නැවියන්ගේ ප්‍රේම සිහිනය කොළොම් තොට

අපේ රට ලෝකයේ සුවිශේෂී තැනක ස්‌ථානගතවී ඇත. මැද පෙරදිග සහ ඈත පෙරදිග රටවල් යා කෙරෙන නාවික වෙළෙඳ ගමන් මාර්ගය ඇත්තේ රටට ආසන්නවය. එසේම සුදුසු නැංගුරම් පළවල් සහිත වෙරළ තීරයක්‌ ශ්‍රී ලංකාවේ පවතී. මෙනිසා ඈත අතීතයේ පටන්ම මෙම නාවික මඟේ ගමන්ගත් වෙළෙන්දොa සහ අනිකුත් නාවිකයෝ මේ සුන්දර දිවයිනට ඇලුම් කළහ. ලොබ සිත් බැඳගත්හ.

අප අතීත රජ දරුවෝද රට රටවල් අතර සබඳතා ගොඩනඟා ගැනීම සඳහාත්, භාණ්‌ඩ හා සේවා හුවමාරුව සඳහාත්, නාවික කටයුතු කෙරෙහි තදින් බැඳී සිටියහ. ඒ අනුව 13 වැනි සියවස දක්‌වා මන්නාරම් තොට නොහොත් මාන්තොට(මහාතිත්ථ) ප්‍රධාන වරාය ලෙස භාවිතයට ගත්හ. ඉන්පසු නොයෙකුත් හේතූන් මත ගොකණ්‌ණ (ත්‍රිකුණාමලය),ජම්බුකොළ පටුන(කන්කසන්තුරය),ඌරාතොට (කයිට්‌ස්‌),අම්බලන්තොට (ගොඩවාය), ලංකා පටුණ, ගාලු තොට යන නැව් තොට භාවිතයට ගෙන තිබේ.

14 වැනි සියවසේදී අප දිවයිනට දකුණින් විහිදෙන ඈත පෙරදිග හා මැදපෙරදිග යා කෙරෙන නාවික මාර්ගයේ සුවිශාල දියුණුවක්‌ පෙන්නුම් කරන අතර, ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ බටහිර හා දකුණු වෙරළ තීරයෙහි නාවික කටයුතුද වර්ධනයක්‌ සිදුව ඇත. 1344 වර්ෂයේදී මෙරටට පැමිණි ඉබන් බතූතා නම් දේශ ගවේෂකයා දෙවිනුවර වරායේ සිට ගාල්ල නැව් තොට දක්‌වා නාවික ගමනක පැමිණි බවත් සඳහන් කරයි. ඒ වන විටත් කොළොම්තොටද දියුණු නගරයක්‌ සහිත ප්‍රධාන නැව් තොටක්‌ව තිබූ බව හෙතෙම පවසයි. එනම්,10 වැනි සියවස මැද භාගයේ සිට 12 වැනි සියවස අතර කාලයේදී කොළඹ නැව් තොට දියුණු තත්ත්වයකට පත්වූ බව පවතින විශ්වාසයයි. අරාබි වෙළෙඳුන්ගෙන් පසුව ආර්ය චක්‍රවර්තීන් යටතේ මෙසේ කොළොම්තොට දියුණු වූ බවද, මෙහි වෙළෙඳ කටයුතු ආරම්භය අරාබි ජාතික වෙළෙඳුන් අතින් සිදුවූ බවද කියනු ලැබේ. කෝට්‌ටේ රාජධානිය පැවැති යුගය දක්‌වා මෙසේ කොළොම්තොට ජාත්‍යන්තර වෙළෙ¹මේ කේන්ද්‍රස්‌ථානයක්‌ වශයෙන් භාවිත කර ඇත.

