යුද විරුවකුට "ජම්පර්" ඇන්දවීම!

යූද්ධය අවසන් වුවත් ෙ€දවාචකවල නම් අවසානයක්‌ නැත. සරත් ෆොන්සේකාගේ සිරගතවීම මේ රටේ සිදුනොවිය යුතු ආකාරයේ ෙ€දවාචකයකි. නාවික හමුදා මූලස්‌ථානය තුළ නිවසක රඳවාගෙන සිටීම වෙනම කථාවකි. නමුත් කොට කලිසම හා "ජම්පරය" ඇඳගෙන සාමාන්‍ය හොරුන් හා තක්‌කඩින් සමග වැලිකඩ සිටීම තවත් දෙයකි. එක්‌ පැත්තකින් ජනතා විමුක්‌ති පෙරමුණ මේ ගැන කියන කථාවේ යම් සත්‍යයක්‌ද තිබේ. සරත් ෆොන්සේකා මහතා ආණ්‌ඩුවට විරුද්ධව දේශපාලනය නොකළේ නම් මේ දෙය අද ඔහුට සිදුවන්නේ නැත. නමුත් මෙය මුළු කථාවෙන් කොටසක්‌ පමණි. ආණ්‌ඩුවට විරුද්ධව දේශපාලනය කළා යෑයි කියා මේ ආණ්‌ඩුව විසින් කිසිවකුත් හිරේ දමා නැත.

එසේ නම් මේජර් ජෙනරාල් ජානක පෙරේරා ද රාජපක්‍ෂවරුන්ට විරුද්ධව යමින් උතුරු මැද පළාතේ මහ ඇමැතිකමට තරග කළ අයෙකි. ඔහු මහින්ද රාජපක්‍ෂට විරුද්ධව සෘජුවම තරග කළේ නැති වුවත් එදා ජානක පෙරේරා උතුරු මැද පළාත් සභා ඡන්දය දිනුවේ නම් එතැනින් පටන්ගන්නා ක්‍රියාදාමයෙන් ආණ්‌ඩුවේ බිඳවැටීම ආරම්භ වනු ඇත. කලක්‌ දේශපාලනයේ සිට එයින් ඉබේටම ඇති වන පිරිහීමට ද ලක්‌වී සිටි ආණ්‌ඩු පක්‍ෂයේ අපේක්‍ෂක බර්ටි ප්‍රේමලාල් දිසානායකට ජානක පෙරේරා වැනි යුද විරුවෙක්‌ට එරෙහිව තරග කර ජයගත හැකිද යන කාරණය ගැන ද ආණ්‌ඩු පක්‍ෂයේ බොහෝ අය තැතිගෙන සිටියහ. තත්ත්වය එබඳු වුවත් ඔවුන් එම බලාපොරොත්තු වූ ආකාරයේ දැවැන්ත මඩ ප්‍රහාරයක්‌ ජානක පෙරේරාට එරෙහිව යෙදවූයේ නැත. මැර බලයෙන් ඡන්දය දිනීමට උත්සාහ කළේ ද නැත.

මොවුන්ගෙන් ඒ අවස්‌ථාවේදී සිදු වූයේ නිලධාරිවාදී කෙනහිලිකම් කීපයක්‌ පමණි. ඔහුට ආරක්‍ෂිතයින් වශයෙන් සපයා දෙනු ලැබූයේ ඕනෑම සාමාන්‍ය පළාත් සභා අපේක්‍ෂකයකුට දෙන ආරක්‍ෂාව පමණි. ඒ සම්බන්ධයෙන් නීති පොත අකුරටම ක්‍රියාත්මක කරන ලදී. පසුව විශේෂ ආරක්‍ෂාව ලබාගැනීම සඳහා ජානක පෙරේරාට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට සිදුවිය. මේ ආකාරයට නිලධාරිවාදී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම හැරුණ විට ආණ්‌ඩුවෙන් ජානක පෙරේරාට එරෙහිව කිසිදු හිරිහැරයක්‌ සිදු නොවුනේය. විශේෂයෙන්ම ඔහු පැරදුන පසු ඔහුට කිසිදු හිරිහැරයක්‌ සිදුවූයේ නැත. මරාගෙන මැරෙන බෝම්බකරුට ජානක පෙරේරා වෙත ළංවීමට හැකි වූයේ ආණ්‌ඩුවේ වරදකින් නොව තමන්ගේ රැස්‌වීමකට එන ඡන්දදායකයන්ගේ සර්වාංගය අතපතගා බලා ආරක්‍ෂක පියවර ගැනීමට සියලු දේශපාලකයන් තුළ ඇති අකමැත්ත නිසාය. ඒ බෝම්බ සිද්ධිය සිදුවූ ස්‌ථානයේ හිටපු හමුදා නිලධාරීන් ඕනෑතරම් සිටියත් එයට එන කිසිවකුවත් අතපතගා පරීක්‍ෂා කළේ නැත.

