|
|
|
|
|

කඳුකර වන උයන් තුනක රූ-සැරිය
හෝර්ටන්තැන්න - ගැල්වේස්‌ලෑන්ඩ් -
හක්‌ගල
ඉඳහිට
ඇද හැලෙන පොද වැස්‌ස ප්‍රදේශයේ කාලගුණික තත්ත්වයේ විශේෂත්වය
ගැන කියාපායි. අව්ව පෑව්වත් ඒ මඳ වේලාවකි. සැණෙකින් අඳුරට බරවන
අහස් කුස රශ්මිය විහිදුවාලන්නට හිරුට ඉඩ නොදේ.
මිහිඳුම් සළු නිසා පෙනී නොපෙනී යන කඳු පන්තියේ නායකයා
පිදුරුතලාගල නොසෙල්වී බලාහිඳී. ඒ කඳු කපා ඇද වැටෙන සීත සුනිල්
දිය දහරාවන් පිස හමා එන සිනිදු සීතල පවන් රැල්ලේ තෙත් ගතියට ගත
ගිරිගඩු පුබුදුවාලයි. මේ තරම් සුන්දර පරිසරයකට උරුම කියන රටක්
අපේ මව්බිම වීම... කෙතරම් නම් භාග්‍යයක්‌ද... වාසනාවක්‌ද.
අප
නුවරඑළියට පැමිණියේ හෝර්ටන්තැන්න Horton Plains පිළිබඳ තෙදින
මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහනකටය. මෙම වැඩසටහන හෝටර්න් තැන්න මූලික
කර ගනිමින් සිදු කළද ඊට සමගාමීව තවත් වැදගත් ස්‌ථාන දෙකක්
ගැනද සරල අධ්‍යයනයක නියෑළීමේ අවස්‌ථාව මාධ්‍යවේදීන්ට උදාවිය.
පාරිසරික වටිනාකමක් මෙන්ම ජෛව විවිධත්වයෙන් පොහොසත් මෙම
ස්‌ථාන දෙක එකක් හග්ගල උද්භිද උද්‍යානය. දෙවැන්න ගැල්වේස්
ලෑන්ඩ් ජාතික උද්‍යානයය.
ගැල්වේස්‌ලෑන්ඩ්
ඇතැම් විට බොහෝ දෙනෙකුට ආගන්තුක වන උද්‍යානයක් විය හැක. එය මේ
උද්‍යානය නැරැඹීමට එන පරිසර හිතකාමීන් සංඛ්‍යාව අනුව පැහැදිලි
වේ.
නුවරඑළිය නගර මධ්‍යයේ සිට උඩුපුස්‌සැල්ලාව මාර්ගයේ කිලෝ
මීටරයක් පමණ ගමන් කරද්දී ආර්ථික මධ්‍යස්‌ථානය අසල ගැල්වේස්
මාර්ගය හමුවේ. ඒ මාර්ගය ඔස්‌සේද කිලෝ මීටරයක් පමණ ගමන් කරද්දී
ගැල්වේස් ලෑන්ඩ් ජාතික උද්‍යානයේ පිවිසුමට ළඟාවේ. එහි අඩවි
සහකාර මංජුල ප්‍රදීප් උද්‍යානය වටා කළ සංචාරයේදී අපට සහාය විය.
ගැල්වේස් ලෑන්ඩ් හෙක්‌ටයාර 56.6 ක භූමි භාගයක් පුරා
ව්‍යාප්තව තිබේ. ජෛව විවිධත්වයෙන් හෙබි නිසාම මෙහි හෙක්‌ටයාර්
29.32 ගැල්වේස් ලෑන්ඩ් ජාතික උද්‍යානය ලෙස 2006 මැයි 18 දා
ප්‍රකාශයට පත්කර ඇත. එහෙත් මේ භූමි භාගය අභය භූමියක් ලෙස
ප්‍රකාශයට පත්කර තිබෙන්නේ 1938 මැයි 27 වැනිදාය.
මේ සුන්දර වනපෙතේ අපි ඇවිද්දෙමු. කඳුකර තෙත් සදාහරිත වනාන්තරවල
දැකිය හැකි ශාක ප්‍රජාවන් රැසක් අපට දැක ගන්නට ලැබිණි. ශ්‍රී
ලංකාවේ විශාලතම පර්ණාංග විශේෂයක් වන ගිණිහොට ශාකයද,
ප්‍රමාණයෙන් දැවැන්ත විවෘත බීජක ශාකයක් වන ඇරුකේරියා වර්ගයේ
විදේශීය ශාක විශේෂද මෙම උද්‍යානයේ දැකගත හැක. කීන, දඹ, වල්සපු,
වැල් උණ ශාක පමණක් නොව ලයිකන හා දිලීරයන්ගේ විවිධත්වයද ඉහළය.