1506 වසරේදී ගෝවේ සිට මෙම දියුණු නැව් තොට ,නොහොත් කොළොම්තොටට ළඟාවන ලොරෙන්සෝද අල්මේදාගේ නායකත්වයෙන් යුත් නැව් 9 ක පෘතුගීසි බළකාය කෝට්‌ටේ රජ කළ පළමුවන විමලධර්මසූරිය රජුගේ අවසරය මත කොළොම්තොටට ගොඩබැස පසුව එහි වෙළෙඳ ගබඩාවක්‌ සහ දේවස්‌ථානයක්‌ තනා බළකොටුවක්‌ද එහි ගොඩනැංවීය. පරංගීන් කොළොම්තොට හැඳින්වූයේ ලෝරන්ස්‌ තුඩුව ලෙසය. එතැන් පටන් සියවස්‌ එකහමාරක්‌ දක්‌වා කොළොම් නැව් තොට ඇතුළු ශ්‍රී ලංකාවේ මුහුදු බඩ තීරය පාලනය කරන ලද්දේ පෘතුගීසීන් විසිනි. 1658 වසරේදී මෙහි පැමිණි ඕලන්ද (ලන්දේසි) ජාතිකයන් පෘතුගීසීන් පලවා හැර කොළඹ බල කොටුව, නගරය හා නැව් තොටේ බලය අල්ලා ගනිමින් තවත් සියවස්‌ එකහමාරක්‌ පාලන බලය ගෙන ගියහ. 1796 දී ඕලන්ද හා ත්‍රිකුණාමලයේ පැවැති ප්‍රංශ බලය පලවා හැර රටට ඇතුළු වූ ඉංග්‍රීසීහු 1815 දී ශ්‍රී ලංකාව මුළු මනින්ම යටත් කරගනු ලැබුවේ කොළඹ නැව් තොටද තම පාලන බලයේ කේන්ද්‍රස්‌ථානය බවට පත්කරමිනි.

මේ අනුව,රෝමානු-ඊජිප්තු හා ග්‍රීක ජාතිකයන්ගේ බසින් "තැප්‍රොබේනය" ලෙසද අරාබි ජාතිකයන්ගේ හැඳින්වීමට අනුව "සෙරන්ඩිබ්" ලෙසද පෘතුගීසීන්ගේ හැඳින්වීමට අනුව "සයිලෝ" හා ඕලන්ද කරුවන්ගේ බසින් "සයිලාන්" යනුවෙන්ද ඉංග්‍රීසීන් හැඳින්වූ "සිලෝන්" වදනින්ද ලොව පුරා ප්‍රකට වූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙ¹මේ කීර්තියට පත්වූයේ කෙළොම්තොට මුල්කරගෙන බව පැහැදිලිය. එවන් වැදගත්කමක්‌ ඇති කොළඹ නැව් තොට නොහොත් කොළොම්තොට සිට දිගහැරෙන "රට වට බැඳි රන් වැටේ" දෙවැනි අන්දරයයි මේ.

ගමන් මග

කැලණි වෙහෙරත්, විභීෂණ දෙවිඳුත් වැඳ නමස්‌කාර කර බාර හාර වීමෙන් පසු අනෝරා වැසි මැද රට වටා ගවේෂණ චාරිකාව අප පටන් ගත්තේ කැලණි ගංගා මෝදරෙන්. දෙගොඩ තලා යන ගංගාවේ අපූර්වත්වය විඳගෙන ඉන් පසු අපි දකුණු දිගට හැරුණේ අපේ ගමන් මඟ ඒ ඔස්‌සේ වැටී තිබුණු නිසා. මෝදර නොහොත් කැලණි ගං මුව ළගට දකුණින් හොඳින්ම පෙනෙන දර්ශනය තමයි කොළඹ නැව් තොට.

නැත්නම් කොළොම් තොට. දියරැළි කපා දමන්නට වෙර දරන පඬුවන් පැහැ කැලණි දිය කඳත්, ඒ උත්සාහය බිඳ දමන්නට සාගර තරංග දරන ආයාසයත් අතරින් අපට පෙනුණේ කොළොම්තොටේ උස්‌ ගොඩනැඟිලි,දොඹකර ,කුඩාවට පෙනෙන බහාලුම් අංගන විතරක්‌ නෙමේ..... ඈත ක්‍ෂිතිජ ඉමේ සටහන් වූයේ සාගරය පරදා ඇදෙන කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ ඉදිකිරීම් හා දොඹකර,යන්ත්‍ර සූත්‍ර.