ආණ්‌ඩුවට විරුද්ධව තරග කොට ජානක පෙරේරාට යහතින් ඉන්න ලැබුණත් සරත් ෆොන්සේකාට සිර බත් කෑමට සිදුවීමත් අතර ඇති වෙනස දේශපාලනයට සම්බන්ධ නොවන කරුණුය. අද සරත් ෆොන්සේකා මහතා වැලිකඩට වී සිටින්නේ ඔහු රාජපක්‍ෂවරුන්ට විරුද්ධව දේශපාලනය කළ නිසා වත් ඔහු හමුදාපතිව සිටියදී අයථා ටෙන්ඩර් ගනුදෙනුවල නිරත වූ නිසාවත් නොවේ. ටෙන්ඩර් මගඩිවලට සම්බන්ධ කීදෙනෙක්‌ ආණ්‌ඩුවේම සිටිනවා විය හැකිද? ඡන්දය පැරදුනු පසු ආණ්‌ඩුව සරත් ෆොන්සේකා මහතා පසුපස හඹා ගොස්‌ ඔහු සිර කර තැබීමට පියවර ගත්තේ අන් කුමන කාරණයක්‌ නිසාවත් නොව ඔහු ජාත්‍යන්තර යුද අධිකරණයකදී සාක්‍ෂි දීමට සූදානම් යෑයි කීම නිසාය.

මුළු බටහිර ලෝකයම සිටින්නේ රාජපක්‍ෂවරුන් සමග දැඩි වෛරයකිනි. ඔවුන් මේ අවස්‌ථාවේදී රාජපක්‍ෂවරුන්ට එරෙහිව ඕනෑම කෙනෙක්‌ කියන ඕනෑම දෙයක්‌ වලංගු සාක්‍ෂියක්‌ හැටියට පිළිගැනීමට සැදී පැහැදී සිටී. මේ බව අපට මනාවම සනාථ වූයේ යුරෝපා සංගමය විසින් ලංකාවට ලැබුණු ඨීඡ+ බදු සහනය අහෝසි කිරීමට නීති විශාරදයින් තුන්දෙනෙකු ලවා සකසන ලද වාර්තාවකිනි. එම වාර්තාවේ ඔවුන් සාක්‍ෂි ලෙස ඉදිරිපත් කර තිබූ බොහෝ දෑ අඩුම ගණනේ පුවත්පත් වාර්තාවක්‌වත් ලිවීමට පදනම් කරගත හැකි කාරණා නොවේ. එවන් තත්ත්වයක්‌ තුළ යුද්ධයට සෘජුවම සහභාගි වී ඇති සරත් ෆොන්සේකා වැනි අයෙක්‌ දෙන ඕනෑම සාක්‍ෂියක්‌ ඇත්ත වුවත් බොරු වුවත් ඇත්ත හැටියටම බටහිර ලෝකය විසින් පිළිගනු ඇත. අද ආණ්‌ඩුව විසින් සරත් ෆොන්සේකා කූඩු කරගෙන සිටින්නේ මෙන්න මේ කාරණය නිසාය.

