ෂෙල් ගෑස්‌ සහ ෂෙල් වෙඩි!

එක්‌දහස්‌ නවසිය හතලිස්‌ අටේ පෙබරවාරි හතරවැනිදා අප නිදහස ලබන විට ලංකාවෙන් අඩක්‌ම අයත්ව තිබුණේ මහා බ්‍රිතාන්‍යයට ය. එය සිදු වන්නේ මෙසේ යá මුලින්ම, 1506 දී ලංකාවට පැමිණි පෘතුගීසි ආක්‍රමණිකයා ලංකාවේ මුහුදුබඩ අත්පත් කර ගත්තේ ය. අනතුරුව පැමිණි ලන්දෙසි ආක්‍රමණිකයා පෘතුගීසිකාරයා අල්ලාගත් කොටසත් තවත් කොටසකුත් සියතට ගත්තේය. තෙවනුව පැමිණි ඉංග්‍රීසිකාරයා පෙර කී කොටස්‌ දෙකමත් මුළු රටමත් අල්ලා ගත්තේය. ඊළඟට මේ රටේ ඉඩම් තම රටේ ඉඩම් ලෙස සළකා කෝපි හා තේ වැවීම සඳහා සුද්දන්ට විකුණුවේය. එක්‌දහස්‌ නවසිය හතලිස්‌ අට වන විට මේ ඉඩකඩම් ද ඇතුළුව රටේ නිෂ්පාදන කර්මාන්ත හා සේවා වැඩි ප්‍රමාණයක්‌ තිබුණේ පෞද්ගලික අංශය අතය. සියලු තේ කම්හල් සුද්දන්ගේ අත තිබිණ. ප්‍රවාහන අංශය සිංහල මුදලාලිලා අත තිබුණ ද ඔවුන් පසුපස සුද්දෝ සිටියහ. රටේ ඉන්ධන කර්මාන්තය සුද්දන් යටතේ තිබිණ. රටට අවශ්‍ය රෙදි පිළි, විස්‌කෝතු, ටින් කළ මාළු, තිරිඟු පිටි, සහල්, වියළි මිරිස්‌, ලොකු ලූණු, බෙහෙත් වර්ග සියල්ල ද එංගලන්තයෙන් නැත්නම් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රටවලින් ගෙන්වන ලදී. අපට අයත්ව තිබුණේ කඳ, බඩ, කට හා අතපය පමණි. මොළය ද, බ්‍රිතාන්‍යයට උගස්‌ කිරීම මගින් අපගේ චින්තනය ද බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දී තිබිණ.

මේ පිරිහුණු තත්ත්වය අලුත් ස්‌වදේශික දේශපාලනඥයකුට ඉතා හොඳ වාස භූමියක්‌ වීම මත, 1956 දී එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක බලයට එයි. ඒ වේලාවේ රට ඉල්ලූ දේශපාලන ක්‍රමවේදයට අනුව ලංකාවේ බ්‍රිතාන්‍ය දේපළ හා සිංහල මුදලාලිලාගේ බ්‍රිතාන්‍යය රූකඩ දේපළ ජනසතු කෙරෙයි. මේ අනුව එතෙක්‌ ෂෙල් සමාගම සතුව පැවැති ඉන්ධන ව්‍යාපාරය ආණ්‌ඩුව සතු වන්නේ ය. ගමනා ගමනය ද රජය සතු වන්නේ ය. එහෙත් එය බාගෙට සිදුවී නවතී. යළි 1970 දී සමගි පෙරමුණ ආණ්‌ඩුව යටතේ ඉදිරියට ගොස්‌ 1977 දී යූ. එන්. පි. ය බලයට ඒමත් සමඟ නවතී. යූ. එන්. පි. ය රජයේ දේපළ හැකිතරම් පෞද්ගලික අංශයට විකුණයි. නොවිකුණනු ලබන්නේ කැබිනට්‌ මණ්‌ඩලය සහ පාර්ලිමේන්තුව පමණිෘ

මේ භීම සමය නිමාවට පත් කරමින් 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේ පොදුජන එක්‌සත් පෙරමුණ බලයට එන්නේ යුද්ධයෙන්, දූෂණයෙන් හා ප්‍රචණ්‌ඩත්වයෙන් පීඩා විඳිමින් සිටි ජනයා සිහිල් කරමින් හඹාගිය සුළං රැල්ලක්‌ මෙනි. රට තුළ ප්‍රගතිශීලී ප්‍රවාහයක්‌ යළි ඇති වී යයි මිනිසුන් සැනසිලි සුසුම් හෙළන්නේ බණ්‌ඩාරනායක පරම්පරාව කෙරෙහි පැවැති අප්‍රමාණ ගෞරවය යළි සිහිපත් කර ගනිමිනි. එහෙත් එතුමිය එකී සුභ සිහිනය සැබෑ කළේද? නැත. ඡේ. ආර්. ජයවර්ධන හෝ පැරැණි සුද්දකු තමන්ට ආවේශ වූවා සේ එතුමිය එතෙක්‌ නොවිකුණා ඉතිරිව පැවැති රාජ්‍ය දේපළ ද විකුණන්නට පටන් ගනී. රුසියාවෙන් ත්‍යාගයක්‌ සේ ලැබුණු ඔරුවල වානේ කම්හල, කොළඹ වරායේ රැජන පාළම. කොළඹ ගෑස්‌ සහ ජල සමාගම හෙවත් ලංකා ගෑස්‌ සමාගම ද එතුමියගේ පාලන කාලයේ දී විකිණෙයි.

