එයාව හමුවීම බෝඩිං ජීවිතයේ තවත් අතුරු ප්‍රතිඵලයක්‌
මිහිර

ජාතික රූපවාහිනියේ අංගාර ඉංගාරේ, ස්‌වාධීන රූපවාහිනියේ පබළු, සිරසේ සිහින සිතුවම්, ස්‌වර්ණවාහිනියේ අළුපාට, හීන හා ඇන්ඩ් කොම්පැනි. මේ සෑම නිර්මාණයකදීම ඔහුටම ආවේණික වූ රංග ශෛලකින් ප්‍රේක්‍ෂක සිත්දිනාගැනීමට ඔහු සමත් වෙලා තිබෙනවා. සතියේ සෑම දිනකම පුංචි තිරය ඔස්‌සේ ඔබේ ආලින්දයට ගොඩවන ගම්ලත් රාළලාගේ සම්පත් මිහිර සිරිතිලක නම් වූ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියා පිළිබඳව මේ වෙලාවේ කතා නොකළහොත් ඒක පුංචි අඩුවක්‌. ඒ නිසා ඔබ වෙනුවෙනුත් ඔහු වෙනුවෙනුත් අද දවසේ කතා බහට මිහිරව එක්‌කර ගත්තා.

මේ දවස්‌වල ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ දවස්‌වල පබළු නිසා බොහෝ ජනප්‍රියත්වයක්‌ තිබෙනවා කියල තේරෙනවා. ප්‍රියන්ත අයියත් එක්‌ක (බෙනට්‌) තිබෙන ගනුදෙනුවට මිනිස්‌සු හරි කැමතියි. මිනිස්‌සු ඉන්නේ ගොඩක්‌ ප්‍රශ්නවලනේ ඉතින් මෙවැනි දෙයක්‌ බලල සතුටු වෙන්න හරි කැමතියි.

පබළු රූගැන්වෙන අතරතුර කැමරාවට පිටතින් මොනවගේ දේවල්ද සිදුවෙන්නේ?

එතන තියෙන විශේෂම දේ තමයි රූගත කිරීම් නැති බොහෝ වේලාවන් වලටත් කැමරාව මගේ එකේ තියෙනවා. ඉතින් අපි මොන පිස්‌සුවක්‌ නැටුවත් ඒකට අහුවෙනවා. ප්‍රියන්ත අයියාත් එක්‌ක වැඩකරන එක තමයි ලොකුම විනෝදය. එයා පුහුණුවීම්වලදී කරන එක නෙමෙයි කැමරාව ඉස්‌සරහ කරන්නේ ඒවා එම වෙලාවට වෙනස්‌ කරනවා.

පබළු පටන්ගන්න කලින් කරාතේ පන්තියක්‌ දැකලවත් තිබුණේ නැහැ කියල තමයි ආරංචිය?

ඇත්තටම අපි කරාටි ඉගෙන ගෙන නැති හින්දා හරි අමාරුවෙන් තමයි එතන වැඩේ යන්නේ. එතෙන අය වැඩේ කරන්න ඕන නිසා යන්තම් වැඩේ කරගන්නවා. ඉස්‌සර ඉඳන්ම ඇඟ තැලෙන වැඩවලට මම කැමති නැහැ. ටෙලිනාට්‍යයට ඕන නිසා දැන්නම් ටිකක්‌ ඉගෙන ගන්නවා.

ඇයි බෙනා මාමත් එක්‌ක මෙච්චර අරියාදු?

හැමතැනම ගියහම මෑන් තමයි ලොක්‌ක වෙන්න හදන්නේ. හැබැයි මොන ප්‍රශ්න ආවත් හසරැල්aගෙන් පොඩි ආදරයක්‌ තියෙනවා බෙනාට. ඒ නිසා තමයි මමත් කියන්නේ මෑන් ඉන්න විදිහ තමයි එක අතකට හරි කියලා.

අද තිබෙන ටෙලි නාට්‍ය ඇදගෙන යන්න වෙලා තිබෙන්නේ හාස්‍ය රසයෙන් විතරමද?

ඉස්‌සර අපි එක ටෙලිනාට්‍යයක්‌

නැරැඹුවේ සතියකට එක්‌වරයි. නමුත් අද තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඊට සරිලන පිළියමක්‌ ලෙස ටෙලිනාට්‍ය කලාවක්‌ බිහිවෙනවා "මෙගා" නමින් මෙය සතියේ දින පහේම මිනිස්‌සු බලනවා. එතකොට මේ නාට්‍ය මිනිස්‌සුන්ට එපානොවෙන්න කිසියම් තුරුම්පුරුවක්‌ ගැසිය යුතුයි. ඒ නිසා තමයි හාස්‍ය රසයට වැඩි ඉඩක්‌ ලබාදීල තියෙන්නේ.

"මෙගා" ආර්ථික අර්බුදයට හොඳ පිළියමක්‌ වුණාට නිර්මාණාත්මක පැත්තෙන් ලොකු හිඩැසක්‌ තිබෙනවා?

