ගැහැනු ළමයි රූගැන්වෙන ස්‌ථානයට ගිය ගමනක්‌
ගැහැනු ළමයින්ට 300 යි

පිටිසර ගමක ජීවත්වූ පවුල් දෙකකි. එක්‌ පවුලක ගැහැනු ළමුන් තිදෙනෙක්‌ වූ අතර අනෙක්‌ පවුලේ සිටින්නේ පිරිමි දරුවන් සිව්දෙනෙකි. වැලිකෙළියේ පටන් ඇරැඹි ඔවුන්ගේ සහෝදරත්වය නවයොවුන් වියට පා තබන තෙක්‌ම පැවැති අතර එක්‌ පවුලක තරුණයකු වන නිමල් සහ අනෙක්‌ පවුලේ තරුණියක වන කුසුම් සහෝදර බැමි බිඳදමා පෙම්වතුන් වීමට උත්සාහ දරයි. නිමල්ගේ මව ඊට දැඩි ලෙස විරුද්ධ වෙයි. ඒ කුසුම්ගේ පවුල අන්ත දිළිඳු පවුලක්‌ නිසා නොව තමා දියණියක සේ සලකන කුසුම් ලේලියක ලෙසින් පිළිගන්නට කිසිසේත්ම ඇය සූදානම් නොවීමයි. අවසනදී කුසුම් නිමල්ව ප්‍රතික්‍ෂේප කරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපන නිමාකර ගමේ පාසලට ගුරුවරයකු ලෙස පැමිණෙන නිමල් කුසුම්ගේ ගුරුවරයා වෙයි. මේ අතර නිමල් කුසුම්ගේ හොඳම මිතුරිය වන පද්මිනි විවාහ කරගැනීමට සැරසෙයි. විභාගය අසමත් වන කුසුම් බීඩි ඔතන තරුණියක්‌ බවට පත්වෙයි. ඉදිරියේදී විවිධ හැළහැප්පීම් මත මේ චරිත තුන ඉදිරියට ගලා යයි...................................

ඒ මේ දවස්‌වල 300 වැනි කඩඉම සඳහා විකාශය වන "ගැහැනු ළමයි" ටෙලි වෘතාන්තයේ කතා සාරාංශයයි. 300 වැනි කඩඉම පසුකරන "ගැහැනු ළමයි" නිෂ්පාදන පිරිස සොයා අප ON LOCATION කණ්‌ඩායම නොබෝදා බණ්‌ඩාරගම ප්‍රදේශයට ගියා.

හොරණ විවිධසේවා සමුපකාර සමිතිය පොකුණුවිට ශාඛාව යනුවෙන් සටහන් කළ නාම පුවරුවක්‌ ද සවිකළ පොල්අතු සෙවිළිකළ 60 දශකයේ කුඩා ගොඩනැඟිල්ලකි. එය අවට "ගැහැනු ළමයි" නිෂ්පාදන කණ්‌ඩායම යුහුසුළුව තම තමන්ගේ වැඩකටයුතුවල යෙදෙයි. අධ්‍යක්‌ෂවරයා ඔවුන්ට අවශ්‍ය උපදෙස්‌ ලබාදෙයි. අප මොහොතක්‌ නතර වී ඔවුන්ගේ මේ සූදානම දෙස විමසිලිමත් වූයෙමු.

තැනෙක සහාය අධ්‍යක්‌ෂවරයා රංගන ශිල්පීන්ගේ දෙබස්‌ පෙරහුරුවක යෙදෙයි. තවත් තැනෙක අංග රචනා ශිල්පීනි තුෂාරි කුසුම් ඊළඟ දර්ශනයට සූදානම් කරවයි. සමුපකාරය අසල ගැමියන් කීපදෙනෙකි. ඔවුන් සමුපකාරයෙන් අල රාත්තලක්‌, සීනි රාත්තලක්‌ මිලදී ගැනීමට සූදානම්ව සිටියි. සැබවින්ම අප මොහොතකට 60 දශකයේ ජීවත්වන බවක්‌ හැඟෙයි. ON LOCATION කණ්‌ඩායමේ ඡායාරූප ශිල්පි සමන් යුහුසුළුව මේ අතීත දර්ශන තලය තම කාචයේ සටහන් කරගනී. ලද පුංචි අස්‌වැසිල්ලකදී අප "ගැහැනු ළමයි" නියමුවා දිලුක ප්‍රසාද් සමග පුංචි පිළිසඳරකට පිවිසුනෙමු.

ඇත්තටම "ගැහැනු ළමයි" ටෙලි නිර්මාණය අපිට ලොකු අභියෝගයක්‌. ජනතාවගේ හදවත ලැගුම් ගන්න නිර්මාණයක්‌ නැවත නිර්මාණය කිරීමේදී අප බොහෝ ප්‍රවේශම් විය යුතුයි. අපගේ නිෂ්පාදන කණ්‌ඩායම ඒ සඳහා මට විශාල සහයෝගයක්‌ ලබාදෙනවා. පසුගිය දිනක නිමල් සහ පද්මිනිගේ විවාහ මංගල්‍යය අප රෑ ගත කළා. එය 60 දශකයේ විවාහ මංගල්‍යයක්‌. අපි හිතනවා කරුණාසේන ජයලත් සූරීන්ගේ මෙම නවකතා ත්‍රිත්වයට හානියක්‌ නොකර අපි මේ ටෙලි වෘත්තාන්තය නිර්මාණය කරනවා යෑයි කියා. ඒ සඳහා අපට සහාය දෙන ගයිරික පේරුසිංහ මහතාවත් ශිරාන් ටෙලිසිනේ ආයතනයත්, සිරස රූපවාහිනියත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඊළඟ දර්ශනයට සියල්ල සූදානම්ය. අධ්‍යක්‌ෂවරයා විධානය දීමට සූදානම්.....

ටේප් රෝලිං....
ඇක්‌ෂන්.........


මාලක නන්දන
ඡායා- සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.