මේ ඔරලෝසු කණුව ලන්දේසීන්ගේ නොව අපේ..

අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා

.

ගාලු කොටුව මත ඉදිව ඇති ඔරලෝසු කණුව දකින අද අප රටේ සිsටින බොහෝදෙනා මෙම ඔරලෝසු කණුව ලන්දේසීන්ගේ සේවාවක්‌ ලෙස එම ගොඩට දමා සලකන්නට පුරුදුව සිටිති. ගාලු කොටුව සැකසුණ කළුගල් බැම්මට සමානවම එහි පෙනුමට කිසිම හානියක්‌ නොවන සේ ඉදිවුණ මෙම ඔරලෝසු කණුව අද ගාලු කොටුව ලොවට හඳුන්වන සංකේතය බදුය. අද වෙළෙඳ දැන්වීම්වලටද මැතිවරණ සමයේ පෝස්‌ටර්වලට ද ගාලු කොටුව හා ඔරලෝසු කණුවේ සේයාරූ යොදා ගන්නා පිරිසද මෙම ඔරලෝසු කණුව ඉදි වූයේ කුමන කාලයේද? කුමක්‌ සඳහා ද කවුරුන් විසින් කරවන ලද්දේ ද? යන්න නොදැනීම ඉතා විශාල අඩුපාඩුවකි. මේ නිසා එහි අතීත කථාව ද නිර්මාණය කරවූ පුද්ගලයා ද හඳුන්වා දෙන්නට මෙම ලිපිය ලියන්නට අදහස්‌ කළෙමි.

දහනව වැනි සියවසේ අවසාන කාර්තුවේ ගාලු දිසාවේ විශේෂයෙන්ම ගාලු නගරයේ ජනතාවට වෙද හෙදකම් කළ ජනතා ප්‍රසාදය දිනාගත් ඉංගී්‍රසි ජාතික වෛද්‍යවරයෙක්‌ විසූහ. පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ යන නාමයෙන් හඳුන්වන ලද මෙතුමා සිය සේවය නිමාකර සමුගෙන යැම සම්බන්ධයෙන් අනුස්‌මරණය කිරීමට කුමක්‌ කරමුදැයි ගාල්ලේ ජන ප්‍රධානීන් සාකච්ඡා කළහ. ඒ සඳහා ඔරලෝසු කණුවක්‌ ඉදිකිරීම සුදුසු යෑයි යෝජනා වූයෙන් එම ඔරලෝසු කණුව තැනවීම සඳහා වියදම ලෙස රුපියල් තුන්දහස්‌ පන්සියයක්‌ යන බවට පසුව ඇස්‌තමේන්තු සකස්‌ විය. මෙම මුදල ගාලු නාගරික ජනතාවගෙන් එකතු කර ඉදිකිරීමට යළි සැළසුම් කළහ. මේ අවස්‌ථාවේදී ඒ සඳහා යන බර පැන එකතු කිරීම අවශ්‍ය නොවන බව පෙන්වා දුන් වාසල මහ මුදලි කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්‍ෂ මැතිතුමන් වැය වන මුළු මුදල තමා විසින් දරන බව සභාවට දැන්වීය. ඒ අනුව ගාලු කොටුවේ ඉදිවුණ එම ඔරලෝසු කණුව එම කොටුවේ පෞරාණික භාවයට හානියක්‌ නොවන ලෙස නිමා කර එය දොස්‌තර පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා විසින් මීට වසර 127 කට පෙර විවෘත කරන්නට යෙදී ඇත.

මෙය ඉදිකරවන ලද්දේ සැම්සන් රාජපක්‍ෂ මැතිතුමන් විසින් බව ඔරලෝසු කණුවේ පාමුල ආසන්නයේ සවි කර ඇති. සිහිවටන පුවරුවෙන් සනාථ වේ. දැනට මැකීගෙන යමින් පවතින දුර්වර්ණ වී ඇති එම පුවරුවේ ඉංගී්‍රසි බසින් ලියෑවුණ සටහන මෙසේය.