ගැල්වේස්‌ලෑන්ඩ් වඩාත් සුවිශේෂී වන්නේ පක්‍ෂීන් නැරැඹීමට හැකි
උද්‍යානයක් ලෙසය. දැනට වාර්තා වී ඇති පක්‍ෂි විශේෂ සංඛ්‍යාව
තිස්‌පහකි. ලංකාවටම ආවේණික වූ පක්‍ෂි විශේෂ හතක්‌ද සිටී.
කඳුකරයට පමණක් විශේෂ වූ පීතකන් කොණ්‌ඩයා... යුගල වශයෙන් මෙන්ම
රංචු ලෙසද දැකිය හැකිය. පක්‍ෂීන් පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට
ගැල්වේස්‌ලෑන්ඩ් උද්භිද උද්‍යානය කදිම තැනකි.
මෙහි සිටින විශාල ක්‍ෂීරපායි සංඛ්‍යාව අඩුය. එහෙත් කුඩා
ක්‍ෂීරපායි විශේෂ රැසක් සිටී. වල් ඌරා, වැලි මුවා, හඳුන්
දිවියා, කළු වඳුරා, දඬු ලේනා සහ හාවුන් ඒ අතරය. උද්‍යානයේ
දැකිය හැකි උරග විශේෂයන් සීමාවී ඇත්තේ දේශගුණික තත්ත්වයන්
නිසාය. එහෙත් නයා, ලේ මැඩිල්ලා වැනි සර්පයන්ද කොපුල් කමැස්‌සා,
අංකටුස්‌සා සහ කුරු බෝදිලිමා යන කටුසු විශේෂයන්ද සමනළ විශේෂ
රැසක්‌ද මෙන්ම උභය ජීවීන් රැසක්‌ද දැක බලාගත හැකිය.
ෆ ෆ ෆ ෆ ෆ ෆ
බොහෝ දෙනෙක් හෝර්ටන්තැන්නට එන්නේ ලෝකාන්තය දැක ගන්නටය. ඒත් මේ
පිරිස හෝර්ටන්තැන්නේ සැඟවී ඇති අපූරු ලෝකයක් ඇතැයි නොදනිති.
හෝර්ටන්තැන්න සුන්දරත්වයේ උල්පතකි. අපේ රටේ වඳවීමේ අවදානමකට
ලක්‌ව සිටින අරංගාවන් උස් තුරු මුදුන්වලට වී බලා සිටින්නේ දිය
කළඹවමින් වගුරු බිම්වල ඇදී යන දිය බල්ලන් දෙසය. පඳුරු අතරත්
රිංගා යන කටුස්‌සන් වගේම ගොම්මන් අඳුර වැටෙද්දී පෙනී නොපෙනී යන
උණහපුළුවන්.... හෝර්ටන්තැන්නේ සුන්දර බව දෙගුණ තෙගුණ කරවයි.
කඳු අතරින් උස්‌ව පෙනෙන හිරිගල්පොත්ත... අපේ කඳු පවුලේ උසින්
දෙවැන්නාත්, තුන්වැන්නා වන තොටුපල කන්දත් අතරින් නීල වර්ණයෙන්
පෙනෙන සිරිපාද කඳු මුඳුන හෝර්ටන්තැන්නේ සැඟවුණු සුන්දරත්වය
දෙගුණ තෙගුණ කරවයි.
හෝර්ටන්තැන්න හෙක්‌ටයාර් 3169 ක රමණීය භූමියකි. මෙය නිවර්තන
කලාපීය සදාහරිත වර්ෂා කඳුකර වනාන්තර ලක්‍ෂණවලින් හෙබි වනයකි.
වසරේ වැඩි කාලයක් ඝන මීදුම, දැඩි සුළඟ මෙන්ම නිරිත සහ ඊසාන
වර්ෂාපතනයන්ගෙන් ලැබෙන වර්ෂාව පමණක් නොව උස් බිමක පිහිටීම
නිසා අධික හිරු රැස් ලැබීම නිසා මෙම වනයට වළාකුළු වනාන්තර යන
අන්වර්ථ නාමයද පටබැඳී ඇත.
