ලෝකයේ විශාලතම රුවල් නිෂ්පාදකයෝ
ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පුළුල් කරති

නෝත් සේලස්‌ ශ්‍රී ලංකා සමූහයේ නවතම ව්‍යාපාරය වන නෝත් ක්‌ලෝත් ලංකා පුද්ගලික සමාගම විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බද්යුද්ධීන් මහතාගේ ප්‍රධානත්වයෙන් 23 වැනි දින සිදු කරන ලදී.

මෙම සුවිශේෂී අවස්‌ථාව වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක්‌ එක්‌ කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකාව වසර 30 ක්‌ පුරාවට පැවති යුද්ධය අවසන් කර ආර්ථික සංවර්ධන සංග්‍රාමය ආරම්භ කිරීමට සැරසෙන මෙම අවස්‌ථාවේ නෝත් ක්‌ලෝත් ආයතනය විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීම අතිශයින්ම වැදගත් කටයුත්තක්‌ බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඉතා සුබවාදී ආකල්පයකින් කටයුතු කරමින් සිටී. යුද්ධය පැවති අවස්‌ථාවේ අප රට හැර ගිය ජාත්‍යන්තර සමාගම් මේ වන විට නැවත අප රටට පැමිණ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇත. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සංවිධාන විසින් ශ්‍රී ලංකාව ආයෝජන සහ සංචාරක කටයුතු සඳහා ඉතා යෝග්‍ය රටක්‌ වශයෙන් පිළිගෙන තිබෙන බවත් විවෘත කරන ලද නෝත් සේල් සමූහ ව්‍යාපාරයට අයත් නෝත් ක්‌ලෝත් සමාගමේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවත් එතුමාගේ සුබ පැතුම් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන්ය.

විශාලතම රුවල් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන නෝත් මැනුෆැක්‌චරින් ලංකා හි ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පහසුකම්වලින් එම සමූහ ව්‍යාපාරයේ වර්ධනයට හා සාර්ථකත්වයට ලබාදෙන කැපීපෙනෙන දායකත්වය නෝත් සේල් හි සුවිශාල සාර්ථකත්වයේ එක්‌ රහසකි. ශ්‍රී ලංකාවේ වසර 15 ක දිගු ගමන තුළ සමූහයේ ප්‍රධානම සන්ධිස්‌ථානය ලෙස නෝත් මැනුෆැක්‌චරීන්, නෝත් සේල් 3 DL ලංකා හා සදන් ස්‌පාස්‌ ඉන්ටර්නැෂනල්, නෝත් සේල් සමූහයේ අනුබද්ධිත ආයතන LLCල USA සමග නෝත් ක්‌ලෝත් එක්‌වීමෙන් ලෝකයේ විශාලතම රුවල් නිපදවන්නන් හා රුවල් තාක්‍ෂණයේ ප්‍රමුඛයා බවට පත්වේ.

නෝත් ක්‌ලෝත් අපනයනය සඳහා රුවල් රෙදි නිපදවීමට නියමිතය. බියගම නිදහස්‌ වෙළෙඳ කලාපයේදී පළමු නිෂ්පාදනය අමාත්‍ය බද්යුද්ධීන් මහතා විසින් නිලවශයෙන් ආරම්භ කරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.