ප්‍රේමයේ විප්‍රයෝගයේ හඬ නැසී ගිහින් වසර 19 යි

ශ්‍රී ලාංකික ගීත ක්‍ෂේත්‍රයේ නොමැකෙන යුගයක්‌ නියෝජනය කළ මහා ගායකයකු අපෙන් වියෝවී ඉකුත් ඔක්‌. 24 දිනට වසර 19 ක්‌ සපිරුණි. එහෙත් ඔහුගේ ඒ සුවිශේෂී මියුරු ගී රාවය අප කෙරෙන් ඈත් කරවීමට එම වසර 19 ට හැකි වූයේ නැත. ඔහු නමින් ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරා හෙවත් ඡේ. ඒ. මිල්ටන් පෙරේරාය. එදා ඔහුගේ ගීතයට පෙම්බැඳි ශ්‍රාවකයෝ තවමත් ඒ හඬට ඇලුම් කරතිs. ආදරේ කරති.

එහෙත් අද ගුවන් විදුලි F. M. නාලිකා රැසක්‌ පැවතියද මෙම ගායකයාගේ හඬ අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. රූපවාහිනි නාලිකා සම්බන්ධව ද කීමට ඇත්තේ එයමය. අප මෙම ලිපිය ලියන්නට පෙළැඹුණේ ඒ නිසයි.

ප්‍රකට තබ්ලා වාදකයකු වූ ඡේ. ඒ. එඩ්වින් පෙරේරා සහ ප්‍රේමවතී වික්‍රමාරච්චි නම් යුවළට දාව වර්ෂ 1937 මැයි මස 05 දින කොළඹ කොටහේනේදී මිල්ටන් මෙලොව එළිය දුටුවේය. කොටහේන නිල් වීදිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු සිය පියාගෙන් හා මොහමඩ් ගවුස්‌ මාස්‌ටර්ගෙන් සංගීතය හැදෑරීය. ඔහු මුලින්ම සංගීත ක්‍ෂේත්‍රයට එක්‌වන්නේ තබ්ලා වාදකයකු වශයෙනි.

එකල ශ්‍රී ලාංකේය ගීත ශ්‍රාවකයන් අතරේ මිල්ටන් වඩාත් ජනප්‍රිය වූයේ ප්‍රේමයේ විප්‍රයෝගය වේදනාත්මක ස්‌වරයෙන් ගැයූ ගායකයකු විලසිනි. වර්තමානයේ මෙන් එකිනෙකා අනුකරණය කරන යුගයක්‌ එවක නොවූ අතර සෑම ගායක ගායිකාවකටම තමා ගොඩනගාගත් අනන්‍යතාවක්‌ තිබිණි. ඒ අනුව විරහ ගීත ගැයීම සඳහා නිසඟ කුසලතාවක්‌ හා ලයාන්විත හඬක්‌ මිල්ටන් සතුව පැවතිණි. ඔහු එදා ගැයූ පොඩි කාලේ අපි දෙන්නා, "සඳුන් ගසක එති සමන් ලතාවක (ලලිත් එස්‌ මෛත්‍රිපාල), දෙව්දුව පලා ගියාදෝ, රුවන් මැඳුර ඔබව ඉදිකෙරූ (කරුණාරත්න අබේසේකර), ඔබට නම් නැහැ නේද රත්නේ (ඇලෝයි ගුණවර්ධන), බැලුවේ නෑනේ මාගෙ දිහා (චිත්‍රානන්ද අබේසේකර), ඔබේ ප්‍රේම නගරේ (ප්‍රේමකීර්තිද අල්විස්‌) ආදී ගීත විමසා බැලීමේදී ඒ බැව් අපට පසක්‌ වේ. එදා ඔහුට ගයන්නට ලැබුණු විරහ ගීත අද අසන්නට ලැබෙන ඇතැම් විරහ ගීත තරම් ඕලාරික නොවිණි.

මිල්ටන් පෙරේරා විරහ ගීත ගායනයට පමණක්‌ තම කටහඬ සීමා කළේ නැත. එදා මෙන්ම අදටත් ජනප්‍රිය සිහින දෙව්දුවේ, සුපෙම් ලොවේ කුසුම් සරා, පෙර ආත්මයක, වළාකුලක්‌ පලා අම්බරේ, සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ, ඔබ කවුද ප්‍රියේ, පෙම් අප්සරාවෝ, ලොව තුළ පූජිත, ඔබ වේවා වේවා පහන මගේ, මහ ගණ වනන්තරේ, ඇස රැඳුන රැඳුන තැන්වල මේ වගේ ගීතයක්‌ නම්, සුරලෝකේ මං සක්‌කර දෙයියෝ (කරුණාරත්න අබේසේකර) අහන්න මගෙ හොඳ පුංචි පුතේ, වැඩ කරලා ඉවර නොමැත, (ඇලෝයි ගුණවර්ධන) මදු සඳෙන් තවත් (හේම ශ්‍රී ද අල්විස්‌) ආදී ගීත ගණනාවක්‌ ඒ සඳහා උදාහරණ ලෙස දැක්‌වීමට පුළුවන.