හෝර්ටන්තැන්න වළාකුළු වනාන්තර ලෝකයේ ඉපැරැණි වන භූමිවලින් පැවත
එන්නකි. වසර මිලියන ගණනාවකට පෙර ලංකාව අයත් භූමිය
ඇන්ටාක්‌ටිකාව හා බැඳී තිබිණි. මහාද්වීපික තලවල පාවීම නිසා මේ
බිම් කඩ සමකයෙන් උතුරට ගමන්කර ඇත. එහෙත් එය ආසියාව සමග ගැටුනේ
නැත. ශීත කලාපයෙන් රැගෙන ආ දේශගුණය මෙම කඳු මුඳුන්වල මෙතෙක්
නොනැසී පවතින්නේ එබැවිනි. වළාකුළු වනාන්තර වැසි ජලය සුරක්‍ෂිත
කිරීමටත් වර්ෂාව නිර්මාණය කිරීමටත් දායක වේ. දිවා කල ඉහළ යන
ජලවාෂ්ප සහිත උණුසුම් වාතය කඳුකර වනාන්තරවලදී ඝනී භවනය වී
වළාකුළු නිර්මාණය කරයි. මේ වළාකුළු ක්‍රමයෙන් විශාලවී සැන්දැවට
වැසි ඇතිරයි.
එදා හෝර්ටන්තැන්නේ වූ වළාකුළු වනාන්තරයේ හා තණ බිම්වල අලි
ඇතුන් ගැවසී ඇති බව 1800 ගණන්වල ලියෑවී ඇති පොත් පත්වල සඳහන්ය.
එහෙත් යටත් විජිත යුගයේදී මේ අලි ඇතුන් දඩයම් කරුවන්ගේ ගොදුරු
බවට පත්විය. බ්‍රිතාන්‍ය නිලධාරියකු වූ මේජර් තෝමස් රොජර් ෆා
නමැත්තා එකල අලි ඇතුන් 1400 කට වැඩි ප්‍රමාණයක් දඩයම් කළ බව
පැවැසේ. මෙම නිලධාරියා මියගියේ අකුණු සර වැදීමෙනි. ඔහුගේ සිරුර
භූමදානය කර ඇත්තේ නුවරඑළිය ගොල්ෆ් පිටිය පිටුපස ඇති සුසාන
භූමියේය. මේජර් රොර්ජස්‌ගේ සොහොන් කොතද කිහිපවරක්‌ම අකුණු සරට
ලක්‌ව තිබේ.
ගල් යුගයේදී ද හෝර්ටන්තැන්නේ මිනිසුන් ජීවත්ව ඇති බවට පුරා
විද්‍යාඥයෝ විශ්වාස කරති. යටත්විජිත යුගයට පෙර සිංහල රජවරුද
හෝර්ටන්තැන්නේ විසූ වන ජීවීන්ගේ හා වනයේ ආරක්‍ෂාව තහවුරු කළ
බවද පැවැසේ. පුරා වෘත්තවලට අනුව රාවණා රජු සීතා කුමරිය
පැහැරගෙන දඬු මොනරයෙන් ගොඩබට ස්‌ථානයද හෝර්ටන්තැන්නේ තොටුපල
උද්‍යානය අශ්‍රිතව ස්‌ථාපිතව තිබූ බව කියෑවේ.
කෙසේ වෙතත් අද හෝර්ටන්තැන්න අඳුරේ ගොදුරු සොයා යන උරලෑවන්ට,
හිමිදිරියේ තැන්නේ සුන්දරත්වයට ජීවය ගෙන දෙන රතුවන් දුඹුරු
ගෝනුන්ගේ රාත්‍රි කාලයේ සුදෝ සුදු පුළුන් කුට්‌ටියක් මෙන් දුව
පැන යන හාවුන්ගේ, පඳුරු අතරින් පෙනෙන, නොපෙනෙන වැලි මුවන්ගේ,
දිවියන්ගේ ගොදුරු බවට පත්වන වළස් වඳුරන් හා දඬු ලේනුන්ගේ
නිවහන බවට පත්ව ඇත.