තවත් ප්‍රශ්නයක්‌ වන්නේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය තුළදී සරත් ෆොන්සේකා මහතා විසින් අනෙක්‌ පැත්තේ අයට කරන ලද බව කියන තර්ජන හා ගර්ජනයන්ය. මේ රටේ ඉතිහාසයේ තමන් බලයට පත්වූ පසු තම දේශපාලන විරුද්ධවාදීන්ට ජම්පර් අන්දවා හිරේ දමන බවට තර්ජනය කළ එකම ඡන්ද අපේක්‍ෂකයා සරත් ෆොන්සේකා මහතාය. ත්‍රස්‌තවාදී නායකයකු වූ රෝහණ විෙ-වීරවත් ඡන්ද ව්‍යාපාරයකදී මෙවැනි කථා කීවේ නැත. මේ තර්ජන හා ගර්ජන නිසා සරත් ෆොන්සේකාගේ සියලු විරුද්ධවාදීන් සිටියේ භීතියෙන් ඇලලී ගොස්‌ය. සරත් ෆොන්සේකා දිනුවේ නම් සියලුම රාජපක්‍ෂවරුන් මැරුම් කන බව මගේ විශ්වාසයයි. එපමණක්‌ නොව මෙය ලියන මම ද පරලොව යෑවෙනු ඇත. ජනාධිපතිවරණ ඡන්දය පවත්වනු ලැබූ 2010 ජනවාරි 26 වනදා ඡන්ද ගණන් කරන අතරතුර මා සිටියේ කොළඹ ඉන්දියන් මහ කොමසාරිස්‌වරයාගේ නිල නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙමිනි. පසුදා උදෑසන වන විට සරත් ෆොන්සේකා රටේ ජනාධිපති වීමට ඉඩ ඇතැයි යන්න ගැන මට යම්තම් හෝ සැකයක්‌ තිබුණේ නම් මා ඒ වන විට සිටින්නේ ලංකාවේ නොව පිටරටය.

ජනාධිපතිවරණ ඡන්ද දිනයේදී මා ලංකාවේ රැඳී සිටියේ මගේම අනාවැකි ගැන තිබුණු අචල විශ්වාසය නිසා පමණි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මා කර තිබූ අනාවැකිය වූයේ සරත් ෆොන්සේකා මහතා දිනන්නේ නැති බවත් ඔහුට අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට 2005 දී ලැබුණු ඡන්ද ප්‍රමාණයවත් ලැබෙන්නේ නැති බවත්ය. මගේ මෙන්ම රටේ වාසනාවටත් ඒ අනාවැකි දෙකම සැබෑ විය.

සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රසිද්ධ වේදිකාවේ සිට තම විරුද්ධවාදීන් සම්බන්ධයෙන් කරන තර්ජන, ගර්ජන, ගෝරනාඩු ගැන එ.ජා.ප. යත් ජ.වි.පෙ. ත් දරන ලද්දේ අමුතුම ආකාරයේ ආකල්පයකි. එම තර්ජන ගර්ජන නැවැත්වීමට ෆොන්සේකාට සහයෝගය දුන් කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ පියවර ගත් බවක්‌ පෙනෙන්නට නැත. මෙහි විශේෂත්වයක්‌ වන්නේ සරත් ෆොන්සේකා මහතා වේදිකාවේ කරන තර්ජන මිනිසුන් එතරම් ගණන් ගත නොයුතු යෑයි අප්‍රකාශිත ආකල්පයක්‌ මේ දේශපාලන පක්‍ෂ තුළ තිබීමයි. මිනිසුන් ඒවා එතරම් ගණන් ගන්නේ නැතිවේ යෑයි ඔවුන් තුළ පැහැදිලි බලාපොරොත්තුවක්‌ තිබුණේය. ඔහු ඡන්ද ව්‍යාපාරය තුළදීත් ඊට පසුවත් තමන් ඕනෑම ජාත්‍යන්තර යුද අධිකරණයකදී සාක්‍ෂි දීමට සූදානම් බවට කී කථාවද එතරම් ගණන් ගත නොයුතු යෑයි ඔහුට සහයෝගය දුන් දේශපාලන පක්‍ෂ පමණක්‌ නොව මහනාහිමිවරුන් පවා විශ්වාස කරන බවක්‌ පෙනේ.

