ගිනි කන්ද පුපුරයි! හැම තැනම ලාවා...

මේ රටේ විශ්වවිද්‍යාල නමැති ගිනි කන්ද කිහිප තැනකින්ම පුපුරා ලාවා ගලන්නට පටන්ගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිය උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායකට හූ කියා ගල් ගැසූ සිසු පිරිසකගේ පන්ති තහනම් කිරීමට එරෙහිව, ජනතා විමුක්‌ති පෙරමුණේ ශිෂ්‍ය අංශය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය විසින් සංවිධානය කෙරුණු උද්ඝෝෂණයකදී රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිගේ ඔලුවට ශිෂ්‍යයකු පොල්ලෙන් ගැසීම නිසා පසුගිය දිනක ඉතා නරක තත්ත්වයක්‌ නිර්මාණය විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය සතු ජාලය ශක්‌තිමත් නිසා මෙවැනි නරක තත්ත්වයන් ඒවා ඇතිවූ වහාම වෙනත් විශ්වවිද්‍යාල වෙත ආලෝකයේ වේගයෙන් පැතිර යයි. මේ අතර පෙරේදා දහවල් කැලණි විශ්වවිද්‍යාලයේ සිසුවකු ත්‍රිරෝද රියක දමාගෙන පැහැරගෙන ගිය පිරිසක්‌ ඔහුට පහරදී මග දමා ගොස්‌ ඇත. පළමුවෙන්ම, මේ පැහැරගෙන යැම "හිඟන" පැහැරගෙන යැමකි. මන්ද යත් තඹ සල්ලියක වත්කමක්‌ ඇත්තකු වුවද ත්‍රිරෝද රියකින් මිනිසුන් පැහැරගෙන නොයන නිසාය. එය මහපාර මැද දංගෙඩියක්‌ තබා මිනිසකුගේ හිස බලෙන් ඒ මත ඔබා කඩුවෙන් කෙටීම වැනි ප්‍රදර්ශන මට්‌ටමේ ක්‍රියාවකි. දෙවනුව මෙය ගොන් පැහැරගෙන යැමකි. මන්ද යත් මෙසේ පැහැරගෙන ගොස්‌ පහර දීමේදී සිසුවා මළේ නම් එය ආණ්‌ඩුව පිටින් යන නිසා විශාල අවුලක්‌ හටගැනීමට ඉඩ තිබීමය. මෙය කරවන ලද දේශපාලන දාමරිකයා හෝ කුලී දාමරිකයා ගොන් මොළයක්‌ සහ මිනිස්‌ ශරීරයක්‌ සහිත කොටළුවකු බවට අපි යෝජනා කරමු. මන්ද කොතරම් වයසට ගියත් කොටළුවා අශ්වයෙකු බවට පත් නොවන හෙයිනි. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ වියරු ක්‍රියාමාර්ගවලට එරෙහිව පසුගියදා කැලණියේදී පවත්වන ලද විරෝධතා පෙළපාලියද කෘත්‍රිම එකක්‌ බව පෙනේ. මෙහි වෙනත් අයගේ දෙමාපියන් සිටියත් කැලණි සරසවි සිසුන්ගේ දෙමාපියන් සිටියේද යන්න සැක සහිතය. නාට්‍යානුසාරයෙන් රඟදක්‌වන ලබන මෙබඳු ජවනිකාවලට රාජ්‍ය නාට්‍ය උළෙලේදී කිසියම් සැළකීමක්‌ කළ යුතු බව අපි යෝජනා කරමු.

