක්‌ දිනා ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකාව ලැබෙනු ඇති අතර එය ගෞරවය රැක ගැනීමේ සටනක්‌ වනු ඇත.

ගියවර (14 වැනි) ආසියානු කනිෂ්ඨ කාන්තා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිල 14 වැනි ස්‌ථානයට වැටුණු අතර මෙවර ශ්‍රී ලංකා කණ්‌ඩායමට හිමිවන සරළ කම අභියෝගය වනුයේ ඉන් ඉහළ ස්‌ථානයක්‌ කරා පැමිණීමය. එහිදී ප්‍රධාන වගකීම පැවරෙනුයේ කණ්‌ඩායම් නායිකාව ඉරේෂා උමයංගනී සහ උපනායිකා කාංචනා අබේවික්‍රම වෙතය. ඒ ඔවුන් දෙදෙනා මෙම කණ්‌ඩායමේ සිටින වැඩිම ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් බැවිණි.

චීන මැකාවෝහි පැවැති 14 වැනි ආසියානු කනිෂ්ඨ තරගාවලිය සහ තායිලන්තයේ පැවැති 7 වැනි ආසියානු යොවුන් තරගාවලිය යන ජාත්‍යන්තර තරග අත්දැකීම් දෙකක්‌ ඔවුන් සතුය.

කණ්‌ඩායමේ ප්‍රධාන කෙටි පන්දු ප්‍රහාරිකාව ලෙස ඉෂො උමයංගනීද, විශේෂයෙන් ප්‍රධාන පන්දු සකසන්නිය ලෙස කාංචනා අබේවික්‍රමද තම අත්දැකීම්වලින් ප්‍රයෝජන ගතහොත් සැබෑ නායකත්වයේ වගකීම ඉටු කළා වනු ඇත. ශ්‍රී ලංකා උස පන්දු ප්‍රහාරිකාවන් අතරින් නිලන්තිකා සංජීවනී හට විශේෂ වගකීමක්‌ පැවරෙනු ඇත්තේ ඇය 7 වැනි ආසියානු යොවුන් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙසින් කටයුතු කළ මෙම කනිෂ්ඨ කණ්‌ඩායමේ ප්‍රභල සාමාජිකාවක්‌ බැවිනි.

ඔවුන්ට අමතරව රුවනි තක්‌ෂලා, දිනුෂි මධුෂිකා, ඕෂනී චාපා සහ නිපුනි අනුෂ්කාද ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියට සහභාගි වූවන් බැවින් තම පූර්ව තරග අත්දැකීම් යොදාගනිමින් ශ්‍රී ලංකාවට ගෞරව ගෙන ඒමේ වගකීම ඔවුන් සතුව ඇත.

මෙම කණ්‌ඩායමේ සිටින තිලිණි පෙරේරා, කසුනි ලක්‌ෂානි සහ බී. පුහලරසී යන ක්‍රීඩිකාවෝ වොලිබෝල් සම්මේලනයේ අලුත් සොයා ගැනීම් මෙන්ම අනාගත ආයෝජනද වේ.

පිළියන්දල මහ විදුහලෙන් පැමිණි තිලිණි පෙරේරා එම ප්‍රදේශයෙන් ජාතික වොලිබෝල් කණ්‌ඩායමකට වරම් ලැබූ ප්‍රථම ක්‍රීඩිකාව වනු නියතය. ත්‍රිකුණාමල මිහිඳුපුර විදුහලෙන් ජාතික කනිෂ්ඨ පිලට එක්‌වූ දිනූෂි මධුෂිකාද අහඹු සොයා ගැනීමක්‌ ලෙස සැලකේ.

මෙවර කණ්‌ඩායමේ වැඩිම අවධානයට යොමුවූ ක්‍රීඩිකාව බවට බී. පුහලරසී පත්වනුයේ උතුරු පළාත නියෝජනය කරමින් ජාතික කණ්‌ඩායමකට එක්‌වූ ඉතිහාසයේ පළමු ක්‍රීඩිකාව ලෙසිනි. වසර 2 ක්‌ තරම් කෙටි වොලිබෝල් අතීතයක්‌ හිමි ඇය සීග්‍ර දක්‍ෂතා වර්ධනයක්‌ දැක්‌වූ ක්‍රීඩිකාවක ලෙසින් හැඳින්වෙන අතර අනාගතයේ ජාතික ජ්‍යෙස්‌ඨ පිලටද ඇතුළත් වීමට තරම් ඇගේ දක්‍ෂතා වර්ධනය කර ගැනීමේ හැකියාව ප්‍රභල බව කියෑවේ.

මෙම ක්‍රිඩිකාවන් තිදෙනාම වයස අවුරුදු 15 ට අඩු බැවින් ඔවුනට මීළඟ ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවටද සහභාගිවීමේ කාල අවකාශයක්‌ හිමියි. ඔවුන් තිදෙනා අනාගත ආයෝජන ලෙසින් හැඳින්වූයේ එබැවිනි.

කෙසේ වෙතෙත් මෙම ක්‍රීඩිකාවන් අතුරින් පළමු තේරීමට අයත් වනුයේ ඉරේෂා උමයංගනී, රුවනි තක්‌ෂිලා(කෙටි පන්දු ප්‍රහාරිකාවන්), කාංචනා චතුරානි(පන්දු ඔසවන්නිය), නිපුනි අනුෂ්කා, නිලන්තිකා සංජීවනී, ඕෂනී චාපා(උස පන්දු ප්‍රහාරිකාවන්), යන ක්‍රීඩිකාවන්ය. ධම්මිකා කුමාරිට ලිබරෝ ක්‍රීඩිකාව ලෙසින් විශේෂ වගකීමක්‌ හිමිවේ.

මාස 3 ක නේවාසික අත්දැකීම් ලබද්දී සහ තරගාවලියට සූදානම් වීමේදී කණ්‌ඩායම් ප්‍රධානියා වන වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සිය වගකීම උපරිමයෙන් ඉටු කළ බවට ක්‍ෂේත්‍රයේ ප්‍රසංශාත්මකව කතා බහට ලක්‌වන අතර දැන් ඉතිරිව ඇත්තේ (වසර 7 ක කාලයක්‌ කියුබාවේ ක්‍රීඩාව අධ්‍යයනය කරමින් හවානා විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩා පිළිබඳ උපාධියක්‌ ලැබූ සහ එහිදී වසර 2 ක කාලයක්‌ කියුබානු ජාතික වොලිබෝල් කණ්‌ඩායම සමගම සිටි) ප්‍රධාන පුහුණුකරු අයි. පී. විඡේරත්න මහතා සිය දැනුම යොදාගනිමින් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ කාන්තා කණ්‌ඩයාම කෙතරම් දුරට මුවහත් කර ඇත්දැයි බැලීමය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.