ඔව්ෘ අපි ගමන් ආරම්භ කළා. බටහිර වෙරළේ අපේ දෙවැනි කඳවුරු බැඳීම කොළඹ නැව් තොට. දැන් අපි එතැන.

අද අපි කොළඹ නැව් තොටේ...

පැරැණි රජ දවස සිට 1875 වර්ෂය දක්‌වා කොළොම් තොට ස්‌වාභාවික වරායක්‌ විය. අරාබි වෙළෙඳුන්, ආර්ය චක්‍රවර්තීන්, පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංගී්‍රසීන්ද වැඩිකලක්‌ මෙසේ කොළඹ වරාය ස්‌වාභාවික පිහිටීම අනුවම භාවිතයට ගත්හ. එහෙත් නිරිත දිග මෝසම් සුළඟේ බලපෑම නිසා සිදුවන අනතුරු හා අලාභද, විශාල නැව් සඳහා නුසුදුසු වීම හේතුවෙන් ද කොළඹ වරාය පුළුල් කර නවීකරණය කිරීමට ඉංගී්‍රසීන්ට (බ්‍රිතාන්‍ය පාලනයට) සිදුවිය. මේ වනවිට ගාල්ල හා කොළඹ වරාය යන දෙකම ඉංගී්‍රසීන් විසින් ආනයන අපනයන කටයුතු සඳහා භාවිත කරමින් තිබිණි. අවසානයේදී ශ්‍රීමත් හර්කියුලීස්‌ රොබින්සන් (1865 - 1872) ආණ්‌ඩුකාරවරයාගේ තීරණයක්‌ අනුව කොළඹ වරාය සංවර්ධනය සඳහා අනුමැතිය පළවිය. ඒ අනුව 1875 දෙසැම්බරයේදී කොළඹ වරාය කෘත්‍රිම වරායක්‌ බවට පත් කරමින් බ්‍රිතාන්‍ය කිරුළ හිමි වේල්ස්‌ කුමරු (හත්වන එඩ්වඩ් රජු) අතින් නිරිත දිග දියකඩනය සඳහා මුල්ගල් තැබිණි. 1885 දී එම දියකඩනයද, 1906 දී ඊසාන දිග දියකඩනය ද, 1912 දී තවත් දියකඩන කොටසක්‌ එකතු කිරීමෙන් පසු අක්‌කර 640 ක කෘත්‍රිම වරායක්‌ බවට කොළඹ වරාය පත් විය. මේ වනවිට මීටර් 9 ක්‌ වරාය ගැඹුරු කර තිබූ බැවින් බර දුම් නැව් පවා කොළොම්තොටට පැමිණියේය. මේ අනුව යටත් විජිත සමයේදී (1910 වනවිට) කොළඹ වරාය ලොව තිබූ ශේ්‍රෂ්ඨ වරායන් අතර හත්වන ස්‌ථානයටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තුන්වැනි තැන ගත් වරාය බවටත් පත් වූ බව වාර්තාවල සඳහන් වේ. බ්‍රිතාන්‍යයන් විසින් දිගින් දිගටම සංවර්ධනය කරමින් පැවතුණු කොළඹ වරාය 1912 දී ඇවිල ගිය පළමු ලෝක යුද්ධය හා 1939 දී ඇවිල ගිය දෙවැනි ලෝක යුද්ධය හමුවේ දැඩි බාධාවන්ට හා බලපෑම්වලට ලක්‌විණි. කෙසේ හෝ 1946 න් පසු උදා වූ සාමයත් සමඟ තවදුරටත් කොළඹ වරායේ ආනයන අපනයන කටයුතු සීඝ්‍ර වර්ධනයකට ලක්‌වූ බව සඳහන් වේ.