මේ සත්ව ප්‍රජාවට අමතරව හෝර්ටන්තැන්නේ සංචාරය කරන්නන්ට
නිරීක්‍ෂණය කළ හැකි වටිනා ශාක ප්‍රජාවන්ද ඇත. කීන, වනසපු,
වෙනිවැල්, අලිකන්, වල් තුරුණු, වැලිදඹ, මහරත්මල්, කුරු උණ
වන්නාතරයේ ප්‍රධාන ශාකය. හෝර්ටන්තැන්න වන බිමකින් මෙන්ම
තැනිතලා සහ කඳු බෑවුම් ආශ්‍රිත තෘණ භූමියකින්ද යුක්‌තය. මේ තෘණ
භූමියේ මහතුත්තිරි, ගවරමාන, ගොටුකොළ, බටර්කප්, මහසුදන, කුඩා
සුදන, වයිල්ඩ් එවලාස්‌ටින්, වල් ස්‌ට්‍රොaබෙරි, බෝවිටියා, සුදු
බිනර, නිල් බිනර මෙන්ම ඉංගී්‍රසීන් 1950 ගණන්වලදී හඳුන්වා දුන්
කාපට් ග්‍රාස් නමැති තෘණ වලින්ද යුක්‌තය. හෝර්ටන්තැන්න පුරා
සංචාරය කළ අපට මඟ පෙන්වූ වනජීවී නියාමක සුරංග ජයසේකර මෙම ශාක
සහ සත්ව ප්‍රජාවන් හඳුනා ගැනීමට අපට විශාල සහායක් දැක්‌වූවේ
දැඩි හිතවත් කමකිනි.
ලංකාවේ ප්‍රධාන ගංගාවක් වන මහවැලි, ගංගාවේ මූලාරම්භයද
හෝටර්ටන්තැන්නෙන් සිදුවේ. මහවැලි ගඟේ අතු ගංගාවක් වන උමා ඔයේ
මූලාරම්භය සිදුවන්නේද තොටුපල කන්දේ නැගෙනහිර
බෑවුමෙනි.හෝර්ටන්තැන්නේ දක්‌නට ලැබෙන පක්‍ෂි විශේෂ එකොළහකි.
අරංගයා, කැහි බෙල්ලා, මයිල ගොයා, වළිකුකුළා ඒ අතර දැකිය හැකි
පක්‍ෂීන්ය. කඟමුව අං කටුස්‌සා, තුරු බෝදිලියා නිතර දැකිය හැකි
උරග විශේෂය.
හෝර්ටන්තැන්නට පිවිසෙන බොහෝ දෙනෙකුගේ සිත් ගෙන තිබෙන්නේ කුඩා
ලෝකාන්තය සහ මහා ලෝකාන්තයය. ඊට අමතරව බේකර්ස් ඇල්ල
හෝර්ටන්තැන්නේ සංචාරකයන්ට චමත්කාර හැඟීම් උපදවන මනරම් දසුනකි.
හෝර්ටන්තැන්නට පැමිණෙන සංචාරකයන්ට ලෝකාන්තය, කුඩා ලෝකාන්තය,
බේකර්ස් ඇල්ලට අමතරව චිමිණි පොකුණ, තොටුපල කන්ද, කිරිගල්
පොත්ත සහ බෙලිහුල් ඔයද නිරීක්‍ෂණය කළ හැක. හෝර්ටන්තැන්නේ
සංචාරක නිවාස දෙකකි. සංචාරක නිවාසවලට අමතරව ආපන ශාලා, තොරතුරු
මධ්‍යස්‌ථාන, වාහන අංගයනයන්ද තිබේ. කෙසේ වෙතත් හෝර්ටන්තැන්නට
පිවිසෙන ප්‍රධාන මාර්ගය නම් නිසි ලෙස නඩත්තු වී නැති බවද
පැහැදිලිවේ. නුවරඑළිය සිට පැමිණෙන මාර්ගය ඉතාමත් අබලන්ව තිබීම
නිසා දෙස් විදෙස් සංචාරකයෝ වනෝද්‍යානයට නොපැමිණ අතරමඟදී නැවත
හැරී යන බවටද තොරතුරු හෙළිවිය. පවතින විදුලි බලය ප්‍රමාණවත්
නොවීම නිසා කුඩා ජල විදුලි බලාගාර තැනීම කෙරෙහිද අවධානය යොමුව
තිබේ. වැසිකිළි, විවේක ස්‌ථාන, සැමරුම් අලෙවි සල්, නිරීක්‍ෂණ
ස්‌ථාන මෙන්ම පුස්‌තකාල පහසුකම්ද, පැය 24 පුරාම සේවයට කැපව
සිටින වනජීවී ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තෘප්තිමත් විය හැකි සේවා
පහසුකම්ද සැපයීම කෙරෙහි අවධානය යොමුවිය යුතුමය.
