නිදහස්‌ අධ්‍යාපන අයිතීන් ඉල්ලා කරන සටන
සරසවි සිසුන්ට පමණක්‌ බාරදී නිහඬ විය නොහැකියි

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

අජිත් අලහකෝන්


උපන් නූපන් දරුවන්ගේ නිදහස්‌ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කිරීමේ කාර්ය භාරය සරසවි සිසුන්ට පමණක්‌ භාරදී නිහඬව බලා සිටිය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28 දා) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කීය

අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

විශ්වවිද්‍යාල තුළ මෑත කාලයේදී සිදුවූ ඇතැම් සිදුවීම් අප අනුමත කරන්නේ නෑ. අපි ඒවා හෙළා දකිනවා. නමුත් සරසවි සිසුන්ගේ කලබලකාරී හැසිරීම් හුදෙකලා ලෙස ඇතිවූ වාතාවරණයන් නොවේ.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව දැන් නිදහස්‌ අධ්‍යාපනය මුළුමනින්ම අහෝසි කිරීමට සූදානම් වෙනවා. එනිසා තමයි ආණ්‌ඩුව විසින්ම මේ නොසන්සුන්කාරී වාතාවරණයන් විශ්වවිද්‍යාල තුළ නිර්මාණය කරන්නේ.

දරුවෙක්‌ පාසලට ඇතුළු කිරීමේ සිට විභාගය පැවැත්වීම දක්‌වා අද රටේ අධ්‍යාපනය අවුල් ජාලාවක්‌ වෙලා. අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිදුවන්නේ ගුරුවරුන්ට වැටුප් ලබාදීමේ ක්‍රියාව විතරයි පාසල්වල විදුලි බිලට, ක්‍රීඩා භූමි සැකසීමට, ජල බිල්පත්වලට, ප්‍රශ්න පත්‍රවලට වගේම ඇමැතිවරයා එන උත්සව වලටත් වියදම් කරන්න සිද්ධවී තිබෙන්නේ දෙමව්පියන්ට. ඊට වඩා බැරෑරුම් තත්ත්වයක්‌ විශ්වවිද්‍යාලවල තිබෙනවා. අද විශ්වවිද්‍යාල සාම්ප්‍රදායික පාඨමාලාවලට හිර කරලා.

රුහුණ විශ්වවිද්‍යාලයයේ ශාස්‌ත්‍ර පීඨයේ සිසුන් 1602 ක්‌ ඉන්නවා. ඒත් දේශන ශාලා තියෙන්නේ 03 යි. පුටු තියෙන්නේ 492 යි. එක පුටුවක සිසුන් තුන් දෙනෙක්‌ වාඩි විය යුතුයි. එක ළමයෙක්‌ ඉගෙන ගනිද්දී තවත් ළමයින් දෙදෙනෙක්‌ එළියේ තබන්න සිද්ධවෙලා. මේ නිසා සමහර දේශන පාන්දර පහටත්, රෑ අටටත් පවත්වනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්‌තකාලය අවුරුදු විස්‌සකට විතර කලින් ඉදිකළ එකක්‌. දැන් කැලණිය සරසවියේ සිසුන් 8200 ක්‌ පමණ ඉන්නවා. ඒත් පුස්‌තකාල පහසුකම් තියෙන්නේ 800 කට විතරයි. විභාගය ළං වුණාම පුස්‌තකාලයේ පුටුවක්‌ ගන්න පාන්දර හතරේ සිට සිසුන් පෝළිමේ ඉන්නවා.

රජරට මිහින්තලේ වෛද්‍ය පීඨයේ සිසුන් අවසන් වසරේදී ක්‍ෂේත්‍ර පහකට අදාළව අධ්‍යයන කටයුතු කළ යුතුයි. මේ ක්‍ෂේත්‍ර පහම අධීක්‍ෂණය කරන්න මහාචාර්යවරු පස්‌ දෙනෙක්‌ සිටිය යුතුයි. ඒත් එහි අවසන් වසරේ සිසුන්ට එකම මහාචාර්යවරයෙක්‌වත් නැහැ. අවසානයේ සිද්ධවන්නේ මිහින්තලෙන් පිටව යන වෛද්‍යවරු මහාචාර්යවරුන්ගේ අධීක්‍ෂණයට ලක්‌ නොවූ අය වීමයි. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ කළමනාකරණ පීඨයට කිසිම මහාචාර්යවරයෙක්‌ නැහැ. කැලණිය ලලිත කලා අංශයේ සංගීත, නැටුම් පාඨමාලා හදාරන සිසුන් දෙසීයක්‌ ඉන්නවා. ඒත් ඒ කිසිවකුට ස්‌ථිර ආචාර්යවරයෙක්‌ නැහැ.