චිත්‍රපට පසුබිම් ගායනය සඳහා මිල්ටන් අවතීර්ණ වන්නේ "කුරුළු බැද්ද" චිත්‍රපටය සඳහා ආර්. මුත්තුසාමිගේ සංගීතයට කරුණාරත්න අබේසේකර ලියූ "අරුණ උදයේ පිපෙන මලසේ" ගීතය ගයමිනි. එතැන් සිට ඔහු සිංහල රිදී තීරයේ දිගහැරුණු චිත්‍රපට 150 කට පමණ පසුබිම් ගීත ගයා ඇත.

සමකාලීන මහා ගායක ජෝතිපාලයන් සමග පැවැති මිත්‍රත්වය තම ජනප්‍රියත්වයට බෙහෙවින් ඉවහල් වූ බව මිල්ටන්ම පසුකලෙක සිනමා පුවත්පතකට පවසා තිබිණි.

මෙම ගායක දෙපළ හා සම්බන්ධ "අනංගවාදය" එදා මෙරට ගීත ශ්‍රාවකයන් තුළ මහත් ආන්දෝලනයක්‌ ජනිත කළා සේම ආස්‌වාදයක්‌ ද ගෙන දුන්නේය. එය ආරම්භ වන්නේ කරුණාරත්න අබේසේකරයන්ගේ සොයුරු ගුණරත්න අබේසේකර විසින් පබැඳුන "අනංගයා මං" ගීතය ජෝතිපාල ගායනා කිරීමත් සමඟය. එය අතිශයින් ජනප්‍රිය වූ අතර ජෝතිට "අනංගයා" යි නමක්‌ ද පටබැඳුණි. ඉන්පසු කරුණාරත්න අබේසේකර එම ගීතයට පිළිතුරු ගීයක්‌ ලෙස "සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා - ඔය අනංගයා තමයි මහා පෙම් හොරා" නම් ගීතය ලියා මිල්ටන් ලවා ගායනා කරවීය. මෙය හුදෙක්‌ විනෝදය සඳහාම කළ ක්‍රියාවකි.

එකල ජෝති, බෙග්, මිල්ටන්, ධර්මදාස, ලතා, ජී. එස්‌. බී. රාණි ඇතුළු බොහෝ ජනප්‍රිය ගායක ගායිකාවන්ට එල්ල වූ චෝදනාවක්‌ වූයේ අනුකරණ ගීත ගැයීම සම්බන්ධවයි. භාරතයේ ජනප්‍රිය ගීතවල තනුවලට සිංහල වචන යොදා ගීත නිර්මාණය කිරීම එම යුගයේ සුවිශේෂී අංගයක්‌ විය. එසේම කාලීන අවශ්‍යතාවක්‌ වූ බැව් පැවසීම ද වරදක්‌ නොවේ. මක්‌ නිසාද යත් අතිශය ජනප්‍රියත්වයට පත් එම ගීත තුළින් ගීතය නම් සාහිත්‍යාංගයට ශ්‍රාවක සමාජයක්‌ බිහිවීම නිසාය.

තාක්‍ෂණය සහ සන්නිවේදනය අද මෙන් දියුණුව නොපැවැති යුගයක මිල්ටන් පෙරේරා වැන්නෝ ගායන ලොවට අවතීර්ණ වීම සඳහා බොහෝ කැපකිරීම් කළෝය. ඔවුන්ට ශ්‍රාවකයන් අතරට යැමට තිබූ මාධ්‍යය ගුවන් විදුලිය පමණි. වර්තමානයේ බිහිවන ගායක ගායිකාවන්ගෙන් බහුතරයක්‌ දියුණු තාක්‍ෂණයේ මහිමයෙන් ක්‍ෂේත්‍රයට පැමිණ, ජනප්‍රියත්වයක්‌ ලැබූවත් ඔවුන්ට ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටීමට හැකිවන්නේ කෙටි කාලයක්‌ බව රහසක්‌ නොවේ. එවන් තත්ත්වයක්‌ තුළ වියෝවී වසර ගණනාවකට පසුවත් අප ජෝතිලා, මිල්ටන්ලා, බෙග්ලා සිහිපත් කිරීම විශේෂත්වයක්‌ නොවන්නේද?


ජී.ජී. සරත් ආනන්ද

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.