The Clock is the Gift of Samson D Abrew Rajapakse JP  of Kosgoda Mdccel xxxiii - 1883

මෙලෙස ගාලු දිසාවේ සිංහල බෞද්ධ දානපතියන් විසින් සිදුකළ සේවාවන් විචාරයෙන් තොරව විදේශිකයන්ට පවරා ඔවුන් විසින් සිදු කළා යෑයි අප තුළ මානසික තත්ත්වයක්‌ ගොඩනැඟී ඇත්තේ, නිදහස ලැබීමෙන් පසු වුවද ඒවා බාරගත් අපේ පාලකයන් නායකයන් මේවා සොයා බලා නිසියාකාරව සංරක්‍ෂණය නොකරන නිසාය. වර්තමානයේ ලෝක උරුමයක්‌ ලෙස සුරකින ගාලු කොටුවේ තිබෙන මෙම ඉපැරැණි සිංහල බෞද්ධ උරුමය ලන්දේසීන්ට නොපවරා එහි තිබෙන ඉංගී්‍රසි සිහිවටන පුවරුව සිංහලයටද පරිවර්තනය කර භාෂා තුනෙන්ම සවිමත් පුවරු සටහනක්‌ එම ඔරලෝසු කණුව අබියස සවිකරන ලෙස වගකිව යුත්තන්ට සිහිපත් කරමු.

මෙම අභිමානවත් ක්‍රියාව සිදු කළ සැම්සන් රාජපක්‍ෂ මුදලිතුමන් කවුරුන්දැයි දැන හඳුනා ගැනීම ද වැදගත් වනු ඇත. එබැවින් එතුමන් පිළිබඳව යම් සටහනක්‌ තැබීම වැදගත් යෑයි සිතමි. ශ්‍රී මහාබෝධි රාජයාණන් ලක්‌දිවට වැඩම කරවීමේදී මෙරටට පැමිණි බමුණු පිරිස අතර විසූ ඉසුරුමුණි කප්පිණ බමුණා පදිංචියට පැමිණියේ එම දෙතිස්‌ ඵලරුහ බෝධියේ එක්‌ ඵල රුහ බෝධියක්‌ වූ ඇඹලව රහත් ගල්වෙහෙර රෝපණය කළ බෝධියත් සමග එකල රෝහණයේ මුහුදුqබඩ චිර ප්‍රසිද්ධ ග්‍රාමයක්‌ වූ වැලිතොට ගල්වෙහෙරටය. මෙහි පදිංචි වූ මෙතුමා එම ප්‍රදේශයේ බ්‍රාහ්මණ සෙනඟ සමඟ සහයෝගයෙන් ජීවත් වූයේ දේවානම්පියතිස්‌ස රජුගේ ද රාජානුග්‍රහය ලබමිනි.

මෙලෙස සියලු රාජ සමයන්හි ප්‍රදේශාධිපතීන් විලස ක්‍රියා කළ මෙම බමුණු පරපුර සීතාවක රාජසිංහ සමයේ පරංගීන් සමඟ සිදු කළ සටන්වලදී ඔහුට ඉතා උදව් උපකාර කළේය. එකල වැලිතොට විසූ කප්පිණ සේනානායක මුදලිවරයා ප්‍රබල රණශූරයකු ලෙස ක්‍රියා කර ඇත. පසුව සීතාවක රාජසිංහයන් සමග ඇතිවූ මතබේදයක්‌ නිසා රජු විසින් මෙම මුදලිවරයා මරා දමන්නට ක්‍රියා කළේය. මෙයින් පෘතුගීසීන් සමග එක්‌වුණ අතර ඔහු මරා දැමුණේ ඔහුගේ හිස ගෙනැවුත් දුන් අයට තෑගිබෝග දෙන බවට සිදු කළ ප්‍රචාරය නිසාය. ඔහුගේ මරණය සම්බන්ධව එන ජන කවියක්‌ මෙසේය.

