අඟුලාන ද්විත්ව ඝාතනය
ලක්‍ෂ 30 ක්‌ වන්දි ඉල්ලා ගොනුකළ
පෙත්සම සලකා බැලීම දෙසැම්බර් 7 වැනිදා


සරත් ධර්මසේන

අඟුලාන පොලිස්‌ අත්අඩංගුවේ සිටියදී වෙඩි වැදීමෙන් මියගිය බව කියන තරුණයන් දෙදෙනා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 30 ක වන්දියක්‌ අයකර දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ මවුවරුන් දෙදෙනා විසින් රජයට හා එම පොලිසියේ ස්‌ථානාධිපතිව සිටි විනී නිව්ටන් ඇතුළු පොලිස්‌ නිලධාරීන් 04 කට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම දෙසැම්බර් මස 7 වැනි දිනට කල් තබන ලදී.

එම තරුණයන් දෙදෙනා මරා දැමීම සම්බන්ධයෙන් අඟුලාන පොලිසියේ ස්‌ථානාධිපති ඇතුළු 04 ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරන ලැබූ නඩුවක්‌ දැනට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඬුල්ලක්‌ (ට්‍රයල් ඇට්‌ බාර්) හමුවේ විභාග වෙමින් පවතින අතර එම නඩු විභාගය අවසන් වනතුරු එකී මූලික අයිතිවාසිකම් නඩුව කල් දැමීමට නීතිපති පෙත්සම්කරුවන්ට හා වගඋත්තරකාර පොලිස්‌ නිලධාරීන් වෙනුවෙන් සියලු දෙනාම කැමැත්ත පළ කළහ.

ගාමිණී අමරතුංග, සලීම් මර්ෂුප් හා ආර්. කේ. එස්‌. සුරේෂ්චJද්‍ර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ විභාගයට ගැනීමට නියමිතව තිබිණි.

දිනේෂ් තිරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක උදය කාන්ත අපොන්සො මියගිය තරුණයන් දෙදෙනා ය.

මොරටුව අඟුලාන පල්ලිය පාර පදිංචි ස්‌වර්ණමාලි අපොන්සො සහ අඟුලාන මහනාම මාවත පදිංචි වී. දේවිකා ප්‍රනාන්දු මෙහි පෙත්සම්කාරියන් වේ.

අධිනීතිඥ ප්‍රීනාත් ප්‍රනාන්දු මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අධිනීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ එන්. ඩී කොල්ලුරේ යන මහත්වරු විතිත්කාර පොලිස්‌ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.