මෙය පොලිතින් මුක්‌ත කලාපයකි. ශබ්ද දූෂණය, වායු දූෂණය, අයපහත්
හැසිරීම, මත්පැන්, දුම්වැටි පානය, වන සතුන්ට, ගහකොළට හානි
කිරීම්, සතුන්ට ආහාර ලබාදීම, දේපළ හානි කිරීම වැනි අකටයුතු
ක්‍රියාවන්ගෙන් වැළකීමට සංචාරකයන්ද වගබලා ගත යුතුය. ඒ මේ බිමේ
වසන වන සතුන්ට හෝර්ටන්තැන්න හැරෙන්නට වෙනත් නිවහනක් නොමැති
නිසාය. හෝර්ටන්තැන්නේ භාරකරු ජී. වී. සාරංග මහතාගේ ඉල්ලීම
වූයේද එයයි.
ෆ ෆ ෆ ෆ ෆ ෆ
අප අවසාන වශයෙන් පිවිසියේ හක්‌ගල උද්භිද උද්‍යානය වෙතය. ඒ
හක්‌ගල අධ්‍යයනයට මාධ්‍ය කණ්‌ඩායමක් පැමිණි පළමු අවස්‌ථාව බව
එහි භාරකරු වන සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
සිංකෝනා වගාව සඳහා 1861 දී හක්‌ගල උද්භිද උද්‍යානය ආරම්භවී ඇත.
එය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම උද්භිද උද්‍යානය වේ. නුවරඑළිය
නගරයේ සිට කිලෝ මීටර් 9.5 ක් වැලිමඩ දෙසට වන්නට හක්‌ගල
උද්‍යානය පිහිටා ඇත. විශාලත්වය අක්‌කර 555 ක් වුවද සංචාරකයන්
සඳහා විවෘතව ඇත්තේ අක්‌කර 68 කි. කඳුකරයේ ජෛව විවිධත්වය
සංවර්ධනය හා පර්යේෂණ කටයුතුවලට අදාළ ක්‍රියාකාරකම් ඉටු
කිරීමටත්, මල් වගාව ප්‍රචලිත කිරීමට හා ශාක හා මල් වගාව පිළිබඳ
තොරතුරු හා දැනුම ලබාදීමටත් හක්‌ගල උද්භිද උද්‍යානය පිහිටුවීමේ
අරමුණු කිහිපයකි.
ප්‍රවේශපත්‍ර හා ශාක නිෂ්පාදන අලෙවිය මගින් හක්‌ගල උද්භිද
උද්‍යානය මෙම වසරේ අගෝස්‌තු මාසය දක්‌වා උපයා ඇති මුළු ආදායම
රුපියල් එක්‌කෝටි විසිනව ලක්‍ෂයකි. මෙකී කාලය තුළ නරඹන්නෝ
තුන්ලක්‍ෂ තිස්‌හත් දහස් හත්සිය හැටනවයක් පැමිණ ඇත. හග්ගල
උද්භිද උද්‍යානයට පිවිසෙන දේශීය විදේශීය සංචාරකයන්ගේ පහසුකම්
වැඩිදියුණු කිරීම සඳහා මාර්ග සංඥපුවරු සිතියම්, සංචාරක නිවාස
වැඩි දියුණු කිරීම ආදී කටයුතු උදෙසා රුපියල් ලක්‍ෂ පනහකට ආසන්න
මුදලක් පසුගිය කාලයේ වැයකර ඇත. දුර්ලභ අලංකාර මල් වර්ගවලට
අමතරව හග්ගල උද්භිද උද්‍යානයේ වටිනා වෘක්‍ෂ විශේෂ රැසක්‌ද අපට
දැකගන්නට ලැබිණි.
අපේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීම රටේ ආර්ථික දියුණුවේ
ප්‍රධානතම කාර්ය භාරයකි. ඒ සඳහා ස්‌වාභාවික වනාන්තර, උද්‍යාන
රැක ගැනීම රජයේ මෙන්ම මහජනතාවගේද පරම යුතුකමකි. එම යුතුකම
වගකීමක් කරගත් ආර්ථික සංවර්ධන අමැති බැසිල් රාජපක්‍ෂ මහතා
ප්‍රමුඛ එම අමාත්‍යාංශය හෝර්ටන්තැන්න සහ හග්ගල උද්භිද
උද්‍යානයේ වැඩි දියුණුව සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්
වෙන්කර තිබීම පරිසරයට ඇල්ම දක්‌වන්නා වූ සියල්ලන්ගේම සතුටට
කරුණකි.
අජිත් අලහකෝන්
|
|
|
|