සංසාර සිහිනය අපිව එක්‌ කලා
චාමික

ඔහු කළුගං තොටින් රියෑලිටි වේදිකාවට ගොඩවූයේ සුපිරි ගායන තරුවක්‌ වීමේ බලාපොරොත්තුවෙනි. නමුත් ඒ සිහිනය ඔහුට ළඟා කරගැනීමට රියෑලිටි වේදිකාව හරස්‌ විය. එහෙත් ඔහු ගායකයකු වීමේ සිහිනය නම් අත්හැරියේ නැත. "අපි වෙන්වෙන තරමට" ගීතයත් සමග ශ්‍රී ලාංකේය ගීත කලාවේ අලුත් පිටුවක්‌ පෙරළමින් කරළියට එන්නට පටන් ගත්හ. නමින් චාමික සිරිමාන්න නම් වූ ඔහු නව පරපුරේ දක්‍ෂ ගායන ශිල්පියෙකු වගේම අද දවසේ රංගන ශිල්පියෙකු ලෙසද හැඳින්වීමට පිළිවන. මේ නිසාම බොහෝ දෙනා ඔහු ගැන වතගොත විමසන මොහොතක මේ සූදානම ඔහු ගැන ඒ විස්‌තර පැවසීමටය.

චාමික පොඩිකාලෙ පටන්ම අභියෝග භාරගන්න කැමති චරිතයක්‌ද?

ඇත්තටම මම අභියෝග භාරගන්න කැමැති චරිතයක්‌ නම් නෙමෙයි. හැබැයි අභියෝග භාරගන්න තත්ත්වයට මාව අනිත් අය පත් කරනවා.

එතකොට සුපර් ස්‌ටාර් වේදිකාවට

එදා අභියෝග කළේ ?

වක්‍රාකාරව එහෙම කළා කියලත් හිතෙනවා. නමුත් මට අභියෝග එල්ල කරන්න ලොකු අවශ්‍යතාවක්‌ තිබුණේ නැහැ. හේතුව ඒකට අයෑදුම් කළේ අපේ අම්මාගේ අවශ්‍යතාවයට. මට ගායකයෙක්‌ වෙන්න වුවමනාවක්‌ තිබුණේ නැහැ. මොකද මම වාදකයෙක්‌ නිසා.

මොනවද මේ දවස්‌වල කරන්නේ ?

ගීත දෙකක්‌ නිර්මාණය කළා. ඒ අතරේ තවත් ගීතයක්‌ නිර්මාණය කරගෙන යනවා. ඒ වගේම ගිය වසරේ රූගත කළ ටෙලි නාට්‍යයක්‌ මේ දිනවල විකාශනය වෙනවා.

ගෙවී ගිය කාලයේ ඔබේ හඬ වැඩිය අහන්න ලැබුණේ නැහැ කිව්වොත් ?

ඇත්තටම ඒ කතාව පිළිගන්න වෙනවා. මොකද අවුරුදු තුන හමාරකින් විතර අළුත් ගීත එකතුවක්‌ කළේ නැති නිසා.

අළුත් නිර්මාණ එකතුවක්‌ කරන්න කාලය හරි කියලා හිතෙන්නේ නැතිද?

එහෙම හිතෙනවා. මේ දවස්‌වල යන නිර්මාණත් සමග මොකක්‌ කරන්නද කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ.

ජනප්‍රියත්වයත් සමග ඔබත් ගම දාලා ආවානේද?

ඒaක නම් හිතකින් කරපු වැඩක්‌ නෙමෙයි. අවංකවම අදට වුණත් කළුතර යනකොට බෝධිය, පාලම දකින කොට මට නිකං ගෙදර ගියා වගේ තමයි දැනෙන්නේ. මට කෝටියක්‌ දේවල් ලැබුණත් එතැනින් එනකොට ඇතිවන හැඟීම ගැන කියන්න වචන නැහැ. කාර්යබහුලත්වය නිසයි ගමෙන් එන්න සිද්ධවුණේ.

කොහොමද විවාහ ජීවිතය?

මම කසාද බැඳලා අවුරුදු එක හමාරක්‌ විතර වෙනවා. හොඳින් ගෙවිලා යනවා.

ඇය ගැන තොරතුරු ටිකක්‌ කිව්වොත් ?

බිරිඳගෙ නම සවනි නිසංසලා කුලසේකර. ගම කළගෙඩිහේනෙ. සවනි රූපවාහිනි සංස්‌ථාවේ සේවය කළේ. දැන් නම් සේවය කරන්නේ නැහැ.

ඇයව කොහෙදිද හමුවුණේ ?

මගෙ ඉන්ටව් එකකට රූපවාහිනියට ගිය වෙලාවෙ තමයි සවනිව හමුවුණේ.

ඒ හමුව ආදරයට පෙරළුණේ ?

ඉන්ටවිව් එකෙන් අවුරුද්දකට විතර පස්‌සේ මම විදෙස්‌ සංචාරයකට ගිහින් ලංකාවට ආව විතරයි සවනි එස්‌ එම් එස්‌ එකක්‌ එවලා තිබුණා සංසාර සිහිනයේ ගීතයට මියුසික්‌ වීඩියෝ එකක්‌ නැතිද කියලා අහලා. මම ඒකට රිප්ලයි එකක්‌ නොයවා කෝල් කළා. ඒ ඇතිවෙච්ච සම්බන්ධතාවය තමයි විවාහය දක්‌වා ගියේ.

ඔබ ඇයට වැඩිපුර කැමැති වුණේ ?

