"පාන් නැත්නම් බත් කාපල්ලා"
(ජාතික ආහාරවේලක්‌ සකසා ගනිමු)

"පාන් නැත්නම් කේක්‌ කාපල්ලා" යෑයි කීවේ මාරි ඇන්ටොනයිට්‌ බිසවය.

ප්‍රංශය, ප්‍රංශ විප්ලවයේ මුවවිටට ඇද දැමූ 14 වන ලුවී රජුගේ බිසව වූ ඇය, තමන්ට කන්නට පාන් නැතැයි රජ මාළිගාව අභියසට එක්‌රොක්‌ වී උද්ඝෝෂණය කළ ජනතාවට එසේ කීවේ පාන් නැති වුනට කේක්‌ කොහිදැයි යන්න නොදැන නොවේ.

මහා භීෂණ සමයක්‌ පදනම් කොටගත් ප්‍රංශ විප්ලවය ආරම්භ වූයේ ඉහත කී පාන් ප්‍රශ්නය නිසාම නොවෙතත් මිනිසුන්ගේ කුසගින්න සහ දරිද්‍රතාව ඊට ප්‍රධාන හේතුවක්‌ වූ බවට සැකයක්‌ නැත. ඒ නිසා පාන් වූකලී කිසියම් මටසිළුටු ආහාර වර්ගයක්‌ පමණක්‌ නොව යුරෝපයේ නම් රාජාණ්‌ඩු පවා පෙරළුE භයානක දේශපාලන භාණ්‌ඩයක්‌ බවද යමකුට පවසනු හැකිය.

ඒ තත්ත්වය කලක්‌ මේ රටේ ද නොතිබුණේ නොවේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ දේශපාලන පොරපිටිය තුළ තරගයට මෙන් පාන් සහ පාන් පිටි මිල අඩු කරන්නට පොරොන්දු වන්නේත් බලයට ආපසු එය කළ නොහැකිව ටොන් පච හලන්නේත් ඒ නිසාය.

මේ ආකාරයට විශාල බොරුවක්‌ දේශපාලන හරයක්‌ වශයෙන් පවත්වාගෙන එන්නට මේ රටේ හැම ආණ්‌ඩුවකටම හේතුවූ කාරණා කීපයක්‌ තිබේ.

එකක්‌ නම්, මේ රටේ ප්‍රධාන ආහාරය බත් යෑයි කීවාට යටත් විජිත යුගයෙන් පසු රටේ ජනප්‍රියම ආහාරය බවට පත්කෙරී තිබුණේ පාන් වීමය. (එහෙත්, ඒ කාලයේ පටන් මේ දක්‌වාම තුන් වේලටම බත් කන මිනිසුන්ද මේ රටේ සිටින බව අප අමතක නොකළ යුතුය.)

තවෙකක්‌ නම්, පාන් පිටි නිපදවන තිරිඟු වගාවක්‌ මේ රටේ නොමැති නිසා කොයි කාලයේ වුවත් පාන් පිටි අරභයා ඈත මුහුද දෙස බලා සිටින්නට කොයි ආණ්‌ඩුවලටත් සිදුවී තිබීමය.

ඒ අනුව අපගේ දේශගුණික කලාපයට කිසිසේත් අයිති නොවන ඇමරිකාව, රුසියාව වැනි රටක නියං කාලයක හේතුවක්‌ පදනම් කොටගෙන වුවද නැව් පැමිණිය නොහැකි වෙනත් කරුණක්‌ පදනම් කොටගෙන වුවද එසේත් නැත්නම් ලෝක වෙළෙඳ පොළේ පිටි මුදලාලිලා නිකං ජොලියට මිල ඉහළ දැමීමකින් වුවද අපට ඇත්තටම කන්නට වෙන්නේ පාන් නොව කේක්‌ය.

මධ්‍යම පංතිකයා පමණක්‌ නොව රටේ අන්ත අසරණ දුප්පතා ද පාන් කෑමට ඇබ්බැහි කළ රටක මේ නිසා ඕනෑම කාලයක "පාන් අර්බුද" ඇති කෙරෙන සුළුය.

ඒ අර්බුද පදනම් කොටගනිමින් "ජනතාවට පාන් සපයන්නෝ", "ජනතාවට තාරකා පෙන්වන්නෝ" බවටද පත්වන්නාහ.

දැන් උදාවී ඇත්තේද මේ සුපුරුදු චක්‍රයේ එබඳු අවස්‌ථාවකි.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.33 කින් ඉහළ යැමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහළ දැමීමට තමන් තීරණය කළ බව සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේය.

රුපියල් තුනකින් නොව දහයකින් ඉහළ ගියත් මේ පාන් පිටි මලඉලව්ව වෙනුවෙන් ඔට්‌ටු නොවී දැන්වත් දේශීය ආහාර මත පදනම් වෙමු යෑයි අපි ජනතාවට යෝජනා කරමු.

පෝෂ්‍ය ගුණය අතින් පාන් පිටි වලට වඩා බෙහෙවින් උසස්‌ වූද, අපට නුහුරු නුපුරුදු නොවූද ආහාර ඕනෑ තරම් මේ රටේ තිබේ. "බත්" අංක එකය. අල, බතල, මඤ්ෙÆක්‌කාවල පටන් කොස්‌, දෙල් වැනි ආහාර දක්‌වාද මුං, මෑ, කව්පි, කඩල වැනි ධාන්‍ය දක්‌වා ද ආහාර අප රටේ තිබේ.

ප්‍රශ්නය නම් තවමත් මේවා ගැන කයිවරු ගැසුවාට මේවා ප්‍රධාන කොටගත් ආහාර සංස්‌කෘතියක්‌ බිහිකිරීමට කිසිවකුත් දැනුවත් උත්සාහයක්‌ නොගැනීමය.

ඒ අරභයා මීට පෙරද අප විසින් පෙන්වා දෙනු ලැබ ඇති පරිදි අද ද අපගේ යෝජනාව නම් අප රටට ගැලපෙන ජාතික ආහාර වේලක්‌ සකසා ගැනීමය.

රූපවාහිනි සේවාවන් තුළින් "ආහාර මැජික්‌" පෙන්වන්නන් නොව දැයට හිතැති පෝෂණවේදීන් පළපුරුදු ගෘහණියන් එක්‌වී නිර්මාණය කොටගත හැකි අපගේ ජාතික ආහාර වේල අද ඉතාම අත්‍යවශ්‍ය කරුණක්‌ බවට පත්ව තිබෙන්නේ මේ පාන් හුටපටය නිසාම නොවේ.

වැරදි ආහාර පුරුදුවලින් රටේ මුළු මහත් ළමා පරපුරම ද, ජනතාවම ද ශීඝ්‍ර ලෙස රෝගීන් බවට පත්වෙමින් සිටින නිසාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.