කැලණියේ සිසුන් 8200 ක්‌ හිටියත් නේවාසිකාගාර පහසුකම් තිබෙන්නේ සිසුන් 2300 කට විතරයි. කාන්තා නේවාසිකාගාරයේ සිට සරසවියට පැමිණිය යුත්තේ කිලෝ මීටර් අටක්‌ දුර ගෙවා ගෙන. ඒ සිසුවියන් ප්‍රවාහනය සඳහා දුන් බස්‌ රථයත් අද නතර කරලා.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සිසුන් 1300 ක්‌ ඉන්නවා. ඒත් ඒ සියලුම දෙනාට පාවිච්චි කරන්න තියෙන්නේ බට නළා පහයි, සිතාර් අටයි, වයලීන හයයි.

සෞන්දර්ය සිසුන්ට බට නළා නැහැ. ඒත් විශ්වවිද්‍යාලවලට උපකරණ ගන්න තියෙන මුදල්වලින් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා රුපියල් දෙකෝටි විසිහතර ලක්‍ෂයක්‌ වැය කරලා ලෑන්ඩ් කෲෂර් රථයක්‌ මිලට ගත්තා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උපාධියක්‌ ලබා දෙන එකම විශ්වවිද්‍යාලය තියෙන්නේ සබරගමුවේ. ඒත් ඒ විශ්වවිද්‍යාලයට ක්‍රීඩා පිටියක්‌ නැහැ.

මේ විශ්වවිද්‍යාලවල තියෙන අඩුපාඩු කිහිපයක්‌ විතරයි. පාලකයන් කළ යුත්තේ ශිෂ්‍යයන් අරගල කරන තෙක්‌ නොසිට මේ අඩුපාඩු සොයා බලා ඒවාට විසඳුම් ලබාදීමයි. ඒත් අද ශිෂ්‍යයන්ට සිද්ධවෙලා තියෙනවා මේවා ඉල්ලා උද්ඝෝෂණය කරන්න.

විශ්වවිද්‍යාලවල පවත්නා මේ තත්ත්වයට විසඳුම ලෙස ආණ්‌ඩුව පෙන්වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයි. අධ්‍යාපනයේ අවස්‌ථා පුළුල් විය යුතුයි. පක්‍ෂයක්‌ ලෙස අප එය පිළිගන්නවා. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන්නේ කුමක්‌ද. ජාතික විශ්වවිද්‍යාලයේ උපාධියට වඩා වැඩි වටිනාකමක්‌ පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධියට හිමිවේවි. ජාතික විශ්වවිද්‍යාල සාම්ප්‍රදායික වෙලා පුද්ගලික විශ්වවිද්‍යාල නූතන විශ්වවිද්‍යාල බවට පත්වෙනවා.

එදා විශ්වවිද්‍යාල පෞද්ගලික කළා නම් පොරමඩුල්ලේ ඉගෙනගත් එස්‌. බී. දිසානායක මහත්තයට අද උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා වෙන්න පුළුවන්ද? අද බොහෝ දෙනෙක්‌ට උසස්‌ නිලතල හොබවන්න හැකිවෙලා තියෙන්නේ නිදහස්‌ අධ්‍යාපනය නිසයි. ඒත් අද ඇති හැකි අයට නූතන අධ්‍යාපනයට දොරටු විවෘත වෙලා.

සිසුන් විශ්වවිද්‍යාල තුළ අරගල කරන්නේ ආණ්‌ඩුවේ මේ ක්‍රියා කලාපයන්ට එරෙහිවයි. ඔවුන් සටන් කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්. ඉතින් අප මේ කාර්ය භාරය විශ්වවිද්‍යාල සිසුන්ට පමණක්‌ භාරදී නිහඬව සිටිය යුතුද? උපන් නූපන් පරම්පරාව වෙනුවෙන් සටන් කරන සරසවි සිසුන් අප කීර්තියට පත්කර ඔවුන් නිහඬ කිරීමේ උත්සාහයක ආණ්‌ඩුව නිරත වෙනවා.

ශිෂ්‍යයන් දෙතුන් දාහක්‌ හිරේ නොයවා විශ්වවිද්‍යාල හදන්න බැහැ කියා උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා ඔහු අවුරුදු දෙකක්‌ හිරේ හිටියා. ඒ නිසා ඔහු හිතනවා රටේ සියල්ලෝම හිරේට යෑවිය යුතුයි කියලා. ඇමැතිවරයා සංඥව දීලා ඉවරයි. ඔහුගේ ගෝල බාලයන් වන උපකුලපතිවරු ඒ විකෘති ආඩ සංඥවට අනුරූපී ලෙස තමන්ගේ කාර්ය භාරය ආරම්භ කළා.

