ප්‍රශ්නත් එක්‌ක තමයි අපි හැමදාම ජීවත්වෙන්නේ
නයනා කුමාරි

ගයත්‍රිගේ මගේයි යාළු කමට කාටවත් බලපෑම් කරන්න බැහැ

එක්‌ චරිතයක්‌ සමග නොව එකවර චරිත කීපයක්‌ සමග ප්‍රේක්‍ෂකයන් හමුවට යා හැකි නම් එය වාසනාවක්‌ හැටියට හඳුන්වන්න පුළුවනි. හැඩකාර පෙනුම වගේම දක්‍ෂතාවයෙන් යුතු ශිල්පිනියක්‌ වන නයනා කුමාරිටත් අද ඒ වාසනාව ලැබී තිබෙනවා. චාතුර්යාහි චාතුර්යා, අල්ලපු ගෙදර දිලිනි, පබළු හි ස¹ගේ අම්මා, ජාතික රූපවාහිනියේ තවත් නාට්‍යයක කාර්යාලයක පෞද්ගලික ලේකම්වරියක්‌ ලෙසින් අද ඇය ආලින්දයේ සිනමාව හැඩ කරනවා. නයනා සමග කතා බහට මේ හොඳම වෙලාවයි.

මේ විදිහට එකවර චරිත කිහිපයකින් ප්‍රේක්‍ෂකයා හමුවට ඒම ගැන මොකද හිතන්නේ ?

රංගන ශිල්පිනියක්‌ විදිහට මම ගොඩක්‌ සතුටුවෙනවා. මොකද නාට්‍ය හතරෙම එකකට එකක්‌ විවිධ චරිත තිබෙන්නේ.

සියල්ල එකවර විකාශනය වීම අපරාධයක්‌ නොවෙයිද?

කවදත් මගේ නාට්‍ය කිහිපයක්‌ එකවර විකාශනය වුණා. මම රඟපෑ එක නාට්‍යයක්‌ විතරක්‌ විකාශනය වුණු කාලයක්‌ මට මතක නැහැ.

එතකොට මොනවද මේ දවස්‌වල කරන්නේ ?

පබළු, අල්ලපු ගෙදර නාට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම ඉදිරියේ චාතුර්යා රූගත කිරීම්වලටත් සහභාගි වෙන්න තිබෙනවා. වැඩියෙන්ම මම මහන්සි වෙන්නේ සැලුන් එකේ වැඩකටයුතුවලට. එහි ඉදිරියට මොනවද කරන්නේ කියලා මේ දවස්‌වල අධ්‍යයනය කරමින් ඉන්නෙ.

රඟපෑම ඔබ ආඩම්බරයක්‌ කරගෙනද ඉන්නේ ?

රඟපෑම ගැන අඩම්බර වෙනවා. මම ඒ ගැන නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒක ආභරණයක්‌ කරගෙන නැහැ. රංගනය කියන්නෙත් ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයිනේ. මම අවුරුදු ගණනාවක්‌ නාට්‍යකරණය හදාරලයි මෙතැනට ආවේ. ගෙදර ඉන්න ගමන්වත්, පාරෙ ඉඳන්වත් අරය මෙයා කියපු නිසා නම් නෙමෙයි. රංගනය ගැන හොඳ දැනුමකින්. ඒකට ඉතිං ආඩම්බර වෙන්න එපායෑ.

තේමියගේ ආදරය කොහොමද දැනෙන්නෙ?

ක්‍ෂේත්‍රය අය මට කතා කරන්නේ චාතුර්යා ඉන්නවාද කියලා. ඒ ආදරය ගැන හැමෝම දන්නවා. මම නයනා කුමාරිද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද චාතුර්යා තුළයි නයනා කුමාරි ඉන්නෙ. ඒ ආදර කතාව හැමෝම රසවිඳිනවා. මේ ළඟකදී සනත් අයියත් කතා කළේ චාතුර්යා ඉන්නවා ද කියලයි.

එතකොට ඔබේ සැමියාගෙ ආදරය ?

ඒක තමයි නයනා කුමාරි ජීවත්කරවන ආදරය. ඔය ටෙලිනාට්‍යවල තිබෙන ආදරය නෙමෙයි. අපි දෙන්න අවුරුදු නවයක්‌ ආදරය කරලා විවාහ වුණේ. දැන් අපේ ආදරයට අවුරුදු දහසයක්‌ විතර වෙනවා. එහි ප්‍රතිඵලයක්‌ විදිහට අපිට පුතෙක්‌ ඉන්නවා.

දැන් ඔබ මවක්‌. මවගේ චරිතය ගැන හිතන විදිහ?

ඒ වගේ චරිතයක්‌ නිරූපණය කරන්න මවක්‌ වෙන්නම ඕනෙ නැහැ. පුංචි කාලෙ ඉඳන් මවකගේ අගය ඉතාමත්ම ඉහළින් දැනිච්ච කෙනෙක්‌ මම. මගේ අම්මා මෑතක්‌ වෙනකං මගේ දේවල් සමග හිටිය කෙනෙක්‌. ඒක අලුතෙන් ඉගෙන ගත්තු දෙයක්‌ නෙමෙයි.