පසුගිය හතළිස්‌ අවුරුද්ද තුළ අවංක පරමාර්ථ සහිත එහෙත් පරාජිත කැරලි දෙකක්‌ මෙහෙයවූ ජනතා විමුක්‌ති පෙරමුණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමෙන් ඉක්‌බිති අද දක්‌වා පැමිණි ගමනේදී සිය මන්ත්‍රී ආසනවලින් වැඩි හරියක්‌ පමණක්‌ නොව තමන් කෙරෙහි තිබූ ජනතා විශ්වාසයෙන් සැළකිය යුතු ප්‍රමාණයක්‌ද නැති කර ගත්තේ ය. එහි ප්‍රතිඵලය වූයේ එම ජනතා විශ්වාසය හා මන්ත්‍රී ආසන ඇට්‌ටකුණාවූ සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂ අතර බෙදී යැම පමණි. එහෙත් ශක්‌තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ ඉතිරි කිරීමට ජ.වි.පෙ. ට හැකි විය. අද එම ශිෂ්‍ය ව්‍යාපාරය මේ රටේ උසස්‌ අධ්‍යාපන ආයතන තුළට කාන්දු වී එම ආයතන අමු සොහොන් බවට පත් කිරීමේ උත්සාහයක නිරත වෙයි. කිසිදු රටක කිසිදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌ පවතින ආණ්‌ඩුව සමග හොඳ නැත. නේවාසිකාගාර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, නවක වධයට එරෙහිව ආණ්‌ඩුව ක්‍රියාත්මක වීම ඇතුළු තවත් කාරණා එක්‌දහස්‌ එකසියයක්‌ පමණ සම්බන්ධයෙන් ශිෂ්‍යයෝ හැම ආණ්‌ඩුවක්‌ සමගම අරගල ඇති කරගත්හ. ඇති කර ගනිති. මතුවටත් ඇතිකර ගන්නවාද ඇත.

ජ.වි.පෙ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩල හරහා මේ තත්ත්වයෙන් උපරිම පල නෙළා ගන්නා බව පෙනේ. එහෙත් මෙය වැරදි පල වැරදි ලෙස නෙළීමකි. විශ්වවිද්‍යාල තුළ නොසන්සුන්තා හටගැනීම නිසා ඒවා නිරන්තරයෙන්ම වසා දමා තිබේ. විශ්වවිද්‍යාල වසන ලද්දේ යයි කියා ඒවායේ උගන්නා තරුණ තරුණියන්ගේ වයස්‌ ගත වීම නතර වන්නේ නැත. උදාහරණයක්‌ වශයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු උදුල ප්‍රේමරත්න මහතාව ගනිමු. එතුමා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස විශ්වවිද්‍යාලය තුළ ගත කළ කාලය සහ ගත කරන්නට බලාපොරොත්තු වන කාලය අපට නම් හිතා ගැනීමටවත් නොහැක. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දේශපාලනය කිරීම ගැන අප තුළ විරෝධයක්‌ නැත. ලෝකය වෙනස්‌ කළ හැම වැදගත් විප්ලවයක්‌ පසු පසම ශිෂ්‍ය ව්‍යාපාරයත් විය. එහෙත් ඒ ශිෂ්‍ය ව්‍යාපාරය ගැටුණේ ශිෂ්‍යයන් සමග හෝ ගමේ මිනිසුන් සමග නොව පාලකයන් සමගය.

උදාහරණ මෙසේය ප්‍රංශ විප්ලවයේදී එරට ශිෂ්‍යයන් ගැටුණේ ලුවී රජු සමගය. රුසියන් විප්ලවයේදී එරට ශිෂ්‍ය ව්‍යාපාරය ගැටුණේ සාර් රජතුමා සමග ය. මාවෝ සේතුං, චියෑං කායිෂෙක්‌ සමග ගැටෙන විට මාවෝ පසුපස ද ශිෂ්‍යයෝ සිටියහ. කොරියාවේ කොමියුනිස්‌ට්‌ විප්ලවය පිටුපස මෙන්ම කියුබාවේ පිදෙල් කස්‌ත්‍රොa, ඒකාධිපති බැටිස්‌ටා සමග කළ අරගලය පිටුපසද ශිෂ්‍යයෝ වූහ. එහෙත් එසේ ගැටී බිම දැමිය යුතු ඒකාධිපති පාලකයකු හෝ ඒකාධිපති ආණ්‌ඩුවක්‌ මේ වෙලාවේදී මේ රටේ නැත. සිටිනවානම් සිටින්නේ ආණ්‌ඩුවේ ගිණුමට බැරවීම සඳහා ගොන්කම් කරන මෝඩ වඳුරන් පමණි. රජෙක්‌ වඳුරකු ඇති කළේය. වඳුරා රජුට මහත් සේ ආදරය කළේය. දිනක්‌ රජු නිදා සිටින විට පපුව මත වැසූ මැස්‌සකුට වඳුරා කඩුවෙන් කෙටීය. රජු දෙපලු විය. ආණ්‌ඩුව තුළ ද මෙවැනි මෝඩ වඳුරෝ සිටිති. හදිසි සර්කස්‌ එකකදී අමුත්තන් පිනවීමට හැර වෙන කටයුත්තකදී මේ දුර්වල සතුන්ගෙන් පලක්‌ නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.