"කැන්රිච්" සභාපති තනතුරට වෘත්තීය බැංකුකරුවෙක්‌

බැංකු ක්‍ෂේත්‍රය තුළ වසර 35 කට අධික කාලයක අත්දැකීම් හා පළපුරුද්දක්‌ ඇති වෘත්තීයමය බැංකුකරුවෙකු වන එස්‌. එච්. පියසිරි මහතා 2010 ඔක්‌තෝබර් මස 01 වන දින සිට කැන්රිච් මූල්‍ය සමාගමේ සභාපති තනතුරට පත්කර ඇත. මෙම පත්කිරීම සිදුකොට ඇත්තේ එම මූල්‍ය සමාගමේ ප්‍රධාන කොටස්‌කරු වන මියුචුවල් හෝල්ඩිංග්ස්‌ ආයතනය විසිනි.

ණය ශ්‍රේණිගත කිරීම අනුව ත්‍රිත්ව ඒ. ඒ. ඒ. ශ්‍රේණිගත ශ්‍රී ලංකාවේ එකම දේශීය බැංකුව වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිතුමන් වශයෙන් ගෞරවණීය සේවාවක්‌ ඉටු කළ, ඔහු නව මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් සාම්ප්‍රදායික බැංකුකරණය වෙනුවට ගනුදෙනුකරුවන් කේන්ද්‍රකොට ගත් බැංකුකරණය යන සංකල්පය ක්‍රියාවට නැංවීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව (බැංකු හා මූල්‍ය) පිළිබඳ උපාධිධාරියකු වන මොහු ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් වූ සිය ශාස්‌ත්‍රපති උපාධිය ලබාගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයෙනි. පියසිරි මහතා, බැංකු ක්‍ෂේත්‍රය තුළ තමන් සතු නිපුණත්වය විදහා දක්‌වමින් ලන්ඩනයේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ වරලත් සාමාජිකත්වයටද හිමිකම් කියයි.

තවද වසර 2006 සිට 2008 දක්‌වා කාලය තුළ ලන්ඩනයේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ කොළඹ හා ලන්ඩන් ශාඛාවේ සභාපති ධුරය උසුලන ලද මෙතුමා ශ්‍රී ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා මහඟු දායකත්වයක්‌ ලබාදී තිබේ.

1988 අංක 78 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කැන්රිච් මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල් මණ්‌ඩලයේ අනුමැතිය ලත් මූල්‍ය සමාගමක්‌ වශයෙන් වසර 40 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියයි.

ගනුදෙනුකරුවන් වෙත වඩාත් පුළුල් වූ මූල්‍ය සේවාවන් රැසක්‌ ලබාදෙන කැන්රිච් මූල්‍ය සමාගම කල්බදු පහසුකම් ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීම්, සූක්‍ෂම මූල්‍ය හා දේපළ වෙළ¹ම් යන ප්‍රධාන අංශ ඔස්‌සේ සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවයි.

වෘත්තීමය බැංකුකරුවෙක්‌ වශයෙන් ක්‍ෂේත්‍රය තුළ ඉතා දිගුකාලයක්‌ තුළ තමා ලබාගත් අත්දැකීම් හා පළපුරුද්ද කැන්රිච් මූල්‍ය ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජනය කරමින්, කැන්රිච් මූල්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ ගනුදෙනුකරුවන්ට වඩාත් ආකර්ෂණීය මෙන්ම නම්‍යතාවකින් යුක්‌ත වූ විශ්වාසනීය මූල්‍ය සේවාවක්‌ ලබාදෙන ප්‍රමුඛතම ආයතනය බවට පත්කිරීම එතුමාගේ අපේක්‌ෂාවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.