ගොඩක්‌ නිළියන් දරුවෝ ලැබුණහම රංගනයෙන් ඉවත්වෙනවානේද?

මේක මගේ වෘත්තියත් එක්‌ක තිබෙන දෙයක්‌. රංගන ශිල්පිනියක්‌ විදිහට මමත් කරන්නේ වෘත්තියක්‌. මම ඒ ගැන හොඳ අවබෝධයෙන් තමයි ඉන්නෙ. නැතුව වෙන අවශ්‍යතාවකට නෙමෙයි. මම එයට ගරු කරනවා. ඒ ගරුත්වය රැකගෙන තිබෙනවා. අනික මම කාගෙන්වත් කටකතාවක්‌ අහලත් නැහැ. මම දන්නවා පුතා ලොකු වුණ දවසට එයත් මේකට උදව් කරාවි කියලා.

පුතා මොකද නාට්‍ය දිහා බලලා කියන්නේ ?

තාම නම් එයාට ඒ ගැන ලොකු දැනුමක්‌ නැහැ. එයා ටෙලි නාට්‍ය වල මාව දකින්න කැමැතියි. එහෙම දැක්‌කහම සතුටුවෙනවා. ඒ ගැන ලොකු වැටහීමකුත් නැහැ. අපේ ගෙදර වුණත් වැඩිය ටීවී එක බලනවා අඩුයි. නාට්‍යයක්‌ වුණත් බලන්නේ මම ගෙදර හිටියොත් විතරයි.

මවක්‌ වුණත් ඔබ තවම තරුණයි. මොනවද ඒ වෙනුවෙන් කරන්නේ ?

ගැහැනියක්‌ වුණහම අපි හැමවෙලාවෙම ලස්‌සනට ඉන්න ඕනෑ. මූලිකම දේ තමයි පිරිසිදුකම. අනික පිළිවෙලට අඳින්න පළඳින්න ඕනෑ. පිළිවෙලයි පිරිසිදුකමයි ගැහැනියකට අත්‍යවශ්‍ය දෙයක්‌. මම කැමැති නැහැ සිරුරේ හැඩයේ පොඩි වෙනසක්‌වත් වෙනව දකින්න. ඒ වෙනුවෙන් මම ගොඩක්‌ මහන්සි වෙනවා.

ස¹ගෙ අම්මට ගොඩක්‌ ආර්ථික ප්‍රශ්න නේද?

ඒක එක්‌තරා චරිතයක්‌ විතරයි. එක්‌ රටේ හැම කෙනෙකුටම තිබෙන දෙයක්‌. ස¹ලගෙ අම්මටත් ඒක හොඳට දැනෙනවා.

එතකොට සැබෑ ජීවිතයේ නයනට එවැනි ප්‍රශ්න නැතිද?

බුදු අම්මෝ... ප්‍රශ්නත් සමග තමයි අපි හැමදාම ජීවත්වෙන්නෙ. ප්‍රශ්න කියන ඒවා නැතිවෙන්නේ නැහැනේ. අද එකකට විසඳුම් දුන්නොත් හෙට තව එකක්‌. එහෙමයි කියලා ප්‍රශ්නවලින් මම පලා යන්නේ නැහැ.

ඔබ ගයත්‍රි සමග තිබෙන මිතුදම ගැනත් කතා නොකරම බැහැනේ ?

අනිවාර්යෙන්ම. කාන්තාවන් දෙන්නෙක්‌ එහෙම එකට වැඩකරන එක එකට ඉන්න එක ගැන ගොඩක්‌ දෙනා කියනවා රටටත් ආදර්ශයක්‌ කියලා. අපේ යාළුකම විතරක්‌ නෙමෙයි තිබෙන්නේ. ඒ හරහා සමාජයටත් ලොකු සේවයක්‌ කරනවා. අනික අපේ හිතවත්කමට අවුරුදු 16 ක්‌ විතර වෙනවා. අපි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙච්ච මුල් කාලයේදී තමයි ඒ මිතුදම ඇතිවුණේ. ගයත්‍රිගෙ හැම දේකටම මම ඉන්නවා. මගේ හැම දේකටම ගයත්‍රිත් ඉන්නවා. සුමිත්ටත් චන්නටත් අපේ සම්බන්ධයට මුකුත් කරන්න බැහැ කියලත් ඔවුන් දන්නවා. ඒ දෙන්නගෙන් එයට සහයක්‌ තිබෙනවා.

සාර්ථක පවුල් ජීවිතයකට රංගනය බාධාවක්‌ නෙමෙයිද ?

කොහෙත්ම නැහැ. අද වෙනකං නම් එහෙම බාධාවක්‌ වෙලා නැහැ. හෙට වුණත් මගේ සැමියා කිව්වොත් මේ දේවල් කළා ඇති කියලා, කිසි කතාවක්‌ නැහැ මම රංගනය නතර කරනවා. ඒක තියෙන්නෙ මගෙ මහත්තයාගෙ අතේ. ඒ තරම් පහත් මානසික මට්‌ටමක්‌ එයාට නැහැ කියලා මම දන්නවා. මොකද එයාටත් ඒ ගැන හොඳ අවබෝධයක්‌ තිබෙනවා.


දිනේෂ් විතාන
ඡායා - නදුන් බදුගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.