මේ දේපළ අතුරින් අද අපගේ ප්‍රස්‌තුතය වන්නේ ලංකාවේ ද්‍රව ඉන්ධන වායුව හෙවත් ගෑස්‌ පිළිබඳ නිල නොවන ඒකාධිකාරය පවත්වාගෙන යන ෂෙල් සමාගම ය. බ්‍රිතාන්‍ය මූලයක්‌ සහිත බහු ජාතික සමාගමක්‌ වන ෂෙල් සමාගම සතු කොටස්‌ මිලට ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර තිබේ. අධිකරණ තීන්දුවක අතුරු ඵලයක්‌ ලෙස ඇපලෝ රෝහල රජය සතු වීමද මෙබඳු ප්‍රගතිශීලී ගනුදෙනුවකි. එය අද සාර්ථකව පවත්වාගෙන යනු ලැබේ. ෂෙල් සමාගම මේ රටේ ස්‌ වෙළෙඳපළ හසුරුවන්නට පටන් ගැනීමත් සමගම ගෑස්‌ මිල ඉතා නරක ලෙස ඉහළ යන්නට පටන් ගත්තේය. ලෝක වෙළෙඳපොළ ගෑස්‌ මිල අඩු කාලයේදී පවා ගෑස්‌ මිල ඉහළ නැංවූ ෂෙල් සමාගම කියා සිටියේ එම ගෑස්‌, ගෑස්‌ මිල වැඩි කාලයේදී ඇනවුම් කරන ලද ඒවා බැවින් අඩුවට දිය නොහැකි බවය. ඒ අතර ජනතාවට අනුකම්පා කරනු පිණිස ඔවුහු හිටි ගමන් ගෑස්‌ මිල රුපියල් දහයකින් - පහළොවකින් අඩු කළේය. ලංකාවේ ක්‍රමයට අනුව ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් දහයකින් වැඩි වූ විට හෝටල් කාරයෝ ආප්පයක මිල රුපියලයකින් නංවති. එහි තේරුම් ගෑස්‌ සිලින්ඩරයකින් ආප්ප දහයකට වඩා පිසිය නොහැකි බවය. ඒ අනුව ආප්පයක යථාර්ථවාදී මිල රුපියල් 175 ක්‌ විය යුතුයෘ මේ කුමන විකාර ද? වෙළෙන්දෝ හැකි විට ජනයා ගසා කති. ඔවුහු ෂෙල් ගෑස්‌ ෂෙල් වෙඩි බවට පත් කළහ. පෞද්ගලිකව රාජ්‍ය දේපළ නැවත රජය අතට ගත යුත්තේ ජනතාව ගසා කනු ලැබීම වැළැක්‌වීම සඳහා ය. එහෙත් අප නිතරම කල්පනා කළ යුත්තේ රාජ්‍ය අංශයේ පවත්නා දූෂණ, එසේ අත්පත් කරගත් දේපළ තුළට කාන්දු වුවහොත් තිබුණාටත් වඩා. නරක තත්ත්වයක්‌ හට ගන්නා බවය. බී. සී. සී. සබන් කොම්පැණියට වූයේද මෙයමයි. පුද්ගලික අංශය යටතේ තිබියදී එය ජනතාවට අඩු මිලට සබන් සැපයී ය. එහෙත් රජයට පවරාගත් බී. සී. සී. සමාගම බවට පත්වීමෙන් පසු එහි හටගත් කුණු සේදීමට යුනිලීවර්ස්‌ සමාගමේ සම්පූර්ණ සබන් නිෂ්පාදනයට පවා නොහැක.

ෂෙල් සමාගම ආණ්‌ඩුවට යැමේ කටයුත්ත ඇරඹීම අපගේ මහත් සතුටට මෙන්ම සුභාශිංෂනයට ද කාරණයකි. දැන් රට නැවතත් පූර්ණ නිදහස්‌ රාජ්‍යයක්‌ වෙමින් පවතී. මතු යම් දවසක මේ මුළු රටම මේ රටේ ජනතාවගේ දේපළක්‌ බවට පත් විය යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.