කඳගෙන ගොසින් බගවත්තේ දමා පිලූ හිස ගෙන ගොසින් සීතාවකට දී පිලූ රුව ගෙන ගොසින් කොඩිලන්සේ ලියා පිලූ කප්පිණ මුදලි නයිනංකඩ මරා පිලූ

මෙම පරපුරේ දහනව වැනි සියවසේ ප්‍රධාන පුරුෂයා වූයේ මෙම ගාලු ඔරලෝසු කණුව තැනවූ සැම්සන් රාජපක්‍ෂ මුදලිතුමන්ය.

දහනව වැනි සියවසේ මැද භාගයේ මහබද්දේ මහ මුදලි පදවිය දැරූ අදිරියන්ද ආබ්‍රේව් විජයගුණරත්න මහතාගේ පුතණුවන් ලෙස 1830 දෙසැ. 30 වැනි දින උපත ලද සැම්සන් රාජපක්‍ෂ මහතා බළපිටියේ ධීරානන්ද හිමියන්ගෙන් මූලික අධ්‍යාපනය ලබා එදා කොළඹ ඇකඩමිය ලෙස හැඳින්වූ වත්මන් රාජකීය විද්‍යාලයෙන් උසස්‌ අධ්‍යාපනය ලබා ඇත. 1844 සිට කොළඹ වලව්වෙන් බළපිටියට පැමිණි සැම්සන් රාජපක්‍ෂ වැලිතර අඹගහපිටිය මහා විහාරයේ වැඩ විසූ කහවේ ශ්‍රී Æණානන්ද මාහිමියන්a වෙතින් සිංහල හා පාලි භාෂාවන් මනා ලෙස උගත්තේය. ලංකාගොඩ සිරි ධීරානන්ද මාහිමියන් වෙතින් බුදුදහම හා අභිධර්මය උගත් අතර මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද මාහිමියන් වහන්සේ ඉතා සමීපව ඇසුරු කළේය.

තරුණ වියට පිවිසීමෙන් පසුව 1856 සැප්තැම්බර් 10 වන දින කොළඹ ලුණුපොකුණේ සීමන් ද සොයිසා සෙනෙවිරත්න ශ්‍රී වර්ධන මහතාගේ දියණිය වූ ජොහානා ඩොරතියා ඇමලියාද සොයිසා සෙනෙවිරත්න මෙනවිය සමග විවාහ ගිවිස ගත්හ. මෙම විවාහයෙන් ටික කලකට පසු ඇය මියගිය හෙයින් දෙවන විවාහය සිදු කරගන්නා ලද්දේ සිය නැන්දණියගේ දියණිය වූ කැරොලයින් ද සොයිසා සිරිවර්ධන මෙනවිය සමඟ ය.

1870 දී මීගමු ප්‍රදේශය සඳහා සාමදාන විනිශ්චයකාර පදවියෙන් ඉංගී්‍රසි ආණ්‌ඩුව විසින් සම්මානිත වූ සැම්සන් රාජපක්‍ෂ මහතාට 1974 අප්‍රියෙල් 17 වැනි දින එවකට ලංකාණ්‌ඩුකාර ධුරන්දර ශ්‍රීමත් හර්කියුලස්‌ රොබින්සන් ආණ්‌ඩුකාරවරයා විසින් වාසල මුදලි පදවිය පිරිනමා උපහාර කරන ලදී. 1876 දී ලංකාවටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක්‌ද පිරිනැමූ අතර දේශීය හා විදේශීය වශයෙන් විවිධ ගෞරව නාමයන්ට පාත්‍ර විය.