මෙයද අප කිසිවෙක්‌ මීට පෙර කිසිදාක දැක නැති අමුතුම තත්ත්වයකි. සරත් ෆොන්සේකා මහතා බලයට පැමිණිය හොත් රජයේ සේවකයන්ගේ වැටුප් මසකට රුපියල් 10,000 කින් වැඩි කරනවා යෑයි කියන කථාව කිසිවකුත් විශ්වාස කළේ නැත. ඉන්පසුව ඔහු තමන්ගේ විරුද්ධවාදීන් හිරේ දමනවාය, ජාත්‍යන්තර යුද අධිකරණයකදී සාක්‍ෂි දෙනවා යෑයි කියා කරන ලද තර්ජන ද ගණන් ගත නොයුතු නම් ෆොන්සේකා මහතා දේශපාලනයට පැමිණීමෙන් පසු ගණන් ගත යුතු කිසිම දෙයක්‌ පවසා නැති බව පෙනෙයි. එක්‌ පැත්තකින් බලන කල ඔහු වාර්තාගත ඡන්ද ගණනකින් පරාජයවීම පුදුමයකට කාරණයක්‌ නොවේ. පුදුමයකට ඇත්තේ දේශපාලනයට පැමිණි පසු ගණන් ගත යුතු කිසි දෙයක්‌ නොකී අපේක්‍ෂකයකුට ඡන්ද ලක්‍ෂ 42 ක්‌ ලැබීමයෘ

ෆොන්සේකාට සහයෝගය දුන් දේශපාලන පක්‍ෂ පමණක්‌ නොව භික්‍ෂුන් වහන්සේලාද ඔහු කියන කිසිවක්‌ බරපතල ලෙස ගණන් ගත්තේ නැත. මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ගේ විරුද්ධවාදීන් හිරේ දමන බවට ඡන්ද ව්‍යාපාරයක්‌ තුළදී පැවසුවේ නම් එය කාගේත් අවධානයට යොමුවනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ කියුම් හා කෙරුම් ද ඒ ආකාරයටම මහජන අවධානයට යොමු වනු ඇත. පසුගිය වකවානුවේ අප දුටු පරිදි දේශපාලකයන් කියන දෙයින් ඔවුන්ගේ මුළු දේශපාලන දිවියම වෙනස්‌ වෙයි. වචන කීපයක්‌ එහා මෙහා වීමෙන් දේශපාලන නායකයකුට විය හැකි හානිය අප දැක ඇත.

යුද්ධය පැවති සමයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් තොප්පිගල වනාන්තරයක්‌ ලෙස හැඳින්වීමෙන් ද රවි කරුණානායක මහතා හමුදාව අලිමංකඩට යනවා යෑයි කියා පාමංකඩට යන බව කීමෙන්ද, ලක්‍ෂ්මන් කිරිඇල්ල "ඕන ගොනකුට යුද්ධ කළ හැකි යෑයි" කීම නිසාද සිදුවූ හානිය අපට මතකය. මේවා තනි වාක්‍ය පමණි. හරි නම් මේවා අත්වැරදීමකින් කියවුණු ඒවා හැටියට ගණන් ගත යුතුව තිබුණි. නමුත් රටේ ජනතාව ඒවා ගණන් ගත්තේ මෙකී දේශපාලකයන්ගේ හදවත් තුළ ගැබ්ව ඇති සැබෑ අදහස්‌වල ප්‍රකාශනයක්‌ හැටියටය. මෙයින් පෙනෙන්නේ මේ දේශපාලකයන් කියන දේවල් මිනිසුන් ගණන් ගන්නා බවයි. නමුත් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් බොහෝ අය තුළ පවතින අදහස වන්නේ ඔහු කියන දේවල් ගණන් ගත නොයුතු බවයි. ඔහුගේ වදන්වලට ඔහු වගකිව නොයුතු යෑයි මේ අයගේ අදහස වෙයි.

එක්‌ පැත්තකින් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන නොදැනුවත්කම පිළිබඳ මේ අය තුළ අවබෝධයක්‌ ඇත. අනෙක්‌ පැත්තෙන් ඔහු යුද්ධය අවසන් කළ කණ්‌ඩායමේ සාමාජිකයකු වන නිසාත් සාමාන්‍ය දේශපාලකයකුට නොදෙන බුරුලක්‌ සරත් ෆොන්සේකාට දීමට බොහෝ අය සූදානම්ය. පසුගිය වකවානුවේ සරත් ෆොන්සේකා මහතා ප්‍රසිද්ධියේ කී දේවල් දේශපාලකයෙක්‌ කීවේ නම් ඔහුට මේ රටේවත් සිටීමට හැකි වන්නේ නැත. මෙතැන ඇත්තේ ෆොන්සේකා මහතා කියන දේවල් ගණන් ගන්නා හා ගණන් නොගන්නා අය අතර ඇති වෙනසයි. ඔහුගේ වදන් ආණ්‌ඩුව බරපතල ලෙස ගණන් ගන්නා බව පෙනේ.