මේ අනුව කොළඹ අවට කොළොන්නාවේ අක්‌කර 127 ක ඉදිවූ තෙල් ටැංකි සංකීර්ණය බ්ලූමැන්ඩල්හි ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණය, ඇතුළු නව ජැටි ඇතිවීමද කොළොම්තොට දියුණුවේ ප්‍රතිඵලය. කොළඹ නගරයක්‌ ලෙස දියුණු වූයේද පැහැදිලිවම කොළඹ වරාය හේතුකොට ගෙනය. බැංකු ඇතුළු වෙළෙඳ අධිරාජ්‍යයක්‌ බිහිවීම, මාර්ග පද්ධති, ගබඩා යනාදී රටට අත්‍යාවශ්‍ය අංග කොළඹ වරාය හේතුවෙන් ස්‌ථාපිත විය.

අද වෙරළ තීරයෙහි දක්‌නට ලැබෙන ප්‍රදීපාගාර ද මෙසේ කොළඹ වරායේ දියුණුව සමග නාවික කටයුතු වෙනුවෙන් ස්‌ථාපිත කරන ලද ඒවාය. වරාය ඇතුළු කොළඹ නගරය තුළ ප්‍රදීපාගාර හතරක්‌ පිහිටන අතර, අද කොළඹ කොටුව තුළ පිහිටන ඔරලෝසු කණුව සහිත ප්‍රදීපාගාරය (කොළඹ සිට පිට පළාත්වලට ප්‍රධාන මාර්ගවල දුර මනිනු ලබන්නේ මෙහි සිටය). ලංකාවේ මුල්ම ප්‍රදීපාගාරය ලෙස සැලකේ. කොළඹ වරාය තවදුරටත් මෙරට ආර්ථිකයේ කේන්ද්‍රස්‌ථානය වේ. වසරකට කොළඹ වරායට පැමිණෙන නැව් සංඛ්‍යාව දළ වශයෙන් 4200 කි. බහළුම් නැව්, වාහන ප්‍රවාහන නැව් හා තෙල් නැව් මෙහි පැමිණෙන නමුත්, සුවිසල් තෙල් නැව් තවදුරටත් වරාය තුළට නොපැමිණ වරායෙන් පිටත නැංගුරම් ලා තෙල් නළ මගින් අදාළ ගබඩා වෙත පොම්ප කරනු ලැබේ. 2008 දී වරාය පුළුල් කිරීම් කටයුතු ඇරඹි අතර නව දියකඩනයක්‌ ඉදිකරමින් කොළඹ දකුණු වරාය දැන් ඉදිකරමින් පවතී.

ආශ්‍රිත තොරතුරු -කොළොම්තොට පුරාණය - ඩග්ලස්‌ බී. රණසිංහ හා දේ. සූ. ද සොයිසා

කොළඹ වරාය

ආරම්භය - කාලවකවානු පැහැදිළි නැත.

(10-12 සියවස්‌ අතර දී දියුණු නැව් තොටක්‌ සේ ප්‍රචලිතව තිබූ බව ඓතිහාසික වාර්තා සඳහන් කරයි)

පෘතුගීසීන්ගේ පැමිණීම - 1506

ලන්දේසින්ගේ පැමිණීම - 1658

ඉංග්‍රීසීන්ගේ පැමිණීම - 1796

ප්‍රථම දුම් නැව පැමිණීම - 1842

මාසික බහාලුම් හුවමාරුව - 267787

වාර්ෂික නැව් පැමිණීමේ සාමාන්‍යය - 4200

ප්‍රධාන පර්යන්ත සංඛ්‍යාව - 3

ජය / සමගි / සවුත් ඒෂියා ගේට්‌ වේ.

වරායේ ප්‍රමාණය - හෙක්‌ටයාර් 330

ගොඩබිම් - හෙක්‌ටයාර් 130

ජල ප්‍රමාණය -හෙක්‌ටයාර් 200

වරායේ සේවක සංඛ්‍යාව 13500

(වරාය හා ගුවන්සේවා අමාත්‍යාංශය ඇසුරෙනි)

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.