මේ වන විට ජයවර්ධනපුර සිසුන් 70 ක්‌, වයඹ සිසුන් 65 කගේ, පේරාදෙණිය සිසුන් 9 ක්‌, රජරට සිසුන් 30 ක්‌, කැලණියේ සිසුන් 14 ක්‌, රුහුණේ සිසුන් 06 ක්‌ සහ මොරටුවේ සිසුන් 11 ක්‌ වශයෙන් සිසුන් 202 කගේ පන්ති තහනම් කරලා. ඇමැතිවරයාට හූ කීවා කියා පේරාදෙණියේ සිසුන් හතරක්‌ ඇතුළු සිසුන් 14 ක්‌, රජරට සිසුන් 10 ක්‌, දේශීය වෛද්‍ය සිසුන් එකක්‌, කැලණියේ සිසුන් දෙදෙනෙක්‌ මේ වන විට සිරගත කරලා. මේ අපේ රටේ අධ්‍යාපනය විනාශ කිරීමේ ක්‍රියාවලියට එරෙහි සිසුනට දෙන දඬුවමද?

දැන් විශ්වවිද්‍යාල සිසුන්ගේ දෙමව්පියන් යෑයි කියමින් පිරිසක්‌ උද්ඝෝෂණය කරනවා. එක්‌ උද්ඝෝෂණයක ලක්‍ෂමන් යාපා ඇමැතිවරයාත් හිටියා. අප දන්නා තරමට ඔහුගේ දරුවෙක්‌ විශ්වවිද්‍යාලයේ නැහැ. පසුගියදාක කැලණිය සරසවිය ඉදිරිපිටත් දෙමව්පියන් යෑයි කියන පිරිසක්‌ උද්ඝෝෂණය කළා. බීමතින් සිටි කාන්තාවක්‌ සරසවි සිසුවකු පැහැරගෙන ගොස්‌ පහර දුන්නා. කව්ද මේ මැර කණ්‌ඩායම් හසුරුවන්නේ. කිරිබත්ගොඩ පොළේ කප්පම් එකතුකරන පුද්ගලයා... කිරිබත්ගොඩ නිවාස යෝජනා ක්‍රමය තුළ සල්ලි පොළියට දෙන පුද්ගලයා ඡායාරූප පෙන්වමින්. මේ අය අද එළිපිටදීම සිසුන්ට පහර දෙනවා. ඒ අතරේ ජනාධිපතිවරයා කියනවා රටට නීතියක්‌, විනයක්‌ අවශ්‍යයි කියලා. තම මැර කණ්‌ඩායම් හරහා සරසවි සිසුන්ට පහර දීමද නීතිය හා විනය රකිනවා කියන්නේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සේවය කරන මහින්ද බාලසූරිය පොලිස්‌පතිවරයාට අපි කියනවා ඔය නිළ ඇඳුමට ගැලපෙන ලෙස වැඩ කරන්න කියලා. ඔය පොලිසිය නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදලින්. පොලිස්‌ නිලධාරීන් බලා සිටිද්දීම මැරයන් සිසුන් පැහැරගෙන යනවා. පහර දෙනවා. මුදා හරිනවා. පොලිසියට ලැඡ්ජාවක්‌ කියලා දෙයක්‌ නැද්ද?

තමන්ගේ දූ පුතුන්ට බීමත් කාන්තාවන් ලවා ආණ්‌ඩුව පහර දෙද්දී, කප්පම්කරුවන් හරහා දරුවන්ට පහර දෙද්දී අපේ රටේ අහිංසක දෙමව්පියන්ට ඊට ඉඩදී බලා ඉන්න පුළුවන්ද. ආණ්‌ඩුවේ ඉහළම තැන්වල ආශීර්වාදය ඇතිව කරන මේ මැර ක්‍රියා නතර කළ යුතු නැද්ද.

විශ්වවිද්‍යාල තුළ ඇතිවන යම් යම් සිද්ධීන් ආණ්‌ඩුවට හිතකර වාතාවරණයක්‌ නිර්මාණය කරනවා. ඒ නිසා සරසවි සිසුන් තමුන් ඉදිරිපිට සිදුවන දැ පිළිබඳ අවධානයකින් සිටිය යුතුයි. ඔවුන් මීට වඩා ප්‍රවේශම් විය යුතුයි. ඉවසිලිවන්තව සුපරීක්‍ෂාකාරීව කටයුතු කළ යුතුයි. අද විශ්වවිද්‍යාල පාලනය කරන්නේ උපකුලපතිවරු නොවේ. සෑම විශ්වවිද්‍යාලයකටම ඇමැතිවරයෙක්‌ පත් කරලා. අවසන් වසරේ සිසුන්ට රැකියා ලබාදෙන බවට මුළා කරලා ඔවුන් ලවා මේ ගැටුම් නිර්මාණය කිරීම මේ ඇමැතිවරුන් විසින් සිදුකරනවා.

සුදු කොඩි කතාවක්‌ නිසා සරත් ෆොන්සේකා ජනතාව කැළඹීමකට පත් කළා කියා අත්අඩංගුවට ගත්තා. සරසවි සිසුන් දෙතුන් දාහක්‌ හිරේ යවන බව කියා ජනතාව කැළඹීමකට පත් කළ එස්‌. බී. දිසානායක උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාවත් අත්අඩංගුවට ගන්න කියා අපි ආණ්‌ඩුවට අභියෝග කරනවා. බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.