නමුත් එ.ජා.ප. ය, ජ.වි.පෙ. හා මහනාහිමිවරුන් ඇතුළු ඇතැම් භික්‍ෂුන් වහන්සේලා ද විශ්වාස කරන්නේ ෆොන්සේකා මහතාගේ තර්ජන හා ගර්ජන නාහයට අහන්නේ නැති කුඩා කොළුපැටවකුගේ වදන් මෙන් ගණන් ගත යුතු බවයි. නමුත් මෙහිදී ප්‍රශ්නයකට ඇත්තේ ගණන් ගත නොයුතු යෑයි කියන පිරිස ෆොන්සේකාගෙන් තර්ජනයකට ලක්‌වී නැති අතර ගණන් ගත යුතු යෑයි කියන පිරිස ෆොන්සේකාගේ තර්ජනයට ලක්‌වී සිටීමයි.

රාජ්‍ය බලය ඇතුව හෝ නැතුව ෆොන්සේකාට තම විරුද්ධවාදීන්ට හානිකළ හැක. රාජ්‍ය බලය ලැබුණේ නම් සියලු විරුද්ධවාදීන් පරලොවය. රාජ්‍ය බලය නැතුව වුවද ජාත්‍යන්තර යුද අධිකරණයක අණසක පාවිච්චි කොට ෆොන්සේකා මහතාට තම සියලු විරුද්ධවාදීන් හිරේ විලංගුවේ දැමිය හැකිය. ඡන්දය පැරදුණු පසුත් ෆොන්සේකා මහතාව තමන් ළඟම රඳවාගෙන සිටීමට ආණ්‌ඩුවට උවමනාව පහලවී ඇත්තේත් මේ නිසාය.

මේ කාරණය නිසා ෆොන්සේකා නිදහස්‌ කළ යුතු යෑයි ඉල්ලීම ප්‍රායෝගික නොවේ. ප්‍රායෝගිකව ඉල්ලිය හැකි එකම දේ වන්නේ ඔහු රඳවාගෙන සිටිනවා නම් ඔහුට සාමාන්‍ය සිරකරුවකුට සේ සලකන්නේ නැතුව සුවපහසු ලෙස ඉඳීමට සැලැස්‌විය යුතු බව පමණි. 1920 ගණන්වල ඇමරිකාවේ චිකාගෝ නුවර සිටි පාතාල නායක ඇල් තැපෝන් රඳවා තබාගැනීමට ඇමරිකානු ආණ්‌ඩුවට අවශ්‍ය වූ විට ආණ්‌ඩුව මුලින්ම අල්ලා ගත් පොට වූයේ ඔහු ආදායම් බදු නොගෙවා සිටීමේ චෝදනාවය. මෙතනදී සිදුවී ඇත්තේ ද අහුවෙන පළමු වරද පාවිච්චි කොට ෆොන්සේකා මහතා රඳවා තබා ගැනීමයි. මේ සිදුවී ඇති තත්ත්වයට වගකීම යා යුත්තේ ජ.වි.පෙ.ට හා විශේෂයෙන්ම එ.ජා.ප. යටය. ෆොන්සේකා මහතා හමුදාවෙන් එළියට එන විට භාරගත්තේ මේ උදවියයි.

දේශපාලනයේදී කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවා දැයි ෆොන්සේකාට කියා දීමේ වගකීම මොවුන් සතුවිය. ඒ වගකීම පැහැරහැරිය ඔවුන් ෆොන්සේකා මහතා කළ තර්ජන හා යුද අධිකරණයේ සාක්‍ෂි දීමේ කථාව දැන් ගණන්ගත නොයුතු යෑයි මෙය පිළිගත හැකි දෙයක්‌ දැයි කවුරුත් තම තමන්ගෙන්ම අසාගත යුතුය

සී. ඒ. චන්ද්‍රප්‍රේම

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.