මම අනෙක්‌ ගෑනු ළමයින්ට වඩා එයාගේ ලොකු විශේෂත්වයක්‌ දැක්‌කා. හරියට යාළුවෙකු වගේ ඉන්න චරිතයක්‌. ඉතිං මට හිතුණා එයත් එක්‌ක ඉන්න එකහරි නිදහස්‌ කියලා.

චාමිකගෙ ගායන හැකියාවන් ගැන සවනි මොනවද කියන්නේ ?

සමහරක්‌ වෙලාවට එයා මං ගැන දක්‌වන අදහස්‌ වැරදියි කියලා හිතෙනවා. නමුත් ටික දවසක්‌ ගියාට පස්‌සේ තමයි තේරෙන්නේ එයා කියපු දේ හරි කියලා. මොකද එයා මටත් වඩා සංගීතය හදාරපු කෙනෙක්‌.

ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු එහෙම කොහොමද?

සාමාන්‍ය විදිහට කෙරීගෙන යනවා. ලොකු විශේෂත්වයක්‌ නැහැ.

පරණ සුපර් ස්‌ටාර් මිතුරන් එහෙම කතා කරන්නේ නැතිද?

පරණ අය දැන් වැඩිය කතා කරන්නේ නැහැ. අනික සමහරු ලංකාවෙත් නැහැනෙ.

දිගටම රඟපාන්න අදහසක්‌ එහෙම තියෙනවාද?

රඟපාන්න නම් ආසයි. සවනිත් කියනවා මට රඟපාන්න හැකියාවක්‌ තිබෙනවා කියලා. ඒ ගැන ඉදිරියේදී බලමු.

සංසාර සිහිනය ගීතය චාමිකට හොඳ බිරිඳක්‌ සොයා දුන්නා කිව්වොත් ?

ඔව්. සවනිව හම්බවුණේ ඒ ගීතය නිසා

චාමික ගැන වැඩි විස්‌තර දැනගන්න අප ඇයගේ බිරිඳවත් සම්බන්ධ කරගන්න කල්පනා කළා.

සවනි චාමිකට කැමැති වුණේ ජනප්‍රිය නිසානේද?

මම චාමිකව අඳුර ගත්තේ ජාතික රූපවාහිනියෙ සිත් ගත් ගී කියන වැඩසටහනත් සමග. මොකද මම ඒ වැඩසටහනේ ප්‍රසන්ටේෂන් කෙනෙක්‌. මම හිටපු වැඩසටහන් කීපයකට චාමික ආරාධිත ශිල්පියෙකු විදිට ඇවිත් තිබෙනවා. ඒ නිසා චාමිකව අඳුරනවා. හැබැයි රාජකාරි මට්‌ටමින්. ඒ හින්ද ජනප්‍රියයි කියන දේ ලොකුවට දැනිලා තිබුණේ නැහැ.

මුලින්ම ආදරය ප්‍රකාශ කළේ ඔයා නේද?

අපොයි නැහැ. චාමික තමයි මගෙන් විවාහ වෙන්න ඇහැව්වෙ.

අපිට ආරංචියි ඔයා මුලින්ම එස්‌ එම් එස්‌ කළා කියලා ?

ඒක හරි. මම සංසාර සිහිනයේ ගීතයේ විෂුවල් එකක්‌ තියෙනවාද කියලා ඇහුවා. මොකද අපි රූපවාහිනියේ විෂුවල් වැඩසටහනක්‌ කළ නිසා. අන්තිමට ඒක ආදරයකට පෙරළුණා.

රසිකාවියන්ගෙන් චාමිකට දුරකථන ඇමැතුම් එහෙම එනවා ඇති නේද?

චාමිකගේ ජංගම දුරකථනයට එන ඇමැතුම්වලට උත්තර දෙන්නේ මම. ඒ හින්දා රසිකාවියන්ගේ ඇමතුම්වලටත් මම තමයි උත්තර දෙන්නේ. ගොඩක්‌ අය කතා කරන්නේ බොහොම වැදගත් විදිහට. ඒ අතරේ චාමිකට කරදරයක්‌ විදිහට හැසිරෙන කිහිපදෙනෙකුත් හිටියා. හැබැයි හුඟදෙනෙක්‌ මගෙත් එක්‌ක සුහදයි.

ඇයි චාමික අවිශ්වාසද?

ආපොයි නැහැ. මම චාමික සමඟ විවාහ වෙන්න කලින් එයාට කළමනාකාරවයෙක්‌ හිටියා. එයාගේ යාළුවෙක්‌. මම බැන්ඳට පස්‌සේ රස්‌සාවෙන් අස්‌වුණා. ඉතිං චාමික මට පැවරුවා ඒ වැඩකොටස. ප්‍රසංගවලට හා අනෙක්‌ වැඩවලට කතා කරන්නේ ඒ අංකයට නිසයි මම කතා කරන්නේ. නැතුව සැකයට නොවෙයි.

චාමික එක්‌ක ප්‍රසංගවලටත් යනවා කියලා ආරංචියි ?

ඔව්.

ඇයි ඒ ?

ඒක ගොඩ දෙනෙක්‌ අහන ප්‍රශ්නයක්‌. සමහර බෑන්ඩ්වල කට්‌ටිය දැක්‌කම මට කියනවා පොඩ්ඩක්‌ කොල්ලට තනියෙන් යන්න දෙන්න. මොකද ඔයා පස්‌සෙන් එන්නෙ කියලා. හැබැයි කවදාවත් මම බලෙන් යන්නේ නැහැ. චාමික තමයි එයාගේ තනියට එක්‌කගෙන යන්නේ.

චාමිකට ආදරේට කියන්නේ ?

තුලාට්‌ කියලා. හැබැයි හේතුව නම් කියන්නේ නැහැ. (සිනාසෙමින්)

දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.