සිය උපන් දේශයට පිළිපදින ආගමට දහමට අමරණීයම සේවයක්‌ කළ මෙතුමා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සිදු කරන ලද මෙහෙවර ද අති විශාලය. කොළඹ වෛද්‍ය විද්‍යාලය ගොඩනඟන්නට අවශ්‍ය කරන ඉඩම එතුමා විසින් පරිත්‍යාග කරන ලදි. එම පරිත්‍යාගය එවකට ආණ්‌ඩුකාර ධුරය ඉසිලූ ග්‍රෙගරිතුමන් විසින් 1875 ජුනි 04 වැනි දින වෛද්‍ය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණ ඉතා අගය කළේය. රට පුරාම ඉංගී්‍රසි අධ්‍යාපනය ලබා දෙමින් මිෂනාරි පාසල් ගෙන යන වැඩසටහන දුටු සැම්සන් රාජපක්‍ෂ මුදලිවරයා තම ගම් ප්‍රදේශයේ 1879 ජනවාරි 07 වැනි දින ප්‍රථම බෞද්ධ ඉංගී්‍රසි පාඨශාලාව විවෘත කර අවශ්‍ය ගොඩනැඟිsලි ද ඉඩම් ද ගුරුවරුන්ට වැටුප් ද තම වියදමෙන් පරිත්‍යාග කරන්නට යෙදුණි. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ දක්‍ෂතම ශිෂ්‍යයාට "රාජපක්‍ෂ ත්‍යාගය" නමින් තිළිණයක්‌ ලබා දුන් අතර කොළඹ සාන්ත තෝමස්‌ විද්‍යාලයට ශිෂ්‍යත්ව කිහිපයක්‌ ම පිරිනමන්නට යෙදුණි. විෙද්‍යාදය පිරිවෙනෙහි ඉගෙනුම ලබන ස්‌වාමින් වහන්සේලාට අධ්‍යාපන කටයුතුවලට දිරි දීම සඳහා සිංහල පාලි සංස්‌කෘත භාෂාවන්ගෙන් විශිෂ්ට සාමාර්ථ ලබා ගන්නා සිසුන්හට වාර්ෂිකව ත්‍යාග පිරිනමන්නට ද යෙදුණි. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද මාහිමියන් ගෙන ගිය ජාතික ආගමික සටන්වලදී උන්වහන්සේට අවශ්‍ය ආර්ථික ශක්‌තිය නොමඳව ලබා දුන් අතර කොළඹ හා බළපිටියේ විහාරාරාම රාශියක්‌ තමාගේ ධන පරිත්‍යාගයෙන් තනවන්නට යෙදුණි. බලපිටියේ මහ කප්පිණ මුදලින්දාරාම මහා විහාරය කරවා "රාජපක්‍ෂ පිරිවෙන" නමින් ආයතනයක්‌ ගොඩනංවා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මා හිමියන් ගෙන්වා විවෘත කරවා ස්‌වාමින් වහන්සේලා වෙනුවෙන් විශාල සේවයක්‌ සිදු කළහ. මාදුගඟ මැද කොත්දූවේ විහාරය කරවා සංඝරත්නයට පූජා කළහ. වත්මන් බළපිටියේ මූලික රෝහල එතුමාගේ ඉඩමක ගොඩනැංවීමට කටයුතු කළහ.

කොළඹ කුරුඳුවත්ත වර්තමාන බණ්‌ඩාරනායක ගුවන් තොටුපළට අයත් අක්‌කර දහසකට අධික ඉඩම් හා තවත් අක්‌කර දහස්‌ ගණනක්‌ හිමිව සිටි මෙම අසහාය දානපතියා සිදු කළ සමාජ මෙහෙවර මෙවන් කුඩා ලිපියකින් සඳහන් කිරීම අලියකු පොල් කට්‌ටකින් වසන්නට යනවා වැනි ක්‍රියාවක.s එතුමාගේ එකම පුතණුවන් වූ ටියුඩර් රාජපක්‍ෂ වාසල මුදලිවරයා ද පියාගේ අඩිපාරේ යමින් අති විශාල සේවයක්‌ සිදු කළහ. ඒ සේවා අතරින් ප්‍රධාන තැනක්‌ ගන්නේ තමාට අයත් අක්‌කර තුනකට අධික කොළඹ මරදානේ පරණ වාඩියවත්ත තුළ තමාගේ වියදමින් ප්‍රථම ගොඩනැගිල්ල තනවා තමා විසින්ම එය විවෘත කර කොළඹ ආනන්ද මහා විද්‍යාලය ස්‌ථාවර තත්ත්වයකට පත් කිරීමයි. අද මෙම සේවාවන් අගය කිරීමක්‌ හෝ සිහිපත් කිරීමක්‌ සිsදු නොකර විවිධ උපක්‍රමවලින් යටපත් කිරීම සිදු කරගෙන යන අකෘතඥ ක්‍රියාවන්ය. එලෙසට එතුමන්ගේ පුතණුවන් වූ හියුබට්‌ රාජපක්‍ෂ මහතා 20 වැනි සියවසේ මේ රටේ සිටි දෙස්‌ විදෙස්‌ ප්‍රචලිත මහා ගායකයෙක්‌ මෙන්ම සංගීතඥයෙක්‌ ද විය. ඉඳහිට ඉංගී්‍රසි ක්‍රමයට දන්නෝ බුදුන්ගේ, ගීතය ගුවන් විදුලියෙන් විකාශනය වන්නේ හියුබට්‌ රාජපක්‍ෂ මහතාගේ කටහඬිනි.