අද පවතින තත්ත්වය තුළ මොනදේ කරන්නත් කලින් ආර්ථිකය ශක්‌තිමත් කරගැනීමට අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි කලාව තුළ හිඳිමින්ම මේ ආර්ථික අර්බුදය ජයගන්න මෙවැනි විකල්පයක්‌ භාවිතා කරන්නේ. මෙවැනි දෙයක්‌ කරන කොට විශාල වශයෙන් නිර්මාණාත්මක දේ කරා යොමුවෙන්න අපහසුයි. ඒ කියන්නේ කඹේ දීල තියෙන දුරට තමයි තණ කොළ කන්න වෙන්නේ. නමුත් නිර්මාණාත්මක පැත්තෙන් විශාල හානියක්‌ සිදුවෙනවා කියලත් මම හිතන්නේ නැහැ. ඒ නිසා අද තිබෙන තත්ත්වය අනුව ඉදිරියට යන ගමන් මෙතැනත් නතර වෙලා යන්න සිදුවෙලා තිබෙනවා.

ඔය කියන්නේ මේ කාලෙට උචිත හොඳම දේ මෙගා කියලද?

නැහැ මම කියන්නේ නැහැ. අපිට උචිතම දේ මෙගා කියලා. මොකද දැන් ටිකක්‌ මිනිස්‌සු මෙය ප්‍රතික්‌ෂේප කරන තැනටත් ඇවිල්ල තියෙනවා. මේ හැම දේම තීරණය කරන්නේ ප්‍රේක්‌ෂකයා.

හොඳ නිර්මාණයකට දායකවන රංගන ශිල්පියෙකුගේ වෘත්තීය කුසලතාවට එම නිර්මාණය අලුත් ආලෝකයක්‌ සපයනවා. මෙමගින් ඔබලාට ලැබෙන්නේ කුමක්‌ද?

අපි මැරෙන තුරුම කරන්නේ ඉගෙන ගන්න එකනේ. ආර්ථික අවශ්‍යතාවය නිර්මාණාත්මක අවශ්‍යතාවකින් ජයගන්නේ කොහොමද කියන එක තමයි මේකෙන් ඉගෙන ගන්නේ. ඒ දෙකම ජය ගන්න තමයි නිර්මාණකරුවන් මේ හරහා උත්සාහ කරන්නේ. ඒ නිසා මෙගා නාට්‍ය කියන්නේ විහිළුවක්‌ම විතරක්‌ නෙමෙයි. තව ඉදිරියේදී මේ තත්ත්වයත් වෙනස්‌ වෙයි. ඒ නිසා කාලය හා අවශ්‍යතාව තමයි හැමදේම වෙනස්‌ කරන්නේ.

සිංහාවලෝකනය චිත්‍රපටයේ වැඩ ඉවරද?

සියලුම රූගත කිරීම් ඉවර කරලා හඬ කැවීම් පවා අවසන් කරලයි තියෙන්නේ. ඇත්තටම ඒක මේ රටේ ප්‍රේක්‌ෂකයන්ට අලුත්ම විදියේ අත්දැකීමක්‌ වේවි. මේක ක්‍රිsකට්‌ වෙනුවෙන් බිහිවුණු හොඳ තරුණ නිර්මාණයක්‌.

කතාවක්‌ තියෙනවා පබෝදත් එක්‌ක මෝටර් සයිකලේ යන්නේ බොහොම බයෙන් කියලා ?

නැහැ නැහැ. පබෝදත් එක්‌ක යන්න බය වෙන්න ඕන නැහැ. එයාට හොඳට බයිසිකල් පදින්න පුළුවන්.

සාමාන්‍ය ජීවිතයේදී සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්‌ද?

මට ඔළුවේ බර තියාගෙන හුදෙකලා ජීවියෙක්‌ වගේ ඉන්න බැහැ. ඒ නිසා හැම වෙලාවෙම තවකෙනෙක්‌ එක්‌ක විහිළුවක්‌ කරගෙන සතුටෙන් ඉන්නේ.

බිරිඳගේ නම මොකක්‌ද?

ගීතිකා මධුරංගී

බිරිඳව කොහොමද සොයාගත්තේ?

ඕවා ඉතින් බෝඩිං ජීවිතයේ තවත් අතුරු ප්‍රතිඵලයක්‌.

ඒ කියන්නේ කෑම කෑවේ එහෙන්ද?

නැහැ නැහැ. අපේ බෝඩිම ළඟ තැනක තමයි එයා රැකියාව කළේ. ඉතින් යද්දී එද්දී නිතරම දැක්‌කා. මට හිතුනා කරමලේ සුදුවෙන්න කලින් අහන්න ඕන කියලා. යාළුවෙලා වැඩි දවසක්‌ නොගිහින් ගෙදරට ගිහින් ඇහුවා. මට දුව ගැන අදහසක්‌ තියෙනවා ඔය ගොල්ලො කැමතිනම් අපි විවාහ වෙනවා කියලා. ඇත්තටම මට ඒ දෙමව්පියෝ කැමතිවුණා. එතකොට මට රැකියාවක්‌ තිබුණේ නැහැ. ස්‌ථීර ආදායමක්‌ නැහැ. වේදිකා නාට්‍ය දෙක තුනක විතරයි හිටියේ. අනික මා ගැන තොරතුරු හොයන්නත් අමාරුයි. මම හම්බන්තොට එහා කෙළවරේ කෙනෙක්‌. ගීතිකාගේ තාත්ත කියලා තිබුණෙ කලාකාරයෙක්‌ බැඳල ඉන්න එක අමාරුයි කරන්න පුළුවන් නම් හොඳයි කියල විතරයි.


රංග
ඡායා - නිහාල් චන්ද්‍රකුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.