ඇමරිකාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසක්‌ උතුරේ සංචාරයක

තුෂාරී කළුබෝවිල


උතුරේ නව ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා උතුරේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්‌වූ ඇමරිකා එක්‌සත් ජනපදයේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ ඡායාරූපයේ දැක්‌වේ. මෙහි දකුණු කෙළවරෙහි සිටින්නේ ඇමරිකා එක්‌සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාය.

උතුර සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහාය දක්‌වමින් ඇමරිකා එක්‌සත් ජනපදයේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ පසුගියදා යාපනයේ සංචාරයක නිරත විය. ඇමරිකා එක්‌සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් මෙම යාපනය සංචාරය සංවිධානය කර තිබිණි. මෙම සංචාරය සඳහා ඉන්දියාවේ ව්‍යාපාරිකයන් පිරිසක්‌ ද එක්‌ව සිටි අතර ඔවුහු උතුරේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දායක විය හැකි ආකාරය පිළිබඳ නිරීක්‌ෂණය කළහ.

උතුරේ නව ව්‍යාපාරික ආයතන ආරම්භ කිරීමටත්, දැනට ආරම්භ කර ඇති සුළු ව්‍යාපාර සඳහා සහාය දැක්‌වීමටත් මෙම පිරිස රජයට එකඟතාව පළ කර තිබේ. මෙම ගමනට එක්‌වූ ඇමරිකා එක්‌සත් ජනපදයේ ලොස්‌ඇන්ජලිස්‌හි "සන්ලෑන්ඩ් ගෲප් ඔෆ් කම්පනිහි" කළමනාකාර සාමාජික සංජීව් ගුණසේකර මහතා "දිවයින" සමග පැවසුවේ වසර තිහක යුද්ධය නිම කර ඇති බවත්, ඇත්තෙන්ම විශ්මිත ක්‍රියාවක්‌ වූ එය යාපනය සංචාරයේදී තහවුරු වූ බවත්ය. මෙවැනි රුදුරු ත්‍රස්‌තවාදයක්‌ පරාජය කිරීම පිළිබඳව ඇමරිකාවේ ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට කෘතවේදීත්වය පළ කරන බවද ඔහු පැවසුවේය.

උතුරේ දෙමළ ජනතාව සමඟ දකුණේ සිංහල ජනතාව එකට අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාව සීග්‍ර සංවර්ධනය කරා යන ගමනට තමා ඇතුළු ඇමරිකාවේ සිටින සියලුම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් උපරිම සහාය දක්‌වන බවද ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයට පිංසිදු වන්නට තමා අද උසස්‌ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින බවත්, තමා උගත් දෙයින් මව්බිමට සේවයක්‌ කිරීමට වුවමනාව තිබුණත් පසුගිය කාලයේ පැවති බිහිසුණු ත්‍රස්‌තවාදය නිසා ශ්‍රී ලංකාවට පැමිණීම පවා බියකරු අත්දැකීමක්‌ වූ බවත් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ රටේ නව ව්‍යාපාර ආරම්භ කරන්නා සේම ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට ඇමරිකා එක්‌සත් ජනපදයේ ලොස්‌ ඇන්ජලීස්‌හි පිහිටි සිය ව්‍යාපාරික ආයතනවල රැකියා අවස්‌ථා ලබාදී ඇති බවද හෙතෙම පැවැසීය.

මෙවැනි අවස්‌ථාවක්‌ විදේශිකයන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොදී ශ්‍රී ලාංකිකයන්ටම ලබාදීම පිළිබඳව ඇමරිකා එක්‌සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ඇතුළු පිරිසට ස්‌තුති පළ කරන බවද ගුණසේකර මහතා කීවේය.

මෙම නිරීක්‌ෂණ චාරිකාවට එක්‌වූ ඇමරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝර්ක්‌හි සිටින ශ්‍රී ලාංකිකයකු වන "ඉමිනෙන්ට්‌" තොරතුරු තාක්‌ෂණ ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‌ෂ ප්‍රශාන්ත් විෙ-දාස මහතා "දිවයින"ට පැවසුවේ තොරතුරු තාක්‌ෂණය හා නව අධ්‍යාපනික ක්‍රමෝපායයන් උතුරේ ව්‍යාප්ත කිරීම වඩාත් සුදුසු බවයි. ඒ සඳහා උපරිම සහාය දැක්‌වීමට තමා ශ්‍රී ලංකා රජයට එකඟවන බවද ඔහු කීවේය.

මීට අමතරව ඉදිකිරීම්, සංචාරක නවාතැන්, සෞඛ්‍ය මධ්‍යස්‌ථාන ආදිය සඳහා සහාය දැක්‌වීමටද ඔවුහු එකඟතාව පළ කර තිබේ.

තොරතුරු තාක්‌ෂණය, පරිගණක භාවිතයට උතුරේ ජනතාව පුහුණු කරවීම හා ඒ ආශ්‍රිත නව රැකියා අවස්‌ථා දෙස්‌ විදෙස්‌ මට්‌ටමින් ලබාදීමට තමාට හැකි බව ද හෙතෙම පැවැසීය.

කිසිදු ලාභ අපේක්‌ෂාවකින් තොරව, උපන් බිම වෙනුවෙන් මෙම සේවය ඉටුකරන අතරම ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඉදිරි දැක්‌ම බෙහෙවින් පැහැදිලි එකක්‌ බවත්, ඊට හැකි උපරිම සහාය දක්‌වන බවත් විෙ-දාස මහතා සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීම රජයේ අපේක්‌ෂාව බවත්, උතුරේ විපතට පත් දෙමළ ජනතාවට මෙන්ම සිංහල ජනතාවටද මෙය විශේෂ අවස්‌ථාවක්‌ බවත් පැහැදිලිය. මේ ඔස්‌සේ නැවතත් සිංහල, දෙමළ සහයෝගිතාව වර්ධනය වනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.