බලපිටියේ මෙම රාජපක්‍ෂ පරපුරේ කප්පිණ වලව්ව, ගම්පෙරළිය, විරාගය, මඩොල්දූව, ඇතුළු චිත්‍රපට රැසකට යොදාගත් ඉපැරැණි ගෘහයයි. ගාලු කොටුවේ ප්‍රතාපවත් ඔරලෝසු කණුව සිය වියදමෙන් තැන වූ මෙම අසහාය සිංහල බෞද්ධ දානපතියා මීට වසර 122 කට පෙර එනම් 1888 ජනවාරි මස 26 වැනි දින කොළඹ මෝදර කාරලූ වලව්වේදී අභාවප්‍රාප්ත විය.

මෙතුමා එදා සමාජයේ කුමන අන්දමේ ගෞරවාදරයකට පාත්‍ර වී සිටියාද යන්න. සැම්සන් රාජපක්‍ෂ මුදලිතුමාගේ මරණයෙන් පසු ඇම්. ධර්මරත්න පඬිතුමන් විසින් සිය "ලක්‌මිණි පහන" පුවත්පතින් සිදු කළ ප්‍රකාශයෙන් පෙනේ. මා එය ඉදිරිපත් කරමින් මෙම ලිපිය අවසන් කරමි.

"බුද්ධාගම්කාර යම් පමණ සමූහයක්‌ ඇත්නම් ඒ සියලුදෙනාගේම සිත්වලට මෙතුමාගේ ජීවත්ව සිටීම මහත් ධෛර්යක්‌ව තිබුණේය. මක්‌ නිසාදයත් ලංකාව පරදේශීන්ට අත්පත් වුQණායින් පසු පාතරට විසූ පුරාණ ඇමැති පෙළපත් සියල්ලම වාගේ නිලතල ලාභකීර්ති ආදිය සඳහා පරදේශීන්ගේ සිත් ගන්නා අදහසින් මිථ්‍යා දෘෂ්ටික වූවෝය. සමහරු බුද්ධාගම අදහන්නේත් විහාර පන්සල්වලට යන්නේත් බණ පිරිත් අහන්නේත්, දන් දෙන්නේත් වට පිට බල බලා මහත් බයකින් නමුත්, මුන්නාන්සේට භයක්‌ චකිතයක්‌ වීමට හේතු නැති බැවින් නිර්මල බුද්ධාගම්කාරයෙක්‌ වී සිටියා පමණක්‌ නොව බුද්ධාගම්කාරයන්ට නොඉසිලිය හැකි මහත් බරක්‌ පැමිණිවිට ඉසිලීමට සිටියේත්, මුන්නාන්සේ පමණයි. එබැවින් සියලු බුද්ධාගම්කාරයන්ගේ කටයුතු කර්මාන්ත අත්හැර මුන්නාන්සේගේ මරණය සඳහා සතියක්‌ මුළුල්ලේ හඬා වැළපෙමින් ශෝකය ප්‍රකාශ කරත් නම් මැනවැයි සිතමි."

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.